~

අන්ත දක්ෂිණාංශිකයන්ගේ වෛරය සහ පොදු ජනතාවගේ අසීමිත ආදරය දිනාගත් ආජන්ටිනාවේ “බවුන්සර්”

-ආනුභාවනන්ද ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.අප්‍රේල්.24, ප.ව.10.10)  "අද ගෝලීය නායකත්වයේ  ප්‍රධාන වෙනස්කම් සිදුවී තිබේ. නපුර දෙවියන් වහන්සේගේ හස්තයෙන් පරාජය වෙමින් පවතී" (“Today there were major shifts in global leaderships. Evil is being defeated by the hand of God"). මේ වර්තමාන ඇමරිකානු පාලනය ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ස්වර්ගස්ථවීමේ පුවත ප්‍රීතියෙන් සැමරු ආකාරයයි. ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අභාවය පිළිබඳ පුවත පලවී විනාඩි කිහිපයක් ඇතුළත මේ සැමරුම් පණිවුඩය සිය X ගිණුමේ සටහන් කළේ ඇමරිකානු මස්ක්-ට්‍රම්ප් පාලනයේ ප්‍රධාන චරිතයක් වන මාර්ජෝරි ටේලර් ග්‍රීන් විසිනි. ඇය ට්‍රම්ප්ගේ MAGA ගව පට්ටියේ නායිකාවක් මෙන්ම ඇමරිකානු කොංග්‍රසයේ ප්‍රධාන රිපබ්ලිකන් නියෝජිතවරියකි. ඇගේ ප්‍රීතිමත් සැමරුම මස්ක්-ට්‍රම්ප් පාලනය හෝ රිපබ්ලිකන් පක්ෂ ප්‍රතික්ෂේප නොකළ අතර ඔවුහු එය  නිහඬව අනුමත කළහ.

ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේට වෛර කළ නව නාසිවාදීන්….

මේ පණිවිඩය හරහා මතු වන්නේ ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේට මෙතරම් වෛර කරන පිරිසක් ලොව පුරා සිටීද යන්නය. මෙය  ආගමික වෛරයක් ද? එය නිර්මාණයවීමේ  පදනම කුමක් ද? පළමුව සඳහන් කළ යුත්තේ මෙය ආගමික වෛරයක් නොවන බවයි. ඉහත සටහන තැබූ මාර්ජෝරි ටේලර් ග්‍රීන් යනු ක්‍රිස්තියානි ඉවැන්ජලිකල් ආගම දැඩිව අදහන තැනැත්තියකි. දෙවනුව ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේ අන්‍යාගමික නායකයන් සහ අනුගාමිකයන් සමඟ ඉතා සමීපව කටයුතු කළ චරිතයකි. ඔහුට අන්‍යාගමිකයෝ ඉහළින් ගරු කළහ. ආදරය කළහ.  මේ විරෝධය සමාජ, දේශපාලන සහ ආර්ථික ප්‍රතිපත්ති මත නිර්මාණය වූ වෛරයකි. අන්ත දක්ෂිණාංශික සුදු අන්තවාදී, වර්ගවාදී, සංක්‍රමණික විරෝධී නව නාසි ෆැසිස්ට් දේශපාලන බලවේග ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේට මාරාන්තික විරෝධයක් දැක් වූහ. ඔවුහු ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අසීමිත වෛර කළහ. මාර්ජෝරි ටේලර් ග්‍රීන්ගෙන් පිළිඹිබු වූයේ එම වෛරයයි.

විද්‍යාව වාමාංශික කුමන්ත්‍රණයක්…

ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ පරිසර හිතකාමී ප්‍රතිපත්ති අන්ත දක්ෂිණාංශික නව නාසි දේශපාලන බලවේගයන්ගේ දැඩි විරෝධයට හේතු විය. ට්‍රම්ප්ගේ MAGA ඇතුළු ලොව පුරා අන්ත දක්ෂිණාංශික නව නාසි දේශපාලන බලවේග, විද්‍යාව මෙන්ම විද්‍යාත්මක දැනුම ප්‍රතික්ෂේප කරති. ඔවුන්ට අනුව විද්‍යාව යනු විශාල බොරුවක් සහ ප්‍රෝඩාවකි. එය වාමාංශික කුමන්ත්‍රණයකි.

1. දේශගුණික අර්බුදය යනු ඇමරිකානු නිෂ්පාදනය විනාශ කිරීම සඳහා චීන ජාතිකයන් විසින් නිර්මාණය කරන ලද ප්‍රෝඩාවකි.
2. ඔවුන්ට අනුව ගල් අඟුරු යනු ඉතා පිරිසිදු බලශක්ති ප්‍රභවයකි
3. සුළං ටර්බයින පිළිකා ඇති කරන බව ඔවුහු පවසති.
4. මුහුදු මට්ටම ඉහළ යාම ධනාත්මක වර්ධනයක් බව ඔවුහු පෙන්වා දෙති. එමගින්  වෙරළබඩ ප්‍රදේශවල දේපළ මිල ඉහළ යන බව පවසති.  
5. ගෝලීය උණුසුම ඉහළයෑම මානව සංහතියේ පැවැත්ම තහවුරු කරයි.
6. විදුලි වාහන (Electrical Vehicles) පරිසරයට හානි කරයි
7. ඔවුන්ට අනුව කාබන් විමෝචනය පාලන නොකළ යුතු අතර පෘථිවි ගෝලයේ කාබන් ප්‍රතිශතය ඉහළයෑමේ අර්බූදය වාමාංශිකයන් විසින් නිර්මාණය කරන ලද්දකි.
8. පුනර්ජනීය බලශක්ති ප්‍රතික්ෂේප කරන ඔවුහු පොසිල ඉන්ධන නිස්සාරණයට විශාල ප්‍රමුඛත්වයක් ලබාදෙති. “Drill baby drill” යන්න ඔවුන්ගේ ප්‍රධාන සටන් පාඨයකි.

විද්‍යාව විශ්වාස කළ පාප් වහන්සේ…

එහෙත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දැඩිව විද්‍යාව විශ්වාස කළ අතර සිය පදවියට පත් වූ දින සිට පෘථිවිය අනාගත පරපුරට ආරක්ෂාකර තැබිය යුතු බවට අවධාරණය කළහ. ගෝලීය උණුසුම ඉහළයෑමට, සහ කාබන් විමෝචනය පාලන කිරීමට ලෝක ප්‍රජාව වහාම මැදිහත් විය යුතු බව උන් වහන්සේ නිරන්තරයෙන් කියා සිටි අතර ඒ සඳහා මැදිහත් වන ලෙසට ලෝක නායකයන්ට බල කළහ. විශේෂයෙන් ධනවත් රටවල් සීමාවකින් තොරව සිදු කරන කාබන් විමෝචනයට වන්දිගෙවීමට සිදුව ඇත්තේ ලොව දිළිඳු  රටවලට බව පෙන්වා දුන් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේ ඒ වෙනුවෙන් එම රටවලට මූල්‍ය වන්දි ලබා දිය යුතු බව පෙන්වා දුන්හ. උන්වහන්සේ ධරණීය සංවර්ධනය පිළිබඳ දැඩි විශ්වාසයක් තැබූහ. එමෙන්ම උන්වහන්සේ ඉතා සරළ ජීවිතයක් ගත කරමින් තම පරිසර හිතකාමී අදහස් වතිකානුව තුළ ප්‍රායෝගිකව ක්‍රියාවට නැඟුහ.

රසායනික විද්‍යා උපාධිධාරියා…

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ මේ පරිසර මැදිහත්වීම පිළිබඳව කෝපයටපත් අන්ත දක්ෂිණාංශික බලවේග පාප් වහන්සේ දන්නේ දේව ධර්මය පමණක් බවත් ඔහුට නූතන විද්‍යාවන් පිළිබඳ අවබෝධයක් නොමැති බවට චෝදනා නැගූ අතර ඇතැමෙක් ඔහුගේ විද්‍යා දැනුම පිළිබඳ අපහාස, උපහාස කළහ. කාලයක් පුරා මේ චෝදනා, උපහාස නොසළකා සිටි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, වරෙක තමා රසායන විද්‍යාඥයක් බව අමතක නොකරන ලෙසට තම විවේචකයන්ට කියා සිටියහ. කෝවිඩ් වසංගතය අවස්ථාවේ රෝගය මර්දනය කිරීමේ එන්නත ප්‍රසිද්ධියේ ලබාගත් උන්වහන්සේ, එම එන්නත ලබා ගැනීම ලෝකවාසී සියළු දෙනාගේ වගකීමක් බව පෙන්වා දුන්හ. උන්වහන්සේ විද්‍යාව විශ්වාස කළ අතර විද්‍යාව සහ ආගම අතර ගැටුමක් නොමැති බව ද අවධාරණය කළහ. රසායනික විද්‍යා උපාධිධාරීයෙකු වන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තම තරුණ කාලයේ වසර කිහිපයක් ආජන්ටිනාවේ කීර්තිමත් Hickethier-Bachmann රසායනාගාරයේ ආහාර අංශයේ සේවය කළේ ය. උන්වහන්සේ ගේ විද්‍යාත්මක දැනුම සමඟ මාර්ජෝරි ටේලර් ග්‍රීන් වැනි “ගොන් ගස්” බොහොමයකට අලගු තැබීමටවත් නොහැකිය.

සරණාගතයන්ට මානුෂිකව සහ සාධාරණව සළකන්න..

අන්ත දක්ෂිණාංශික නව නාසි දේශපාලන බලවේග ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේ සමඟ වියරු වැටීමට බලපෑ තවත් හේතුවක් වූයේ සරණාගත සහ සංක්‍රමණික ජනතාව පිළිබඳ ප්‍රතිපත්තියයි. උන්වහන්සේ සරණාගත සහ සංක්‍රමණික ප්‍රජාවගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනීසිටියහ. සරණාගතයන් සහ සංක්‍රමණිකයන් අපරාධකරුවන්, සොරුන්, ස්ත්‍රී දූෂකයන් වශයෙන් හංවඩු ගැසීමට උන්වහන්සේ විරුද්ධවූ අතර එම ප්‍රජාවට මානුෂිකව සහ සාධාරණව සළකන ලෙසට ලොව බලවත් රටවලට බල කළහ. සරණාගත ගැටළු ඉබේ පහළවූවක් නොවන බව කියා සිටි ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේ, ලෝකයේ බලවත් සහ ධනවත් රාජ්‍ය ක්‍රියාත්මක කරන සමාජ, දේශපාලන සහ ආර්ථික ප්‍රතිපත්තිහි ප්‍රතිඵලයක් වශයෙන් සරණාගතයන් නිර්මාණය වන බව පෙන්වා දුන්හ. බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපා රටවලට නීති විරෝධී ලෙස ඇතුළුවීමට උත්සාහ දැරීමේදී මුහුදු යාත්‍රා පෙරලී මිය ගිය අහිසංක සරණාගතයන් වෙනුවෙන් උන්වහන්සේ විශේෂ දේවමෙහෙයන් සිදු කළහ. ඇතැම් අවස්ථාවන්හි මුහුද මැද යාත්‍රා අනතුරට පත් ස්ථානවලට ගොස් මියගිය සරණාගතයන්ගේ ජීවිත  සැමරීය. ජනාධිපති ට්‍රම්ප් දකුණු ඇමරිකාවෙන් එන සරණාගතයන්ට සළකන නින්දිත ආකාරය පිළිබඳ ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ දැඩි විවේචනයට ලක්විය. ස්වර්ගස්ථවීමට සති කිහිපයකට පෙර නව මස්ක්-ට්‍රම්ප් පාලනය සරණාගතයන් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් රටින් පිටුවහල් කිරීමේ ක්‍රියා මාර්ග නින්දාසහගත බව උන්වහන්සේ අවධාරණය කළහ.

කම්කරුවෙකු වූ හොර්හේ මාරියෝ බර්ගෝලියෝ..

වසර 1936 දෙසැම්බර් 17 වන දින හොර්හේ මාරියෝ බර්ගෝලියෝ ආර්ජන්ටිනාවේ බුවනොස් අයර්ස්හිදී උපත ලැබීය. උන්වහන්සේ දරුවන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා වූහ. රිදී හැන්ද කටේ ගසාගෙන නොඉපදුනු උන්වහන්සේ දුප්පතුන්ගේ ජීවන මට්ටම ප්‍රායෝගිකව අත්විඳ තිබිණි. තරුණ බර්ගෝලියෝ කාලයක් රාත්‍රී සමාජ ශාලාවක bouncer කෙනෙකු ලෙස සහ සේවා ස්ථාන පිරිසිදු කරන්නෙකු ලෙස සේවය කළේ ය. ඉන් පසුව රසායන විද්‍යා උපාධියක් ලබා ගෙන රසායන විද්‍යාඥයෙකු ලෙස සේවයට එක්විය. දුගී ජනතාවට සේවය කිරීම අරමුණු කරගත් උන්වහන්සේ ජේසු නිකායට සම්බන්ධ වී පූජකත්වයට ඇතුළු වූහ. ඉන් පසුව උන්වහන්සේ ක්‍රමයෙන් පූජක ධූරාවලියේ ඉහළට ගිය අතර වසර 1998 දී දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ බුවනොස් අයර්ස්හි අගරදගුරු ලෙස හොර්හේ මාරියෝ බර්ගෝලියෝ පත් කරන ලදී. වසර 2001 දී උන්වහන්සේ කාදිනල්වරයෙකු ලෙස පත්වීම් ලැබීය. කතෝලික සභා ධූරාවලිය තුළ ඉහළට ගිය ද  උන්වහන්සේ සරළ ජීවිතයක් ගත කලහ. නිදසුනකට, ගුවන් ගමන්වලදී උන්වහන්සේ සාමාන්‍ය පංතියේ ගමන් කළහ. දුගී ජනතාව සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටියහ.  

“මම කැමති දුප්පත් පල්ලියකට සහ  දුප්පතුන්ට "

ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේ යනු ශතවර්ෂ ගණනාවක කතෝලික සභා ඉතිහාසයේ යුරෝපයෙන් පරිබාහිරව පත් වූ පළමු පාප් වහන්සේ ය. කතෝලික සභාවේ ඉහළම තනතුරට පත්වුවද උන්වහන්සේ ඉතා සරළ සහ ආදර්ශමත් ජීවිතයක් ගත කළහ. නිදසුනකට, උන්වහන්සේ පාප් වහන්සේට හිමි ලිමොසින් රථය වෙනුවට අනෙකුත් කාර්දිනල්වරුන් ගමන් කරන පොදු බස් රථයේ ගමන් කිරීමට කැමැත්තක් දැක් වූහ.  “මම කැමති දුප්පත් පල්ලියකට සහ  දුප්පතුන්ට " යැයි උන්වහන්සේ නව තතතුරට පත් වූ අවස්ථාවේ ප්‍රකාශ කළහ. එම ප්‍රකාශය සනාථ කරමින් ලොව පුරා දුප්පතුන්ට පිහිටවීම සඳහා කතෝලික සභාව මෙහෙයවීමට ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේ කටයුතු කළෝය. ලොව පුරා ආදායම් බෙදීයාමේ විෂමතාවය දැඩිව විවේචනය කළ උන්වහන්සේ ලෝක ආර්ථිකය “වර්ධනය” වුවද දුප්පත්කම තවදුරටත් ඉහළයාම හරහා සමස්ත ක්‍රමයේ නිරුවත හෙළිවන බව පෙන්වා දුන්හ.

සමරිසි ප්‍රජාවට කතෝලික සභාවේ දොරටු විවෘත කරයි…

වසර 2013 මාර්තු මාසයේ සිට දශකයකට අධික කාලයක් ශුද්ධෝත්තම පාප් වහන්සේ වශයෙන් කටයුතු කළ උන්වහන්සේ කතෝලික සභාව තුළ සැළකිය යුතු වෙනස්කම් රාශියක් සිදු කළ බව පැහැදිලිය. විශේෂයෙන් කාන්තාවන්ට වැඩි නියෝජනයක් ලබාදුන් අතර වතිකානුවේ තීරණ ගැනීමේ මර්මස්ථානයන්හි කාන්තා සහභාගීත්වය ඉහළ නැංවීය. සමරිසි (LBGT) ප්‍රජාවන්ට කතෝලික පල්ලියේ දොරවල් විවෘත කළේ ය. සමරිසි ප්‍රජාව කෙරෙහි දක්වන ලද ආකල්පය සම්බන්ධයෙන් කතෝලික සභාව සමාව ඉල්ලා සිටිය යුතු බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වසර 2016 මාර්තු මාසයේ දී මාධ්‍යයට ප්‍රකාශ කළහ. දික්කසාද වූ කතෝලික භක්තිකයන්හට නැවත විවාහවීමේ අවස්ථාව ලබාදීමට උන්වහන්සේ මැදිහත් වූහ. එසේ විවාහ වූවන්ට කතෝලික සභාවේ සාමාජිකත්වය යළි ලබාදෙන ලදී.  ගබ්සාවන්ට නිළ වශයෙන් විරුද්ධ වුවද උන්වහන්සේ ඒ පිළිබඳ ඉතා දැඩි පිළිවෙතක් අනුගමනය නොකළ අතර ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ට ඔවුන්ගේ හෘදය සාක්ෂිය අනුව කටයුතු කරන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටියහ. කතෝලික පූජකයන් අතින් දශක ගණනාවක් පුරා සිදු වූ ළමා අපචාර සම්බන්ධයෙන් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේ ප්‍රසිද්ධියේ සමාව ගත්හ. මෙවැනි ප්‍රතිපත්ති අනුගමනය කළ උන්වහන්සේ අන්ත දක්ෂිණාංශික සුදු අන්තවාදී, වර්ගවාදී, සංක්‍රමණික විරෝධී නව නාසි ෆැසිස්ට් දේශපාලන බලවේගයන්ගේ වෛරයට ලක්වීම පිළිබඳ පුදුමවිය යුතු නැත.

දේව ධර්මය විකෘති කරන බවට චෝදනා…

එහෙත් උන්වහන්සේගේ ඇතැම් ප්‍රතිසංස්කරණයන්ට එරෙහිව දැඩි ප්‍රතිරෝධයක් වතිකානුව තුළින් මතුවිය. ඒ හේතුවෙන් ඇතැම් ප්‍රතිසංස්කරණ දැඩි පසුබෑමකට ලක්වූ අතර ඇතැම්දෑ අත්හැර දැමීමට සිදු විය. සාම්ප්‍රදායික මතධාරීහු උන්වහන්සේ දේව ධර්මය විකෘති කරන බවට චෝදනා කළහ. කතෝලික ප්‍රතිසංස්කරණවාදීහු උන්වහන්සේ අවශ්‍ය දුර ගමන් නොකළ බව කියා සිටිති. විශේෂයෙන් කාන්තාවන්ට පූජකවරය ලබාදීමට එකඟනොවීම සහ ළමා අපචාර සිද්ධීන්ට සම්බන්ධ පූජකයන්ට එරෙහිව ඉක්මනින් කටයුතු නොකිරීම පිළිබඳ ඔවුහු සිය කනස්සල්ල පලකරති. ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේ ආගමික සීමාවන්ගෙන් ඔබ්බට ගොස් යුධ ගැටුම් අවසන් කර ලෝක සාමය ඇතිකර ගැනීම වෙනුවෙන් හඬ නැඟුහ. ජනාධිපති ඔබාමාගේ පාලන කාලයේ දී කියුබාව සහ ඇමරිකාව අතර රාජතාන්ත්‍රික සම්බන්ධතා යළි ඇති කර ගැනීමේ ක්‍රියාවලිය වෙනුවෙන් උන්වහන්සේ පෞද්ගලිකව මැදිහත් වූහ. ඒ මැදිහත්වීම සාර්ථක වූ දෙපාර්ශවය අතර නව සම්බන්ධතා නිර්මාණය විය. ඊළඟ ඉලක්කය වූයේ කියුබාවට එරෙහි ඇමරිකානු සම්බාධක අවම කිරීමය. එහෙත් වසර 2016 ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමත් සමඟ  ඒ සියල්ල කඩාකප්පල් වී ගියේ ය.

ප්‍රගතිශීලී, සටන්කාමී නායකයා…

ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේ සිය පූජක දිවිය පුරාම සමාජ සාධාරණය, ප්‍රජාතන්ත්‍රවාදය, ආන්තික සහ පීඩිත ජන කණ්ඩායම්හි අයිතිවාසිකම්  වෙනුවෙන් අභීතව සටන් කළ ප්‍රගතිශීලී නිර්භීත චරිතයකි. උන්වහන්සේ ලොව පුරා ජනතා ආදරය ගෞරවය දිනාගත් “පොදු ජනතාවගේ පාප්වහන්සේ” විය. ලොව පුරා අන්ත දක්ෂිණාංශික නාසි දේශපාලන බලවේග යළි හිස ඔසවමින් සිටින මේ මොහොතේ උන්වහන්සේගේ සමුගැනීම ප්‍රජාතන්ත්‍රවාදයට මෙන්ම සදාචාරාත්මක ප්‍රගතිශීලී ලෝක නායකත්වයට දැවැන්ත පාඩුවකි. උන්වහන්සේගේ ස්වර්ගස්ථවීම හරහා මේ මොහොතේ නිර්මාණයවී තිබෙන හිඩැස පිරවීම ඉතා දුෂ්කර බව අපේ විශ්වාසයයි. ප්‍රගතිශීලී, සටන්කාමියකු වූ ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේට අපේ ගෞරවනීය ආචාරය!

-ආනුභාවනන්ද

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/33

---------------------------
by     (2025-04-24 16:50:59)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links