(ලංකා ඊ නිව්ස් -2016.ජන.11, ප.ව.1.30) පසුගියදා ලංකාවේ පැවැත්වූ ආර්ථික සමුළුවෙන් පසු ඉතිහාසයේ පළමු වරට ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමට ශ්‍රී ලංකාවට ආරාධනා ලැබී ඇතැයි අගමැතිවරයා හෙලි කෙළේය.
ඊයේ අරලියගහ මන්දිරයේ පැවැති යොවුන් පාර්ලිමේන්තුවේ සාමාජික සාමාජිකාවන් හමුවේ මේ බව හෙළි කළ අගමැතිවරයා මෙසේ පැවසීය.
‘‘පසුගිය සතියේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ශ්‍රී ලංකා ආර්ථික සමුළුව පැවැත්වුණා. මේ සඳහා මහාචාර්ය ජෝසප් ස්ටිග්ලිට්ස්, මහාචාර්ය රිකාඩෝ හවුස්මාන්, ජෝර්ජ් සොරොස් වැනි ජාත්‍යන්තර ආර්ථික ක්ෂේත්රයේ දැවැන්තයන් සහ ව්‍යාපාරිකයන් සහභාගී වුණා.
ඔවුන්ගේ තක්සේරුව වුණේ 2016 වසරේ ලෝක ආර්ථිකය පසුගාමී තත්ත්වයකට පත්විය හැකි බවටයි. මෙම අවදානමට අප මුහුණ දිය යුතුව තියෙනවා. නමුත් ලංකාව ගැන ඔවුන්ගේ ලොකු විශ්වාසයක් තියෙනවා. ප්‍රධාන පක්ෂ දෙක එක්වී සම්මුතිවාදී ජාතික ආණ්ඩුවක් පිහිටුවීම නිසා මේ විශ්වාසය ඇති වී තිබෙන්නේ. 2016 වසරේදී ලංකාවේ ඇති වී තිබෙන දේශපාලන ස්ථාවර බව පිළිබඳව මුළු ලෝකයම විශ්වාසය පළ කරනවා. සම්මුතිවාදී ආණ්ඩුව මේ රටේ ප්‍රධාන ප්‍රශ්න සඳහා විසඳුම් ලබා දෙන බවට ඔවුන් බලාපොරොත්තු වෙනවා. මෙය සුබ ලකුණක්.
මේ මාසයේ අගදී යුරෝමනී ආයෝජන සමුළුව ලංකාවේ පැවැත්වෙනවා. වර්තමානයේදී ලෝක ආයෝජකයන් ලංකාව ගැන විශේෂ අවධානයක් යොමු කරනවා.
ඉතිහාසයේ මුල් වතාවට ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා අපේ රටට ආරාධනා ලැබී තියෙනවා. ඒ සඳහා මමත්, රවි කරුණානායක සහ මලික් සමරවික්‍රම යන ඇමතිතුමන්ලාත් සහභාගී වෙනවා.
ජාතික ආර්ථික ප්‍රතිපත්තිය අප පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අයවැය යෝජනා සහ ඊට අදාළ සංශෝධන අපි සකස් කර තිබෙනවා. සංශෝධන ගණනාවකට අප එකඟවී තිබෙනවා. ශ්‍රී ලංකාවේ පැවැති ආර්ථික සමුළුවේ සහ ඉදිරියේදී පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවේදී සාකච්ඡා වෙන කරුණුත් අප සලකා බලනවා.
අපේ වැඩසටහන් සමග කෙටුම්පත් කරපු මූලික වාර්තාවක් සකස් කරනවා. අපේ ඇමැතිවරුන් හා නිලධාරීන් කණ්ඩායමක් විශේෂයෙන්ම හාවඩ් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සංවර්ධන කේන්ද්‍රයට සහභාගීවී, එය සාකච්ඡා කර ඒ අයගෙන් අදහස් අරගෙන ඒ සැලැස්ම රටට ඉදිරිපත් කරනවා.
මේ සියල්ල පදනම් කර ගනිමින් තුන් අවුරුද්දක් තුළ ඔබට රැකියා අදායම් මාර්ග ලැබීමට හා ඔබේ අත මිට සරු වීමට පදනම සැකසෙන ආර්ථික සැලැස්ම ලබන පෙබරවාරි මාසයේදී ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.“
---------------------------
by (2016-01-11 08:07:09)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි