ටී.එම්.ප්‍රේමවර්ධන ලියයි
(ලංකා ඊ නිව්ස් -2016.දෙසැ.14, පෙ.ව.3.10) අපේ රටේ නිදහස් අධ්‍යාපනය බිහි වූයේ ජනතා අදහස් විමසා සකස් කරන ලද යෝජනාවලියක් තුළිණි. එය නීති ගත කිරීමට එකල සිටි පාලකයෝ වැඩි දෙනකු විරුද්ධ වූහ. එම අවස්ථාවේ ආචාර්ය ඊ.ඩබ්ලිව්.අදිකාරම් ඇතුළු පිරිසක් ඉදිරිපත් වී ජනතාව දැනුම්වත් කළහ. එයින් පිබිදුනු ජනතාව ලක්ෂ ගණනින් පෙත්සමක් අත්සන් කර කථානායකට යැවූහ. තවද නිදහස් අධ්‍යාපන පනතට පක්ෂව අත් උස්සන ලෙස බල කරමින් මන්ත්‍රීවරුන් හට ටෙලිග්‍රෑම් යැවූහ. අවසානයේ දී පූජ්‍ය පක්ෂය පෙරටු කර ගත් ජනතාව පා ගමනින් රාජ්‍ය සභාව කරා ගියහ. එහි ගැලරිය, නිදහස් අධ්‍යාපනයට පක්ෂ ජනතාවගෙන් පිරී ඉතිරී ගියේය. එදා නිදහස් අධ්‍යාපන පනත ඡන්ද විමසීමකින් තොරව ම සම්මත වූයේ එසේය.
සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමාගෙන් පසු ජනතා අදහස් නො විමසා, අත්තනෝමතික ලෙස, නිදහස් අධ්‍යාපනය කෙතරම් වෙනස් කර තිබේ ද යත්, තවදුරටත් අපේ රටේ නිදහස් අධ්‍යාපනය කියා දෙයක් ඉතිරි වී නැත. නිදහස් අධ්‍යාපනය අත්තනෝමතික ලෙස වෙනස් නො කළා නම්, විය යුතුව හා විය හැකිව තිබූ දේවල් කීපයක් මතු දැක්වේ.
• සෑම පාසලක ම එක වාගේ විශ්වාසනීය හා ගෞරවනීය විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සිටිය යුත්තේය.
• යහපත් පුරවැසිභාවය උදෙසා මනුෂ්‍යත්වයට ප්‍රමුඛස්ථානය දී, දැනුම, ආකල්ප හා කුසලතා එකවිට සංවර්ධනය කර ගැනීම සඳහා ශිෂ්‍යයින් හට ගුරුවරුන් උදව් උපකාර කරනු ඇත්තේය.
• සියලු ගුරුවරු ද්විභාෂික වන්නෝය. එනම් ඔවුහු සියලු දෙනා ම සිංහල-ඉංග්‍රීසි හෝ දෙමළ-ඉංග්‍රීසි, භාෂා දෙකකින් ඉගැන්විය හැකි ගුරුවරු වන්නෝය.
• 9 වැනි ශ්‍රේණිය සමත් සියලු සිසුන්හට මව්භාෂාව පමණක් නො ව ඉංග්‍රීසි භාෂාව කියවීමටත්, ලිවීමටත්, කතා කිරීමටත් හැකි වන්නේය. ඒ අනුව අපේ රට ද්විභාෂික සමාජයක් විය යුතුව තිබුණේය.
• කුඩා ළමයින්හට පයින් ගමන් කළ හැකි දුරින් එක ම විදියේ ප්‍රාථමික පාසල් පිහිටා තිබිය යුතු අතර, ඒවා වෙන ම විදුහල්පතිවරයකු සහ ගුරු මණ්ඩලයක් යටතේ ස්වාධීනව පැවතිය යුත්තේය.
• සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක ම රාජකීය විදුහලට නොදෙවෙනි අංග සම්පූර්ණ මධ්‍ය විද්‍යාල එකක් හෝ කීපයක් පිහිටා තිබිය යුත්තේය. එකල රාජකීය-ශාන්ත තෝමස් විදුහල් අභිබවා මධ්‍ය විද්‍යාල ඉදිරියට ආයේය.
• පාසල්වලට ළමයින් ඇතුළත් කිරීම සඳහා කිසිදු තරගයක් පැවතිය නොහැක්කේය.
• ශාස්ත්‍රීය අංශයෙන් පමණක් නො ව, වෘත්තීය පුහුණු හා තාක්ෂණ අංශයෙන් ද විශ්වවිද්‍යාල මට්ටම දක්වා යා හැකි වන සේ අධ්‍යාපන පද්ධතිය සකස් වී තිබිය යුත්තේය.
• ශිෂ්‍යත්ව විභාගය සමත් දුප්පත් පවුල්වල ශිෂ්‍යයින්හට විශ්වවිද්‍යාල මට්ටම දක්වා ම කෑම බීම, නවාතැන් ඇතුළු සියලු පහසුකම් සඳහා ආකර්ෂණීය ශිෂ්‍යාධාර මුදලක් රජයෙන් ලැබෙනු ඇත්තේය. දැන් එවැනි පාසල් ළමයකුහට, දිනකට ලබා දෙන්නේ රු.20/- ට අඩු මුදලකි.
• අවු:11ක් වයසැති ළමයකුට ලබා දෙන ගෙදර වැඩ ප්‍රමාණය පැය 3/4ට (පැය තුන්කාලකට) වැඩි නො වන්නේය. අවු:17-18 ළමයකුට ගෙදර වැඩ පැය 2 ට වැඩි නො වන්නේය. මේ අනුව ළමයින්ගේ වයසට අනුරූපව ගෙදර වැඩ ප්‍රමාණය නියම කරනු ඇත.
• ටියුෂන් ව්‍යාපාරයක් පැවතිය නොහැක්කේය. නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘ වරු, ටියුෂන් දීමේ විපාක පෙන්වා දී ඇති අතර පෞද්ගලික ගුරුවරුන් ලවා අමතර ඉගැන්වීම තරයේ ප්‍රතික්ෂේප කළහ.
• ශිෂ්‍යයින් වැඩි දෙනකු තුළ මෙතරම් ආත්මාර්ථය හා අසහනය වර්ධනය විය නොහැක්කේය.
• දියවැඩියාව, විෂාදිය, ස්ථුලභාවය වැනි බෝ නො වන රෝගවලට පාසල් ළමයින් ගොදුරු වීම වැඩි වෙමින් පැවතිය නොහැක්කේය.
• දෙමාපියන්හට, පාසල් සංවර්ධන සමිති සාමාජික මුදල සහ පහසුකම් හා සේවා ගාස්තු හැර වෙන කිසිම ගාස්තුවක් ගෙවීමට සිදු නො වන්නේය.
• මේ රටේ ගොවි කම්කරු පවුල්වල දරුවන් ඉගෙන ගෙන දියුණු රටවල මෙන් උසස් ජීවන තත්ත්වයක් අත් පත් කර ගෙන සිටිය යුත්තේය.
• උඩරට දෙමළ ජනතාව ද අනෙක් ජන කොටස් අතර සමාන ජීවන තත්ත්වයක් අත් පත් කර ගෙන සිටිය යුත්තේය.
• අපේ මව්වරුන්හට මැදපෙරදිග ගෘහසේවය තෝරා ගැනීමට කිසිසේත් අවශ්‍යතාවක් ඇති නො වන්නේය. වෘත්තීයමය සහ පුහුණු විදේශ රැකියාවලට පමණක් ශ්‍රී ලාංකිකයන් විදේශ ගත වීමට ඉඩ ඇත්තේය.
• අපේ සමාජය එදා මෙන් අදත් ගුරුවරුන්හට සහ වෛද්‍යවරුන්හට, දෙවිවරුන් ලෙස සලකනු ඇත්තේය. ගුරුවරුන්හට ටියුෂන් හෝ වෛද්‍යවරුන්හට පෞද්ගලික ප්‍රතිකාර කිරීමට අවශ්‍යතාවක් ඇති නො වන්නේය.
• නිදහස ලබන විට අධ්‍යාපන දියුණුව අතින් ජපානයට පමණක් දෙවැනි වූ අපේ රට, සත්‍ය වශයෙන් ම දකුණු ආසියාවේ දැනුම් කේන්ද්‍රස්ථානය විය යුතුව තිබුණේය.
• කුල, ජාති, අගම් භේද තවදුරටත් පැවතිය නොහැක්කේය.
• මේ වන විට ශ්‍රී ලංකිකයන් කීප දෙනකු වත් නෝබල් ත්‍යාග දිනා ගෙන සිටිය හැක්කේය. නිදහස ලබන විට අපට පිටුපසින් සිටි ආසියාතික රටවල් ගණනාවක් නෝබල් ත්‍යාග දිනා ගෙන ඇත.
මෙම කෙටි ලැයිස්තුවෙන් වුව ද පැහැදිලි වන්නේ, නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කළා නම්, අපේ රටටත්, ජනතාවටත් නූතන ලෝකය තුළ කෙතරම් දියුණුවක් අත්පත් කර ගැනීමට හැකියාව තිබුණි ද යන්නයි.
මෙවැනි තත්ත්වයත් යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සඳහා මහජන අදහස් විමසීමේ කමිටුව (ලාල් විජේනායක කමිටුව) ඉදිරියට ගිය ජනතාව නිදහස් අධ්‍යාපනය සඳහා ව්‍යවස්ථාපිත ආරක්ෂාව සලසන ලෙස ඉල්ලා සිටියෝය. එකී ජනතා ඉල්ලීම ලාල් විජේනායක කමිටුව විසින් ඒකමතිකව නිර්දේශ කර තිබෙන්නේ මෙසේය.
1. සෑමකෙනෙකුට ම අධ්‍යාපනය ලබා ගැනීමට අයිතියක් ඇති අතර, ඒ තුළින් මිනිස් පෞරුෂයේ පූර්ණ සංවර්ධනයත්, ඒ පිළිබඳ පූර්ණ අභිමානවත් හැඟීමකුත්, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා මූලික නිදහස් ගැන ඇති ගෞරවය ශක්තිමත් කළ යුතුය.
2. රජයේ වියදමින් ප්‍රාථමික, ද්විතීයික හා තෘතීය අධ්‍යාපනය ලබා ගැනීමේ අයිතිය.
තවද ලාල් විජේනායක කමිටුව විසින් රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්මයක් ලෙස, ‘වෙළඳපොළේ ආධිපත්‍ය සතු පුද්ගලික අංශයට යටත් කර ගැනීටම ඉඩ නොදී නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය හා පොදු ප්‍රවාහන සේවා මහජන සේවා ලෙස පවත්වා ගත යුතුයැ‘යි නිර්දේශ කර තිබේ.
එපමණක් නො ව ලාල් විජේනායක කමිටුව විසින් ‘ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන සම්ප්‍රදාය පිළිගනිමින් අධ්‍යාපනයට ඇති අයිතිය මූලික අයිතියක් ලෙස ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුය යන්න අපගේ අදහසයි‘ යනුවෙන් ද, සිය නිර්දේශයට පූර්වයෙන් සඳහන් කර තිබේ.
එහෙත් ලාල් විජේනායක කමිටුවේ ඉහත කී නිර්දේශවලට එරෙහිව යමින් පාර්ලිමේන්තුවේ මූලික අයිතිවාසිකම් පිළිබඳ අනු කමිටුව, අනාගත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම සඳහා, අධ්‍යාපනට ඇති අයිතිය නිර්දේශ කර තිබෙන්නේ මෙසේය.
(1) අධ්‍යාපනය ලැබීමට සෑම තැනැත්තෙකුටම හිමිකම ඇත්තේය.
(2) ප්‍රාථමික අධ්‍යාපනය හා ද්විතීයික අධ්‍යාපනය අනිවාර්ය වන අතර රජය විසින් සැපයිය යුතු වන්නේය.
(3) රජය විසින් සැපයෙන නිදහස් අධ්‍යාපනය ඇතුළුව සෑම යෝග්‍ය ක්‍රමයක්ම යොදා ගනිමින් ධාරිතාව හා සාධාරණ අවස්ථා මත පදනම් වෙමින් උසස් අධ්‍යාපනය සියල්ලන්ටම ලබා දිය යුත්තේය.
(4) මෙම ව්‍යවස්ථාවෙහි අඩංගු කිසිවක්, යම් දරුවෙකු හෝ වෙනත් වැඩිහිටියෙකු වෙනුවෙන් ක්‍රියාකරන නීත්‍යානුකූල භාරකරුවෙකු යම් ආගමික නිකායකට අයත් හෝ වෙනත් පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් මගින් ලබා දෙන අධ්‍යාපනයක් තෝරා ගැනීමේ හිමිකමෙන් බැහැර නොකළ යුත්තේය.
මේ අනුව මූලික අයිතිවාසිකම් පිළිබඳ අනු කමිටුව විසින් ලාල් විජේනායක කමිටු නිර්දේශයේ පළමුවැනි වගන්තිය ප්‍රතික්ෂේප කර තිබේ. එ මගින් අධ්‍යාපනයේ අරමුණ මුළුමනින් ම බැහැර කර තිබේ. අධ්‍යාපනට ඇති අයිතිය අර්ථ ශූන්‍ය කර තිබේ. මානව හිමිකම් විශ්ව ප්‍රකාශනයේ දැක්වෙන පරිදි අධ්‍යාපනයේ අරමුණ මෙසේය.
“පුද්ගල පෞරුෂයේ පූර්ණ විකාශය සහ මිනිස් අයිතිවාසිකම් හා මූලික නිදහස් හිමිකම් හා පිළිබඳ ගරුත්වය ස්ථීරසාර කිරීම කෙරෙහි අධ්‍යාපනය ඉලක්ක විය යුතුය. ඒ මගින් සියලූ ජාතීන්, වාර්ගිකයන්, ආගමිකයන් අතර අවබෝධය, විඳ දරා ගැන්ම සහ මිත්‍රත්වය වැඩි දියුණු කිරීම ද, එක්සත් ජාතීන්ගේ සාම වැඩපිළිවෙලට දිරිදීම ද සිදුවිය යුතුය.“
තවද, මූලික අයිතිවාසිකම් පිළිබඳ අනු කමිටුව විසින් ලාල් විජේනායක කමිටු නිර්දේශයේ දෙවන වගන්තිය ද, එනම් ‘රජයේ වියදමින් ප්‍රාථමික, ද්විතීයික හා තෘතීය අධ්‍යාපනය ලබා ගැනීමේ අයිතිය‘ ප්‍රතික්ෂේප කර තිබේ. එ මගින් අපේ නිදහස් අධ්‍යාපන අයිතිය එහි මුදුන් මුලෙන් ම කපා දමා තිබේ.
ඊට අමතර ව මූලික අයිතිවාසිකම් පිළිබඳ අනු කමිටු නිර්දේශයේ 4 වැනි වගන්තියේ සඳහන් ආකාරයට, වැඩිහිටියකුට කවර ආකාරයේ ආයතනයකින් ලබා දෙන අධ්‍යාපනයක් තෝරා ගන්නවාද යන්න තීරණය කිරීමට ඔහුගේ හෝ ඇයගේ නීත්‍යානුකූල භාරකරුවාට හිමිකමක් ඇතැයි ඇඟවේ. එ මගින් මානව හිමිකම් විශ්ව ප්‍රකාශනයේ දැක්වෙන මූලික මිනිස් අයිතිවාසිකම් හා මූලික නිදහස් හිමිකම් එහි පදනමින් ම නිෂේධ කර තිබේ. මෙය වැඩිහිටියන්ට, තෝරාගැනීම සඳහා ඇති පුද්ගල නිදහස අහිමි කරන වැඩවසම් නිර්දේශයක් ලෙස ද සැලකිය හැක්කේය.
මේ අයුරින් අනාගත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ම අපේ නිදහස් අධ්‍යාපන අයිතියට ඇණ ගැසීමට සූදානම් වන්නේ ජනතා අදහස්වලට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට ගරු කළ යුතු ආකාරය පිළිබඳ ව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ආණ්ඩුවට නිශ්චිත උපදෙස් දී තිබිය දීය.
එම කොමිසම විසින් “අනාගත ශ්‍රී ලංකා ජනරජයේ අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ආර්ථීක, සමාජීය හා සංස්කෘතික අයිතීන් ඇතුළත් කිරීමේ වැදගත්කම“ නමැති මාතෘකාව යටතේ ජනාධිපති, අගමැති හා ව්‍යවස්ථා මණ්ඩල සාමාජිකයන් වෙත ඉදිරිපත් කළ ලියැවිල්ලේ මෙසේ ද සඳහන් කර තිබේ.
“අධ්‍යාපනයට ඇති අයිතිය, ප්‍රාමාණික සෞඛ්‍ය තත්ත්වය, නිවාස පහසුකම් හා සාධාරණ කම්කරු අයිතීන් වැනි අයිතීන් සඳහා ව්‍යවස්ථාපිත ආරක්ෂාව ඉල්ලමින් මහජන තොරතුරු ලබා ගැනීමේ ක්‍රියාවලියේ දී (2016) මහජනතාව විසින් ප්‍රකාශිත අදහස් ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලිය විසින් අත්‍යවශ්‍යයෙන්ම පිළිගත යුතුය. එසේ කිරීමට අපොහොසත් වීම විශේෂයෙන්ම ආර්ථීක, සමාජීය හා සංස්කෘතික අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (1966) යටතේ ශ්‍රී ලංකාව විසින් බාර ගනු ලැබූ නීතිමය බැඳීම් උල්ලංඝනය කිරීමක් ද වේ. එවැනි පැහැර හැරීමක් හේතුවෙන් සාධනීය ප්‍රගතියක් දක්වන ශ්‍රී ලංකා මානව හිමිකම් පිළිබඳ වාර්තාවට කැළලක් ඇති කරන අතර, අනාගත ව්‍යවස්ථාව පිළිබඳ ජනතා විශ්වාසය බරපතල ලෙස බිඳ වැටීමට ඉඩ තිබේ.“
අවසාන වශයෙන්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, අපතේ ගිය අවස්ථාවන් පිළිබඳව අනාගතයේ දී කම්පා නොවීමට නම්, අනාගත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් සියලූ මානව අයිතීන් කෙරෙහි පූර්ණ පිළිගැනීම සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රබල හඬක් නගන ලෙසයි. ජනතාව තවත් නිහඬව බලා සිටිය හොත් අනාගත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ම අපේ නිදහස් අධ්‍යාපන අයිතියට අවසන් ඇණය ගසනු නිසැකය.
---------------------------
by (2016-12-13 21:53:52)
Leave a Reply
I think it is kind of misleading. Whether we like it or not some portion of the St Lankan parents have chosen to educate their kids in international schools and Private universities. If we put a clause the gov has to provide education. Either everyone has to go to public schools. Or the gov has to bear the cost of private schools. What are we going to do about the kids who are already in international school. It seems me more like the while gov is providing the free education for people. The constitution won't block others who want to study in different means.
-- by viveka on 2016-12-14
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි