~

අනෝමා ෆොන්සේකාට දෝෂාභියෝගයක්..! රාජ්‍ය මුදල් හා දේපොල අවභාවිතය ගැන බරපතල චෝදනා..!!

(ලංකා ඊ නිව්ස් -20­­­­16.අගෝ.06, ප.ව‍‍‍‍‍‍.11.30) රණවිරු සේවා අධිකාරියේ වත්මන් සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මියගේ ක්‍රියා කළාපය බරපතල ලෙස දෝෂ දර්ශනයට ලක් කරමින් එම අධිකාරියේ කාර්ය මණ්ඩලයේ පිරිසක් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා තිබේ. එහි පිටපතක් ලංකා ඊ නිව්ස් කර්තෘවරයා වෙතද යොමු කර තිබේ. ලිපියේ සඳහන් කරුණු අනුව අනෝමා ෆොන්සේකා මහත්මිය වෙත ඉදිරිපත් කර ඇති චෝදනා බරපතල ය. 

රාජ්‍ය දේපොල අව භාවිතය, රාජ්‍ය මුදල් අවභාවිතය, පනතින් පවරා නොමැති බලතල භාවිතා කිරීම ආදිය ඉන් විශේෂය.  

අනෝමා ෆොන්සේකා මහත්මිය තමන්ට රජයෙන් නිල වාහනයක් ලබා දී තිබියදී තම පුද්ගලික වාහනයකට ද රජයෙන් ඉන්ධන ලබා ගැනීම වැනි ඉතාමත් බාල ඝනයේ දූෂණ සිදුකරන බව මෙම චෝදනා කෙරෙන ලිපියේ දැක්වේ. 

අනෝමා ෆොන්සේකා මහත්මිය මෙම චෝදනා වලට නිසි ලෙස පිළිතුරු සපයා අප වෙත ලිපියක් යොමු කළ හොත් එයද පළ කරන්නෙමු. ජනාධිපතිවරයා වෙත යවන ලද සම්පූර්ණ ලිපිය පහත දැක්වේ. 

2016.අගෝ.06
අතිගරු ජනාධිපතිතුමා
ජනාධිපති කාර්යාලය,
කොළඹ 01.

අතිගරු ජනාධිපතිතුමනි,

යහපාලනයක් වෙනුවෙන් අප සියල්ලන්ම ඔබතුමා හා අත්වැල් බැඳගනිමින් ජනවාරි 08 වෙනිදා දුටු සිහිනය රණවිරු සේවා අධිකාරියේ සේවය කරමින් සිටින අප වෙත, යුද්ධය වෙනුවෙන් තම දිවි දෙවැනි කොට ක්‍රියාකළ රණවිරුවන් හා එම පවුල් වෙත බොඳව යමින් තිබෙන මොහොතක ඔබතුමාව දැනුවත් කරමින් සුදුසු සාධාරණ ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි යන අපේක්ෂාවෙන් මෙම ලිපිය ඔබ වෙත එවන්නෙමු.

01.    හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ මග පෙන්වීමෙන් ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් මියගිය, අතුරුදහන්වූ සහ ආබාධිත තත්වයට පත්වූ රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ගේ මානසික සහ කායික ගැටළුවලට සහන සැලසීමේ මුඛ්‍ය පරමාර්ථයෙන් 1999 අංක 54 දරණ පාර්ලිමේන්තු පනතට අනුව 2000 වසරේදී පිහිටුවනු ලැබූ රණවිරු සේවා අධිකාරිය වර්තමාන සභාපතිනිය (අනෝමා ෆොන්සේකා) යටතේ සීඝ්‍රයෙන් රණවිරුවන්ගෙන් සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයින්ගෙන් ඈත්වී ඇත.

02.    රණවිරු සැමරුම් උත්සව පවත්වන්නේද රණවිරුවන්ට කෘතගුණ දැක්වීමට නොව තමන්ට සහ තම සගයන්ට දේශපාලන බලවතුන්ගෙන් තාන්න මාන්න ලබාගැනීමටය.  නොබෝදා රණවිරු උත්සව වල රණවිරුවන් නැගූ ඝෝෂාවලින් එය මනාව ප්‍රදර්ශනය විය.

03.     වර්තමාන සභාපතිනිය පත්වීම් ගත් දින සිට කාර්ය මණ්ඩල පරිපාටියට හා මුදල් රෙගුලාසිවලට විරුද්ධව ක්‍රියාකරමින් ‘සභාපති කාර්ය මණ්ඩලයක්‘ සකසා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකුට මූල්‍ය නීති රීති කඩමින් මාසික වැටුපක් ලබාදීම මූල්‍ය අක්‍රමිකතාවකි.  එමෙන්ම කිසිදු වග විභාගයකින් තොරව වරින්වර ඔහුට වැටුප් වැඩිකිරීමද සිදුකරනු ලබයි. සභාපතිනියගේ කාර්ය මණ්ඩලය සඳහා යුධ හමුදාව වෙතින් එක් රියැදුරෙකු, ආරක‍්ෂක භටයින් දෙදෙනෙකු, විශ්‍රාමික හමුදා සෙබලියක්, යුද හමුදාවේ සාජන් මේජර් වරියක් සහ ගුවන් හමුදාවේ සෙබලෙක් ලෙස 6 දෙනෙකු යොදවාගෙන තිබීම අනවශ්‍ය වැයක් දැරීමේ සහ රාජ්‍ය දේපළ අයථා ලෙස පරිහරණය කිරීමේ තත්වයකි.

04.     රණවිරු සේවා අධිකාරිය සිවිල් ආයතනයකි.  එය සිවිල් ආයතනයක් ලෙස ආරම්භ කළේ එහි සේවාවන් සැපයීමේදී සේවා දායකයාට පැන නගින ගැටළු අවම කරමින් ඔවුන්ගේ ගරුත්වය ආරක‍්ෂා කරමින් සේවය ලබාදීමට අවශ්‍ය නිසාය.  එහිදී හමුදා සේවා සමග සම්බන්ධවීමට සම්බන්ධීකරන නිළධාරියෙකු අධිකාරිය වෙත බඳවා ගන්නා ලදී.  නමුත් වර්තමානයේ යුධ හමුදාව වෙතින් වැඩි පිරිසක් අධිකාරිය වෙත අනුයුක්ත කරගෙන ඔවුන්වෙත ව්‍යාපෘති භාරදීමෙන් මෙම ආයතනය පිහිටුවීමේ මුඛ්‍ය පරමාර්ථය ගිලිහී ගොස් ඇත.
  
05.    සභාපතිනිය වෙතින් ඉටුවිය යුත්තේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීම වන අතර කළමණාකරන මණ්ඩලය මගින් තීන්දු තීරණ ගතයුතුව ඇත.  එහෙත් සිදුවන්නේ තමාට අවශ්‍ය දේ අධ්‍යක‍්ෂක මණ්ඩලය ලවා කරගැනීමට තම සැමියාගේ නිළ තල අනියමින් භාවිතා කිරීමයි.

06.    අධ්‍යක‍්ෂ මණ්ඩලය නොමග යවමින් තම කාර්ය මණ්ඩලයේ කර්නල් වරයාට බඳවාගැනීමේ පටිපාටියේවත් නැති තනතුරකට වැඩි වැටුප් ලබාදී අධ්‍යක‍්ෂක මණ්ඩලය ලවා ඉතා අසාධාරණ ලෙස තබා බලයේ සිටින තුරු කර්නල් වරයාගේ සේවය ලබාදීමේ තීන්දුවක් ගෙන ඇත.  මෙය අප්‍රසන්න මෙන්ම වැරදි ක්‍රියාවකි.  ඊට අදාල කළමණාකරන වාර්තාව මේ සමග අමුණා ඇත. (ඇමුණුම 01)

07.     සභාපතිතුමිය දිවයිනෙන් බැහැරව සිටියදී වැඩබැලීමේ පදනම සකස්කර ගත යුතුව තිබුනද එසේ නොකර ආරක‍්ෂක අමාත්‍යංශයේ ලේකම්වරු නොමග යවා උප සභාපතිනිය සේවයේ යෙදී සිටියදී වැරදි තීරණ ගන්නා අධ්‍යක‍්ෂක මණ්ඩලයේ සිටින අතිරේක ලේකම් වෙත වැඩබැලීම සඳහා යටි කූටිටු වැඩ පිළිවෙලක් සකස්කර ඇත.  පනතට අනුව වැඩ බැලීම සඳහා පත් කළ යුතුව ඇත්තේ අතිගරු ජනාධිපති තුමා විසින් වූවද, ඒ හා සම්බන්ධ පත්වීම් ලිපිය ආරක‍්ෂක අමාත්‍යංශයෙන් ලබාදීම නීත්‍යානුකූලද යන්න අපට ගැටළුවකි.  (මින් පෙර  සභාපතිනිය දිවයිනෙන් බැහැර  සිටින සෑම අවස්ථාවකදීම වැඩ බැලීම සඳහා පත්කරනු ලැබුවේ අතිගරු ජනාධිපති තුමාගේ පත්වීමක් අනුව සිටිනා උප සභාපතිනිය යි). පත්වීම් ලිපියේ පිටපතක් මේ සමග ඉදිරිපත් කරමි.  (ඇමුණුම 02)

08.    නොබෝදා පැවති වැඩ සටහන් නිළධාරී තෝරා ගැනීමේ සම්මුඛ පරීක‍්ෂණයේදී  සභාපතිනිය විසින් අමාත්‍යාංශය ලවා සම්මුඛ පරීක‍්ෂණ මණ්ඩලයක් පත්කරගනිමින් ඒ කිසිදු සම්මුඛ පරීක‍්ෂණයකට සුදුසු දැනුමක් සහිත අය නොකැඳවූ අතර උපාධිධාරී පත්වීමක් වන එම තනතුර සඳහා පැමිණි අයැදුම්කරුවන්ගේ ලිපි ගොනු පරීක‍්ෂා කිරීම භාර දී තිබුනේ යුද හමුදාවේ සාජන් වරියකට ය.
  
09.    රණවිරු සේවා අධිකාරියේ උප සභාපතිනිය හිටපු පලාත් සභා මන්ත්‍රීවරියෙකි. (උපුලාංගනී මාලගමුව)   දැනට ඇය ශ්‍රී ලංකා නිදහස් පක‍්ෂ කාන්තා බල මණ්ඩලයේ ප්‍රබල සාමාජිකාවක් වන බැවින් සභාපතිනී අනෝමා ෆොන්සේකා මැතිණිය ඇයට එරෙහිව මෑතක සිට ක්‍රියාකරන්නීය. එහෙත් උපසභාපතිනියට ඇති පරිපාලන ක්ෂේත්‍රයේ සහ සංවිධාන දැනුම උපයෝගී කරගනිමින් රජය සමග සීඝ්‍ර ගමනක් යාවි යැයි ද ඊට එකඟ වීමට වර්තමාන සභාපතිනිය අකමැති නිසා ඇයගේ ක්‍රියාමාර්ග වලට බාධක යොදා ඇත. එහෙත් එය අපට ගැටළුවක් නොවේ. ගැටළුව මෙම විරෝධය ආයතනයේ වැඩසටහනට බාධා වීමයි.

10.      මෙම සීතල සහ ගින්දර යුද්ධ මැද රණවිරු සේවා අධිකාරිය තවදුරටත් අසරණ නොකර වර්තමාන කළමනාකරන මණ්ඩලය විසුරුවා හැර නව කළමණාකරන මණ්ඩලයක් පත්කළ යුතුව ඇත.

11.    රණවිරු සේවා අධිකාරියේ පනතද උල්ලංඝනය කරමින් යුධ හමුදාව යටතේ පැවති  “සෙනෙහස” නැමති ආයතනය රණවිරු සේවා අධිකාරිය වෙත පවරා ගැනීමට කටයුතු කර ඇත.  තවද ඇමෙරිකාවේ පැවැත්විමට නියමිත ICTEVI, WBU ඒකාබද්ධ සමුළුවට සහභාගි වන නිළධාරීන්ගේ වියදම් මුදල් ලබාගැනීම යනුවෙන්  ආවරණ අනුමැතියට යටත්ව රණවිරු සේවා අධිකාරිය වෙතින් (යුධ හමුදාව වෙතින් ලබාදෙනවා යැයි පොරොන්දුව මත සහ එම ආයතනය රණවිරු සේවා අධිකාරිය වෙත පවරා ගන්නවායැයි පවසමින්) රු. 1,620,600.00ක මුදලක් මූල්‍ය රෙගුලාසි උල්ලංගනය කරමින් කළමණාකරන මණ්ඩලයේ ආවරණ අනුමැතියට යටත්ව යැයි පවසා ලබාගෙන ඇත.  ඒ සම්බන්ධ කළමණාකරන පත්‍රිකාව සහ වාර්තාව මේ සමග ඉදිරිපත් කරමු. (ඇමුණුම 03)

12.    සභාපතිනියගේ අභිප්‍රාය තම සැමියාගේ අමාත්‍යංශයේද සේවය කරමින් රණවිරු සේවා අධිකාරියේද සභාපති ධූරය දැරීමටය.  මෙය රැකියා දෙකක් කිරීමේ වැරදි ක්‍රියාවකි.  ඒ වරද පවා ඇය නොදනී.  සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රයේද සභාපතිනිය ඇය වේ.

12.     කිසිදු ව්‍යාපෘති කටයුත්තක් පිළිබඳව දැණුමක් නැති රණවිරු සේවා අධිකාරියේ නිළධාරියකු වෙත, ලක්ෂ ගණන් අත්තිකාරම් මුදල් ලබාදී පසුව අත්සන් ලබාගැනීම මූල්‍ය නීති රීති උල්ලංඝනය කිරීමකි. මොහු මීට පෙර රණවිරු සේවා අධිකාරියේ රුපියල් කෝටි 13 ක වංචාවකටද සම්බන්ධ නිළධාරියෙකි. මේ පිළිබඳ වාර්තා ගිණුම් අංශය සතුව පවතී.    

13.    රටේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක්ම නියෝජනය වන පරිදි රණවිරු සංසද පිහිටුවා ඇති අතර එමගින් විශාල සේවයක් රණවිරු පවුල් වෙත සිදු කළ අතර එම සේවාවන් දැන් පසුබෑමකට ලක්වීම රජයද අප්‍රසාදයට ලක්වීමකි.   

14.    සභාපතිතුමිය වෙත නිළ වාහනයක් ලබාදී තිබියදී ඇය විසින් තම පෞද්ගලික වාහනයක් භාවිතා කරමින් ඒ සඳහා ඉන්ධන ආරක‍්ෂක අමාත්‍යාංශයෙන් ලබාගනී.  රුපියල් එක්කෝටි තිස්හතර ලක්ෂයක් වැය කරමින් මෑතකදී ලබාගත් තම නිළ වාහනය ද ඇය බාරයේ තිබෙන අතර ඒ සඳහා ඉන්ධන දීමනාව අධිකාරිය වෙතින් ලබාගනී. 

15.    මාස තුනකට නිවාඩු ලබාගනිමින් විදෙස්ගතව සිටින සභාපතිනිය තම රාජකාරියට අදාළ නිල වාහන ආයතනය වෙත බාරදීමක් සිදුකර නැත. ඒ  අනුව රාජ්‍ය දේපළ අයථා ලෙස භාවිතා කර තිබේ.
  
මෙවැනි වැරදි දේ සිදුකරමින් රණවිරු සේවා අධිකාරිය පාලනය කරන බැවින් මෙම තත්ත්වය හැකි ඉක්මනින් නිවැරදි කළ යුතුව ඇත.  මේ සඳහා ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කරන මෙන් ඉතා ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමු.  
 
මෙයට,
විශ්වාසී,

රණවිරු සේවා අධිකාරියේ යහපාලනප්‍රේමී කාර්ය මණ්ඩලය

පිටපත්     1. ජනාධිපති ලේකම්තුමා
        2. අධ්‍යක්ෂ, විශේෂ පොලිස් විමර්ශන ඒකකය
        3. සභාපති, අල්ලස් හා දුෂන කොමිෂන් සභාව
        4. විගණකාධිපතිතුමා, විගණකාධිපති දෙපාර්තමේන්තුව
        5. කර්තෘ තුමා, ලංකා ඊ නිව්ස්

 

 

ලංකා ඊ නිව්ස් පාඨකයන්ගේ වැඩි දැන ගැනීම සඳහා රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලය මෙසේය

අනෝමා ෆොන්සේකා මහත්මිය - සභාපතිනී
උපුලංගනී මාලගමුව මහත්මිය - උප සභාපතිනී
ඩබ්.ඒ. කුලසුරිය මහතා - අතිරේක ලේකම්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය
ඒ.එන්. හපුගල මහතා - අධ්‍යක්ෂ, කළමණාකරණ හා විඝණන දෙපාර්තමේන්තුව, මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය
මේජර් ජනරාල් එන්.ඒ.ජේ.සී. ඩයස් WWV,RWP,RSP,USP,ndc - මාණ්ඩලික ප්‍රධානි, ශ්‍රි ලංකා යුධ හමුදාව
රියර් අද්මිරාල් සිරිමෙවන් සරත්චන්ද්‍ර රණසිංහ WWV,RWP,USP,ndc,psc - මාණ්ඩලික ප්‍රධානි, ශ්‍රි ලංකා නාවික හමුදාව
නියෝජ්‍ය පොලිස්පති වි. ඉන්ද්‍රන් මහතා - නියෝජ්‍ය පොලිස්පති සුබසාධක, ශ්‍රි ලංකා පොලිසිය
ඩබ්.පී. නිමල් ප්‍රනාන්දු මහතා - පත්කල සාමාජික
ඊ. සිරිකමල් ෆිලීෂයන් ද සිල්වා මහතා - පත්කල සාමාජික
නීතිඥ ජී.පී. නිල්මිණි පෙරේරා මහත්මිය - පත්කල සාමාජික

1999 අංක 54 දරණ රණවිරු සේවා අධිකාරි පනතට අනුව එම අධිකාරියේ කාර්ය භාරය මෙසේය.

(අ) ක්‍රියාන්විතයේදි ආබාධිත බ‍ව‍ට පත්ව සිටින සන්නද්ධ හමුදාවල සහ පොලිස් හමුදාවේ සාමාජිකයන්ගේ පමු උවටැන සහ, ඔවුන් පුනරුත්ථාපනය කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම.
(ආ) (i) ක්‍රියාන්විතයේදී ආබාධිත බවට පත්ව සිටින සන්නද්ධ හමුදාවල හා පොලිස් හමුදාවේ සාමාජිකයනට සහ
 (ii) ක්‍රියන්විතයේදී මියගිය හෝ සොයා ගත නොහැකිව සිටින සන්නද්ධ හමුදා වල සහ පොලිස් හමුදාවේ සාමාජිකයන්ගෙන් යැපෙන්නන්ට නිවාස සැපයීම එහි ලා සහය වීම‍.
(ඇ) (i) ක්‍රියාන්විතයේදී ආබාධිත බවට පත්ව සිටින සන්නද්ධ හමුදාවල පොලිස් හමුදාවේ සාමාජිකයන්ට සහ
(ii) ක්‍රියාන්විතයේදී මියගිය හෝ සොයා ගත නොහැකිව සිටින සන්නද්ධ හමුදාවල සහ පොලිස් හමුදාවේ සාමාජිකයන්ගෙන් යැපෙන්නන්ට, වෛද්‍ය පහසුකම් සැපයීම සහ එහි ලා සහාය වීම‍‍.
(ඈ) (i) ක්‍රියන්විතයේදී ආබාධිත බවට පත්ව සිටින සන්නද්ධ හමුදාවල සහ පොලිස් හමුදාවේ සාමාජිකයන්ට සහ
 (ii) ක්‍රියන්විතයේදී මියගිය හෝ සොයා ගත නොහැකිව සිටින සන්නද්ධ හමුදාවල සහ පොලිස් හමුදාවේ සාමාජිකයන්ගෙන් යැපෙන්නන්ට, ශිෂ්‍යත්ව සහ වෙනත් ආකාරයේ උපකාර ලබා දීමෙන් ඔවුන්ට අධ්‍යාපනයට ප්‍රවේශය ලබා ගැනීමට අවස්ථාව සලසා දීම.
(ඉ) (i) ක්‍රියාන්විතයේදී ආබාධිත බ‍වට පත්ව සිටින සන්නද්ධ හමුදාවල සහ
 (ii) ක්‍රියාන්විතයේදී මියගිය හෝ සොයා ගත නොහැකිව සිටින සන්නද්ධ හමුදාවල සහ පොලිස් හමුදාවේ හමුදාව් සාමාජිකයන්ගෙන් යැපෙන්නන්ට ඵලදායී සේවා නියුක්තියක් සුරක්ෂිත කිරීමෙහි ලා සහාය වීම‍.
(ඊ) ක්‍රියාන්විතයේදී ආබාධිත බවට පත්ව සිටින සන්නද්ධ හමුදාවල සහ පොලිස් හමුදාවේ සාමාජිකයන්ට සේවා නියුක්තිය සැලසීමේ අරමුණ ඇතිව කාර්මික, කෘෂිකාර්මික හෝ වාණිජ ව්‍යවසායයන් පිහිටුවීම සහ
(උ) අධිකාරියේ කර්තව්‍ය සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය හෝ හිතකර සියලු ක්‍රියා හා දේ කිරීම‍.

---------------------------
by     (2016-08-06 21:38:08)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

Anay may ratak watina maniyak rata bera gathu uthamayakugay biridak ai mahama boru chodana karannay yahapalanayta sambanda una may wagay uthamawiyan ohama balu wada karannay na maka amulika boruwak yahapalanay ashcharya winasa karanna karana
-- by magni on 2016-08-11

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links