(ලංකා ඊ නිව්ස් -2016.ජුනි.26, ප.ව.11.30) පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද තවත් අවස්ථාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ද FCID යට කට උත්තර දීමට පැමිණීමෙන් පසු මාධ්‍ය අමතන, හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ ද දිගින් දිගටම කියා සිටින්නේ ගල්කිස්සේ තම පරම්පරාගත ඉඩමකට අදාලව සිදු කෙරී ඇති ගණුදෙනු හුදෙක්ම පෞද්ගලික ගණුදෙනු බවත් එකී ගණුදෙනු පදනම් කොට ගෙන ආණ්ඩුව තමන්ගේ පවුලේ සාමාජිකයන්ට දේශපාලනික පලිගැනීම් කිරීමේ අදහසින් FCID ය හරහා නඩුවකට පැටලවීමේ අරමුණකින් කටයුතු කරන බවයි.
නමුත් සත්‍ය කතාව වන්නේ එකී ක්‍රියාදාමය දෙස නීතීයේ ඇසින් බැලීමේදී සිදුවී ඇත්තේ ඒවා පවතින නීතියට පටහැනිව සිදු කෙරුණු ක්‍රියාදාමයන් බවද එලෙසටම අදාල ඉඩම් හිමිකරුවන් බලහත්කාරයෙන් පොළඹවා ගනිමින් සිදුකරන ලද ගණුදෙනුවක් බවත් ඒ සඳහා බලය හා නීතිය අයුතු ලෙස යොදාගනිමින් තහවුරු කළ නොහැකි අති විශාල මුදලක් භාවිත කරමින් තම මිත්තනියක වූ ඩේසි ෆීරියස් වික්‍රමසිංහ නැමති වයෝවෘද කාන්තාව ද දඩමීමා කරගනිමින් වංචනික ගණුදෙනුවක් සිදුකරන ලද බවට පැහැදිලි ලිඛිත සාක්ෂි ඉදිරිපත් වී තිබේ.
ශිරන්ති රාජපක්ෂ මහත්මියට අයත් මෙම පාරම්පරික දේපල ගල්කිස්සේ මිහිඳු මාවතෙහි පිහිටා තිබේ. එකී දේපලට ශිරන්ති රාජපක්ෂ මහත්මිය සතුව තිබූ අයිතිය වර්ෂ 2015.10.12 වන දින වීරමන් නැමති ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකු සහතික කරන ලද 3221 දරණ ඔප්පුව මගින් යෝෂිත රාජපක්ෂට පවරා දී තිබේ. නමුත් රාජපක්ෂලාගේ කීර්ති නාමය තහවුරු කිරීමට තරම් නොසරිලන ඉඩම් ප්‍රමාණයකින් යුතු වූ මෙම ඉඩම, විශාල කරගැනීම සඳහා යෝෂිත රාජපක්ෂ මහතාට සහ එම පවුලේ අනෙක් අයට අවශ්‍යව පැවති බවත් ඒ අනුව මෙම කුප්‍රකට අනීතික ක්‍රියාව තම බලය යොදා ගනිමින් සිදුකර ඇති බවත් ඒ සඳහා තම මවගේ මුල් ඉඩම අසල පිහිටි අසල්වාසීන්ගේ ඉඩම් හොඳින් හෝ නරකින් මුල් ඉඩමට බද්ධ කිරීම සඳහා තම බලය හා මුදල් යෝෂිත රාජපක්ෂ මහතා යොදා ඇති බවත් මෙකී ගණුදෙනුව හොඳින් විශ්ලේෂණය කරන කළ පෙනී යයි.
ඒ සඳහා මුල් ඉඩම අවට පිහිටි පුද්ගලික ඉඩම් අයිතිකරුවන්ට හිමිව තිබූ පර්චස් 12.4 ක්, පර්චස් 10 ක්, පර්චස් 02.6 ක් සහ දෙහිවල ගල්කිස්ක සමූපාකාරයට හිමි පර්චස් 05 ක ඉඩම් ප්‍රමාණයක් ද මෙම අනීතික පවරා ගැනීමේ ක්‍රියාවලියට යටත් කොට තමන් වෙත ඈඳා ගැනීමට කටයුතු කර ඇති බවට පෙනී යයි.
ඉහත සඳහන් පර්චස් 27.1 ක් වූ ඉඩම් සඳහා වර්ෂ 1995 පහත සඳහන් පාර්ශවකරුවන් අතර ගල්කිස්ස දිසා අධිකරණයේදී බෙදුම් නඩුවක් පැවති බවට වාර්තා වේ. එකී බෙදුම් නඩුවේ අංකය වන්නේ 147/95/පී යන නඩුවයි. එම ඉඩම් නඩුවේ පාර්ශවකරුවන් වූයේ
01) ස්ටීවන් ප්‍රනාන්දු
02) අයිරින් ද සිල්වා
03) සිරිල් ප්‍රනාන්දු
04) හේමලතා රණවීර
05) මේබල් සුරවීර
06) පැට්ට්‍රික් ප්‍රනාන්දු
07) ඇසලින් ප්‍රනාන්දු
08) ඇඩ්මින් ප්‍රනාන්දු
09) වයලට් ප්‍රනාන්දු යන අයයි.
මෙකී අය අතර ඇතැම් අය අදාල ඉඩම්වලට හිමිකම් ඔප්පු පවතින පුද්ගලයන් වූ අතර ඇතැම් අය එම ඉඩම්වල හුදු භුක්තිකරුවන් පමණක් වූ බව වාර්තා වේ.
දැනට රටේ බලපවත්නා බෙදුම් නීතිය අනුව යම් ඉඩමක් බෙදීම සඳහා ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ ‘ලිස්පෙන්ඩනය‘ නැමති ලේඛනයක් ලියාපදිංචි කරන අතර ඉන්පසුව එකී බෙදීමට යෝජිත ඉඩමේ අයිතිවාසිකම් නඩුවේ අවසාන තීන්දුවෙන් විනා වෙනත් ආකාරයකින් තුන්වන පාර්ශවයකට පැවරිය නොහැකි බව නීතියෙන් පිළිගත් කරුණකි. යම් හෙයකින් එවැනි තත්ත්වයක් ඇති වුවහොත් එකී සියලු පැවරීම් නීත්‍යානුකූල නොවන පැවරීම් ලෙස සැලකීමට ද අධිකරණය විසින් කටයුතු කරයි.
ඉහත සඳහන් බෙදුම් නඩුවේ නම් සඳහන් සියලු පාර්ශවකරුවන් සමග පළමුව ඩේසි ෆීරියස් වික්‍රමසිංහ පහත සඳහන් විකිණීමට එකඟ වීමේ ගිවිසුමට එළඹ තිබේ. එකී විකිණීමට එකඟ ගිවිසුම් ඉහත සඳහන් වීරමන් ප්‍රසිද්ධ නොතාරිස්වරයා විසින් සහතික කොට ඇති අතර එකී විකිණීමට එකඟවූ ගිවිසුම් වන්නේ, අංක 3084, අංක 3085,අංක 3086, අංක 3087, අංක 3088, අංක 3089,අංක 3090, අංක 3091 හා අංක 3092 වේ.
ඉන් අනතුරුව මුලින් සඳහන් කරන ලද පර්චස් 12.4, පර්චස් 10 සහ පර්චස් 2.6 ක් වන ඉඩම් සඳහා ඉහත සඳහන් වීරමන් ප්‍රසිද්ධ නොතාරිස්වරයා විසින් වර්ෂ 2013.05.03 දින සහතික කරන ලද අංක 3093 බෙදුම් ඔප්පුවක් සකස් කොට තිබේ. මෙයද ශ්‍රී ලංකාවේ මෙලෙස ප්‍රථමවරට සිදුවූ සුවිශේෂී නෛතික ක්‍රියාවක් වන අතර එකී බෙදුම් ඔප්පුව යටතේ ඉහත සඳහන් 147/95/පී නඩුවේ පාර්ශවකරුවන් අතර බෙදුම් නඩුවෙන් අවසානයේදී හිමිවන දේපල අයිතිවාසිකම් පිළිබඳ එකඟතාවක් මෙමගින් පාර්ශවකරුවන් අතර ඇති කොට ගෙන තිබේ.
ඉන් අනතුරුව ඉහත කී 147/95/පී නඩුවේ අතුරු තීන්දුවට එරෙහිව එකී නඩුවේ පාර්ශවකරුවන් කොටසක් විසින් අභියාචනාධිකරණය ඉදිරියේ අභියාචනා නඩුවක් සීඒ/938/97එෆ් යටතේ පවරා එම නඩුවේදී ඉහත කී බෙදුම් ඔප්පුව මත ඇති කරගත් එකඟතා මත අධිකරණමය සමතයක් පාර්ශවකරුවන් අතර ඇතිකරගෙන තිබුණි.
ඉන් අනතුරුව ඉහත නඩුවේ පාර්ශවයන් හට ඉහත කී ඩේසි ෆීරියස් වික්‍රමසිංහ විසින් පහත අගයක් ගන්නා වූ මුදල් ප්‍රතිශ්ඨාවක් ලෙස ගෙවා ඔප්පු හතරක් මගින් ඉහත කී පාර්ශවකරුවන්ගේ ඉඩම් අයිතිය ඩේසි ෆීරියස් වික්‍රමසිංහ වෙත පවරාගෙන තිබුණි. එකී විකුණුම් ඔප්පු වන්නේ ඉහත කී වීරමන් ප්‍රසිද්ධ නොතාරිස්වරයා විසින් සහතික කරන ලද අංක 3107, අංක 3108 හා අංක 3109 දරණ ඔප්පු හා එම නොතාරිස්වරයාම වර්ෂ 2013.08.29 සහතික කරන ලද 3158 දරණ ඔප්පුව වේ. ඒ අනුව පහත සඳහන් ලෙස රුපියල් ලක්ෂ 495.2 ක මුදලක් ඉහත කී පාර්ශවකරුවන් හට ඩේසි ෆීරියස් වික්‍රමසිංහ විසින් ගෙවා ඇත.
01) ස්ටීවන් ප්‍රනාන්දු - ලක්ෂ 75
02) අයිරින් ද සිල්වා - ලක්ෂ 35.4
03) සිරිල් ප්‍රනාන්දු - ලක්ෂ 70
04) හේමලතා රණවීර - ලක්ෂ 60
05) මේබල් සුරවීර - ලක්ෂ 33.4
06) පැට්ට්‍රික් ප්‍රනාන්දු - ලක්ෂ 70
07) ඇසලින් ප්‍රනාන්දු - ලක්ෂ 25
08) ඇඩ්මින් ප්‍රනාන්දු - ලක්ෂ 15
09) වයලට් ප්‍රනාන්දු - ලක්ෂ 33.4
එකී ගණුදෙනුවෙන් අනතුරුව ඉහත කී පාර්ශවකරුවන් අතරින් හිමිකම් අයිතිවාසිකම් නොමැති නමුත් භුක්තියේ සිටි ඇතැම් පාර්ශවකරුවන් ලවා අයිතිය අත්හැරීමේ ඔප්පුවක් ඉහත කී වීරමන් නොතාරිස්වරයා ලවාම වර්ෂ 2013.03.06 වන දින සහතික කොට අංක 3106 යටතේ ලියාපදිංචි කොට තිබේ.
ඉහත සඳහන් වන්නේ රාජපක්ෂලා රටේ ඉඩම් නීතියට තම බලය යොදවා නීතියේ කාර්ය පරිපාටිය ද යුක්තිය පසිඳලීමේ ආයතන ද දේපල අයිතිවාසිකම් දරණ පුද්ගලයන්ගේ දේපල දැරීමට ඇති අයිතියට ද බලපෑම් සිදුකළ ආකාරයයි. ඔවුන් ඇතැම් අවස්ථාවක දී තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථයන්ට එරෙහි වන පුද්ගලයන් මරා දැමීමට පවා පෙළඹී තිබේ. තාජුඩීන් නඩුව තුළින් පෙන්නුම් කරන්නේ ඔවුන් රටේ අපරාධ නීතිය සහ පොලීසිය, අධිකරණ වෛද්‍ය ක්ෂේත්‍රය තම අණසකට ගනිමින් සිය අභිමතාර්ථයන් ඉෂ්ඨ කරගත් ආකාරයයි.
CSN නඩුව තුළින් පෙන්වන්නේ තමන් විසින් අනීතිකව උපයාගන්නා කලු සල්ලි (ශැන්ගරිල්ලා හෝටලයෙන් සහ වරායෙන් උපයාගත් කලු සල්ලි) සුදු කරගැනීම සඳහා සමාගම් නීතිය සහ රූපවාහිනී විකාශන නීතිය අයථා පරිහරණයට යටත් කර ගනිමින් සිදුකරන ලද අයථා ක්‍රියාවයි.
ඉහතින් අප දක්වා සිටින්නේ ලංකාවේ මෙතෙක් කිසිවෙකු මෙතෙක් නොසිතූ ඉඩම් සම්බන්ධ නීතිය තම සිතැඟි පරිදි අයථා පරිහරණයට ලක් කිරීමට අදාල විශ්ලේෂණයකි. එසේම ඩේසිගේ මෙම වත්කම් ගණුදෙනුව තුළින් මතුවන අනෙක් කරුණවන්නේ යෝෂිත රාජපක්ෂ ගේ 80 වියැති මිත්තණියට ඉහත සඳහන් ආකාරයේ රුපියල් ලක්ෂ 495.2 වියදම් කිරීම සඳහා වත්කම් ලැබුණේ කෙසේද යන්නයි. ඇය දැනට වාර්තා වී ඇති කරුණු අනුව ඇය කිසි දිනෙක ආදායම් බදු ගෙවා ඇති පුද්ගලයෙකු නොවන අතර තමන්ට කියා කිසිදු හරිහමන් දේපලක් නොතිබුණු කාන්තාවක බවද වාර්තා වේ.
-විශේෂ ලියුම්කරුවෙකු විසිනි-
---------------------------
by (2016-06-26 18:47:15)
Leave a Reply
aney api dannay neha.owa unp karayo gothapu boru katha.daisy achchi gen ahala balanna.
-- by suri on 2016-06-27
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි