(ලංකා ඊ නිව්ස් -2014.නොවැ.08, ප.ව.3.30) ලංකාවේ වසර තිහක යුද්ධයේ අමිහිරි මතක සටහන් අප කාගේත් සිත් තුළ තාමත් රැව් පිළිරැව් දෙයි. මහින්ද රාජපක්ෂ මාකට් කර කර විකුණන්නේද මෙම මතකයන්ය. අප සොල්දාදුවන් තම දිවි කැපකොට දිනාගත් නිදහස මුවාවෙන් ඇතැමුන් කිඹුල් කඳුළු පෙරට දා තම බඩ වඩා ගැනීමටත් සමාජ පන්තිය රැක ගැනීමටත් උත්සහ කරන අන්දම ඉතාම නින්දාසහගතය. එවැනි එක් උත්සාහයකි රාජපක්ෂ සහෝදර රෙජීමයේ කොතලාවල මිලිටරි වෛද්‍ය විදුහල.
වසර 30ක යුද්ධය පැවති සමයේ එම ප්‍රදේශවල රාජකාරී කලේ රාජ්‍ය නිලධාරීන් දෙවර්ගයක් පමණි. ඒ හමුදා සෙබළුන් හා රජයේ වෛද්‍ය පීඨ වල ඉගෙන ගත් අපගේ වෛද්‍යවරුනුත් පමණි. වසර 2009 දී ඉතා දැවැන්ත උත්සාහයකින් අනතුරුව යුද්ධය ජයග්‍රහණය කිරීමට අපට හැකිවිය. එතෙක් මෙම වෛද්‍ය නිලධාරීන් නිසි පහසුකම් හා සහායද නොමැතිව හමුදා සෙබළුන් සුවපත් කිරීමේ කටයුතු තම රාජකාරියක් පමණක් ලෙස නොසිතා යුතුකම පෙරටු කොට ගෙන ඉටු කළහ.
එසේ මහන්සි වී යුද්ධය අවසන් කළ පසු, යුද්ධය පවතිද්දීවත් රටට කිසිදු අවශ්‍යතාවයක් නොමැති වූ 'මිලිටරි වෛද්‍යවරුන්' බිහි කිරීමේ කර්තව්‍යයට ගෝඨාභය රාජපක්ෂ අතගැසුවේය.ඒ එතෙක් කලක් යුධ හමුදා නිලධාරීන් පුහුණු කළ කොතලාවල ආරක්ෂක පුහුණු පාසල තුළ මිලිටරි වෛද්‍ය විදුහලක් 2009 දී ආරම්භ කරමිනි.
මෙය සත්ක්රියාවක් ලෙස ලෝකයාට පෙන්වීමට ගෝඨාභය ගන්නේ මහඟු උත්සාහයකි. ආරම්භයේදී කිසියම් වූ විනිවිද භාවයකින් යුක්තව සිසුන් බඳවා ගත්තද පසු කාලීනව සිල් රෙද්ද ඉවත් විය, සැඟවී තිබූ යටි අරුත එළිදරව් විය. මිලිටරි වෙද විදුහලට ඇතුළත් කරගැනීමට සපුරාලිය යුතු සුදුසුකම් ලැයිස්තුව කියවීමෙන්ම පමණක් මෙය අවබෝධ කරගත හැක.
ආරම්භයේදී ඉසෙඩ්අගය හා කායික යෝග්‍යතාවය යන කරුණු සළකා සිසුන් බඳවා ගන්නා ලදී. නමුත් පසු කාලීනව ඉසෙඩ් අගය නොසලකා මැති ඇමති වරුන්ගේ හා හමුදා උසස් නිලධාරීන්ගේ පෞද්ගලික දැන හැඳුනුම්කම් මතද, උසස් ආර්ථික හා සමාජ මට්ටමට තැන දෙමින්ද සිසුන් බඳවා ගන්නා ලදී. දැනට තත්ත්වය තවතවත් නරක අතට හැරෙමින් පවතී. ඒ විදේශ සිසුන් (මාලදිවයින, නේපාලය, භූතානය) සඳහා මිලිටරි වෙද විදුහලේ දොරටු, මුදලට විවෘත කිරීමත් සමගිනි.
මෙය ශ්‍රී ලංකාවේ පවතින ගුණාත්මක බවින් ඉහළ වෛද්‍ය අධ්‍යාපනයටත් නිදහස් සෞඛ්‍යයටත්, නිදහස් සෞඛ්‍යය ක්ෂේත්රයටත් මහත් තර්ජනයක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.
මෙහි අළුත්ම මෙහෙයුම වී ඇත්තේ තමන්ට වෘත්තියේදී නොලැබෙන ජ්‍යෙෂ්ඨත්වය හොර පාරෙන් ලබා ගැනීමයි.
සිද්ධිය සරළව මෙසේය. මිලිටරි වෙද විදුහලේ පලමු කණ්ඩායම වන්නේ 2008 උසස් පෙළ කණ්ඩායමයි. රජයේ වෛද්‍ය පීඨවල 2008 උසස් පෙළ සිසුන් අවසන් වසර විභාගයට තවම සැරසෙද්දී මොවුන් එය අවසන් කර 2007 උසස් පෙළ රජයේ වෛද්‍ය සිසුන් සමඟ නේවාසික පුහුණුවට එක් වීමට සැරසෙයි. ඒ ගෝඨාභයගේ හයිකාරකමිනි, චණ්ඩිකමිනි. එදා සිට අද දක්වා රාජපක්ෂ තම පාලනය ගෙන ගියේද මෙලෙස හයිකාරකම් පෙන්වීමෙනි.
මෙහි වැදගත් තවත් කරුණක් වන්නේ ඉසෙඩ් අගය අනුව බඳවා නොගත්තද සිටින සියළුම සිසුන්ට අදහාගැනීමටත් අපහසු ඉහල විභාග ප්‍රතිඵල තිබීමයි. මෙයත් මහින්දගේ තවත් ආශ්චර්යයකි.
වෛද්‍ය වෘත්තිය රැඳී පැවතී ඇත්තේත් රැකෙන්නේත් වෘත්තීය ජ්‍යේෂ්ඨත්වය මතයි. අනාගතයේදී හොර පාරෙන් එන මෙවැනි මිලිටරි වෙද්දුන් ආශ්චර්යමත් ලෙස ජ්‍යේෂ්ඨත්වට පැමිණීමෙන් සමස්ත වෛද්‍ය ක්ෂේත්රයේම කොඳු නාරටිය බිඳවැටෙනු ඇත. එමෙන්ම මෙය රාජ්‍ය වෛද්‍ය පීඨ වල සිසුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමකි.
මාලඹේ හොර වෙද උපාධි කඩය වැසීමට ඔන්න මෙන්න තිබියදී, එය පිරිමැසීමට උත්සාහ කරන කොතලාවල මිලිටරි වෙද විදුහල, ලංකාවේ නිදහස් අධ්‍යාපනය වැනසීමට ආ රාජ්‍යය දූෂණයේ කළු අවතාරයකි.
මෙය පරාද කරන සටනද දැන් ආරම්භ වී ඇත. එදා මෙන්ම අදත් හෙටත් සරසවි සිසු සටන් ජයග්‍රණයෙන් තොරව නැවතී නැත. කෙතරම් පාරම්බෑවද කොතලාවල මිලිටරි ඇකඩමියට නුදුරු අනාගතයේදී සිදු වන්නේද රාජ්‍ය වෛද්‍ය සිසුන් ඉල්ලන ගුණාත්මක බව උදෙසා ඉසෙඩ් අගය මත පමණක් සිසුන් බඳවාගැනීමටය. මුදලට බලයට වෙද උපාධි විකිණූ යුගය අවසන්ය. මේ බුද්ධිමත් මිනිසුන්ගේ යුගයයි...!
---------------------------
by (2014-11-08 10:06:21)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි