තවමත් ජනාධිපති ලෙස හැසිරීම: මහජන මුදල් අවභාවිතය: වැරදි පාස්පෝට් : හමුදා ආරක්ෂාව තවමත් තිබීම
(ලංකා ඊ නිව්ස් -2016.මැයි.14, ප.ව.5.10) කුරුණෑගල දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් පරාජයට පත් වී වසරකටත් අධික කාලයක් ගෙවුනද තමන් තවමත් ජනාධිපති යැයි සිතා කටයුතු කරමින් මහජන මුදල් අවභාවිතා කිරීමට තමා තුල ඇති ගිජු කමත් වැරදි පාස්පෝට් සහිත පුද්ගලයන් ලඟ තබාගෙන සිටින බවත් හමුදා ආරක්ෂාව ඉවත් කර ඇතැයි යන් මුසාවක් බවත් සිය උගන්ඩා සංචාරයෙන් ජනතාවට හෙලිදරව් කර තිබේ.
මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලිපි ශීර්ෂය යටතේ ඔහුගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කරන උදිත ලොකුබණ්ඩාර මහතා විසින් විදේශ ලේකම් වරයා වෙත යවන ලද ලිපි සහිතව ලංකා ඊ නිව්ස් විසින් මෙහි දක්වා ඇති සාක්කි වලින් මේ බව තහවුරු වේ. ඒවා එකින් එක මෙසේය.
මෙහි දැක්වෙන මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලිපි ශීර්ෂයේ දැක්වෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ලෙසය. වෙනත් හිටපු ජනාධිපතිවරුන් එසේ හැඳින්වුවද මහින්ද රාජපක්ෂ මහතාට එසේ හඳුන්වාගත නොහැකිය. ඒ ඔහු ජනාධිපති ධූර කාලය නිමාවී විශ්‍රාම නොගත් අයෙක් සේම ජනාධිපති ධූරයෙන් පරාජය වූ අයෙක් බැවිනි. එපමණක් නොව වර්තමානයේ ඔහු ඊට අඩු තනතුරක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයකට ජනතාව විසින් පත්කරන ලද අයෙක් වන බැවිනි. එබැවින් ඔහුගේ පුද්ගලික ලිපි ශීර්ෂයේ සඳහන් විය යුත්තේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ලෙසය.
ලොව කිසිදු පුද්ගලයෙකු තමන් කලින් දැරූ තනතුරු වලින් වර්තමානයේ හඳුන්වන්නේ නැත. ඒ එසේ විය හැකි නම් චමල් රාජපක්ෂ මහතා තවමත් කතානායක ලෙස හැඳින්විය යුතුය. ප්‍රසන්න රණතුංග මහතා තවමත් බස්නාහිර පළාත් මහ ඇමැති ලෙස හැඳින්විය යුතුය. නමුත් එසේ හඳුන්වන්නේ නැත. ඔවුන් අද හඳුන්වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ලෙසය. එය මහින්ද රාජපක්ෂ මහතාට ද සාධාරණ විය යුතුය. ඒ අනුව මෙහි දැක්වෙන ලිපි වල ලිපි ශීර්ෂයන් සපුරා වැරදිය.
මෙහි දැක්වෙන තුන්වන ලිපියේ සහ සිව් වන ලිපියේ මහින්ද රාජපක්ෂව His Excellency ලෙස හඳුන්වා තිබේ. His Excellency ලෙස ප්රජාතන්ත්රවාදී රටවල හැඳින්විය හැක්කේ රාජ්‍ය නායකයාව පමණි. ආණ්ඩුවේ නායකයා හඳුන්වන්නේ Excellency යන වචනයෙනි. ලංකාවේ වත්මන් රාජ්‍ය නායකයා මෙන්ම ආණ්ඩුවේ නායකයා ද වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාය. ඔහුට හැර වෙනත් අයෙකුට His Excellency යනුවෙන් ආමන්ත්‍රණය කිරීම සපුරා වැරදිය. නමුත් මහින්ද රාජපක්ෂ මහතා තමාව එසේ හඳුන්වාගෙන තිබේ. මෙය ඔහු තවමත් ජනාධිපති ධූරයේ සිටින්නේ යයි සිතාගෙන කටයුතු කිරීමකි. මෙය සමාව දිය නොහැකි බරපතල වරදකි.
මහින්ද රාජපක්ෂ උගන්ඩාවේ ඒකාධිපති මුසවේනිගේ පදවි ප්‍රාප්තිය සඳහා ආරාධනා ලැබීම සහ ඔහු එහි යෑම සම්පූර්ණයෙන්ම ඔහුගේ පුද්ගලික ක්‍රියාවකි. උගන්ඩාව ආරාධනා කර ඇත්තේ පුද්ගලිකව ඔහුට මිස එය ලංකාවේ විදේශ අමාත්‍යාංශය හරහා යවන ලද ආරාධනාවක් නොවේ. ඒ බව මෙහි දැක්වෙන සිව් වන ලිපියෙන් තහවුරු වේ.
එසේ වී නමුත් මහින්ද රාජපක්ෂ මේ සඳහා සියළු වියදම් ලංකාවේ විදේශ අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබේ. ඔහු සහ ඔහුගේ කණ්ඩායමට ගුවන් ගමන් ටිකට් පත්, උගන්ඩාවේ ඉන්නා කාලය තුල හෝටල් ගාස්තු, ආහාර පාන සඳහා ගාස්තු ආදී සියල්ල ලංකාවේ විදේශ අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත. ඒ බවද මෙහි දැක්වෙන ලිපි වලින් තහවුරු වේ. විදේශ අමාත්‍යාංශයේ තිබෙන්නේ මහජන මුදල් ය. ඒ අනුව ඔහු තමන්ගේ පුද්ගලික ගමනක් යෑමට මහජන මුදල් ඉල්ලා සිටීම නින්දා සහගතය.
හිටපු ජනාධිපතිවරුන් වෙනත් කිසිවෙක් මේ දක්වා තමන්ගේ පුද්ගලික ගමන් බිමන් සඳහා මෙලෙස මහජන මුදල් ඉල්ලා නොතිබීම විශේෂත්වයකි. හිටපු ජනාධිපතිවරයෙකු ලෙස කරන ලද ඉල්ලීමක් අවශ්‍ය නම් ඉටු කිරීම හෝ නොකිරීම විදේශ අමාත්‍යාංශය සතු කාරියකි.
එබැවින් විදේශ අමාත්‍යාංශ මහින්ද රාජපක්ෂට දැනුම් දී ඇත්තේ සියළු ඉල්ලීම් අතරින් ඔහුගේ ගුවන් ටිකට් පත සඳහා යන වියදම පමණක් දැරීමට විදේශ අමාත්‍යාංශයට හැකියාවක් ඇති බවයි. ඒ බව අනුමත කරමින් ලිපියක් මහින්ද රාජපක්ෂ මහතාට යැවූ විට ඔහු කර ඇත්තේ වියදම් අධිකම ගුවන් ගමන් ටිකට් පතක් වෙන් කරගෙන එහි මුදල ඉල්ලා සිටීමයි. ගුවන් ගමන සාමාන්‍ය පංතියේ නොහැකිනම් අඩුම ගණනේ ව්‍යාපාරික පන්තියේ යෑමට ඉල්ලනවා වෙනුවට ඔහු පළමු පන්තියේ එනම් ව්‍යාපාරික පන්තියටත් වඩා මිල අධික ටිකට් පතක් වෙන්කරවා ගෙන ඒ සඳහා වූ වියදම රුපියල් හාර ලක්ෂ විසි පන්දහසක මුදලක් විදේශ අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත. (එම ගුවන් ටිකට් පත ද මෙහි දැක්වේ) එය ද වෙන් කර ගෙන ඇත්තේ තමන්ගේම උගන්ඩා කණ්ඩායමේ සිටින ලොහාන් රත්වත්තේට අයත් ‘වර්ල්ඩ් එයාර් ප්‍රයිවේට් ලිමිටඩ්‘ නමැති ආයතනයෙනි. එනම් මෙම අධික මහජන මුදලේ ලාභයද තමන්ගේ පිලේ අයෙකුට ලැබෙන පරිදි ඔහු කටයුතු කර තිබේ.
රාජපක්ෂවාදීහු මහත් ඝෝෂාවක් නගමින් පවසන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ හමුදා ආරක්ෂාව ඉවත් කර ඇතැයි යනුවෙනි. නමුත් මෙහි තුන්වන ලිපියෙන් එය බොරුවක් බව සනාථ වේ. එහි ගුවන් තොටුපොල දක්වා මහින්ද රාජපක්ෂ සමග යන වාහන පිලිබඳව දන්වා ඇති වාහන අංක අතර යුද හමුදාවේ වාහන අංකයක් සඳහන් ය. ARMY 50551 දරණ වාහනය යනු යුද හමුදාවේ වාහනයකි. ඒ එසේ නම් මහින්ද රාජපක්ෂගේ හමුදා ආරක්ෂාව ඉවත් කර ඇතැයි කරන ඝෝෂාව බොරුවකි.
මෙහි තුන්වන ලිපියේ සඳහන් වන පරිදි මහින්ද රාජපක්ෂ මහතාගේ උගන්ඩා සංචාරයට සහභාගී වූ පිරිස මෙසේය., ගාමිණී ලොකුගේ, ලොහාන් රත්වත්තේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා, උදිත ලොකුබණ්ඩාර, දෙහිවල ගල්කිස්ස නගරාධිපති ධනසිරි අමරතුංග, සම්පත් ඩබ්. මහේන්ද්‍ර, නෙවිල් වන්නිආරච්චි, සමන් උදය අමරසිංහ, හසිත වික්‍රමාරච්චි යන අය වේ.
මෙහි නගරාධිපති ධනසිරි අමරතුංගගේ පාස්පෝට් අංකය ලෙස D 3643366 දරණ අංකය සඳහන් වේ. ඩී අකුරින් ආරම්භ වන්නේ ‘ඩිප්ලෝමැටික් පාස්පෝට්‘ ය. එනම් තානාපති වරප්‍රසාද සහිත ගුවන් ගමන් බලපත්‍රයන්ය. නගරාධිපති වරයෙකුට තානාපති වරප්‍රසාද නොමැත. මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂනයක් පැවැත්විය යුතුය. මන්ද යත් ව්‍යාජ තොරතුරු සපයා ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම දඬුවම් ලැබිය යුතු වරදකි.
මෙහි තුන්වන ලිපියේ සඳහන් ලෙස නෙවිල් වන්නිආරච්චි සහ සම්පත් මහේන්ද්‍ර දෙදෙනා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික ආරක්ෂකයන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනාගේ පාස්පෝට් අංක ලෙස OL 5650274 සහ OL 5650273 ලෙස සඳහන් වේ. ඕ එල් ලෙස හැඳින්වෙන්නේ ‘ඔෆිෂියල්‘ හෙවත් රාජකාරී ගුවන් ගමන් බලපත්‍රයන් ය. මේ දෙදෙනාම දැන් රාජකාරී ගුවන් ගමන් බලපත්‍රයන් දැරීමට නුසුදුස්සන් වෙති. නෙවිල් වන්නිආරච්චිට එරෙහිව බරපතල මූල්‍ය අපරාධ චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධ නඩුවක් ද විභාග වේ. එබැවින් මොවුන්ගේ ගුවන් ගමන් බලපත්‍රද ව්‍යාජ තොරතුරු සපයා ලබා ගත් ගුවන් ගමන් බලපත්‍ර වනු ඇත. එය දඬුවම් ලැබිය යුතු වරදකි.
ඉහත කරුණු අනුව මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ උගන්ඩා සංචාරයෙන් දූෂණ තොගයක් ජනතාවට හෙලිදරව් කර තිබේ.
(මෙම ලිපියේ ඇති කරුණු සහ සාක්කි ලංකා ඊ නිව්ස් පූර්ව අවසරයකින් තොරව ඕනෑම අයෙකුට උපුටා ගත හැකිය)
---------------------------
by (2016-05-14 13:21:17)
Leave a Reply
මේ නීච බල්ලා බැඳ දමන්නට ශක්තිය ඇති කිසිවෙකු තවම අප අතර නොමැති වීම ගැන ජාතියක් වශයෙන් අප සියල්ලන්ම ලැජ්ජා විය යුතුය!
-- by Chan on 2016-05-14
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි