~

ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයෙන් ශ්‍රී ලංකාවට ගත හැකි පාඩම්

-ආචාර්ය ලයනල් බෝපගේ ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.දෙසැ.01, ප.ව.10.25)

හැඳින්වීම

1917 ඔක්තෝබර් විප්ලවයේ 107 වැනි සංවත්සරය (ග්‍රෙගෝරියානු දින දර්ශනයට අනුව නොවැම්බර් 6-7 දින) මේ මස පැවැත්විණි. "මිනිසා විසින් මිනිසා" සූරාකෑම අවසන් කරන විමුක්ති යුගයක් කරා මග පෙන්වමින් එය මනුෂ්‍යත්වයට ආලෝකයක් වූයේය. සමාජ-ප්‍රජාතන්ත්‍රවාදීන් එකල විශ්වාස කළේ විප්ලවය ඉක්මනින් සමාජවාදී අවධියකට සංක්‍රමණය කරවන්නට තරම් අවශ්‍ය වන ආර්ථික පදනම සපයන්නට සාර් අධිරාජ්‍යයේ දේශපාලන අනු පිළිවෙලට සහ ගොවීන් මත පදනම් වුනු කෘෂිකාර්මික ආර්ථිකයට නොහැකි බවයි. ලෙනින් එම මතය හා එකඟ නොවීය.

ධනවාදයේ වත්මන් ආධිපත්‍යය හමුවේ, අධිරාජ්‍යවාදී ධනේශ්වර සමාජයට ප්‍රමාණාත්මක ව මෙන්ම තිරස් අතට ද ප්‍රසාරණය වන්නට තිබෙන අවස්ථා ගැන ලෙනින් අවතක්සේරු කළේ ද?

එසේ වුවද, ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරයේ සහාය ඇතිව බොල්ෂෙවික් පක්ෂය විප්ලවයට නායකත්වය දුන් බව අපි දනිමු. දෙවන ජාත්‍යන්තරයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ඉදිරිපත් කළ ප්‍රතිසංස්කරණවාදී ප්‍රවේශයට එරෙහි අරගලය ලෙනින් අතරමඟ සමාදානයෙන් තොරව ඉදිරියට ම ගෙන ගියේය. විශේෂයෙන්ම, පෙබරවාරි විප්ලවයෙන් පසු රුසියාවේ කෙරෙන්ස්කි ගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව බලයේ සිටියේය. ලෙනින් සහ ඔහුගේ අනුග්‍රාහකයින්ට අනුව, ඔක්තෝබර් විප්ලවය විසින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවේ අවස්ථාවාදී ප්‍රතිසංස්කරණවාදී ප්‍රවේශය නිමාවට පත් කර දැම්මේය.

අත්දැකීම්වල අදාල බව

ඔක්තෝබර් විප්ලවය, ගෝලීය වශයෙන්, විශේෂයෙන් බටහිර ලෝකයේ වරප්‍රසාදිත සමාජ ස්ථරයන් අතර වියරුවක් නිර්මාණය කළේය. එය ඒ සමඟම ලොව පුරා සමානාත්මතාවයෙන් යුත් සමාජයක් නිර්මාණය කිරීමේ හැකියාව පිළිබඳ සිහිනය ගැන අපරිමිත ශුභවාදී බලාපොරොත්තු සහ අපේක්ෂාවන් උපදවා ලීය. මිනිසා විසින් මිනිසා සූරාකෑමෙන් තොර සමාජයක් වෙත යන ගෝලීය ගමනක් ආරම්භ වී තිබුණි. අළුත් ලෝකයක් බිහි වන්නට බලාපොරොත්තුවෙන් සිටියේය.

ඔක්තෝබර් විප්ලවය එහි නිර්මාතෘවරුන්ගේ දේශපාලන අපේක්ෂාවන් ඉටු නොකළේ වූවද, ඉතිහාසය නැවත හැඩ ගස්වන්නට එය මං පෑදීය. ඔක්තෝබර් විප්ලවය පැවතුන වසර 74 තුළ, "පසුගාමී" රටක් වැඩවසම්වාදය රැජයූ සමාජයක සිට දියුණු කාර්මික ජාතියක් බවට පත් කරන්නට එය සමත් වූයේය. එය හිට්ලර් සහ ඔහුගේ සහචර නට්සි වාදීන් විසින් නායකත්වය දෙන ලද දියුණු ධනේශ්වර රටක් පරාජය කර දැම්මේය. කෙසේ වෙතත්, දශකයන් ගෙවී යද්දී සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂය (CPSU) ජනතාව විස්ථාපනය කර දමා දැවැන්ත නිලධාරිවාදී මෙවලමක් බවට පත් විය. සෝවියට් සභා අභාවයට පත් වූයේය.

සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය (USSR) බිහි වූයේ 1922 දී යි. සමාජවාදී අනාගතයක් ද, එම සංගමය සමන්විත කළ එක් එක් ජාතියේ සහ ජාතිකත්වයේ අනන්‍යතාවය ආරක්ෂා කිරීමට ද ප්‍රතිඥා දුන් එය බහු වාර්ගික රාජ්‍යයක් වූයේය. උග්‍ර ජාති භේද වාදය අව්‍යාජ වම හෙළා දුටු ලෙනින් රුසියානු සහ රුසියානු නොවන ජනයා “ජාතීන්ගේ සිරගෙය” ක් තුල රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් සාර්වාදී රුසියාව හෙළා දුටුවේය. පැරණි සාර්වාදී අධිරාජ්‍යයේ සූරාකෑමට ලක් කරන ලද ජනතාව “ආකෘතියෙන් ජාතික, එහෙත් අන්තර්ගතයෙන් සමාජවාදී” වන දේශයක් තුල එක්සත් කරන්නට ඔහු ප්‍රතිඥා දුන්නේය. එක් එක් සෝවියට් සමූහාණ්ඩුවල සංස්කෘතිය හා සම්ප්‍රදායයන්ට මල් පල ගන්නට ඉඩ සලසා දෙමින් ආර්ථික හා දේශපාලන ක්‍රම පද්ධති සමාජවාදී සංවර්ධන මාවතක් ඔස්සේ ගමන් කළ යුතු වූයේය.

කණගාටුවට මෙන්, කාලයාගේ ඇවෑමත් සමඟ සෝවියට් සංගමය මෙම පරමාදර්ශයන් ට අනුකූල ව කටයුතු නොකළ අතර, පක්ෂය දශ ලක්ෂ ගණන් ජනයා මුලින් රුසියාව, යුක්‍රේනය, බෙලරූස් සහ ආර්මේනියාව, අසර්බයිජානය සහ ජෝර්ජියාව යන ට්‍රාන්ස්කොකේසියානු සමූහාණ්ඩුවලින් සැදුම් ලද ෆෙඩරේෂනයක් වෙත බලෙන් ගොනු කර ලීය. ස්වයං නිර්ණයට ඇති අයිතිය මත පදනම් වෙනවාට වඩා, බෝල්ටික් රාජ්‍ය වැනි ඇතැම් සමූහාණ්ඩු 1939 මොලොටොව් - රිබෙන්ට්‍රොප් ගිවිසුමේ කොටසක් වශයෙන් බලයෙන් ඇතුල් කොට ගෙන තිබුණි. ලෙනින් යටතේ සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව මුලින් අත් දැක්කේ ජාතික සංස්කෘතීන්ට අයත් ජාතික භාෂාවන් හඳුනා ගෙන ඒවා භාවිතාවේ යොදමින් ඒ සංස්කෘතීන් මල් පල දරනා බවයි. එහෙත් පසු කාලීනව තිස් ගණන්වල දී, ස්ටාලින් මෙම ප්‍රතිපත්තියෙන් බැහැරව ගොස්, අධිකාරය මධ්‍යගත කොට මොස්කව්හි පක්ෂ පරිපාලන නිලධරය අත බලය වැඩි වැඩියෙන් ගොනු කර ලීය.

ප්‍රගතිය සහ පරිහානිය වෙත වැටුණු මාවත

ජනයා නිදහස් කර ලීමේ ප්‍රතිඥාවක් සහිතව සෝවියට් සංගමය බිහි වුන නමුත් එය කෙළවර වූයේ බලවත්, නිලධාරිවාදී සහ අධිකාරවාදී රාජ්‍යයක් නිර්මාණය කරමිනි. එය රුසියානු කම්කරුවන්ගේ හා ගොවීන්ගේ පමණක් නොව ලොව පුරා වැඩ කරන ජනයාගේ ද බලාපොරොත්තු සහ අභිලාෂයන් වනසා දැම්මේය. එම සන්දර්භය තුළ රුසියානු විප්ලවයේ උරුමයෙන් අප ඉගෙන ගත යුතු වේ. එහි සම්භවය සැමරීම හෝ එහි කැඩී බිඳී යෑම පිළිබඳව ශෝක වීම හා සමඟ එහි කිසිදු සම්බන්ධයක් නොමැත. ශ්‍රී ලාංකික මෙන්ම වෙනත් බොහෝ මෑතකාලීන අත්දැකීම් පෙන්නා දෙන අන්දමට ජනයා නව ලොවක උපත බලාපොරොත්තුවෙන් සිටිති. ඔක්තෝබර් විප්ලවයේ අදහස්, භාවිතාවන් සහ ප්‍රතිපත්ති තුළ සමානාත්මතාවය පදනම් කර ගත්, සමාජීය ලෙස සාධාරණ වන, විනීත සහ පරිසර හිතකාමී සමාජයක් නිර්මාණය කිරීමේ ශක්‍යතාවයන් පවතින්නේ ද යන සනාතන දේශපාලන ප්‍රශ්නය තවමත් විසඳා ලීමට ඇත.

වෙනස

අපට ඉතිහාසයේ විප්ලවීය නිමේෂයන් ගෙන් ඉගෙන ගත යුතු නම්, වඩා යහපත් ලෝකයක් ගොඩනැගීම පිළිබඳ සිහින අලුත් කර ගැනීම සඳහා ඔක්තෝබර් විප්ලවය මෙන්ම පසු කාලීනව සිදු වුන අනෙකුත් විප්ලවවල ජනනාත්මක හා නිෂේධාත්මක අත්දැකීම් අපක්ෂපාතී ලෙස තක්සේරු කිරීම සඳහා සන්සුන් ලෙස විශ්ලේෂණය කර අධ්‍යයනය කළ යුතුය.

එම වසරේ ම පෙබරවාරි විප්ලවය උපත ලද්දේ ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් හා සොල්දාදුවන්ගේ ස්වයංමය උද්ඝෝෂණ හා විරෝධතාවල ප්‍රතිඵලයක් ලෙසට යි. කලින් කරන ලද සූදානමක් නොමැතිව පැන නැඟුණු විරෝධතා ව්‍යාපාරයක් වූ එය නිර්පාක්‍ෂික එකක් ද වූයේය. ඔක්තෝබර් විප්ලවය වෙනස් ආකාරයේ එකකි. ලෙනින්ගේ නායකත්වය යටතේ (එවකට සුළුතරයක් වූ) රුසියානු බොල්ෂෙවික් පක්ෂය විසින් සැළසුම් කොට මනාව සම්බන්ධීකරණය කරන ලද උපාය මාර්ගයක් විසින් එයට මඟ පෙන්වන ලදී. එහි පරමාර්ථය වූයේ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී අවධිය මග හැර සමාජ සංවර්ධනයේ සමාජවාදී අවධිය වෙත ගමන් කිරීම සදහා තාවකාලික ආණ්ඩුව වෙතින් බලය අත් කර ගැනීමයි. ඒ අදහසින් ගත් විට, ඔක්තෝබර් විප්ලවය පෙබරවාරි විප්ලවය මෙන් ජනතා සහය ලැබූ මහජන නැගිටීමක් හෝ කුමන්ත්‍රණයක් හෝ නොවේ.

‘සාමය, ඉඩම් සහ පාන්’ යන්න ඔක්තෝබර් විප්ලවයේ සටන් පාඨය විය. මෙම සටන් පාඨය එවකට රුසියානු ජනතාවට තිබුනු මූලික අවශ්‍යතාවයන් ප්‍රකාශයට පත් කළේය. යුද්ධය අවසන් කිරීමට ඇති අපේක්ෂාව (සාමය), ගොවීන් අතර පැවතුන දැවෙන ඉඩම් අවශ්‍යතාවය (ඉඩම්) සහ නගරවල සාගින්නෙන් පෙළෙන ජනයා තෘප්තිමත් කිරීමේ අවශ්‍යතාවය (පාන්) එම සටන් පාඨයෙන් පිළිබිඹු විය. 1917 සරත් සෘතුව වන තෙක් මෙම සටන් පාඨය දුක් විඳින ජනතාව සමඟ ගැඹුරින් දෝංකාරය දෙන්නට පටන් ගෙන තිබුනේ නැත; ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය පණ ගැන්වූයේ නැත. එසේ වුවද, 1917 නොවැම්බරයේ පැවති පළමු නිදහස් මැතිවරණයේ දී බහුතරයක් ජනයා ලෙනින්ගේ අදහස් පිළි ගත්තේ නැත. සමාජ විප්ලවවාදීන් සියයට හැටකට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගත් අතර බොල්ෂෙවිකයන්ට ලැබුණේ ඡන්ද සංඛ්‍යාවෙන් හතරෙන් එකක් පමණි.

නිලධාරිවාදය

කම්කරුවන්ගේ අව්‍යාජ අවශ්‍යතා නියෝජනය කලේ බොල්ෂෙවික්වරුන් පමණක් බව ලෙනින් තරයේ විශ්වාස කළේය. රුසියාවේ සමාජවාදය ස්ථාපිත කිරීම වෙත ඔහු සපුරා ම කැපවී සිටියේය. නොවැම්බරයෙන් පසු ලෙනින් විරුද්ධ පාර්ශ්වයේ පුවත්පත් කිහිපයක් තහනම් කොට "සියලු පන්ති සතුරන්ට" එරෙහිව "රතු භීෂණ" ව්‍යාපාරයක් මුදා හැරියේය. මේ අනුව, සමාජ විප්ලවවාදීහු ඔවුන්ගේ පළමු ඉලක්කය බවට පත් වූහ. චිකා (Cheka ) නමැති මුල්ම සෝවියට් රහස් පොලිස් බලකාය මෙම භීෂණ ව්‍යාපාරයේ පෙරමුණේ සිටියේය. අවසාන‌යේදී මෙය ස්ටාලින් යටතේ නැගී එන පරිපූර්ණ පොලිස් රාජ්‍යයකට ඉඩකඩ සලසා දුන්නේය. කම්කරුවන් නිෂ්පාදන මාර්ග පාලනය කිරීමේ සහ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී කැමැත්ත මත පදනම්ව නව සමාජ පිළිවෙලක් පිහිටුවීමේ මුල් අදහස, "නිර්ධන පංති ආඥාදායකත්වය" නමැති සංකල්පය යටතේ පස් යට කර දමන ලදී.

නිදසුනක් වශයෙන්, ඔක්තෝබර් විප්ලවයේ ප්‍රබලතම ආධාරකරුවන් වුනු ක්‍රොන්ස්ටාඩ් නාවික බල ඇණියක්, බොල්ෂෙවික් පාලනයට ත්, ලෙනින්ගේ "යුද කොමියුනිස්ට්වාදය" පිළිබඳ සංකල්පයට ත් එරෙහිව කැරලි ගැසූහ. කැරැල්ල ප්‍රචණ්ඩ ලෙස මර්දනය කිරීම සඳහා පාලන තන්ත්‍රය 1921 දී කුරිරු ලෙස රතු හමුදා ඒකක යොදා ගත්තේය. "පෙරටුගාමී පක්ෂය" සහ "නිර්ධන පංති ආඥාදායකත්වය" රට තුළ කිසිදු ආකාරයක විසම්මුතිය ක් සඳහා ඉඩ ලබා දුන්නේ නැත. එසේ සිදු වූයේ ලෙනින්ගේ නායකත්වය යටතේ යි. ඔවුන්ට අවශ්‍ය වූයේ ‘සමාජවාදී දේශපාලන සමාජය’ ඒක පක්ෂ පාලනයක් මත පදනම් කිරීම යි.

බොල්ෂෙවික්වරු සියළු දෙනා "යුද කොමියුනිස්ට්වාදය" හෝ නව ආර්ථික ප්‍රතිපත්තිය ගැන ලෙනින් දැරූ අදහස් බෙදා හදා ගත්තේ නැත. ඔවුන් එය දුටුවේ ඔක්තෝබර් විප්ලවය පාවා දීමක් ලෙසිනි. “යුද කොමියුනිස්ට්වාදය” පිළිබඳ ඔහුගේ පිළිවෙත සම්පූර්ණ ව්‍යසනයක් වූ බව 1921 ඔක්තෝබරයේ දී ලෙනින් පිළි ගත්තේය. වැඩවසම් වාදී සමාජ ක්‍රමයේ සිට සෘජු ලෙසම කොමියුනිස්ට්වාදි නිෂ්පාදනය හා බෙදා හැරීම කරා සංක්‍රමණය වෙන්නට තීරණය කිරීමෙන් වැරැද්දක් කළ බව ඔහු පිළි ගත්තේය. නව ආර්ථික ප්‍රතිපත්තියේ මුවාවෙන් 1920 ගණන්වල දී ආර්ථිකයට නිෂ්පාදනයේ හා බෙදා හැරීමේ වෙළද පොළ ක්‍රමය වෙත අඩ වශයෙන් ආපසු ගමන් කිරීමට ඉඩ සලසන්නට ලෙනින්ට සිදු වූයේය.

ස්ටාලින් සහ පරිහානිය

1928 දී ස්ටාලින් "ඉහළ සිට කරවන විප්ලවයක්" පැනවූ අතර සාමූහික කරණය කිරීමේ සහ නිර් කුලක කරණය කිරීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීය. මෙම ක්‍රියාවලියේදී ඔහු සමූහ අත්අඩංගුවට ගැනීම්, පිටුවහල් කිරීම් සහ ගොවීන් ඝාතනය කිරීම් කෙරෙහි මඟ පාදමින් රාජ්‍ය මර්දනය යොදා ගත්තේය. සමාජ සාධාරණත්වය, සමානාත්මතාවය සහ නිදහසෙන් සමන්විත දේශයක් පිළිබඳව පැවති සිහිනය බොඳ වී ගියේය. සෝවියට් පාලන තන්ත්‍රයේ පාලන ක්‍රමය, විශේෂයෙන්ම ස්ටාලින් වාදී යුගයේ ම්ලේච්ඡ හා මිනීමරු එකක් බවට පත් වූයේය. ලෙනින්ගේ ජාතිකත්වයන් පිළිබඳ කොමිසාර් වූයේ ස්ටාලින් ය. රුසියානු නොවන සමූහාණ්ඩු ස්වාධීන සමූහාණ්ඩු වශයෙන් රුසියානු සෝවියට් ෆෙඩරල් පන්නයේ සමාජවාදී සමූහාණ්ඩුවකට ඒකාබද්ධ කිරීම සඳහා ස්ටාලින් ගත් උත්සාහය සමඟ ලෙනින් ගැටුණේ ය. සමූහාණ්ඩු වල නායකයෝ රුසියානු මැදිහත් වීම් පිළිබඳව බියට පත්ව සිටියහ.

විශේෂයෙන්ම, සෝවියට් සංගමයෙන් වෙන්වීමට ජනතාවට තිබෙන අයිතිය රටේ මූලික නීතිය මගින් සෛද්ධාන්තික ව අයිතියක් ලෙස පිළි ගෙන තිබුණද, ඔවුහු ඒ අයිතිය ගැන සැලකිල්ලෙන් සිටියහ. එහෙත්, ඇත්තටම වෙන්වීමට තිබෙන අයිතිය ඉවත් කර දමා තිබිණි. සමූහාණ්ඩුවල නායකයන් රුසියානු ආධිපත්‍යය ගැන දැක් වූ සැලකිල්ල ගැන ලෙනින් අනුකම්පා සහගත වූයේය. පවසන ලද සෝවියට් බලය පැවරීමේ ස්වභාවය පැවතුන ද, සැබෑ බලය රැඳී තිබුනේ පක්ෂය අත යි.
විප්ලවයට පෙර, ලෙනින් සහ ස්ටාලින් ගේ නායකත්වය යටතේ බොල්ෂෙවික්වරු ජාතික ස්වයං නිර්ණය සඳහා තිබෙන අයිතිය කෙරෙහි ඔවුන් දැක්වූ කැපවීම සහතික කර සිටියහ. ජාතිකවාදය පිළිබඳව බොල්ෂෙවික් පක්ෂය දැරූ දේශපාලන පිළිවෙත ගැන ඉතා දැඩි විවාද සිදු වෙමින් පවතී. 1913 පළ කරන ලද මාක්ස්වාදය සහ ජාතික ප්‍රශ්නය නමැති ලිපියේ ස්ටාලින් තර්ක කළේ “ජාතියකට නිදහසේ තමන්ගේ ඉරණම තීරණය කිරීමට අයිතිය තිබේ. ඇත්තෙන්ම වෙනත් ජාතීන්ගේ අයිතිවාසිකම් පාගා දැමීමෙන් තොරව, තමාට සුදුසු යැයි පෙනෙන පරිදි තම ජීවිතය පිළියෙල කර ගන්නට ඊට අයිතියක් තිබේ. ඒ සම්බන්ධයෙන් ආරවුලක් නැත.”
(https://www.marxists.org/reference/archive/stalin/works/1913/03a.htm). 1916-17 පළ කරන ලද අධිරාජ්‍යවාදය: ධනවාදයේ උච්චතම අවස්ථාව නමැති කෘතියේ, පළමුවන ලෝක යුද්ධය හෙළා දකිමින් ලෙනින් පැවසූයේ “යුද්ධය දෙපැත්තෙන් ම ගත් විට අධිරාජ්‍යවාදී (එනම්, ඈඳා ගැනීමේ, කොල්ලකෑමේ පැහැර ගන්නා යුද්ධයක්) වේ; එය ලෝකය බෙදා ගැනීම සඳහා සහ මූල්‍ය ප්‍රාග්ධනයේ [සහ] බලපෑම් පවතින ක්ෂේත්‍ර සහ යටත් විජිත බෙදා ගැනීමට සහ යළි බෙදා ගැනීමට කරන යුද්ධයක් වූයේය.” (https://www.marxists.org/archive/lenin/works/1916/imp-hsc/pref02.htm) යනුවෙනු යි.

ජාතික දේශ සීමාවලින් ඔබ්බෙහි පවතින බාහිර ආයතන විසින් සිය පාලනය බලෙන් පටවා ලන්නට සහ බලපෑම් කරන්නට ලෙනින් සහ ස්ටාලින් යන දෙදෙනාම මුලදී විරුද්ධ වූහ. කෙසේ වෙතත්, සංගමයේ සහ සංගමයේ ගිවිසුම පිළිබඳ ප්‍රකාශනය (https://soviethistory.msu.edu/1921-2/transcaucasia/transcaucasia-texts/formation-of-the-ussr/) මගින් සෝවියට් සංගමය පිහිටුවා ලීමෙන් අනතුරුව, බොල්ෂෙවික් ස්ථාවරය ක්‍රියාවේ නැංවීම සඳහා ප්‍රතිපාදන තිබුණේ නැත. ඇත්ත වශයෙන්, සෝවියට් සංගමය පිහිටුවා ලීමේ දී රුසියාවට සම්බන්ධ වූ සමූහාණ්ඩු, වඩ වඩාත් මොස්කව් පදනම් කර ගත් පක්ෂ ධුරාවලියේ ත්, එහි නිලධරයේ ත් අධිපතිවාදී පාලනයට නතු වූහ. 1920 ගණන්වල මුල් භාගයේ පවා සෑම සමූහාණ්ඩුවක ම සිටි තම භාෂාව භාවිතා කළ, තම සංස්කෘතිය ප්‍රගුණ කළ සහ සිය අධ්‍යාපනය ලැබූ සෑම ජාතියක් ම සමෘද්ධිමත් බවට පත් වූයේය.

කෙසේ වුවද, ඊළඟ දශකය තුළ, ඔවුන්ගේ ජාතික අනන්‍යතාවයන් වෙත පනවන ලද සීමාවන් හේතුවෙන් ඔවුන්ගේ තත්වය වඩාත් නරක අතට හැරුණි. ස්ටාලින් කාලය ගත වී යද්දී, සමූහාණ්ඩුවල පාලනය මධ්‍යගත කළ අතර, සෝවියට් සංගමයේ ආඥාදායක පාලනය ක්‍රියාවට නැංවීමේ දී ඒ සමූහාණ්ඩුවල දේශීය කටයුතුවලට පක්ෂය මැදිහත් වීමට ප්‍රමුඛත්වය දුන්නේය.

පෙර වසර පහේ සිදු වූ කැලඹීම සිවිල් යුද්ධයෙන් පසු පැවති වඩා සාමකාමී යුගය දක්වා දිගටම පැවතුන නමුත් මෙම ගැටුම බොල්ෂෙවික් පක්ෂය වෙනස් වීමට භාජනය කොට තිබුණි. එය දැන් වඩාත් මිලිටරි කරණයට ලක් වී තිබුන අතර, නොයෙක් ගැට‍ළුවලට විසඳුමක් ලෙස බොහෝ විට බලහත්කාරය යෙදවීම දක්නා ලදී. සෝවියට් සංගමයේ බිහි වීම ත්, 1930 ගණන්වල ස්ටාලින් වාදී මධ්‍යගත කිරීම ත් විසින් මිලියන සංඛ්‍යාත ජනතාවක ගේ ජාතික ස්වයං නිර්ණය පිළිබඳ සිහින අවසන් කර දැමූ අතර අවසානයේ 1917 සිටි විප්ලවවාදීන් බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු හා ජීවිත විනාශ කර දමන්නට ද ආධාරකාරී වූයේය.

ශ්‍රී ලංකාවට ඇති අදාලත්වය

අපේ රටේ සමානාත්මතාවය සහ ඇතුළත් කර ගැනීම සඳහා වූ ඉල්ලීම, වෙනම රාජ්‍යයක් සඳහා වූ ඉල්ලීම දක්වා පරිණාමය වූ ආකාරය පිළිබඳව ලියන ලද ලිපි රාශියකට පසුගිය කාලය තුළ දායක වී ඇත්තෙමු. සියළුම අව්‍යාජ ප්‍රතිපත්ති සම්පාදකයින්ට මෙම ප්‍රශ්නයට පිළිතුරු සොයන්නට සිදු වනවා ඇත.

නිදහස ලැබූ වහාම පාහේ ඩී එස් සේනානායක පාලන තන්ත්‍රයේ පළමු පියවර වූයේ වමට සහාය දුන් මලයියහ (වතු) කම්කරුවන්ගේ ඡන්ද අයිතිය අහෝසි කර දැමීමයි. සියළුම රාජ්‍ය ආයතන, පාර්ලිමේන්තුව, අධිකරණය, ආරක්ෂක යන්ත්‍රය, රාජ්‍ය අධ්‍යාපනය සහ නිලධරය සිංහල ජනතාව සවි බල ගැන්වීම කෙරෙහි පමණක් යොමු වී සිටියහ. ඉන් පසුව බලයට පැමිණි පාලන තන්ත්‍ර මර්දනකාරී ක්‍රියාමාර්ග, කෝලාහල, සංහාර සහ සදාචාර විරෝධී ව්‍යවස්ථා සංශෝධන මාලාවකට මඟ පාදමින් දෙමළ ජන ප්‍රජාවේ අයිතීන් නොසලකා හැරියේය. තීරණ ගැනීමේ ක්‍රියාවලියෙන් බැහැර කොට බල කේන්ද්‍රවලින් ඔවුන් තවදුරටත් ඈත් කර තැබූ මෙම ක්‍රියාවලිය, අවසානයේ දී එල්ටීටීඊ යේ පැන නැඟීමට ද, දිගු සිවිල් යුද්ධයකට ද මඟ පාදා ලීය.

ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය

ඉන්දු ලංකා ගිවිසුම සම්බන්ධයෙන් වසර 35කට පෙර ගන්නා ලද ස්ථාවරය වෙනස් නොවන බවට පසුගිය දා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශයක් කලේය. දශක තුන හමාරක කාලය තුළ ගෝලීය වශයෙන් බොහෝ වෙනස්කම් සිදු වී තිබුනද ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය ව ඇත්තේ, “අනෙකුත් ජාතීන් අතර බල අරගල සමනය කිරීම සදහා හෝ ඒ ජාතීන්ගේ අවශ්‍යතාවයන්ට සරිලන අන්දමට හෝ ජාතියක් වශයෙන් අප අපවම කූඩු කර ගන්නට ඉඩ නො තබන” බවයි. ජනතා විමුක්ති පෙරමුණ විසින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ ජාතික ආරක්‍ෂාව නියමාකාරයෙන් රැකිය යුත්තේ වුව ද, වෙනම දෙමළ රාජ්‍යයක් සඳහා කරන ලද අරගලය පසුපස පැවතුන එකම හේතුව වූයේ රටේ අභ්‍යන්තර කටයුතුවලට කරන ලද විදේශ, විශේෂයෙන්ම එක්සත් ජනපදයේ සහ ඉන්දියාවේ මැදිහත් වීම ය යනුවෙන් ඔවුන් දරා සිටින දුර නොදක්නා විශ්වාසය කෙරෙහි ජනතා විමුක්ති පෙරමුණ ගැට ගැසී ඇති බව පෙනේ.

සමස්ත යුද්ධය අතරතුර, විශේෂයෙන් ම 2000 ගණන්වල අගභාගයේ යුද්ධයේ තීරණාත්මක අවධියේ, ඊශ්‍රායලය, එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර කඳවුර, චීන සහ රුසියානු ආණ්ඩු සහ ඔවුන්ගේ මිත්‍ර රටවල් විසින් ශ්‍රී ලංකා රජයට සහ එහි ආරක්ෂක යාන්ත්‍රණයට හමුදා සහ මූල්‍ය ආධාර ලබා දෙමින් කරන ලද “විදේශ ආධාර / මැදිහත් වීම්” නිසාවෙන් මෙම විශ්වාසය ගැන යලි සිතා බැලිය යුතුව ඇත. අසූව දශකයේ මැද භාගයේ සිට 2009 මැයි මස අවසානය දක්වා ආරක්‍ෂක සහ පැරාමිලිටරි හමුදා යොදා ගනිමින් ආණ්ඩුව කර ගෙන ගිය යුද්ධයට ජනතා විමුක්ති පෙරමුණ දැඩි ලෙස සහය පළ කලේය. සන්නද්ධ ගැටුම විසින් ඇති කරන ලද සමූලඝාතනය සහ විනාශය හොඳින් ප්‍රකට ව පවතින හෙයින් ඒ පිළිබඳව යළි සාකච්ඡාවක් අවශ්‍ය නොකෙරේ.

රෝහණ සහෝදරයා සහ ඔහුගේ නිබන්ධය

1986 දී ප්‍රකාශයට පත් කරන ලද රෝහණ සහෝදරයා ගේ “දෙමළ ඊලාම් අරගලයට විසඳුම කුමක්ද?” නමැති කෘතියේ ඔහු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව දෙකඩ කිරීමෙහි ලා එක්සත් ජනපදය සම්බන්ධ වූ බවට න්‍යායයක් ඉදිරිපත් කළේය. ඔහුට අනුව ඉන්දියාවෙන් පකිස්තානයත්, පකිස්තානයෙන් බංග්ලාදේශයත් වෙන්වීම ඇමෙරිකාවට වාසිදායක වී තිබේ. එක්සත් ජනපදය පන්ජාබයේ සික්වරුන් සමඟ ත්, නාගලන්තයේ ගුර්කාවරුන් සමඟ ත් සම්බන්ධ වීමේ අරමුණ වූයේ ඇමරිකාව අනුව යන රජයයන් පිහිටුවීම සඳහා වන බවට ඔහු චෝදනා කළේය. මෙම ඇමෙරිකානු කුමන්ත්‍රණයට තමිල්නාඩුවේ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් සංවිධානය ද සම්බන්ධ බවට ඔහු චෝදනා කළේය. දෙමළ සටන්කාමී කණ්ඩායම් සහ තමිල්නාඩුවේ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් අතර පවත්නා සමීප සබඳතා ගැන ඉන්දීය රජය හොඳින් දැන සිටියේය. ශ්‍රී ලංකාවේ කොටස් දෙකම පාලනය කිරීමට හැකි වන පරිදි රට වෙන් කර ලන්නට එක්සත් ජනපදයට අවශ්‍ය ව තිබුන බවට චෝදනා එල්ල වූයේය.

කෙසේ වෙතත්, සැබෑ තත්ත්වය නම්, ඉන්දීය මධ්‍යම ආණ්ඩුව ශ්‍රී ලංකාවේ දෙමළ බෙදුම්වාදයට දිගින් දිගටම සහාය දුන්නේ වෙනම දෙමළ ඊලමක් පිහිටුවීමට නොව, එවකට ජනාධිපති ජේ ආර් ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද ගැති පාලන තන්ත්‍රය මැඩ පැවැත්වීම සඳහා ය යන්න යි. ජනතා විමුක්ති පෙරමුණ නැඟූ ඉන්දියානු විරෝධී වාගලංකාර කෙසේ වෙතත්, උතුරු හා නැගෙනහිර දෙමළ ජනයාට යම් තරමක ස්වයං පාලනයක් ලබා දීමට රජය ගන්නා ඕනෑම පියවරකට දැඩි ලෙස විරුද්ධ වුන ඔව්හු බෙදුම්වාදයට එරෙහිව සටන් කිරීමේ විභවය සහිත හවුල්කරුවෙකු ලෙස ඉන්දියාව දෙස බලා සිටියේය. ඉන්දියාව සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ගත් ස්ථාවරය වඩා දෙගිඩියා සහගත එකක් වූයේය. රෝහණ සහෝදරයා සිය නිබන්ධයේ තර්ක කළේ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ එජාප පාලනය අතර සන්ධානය අත්‍යවශ්‍ය ලෙසම ඉන්දියානු විරෝධී වූ බවට ත්, ඉන්දිරා ගාන්ධිගේ ආණ්ඩුව අනුගමනය කළ සමාජවාදී ප්‍රතිපත්ති කෙරෙහි දක්වන ලද සතුරු බව හේතුවෙන් උද්දීපනය කරන ලද්දක් බවට ත් ය.

ඉන්දීය සාම සාධක හමුදාවේ (IPKF) ආගමනයත් සමඟ ජවිපෙ රට එක් සේසත් කිරීමේ දේශප්‍රේමී කාඩ් පත 1987 දී පමණක් ඉහළට ඔසවා තැබූ නමුත් එසේ කළේ සුළුතර ප‍්‍රජාවන්ට සමානයන් ලෙස හෝ සියළු දෙනා ඇතුළත් කර ගැනීමේ චේතනාවෙන් යුතුව නොවේ. ජවිපෙ උග්‍ර ජාතිභේදවාදී සහ අන්තවාදී, උමතු ජාතිකවාදී කණ්ඩායම් එකම බලවේගයකට එක්සත් කිරීමේ වේදිකාවක් වූ අතර, එහි ප්‍රතිවිපාක තවමත් සිංහල සමාජය තුළ ගැඹුරු ලෙස පැතිරී පවතී. සාධාරණ, සියළු දෙනා ඇතුලත් කර ගන්නා ශ්‍රී ලංකාවක දේශපාලන ධජය යටතේ සියළු ජන කොටස්වල ප්‍රගතිශීලීන්ට එකට එක් වන්නට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්තිය යටතේ ඉඩ කඩ ක් නොපැවතුනි.

අතරමඟ සමාදානය හෝ දෙගිඩියාව

ඇමරිකානු ගැති විදේශ ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් ලෙස රටේ ස්වෛරීභාවය සහ ඒකීයභාවය තහවුරු කරන්නට ආණ්ඩුවට නොහැකි වූ බවට 1984 දී ජවිපෙ කළ චෝදනාව සැබැවින් ම නිවැරදි ය. එහෙත්, 50,000ක් දෙනා යුද පෙරමුණට යවන්නට ජවිපෙ කැමති බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ යුද සමයේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා මෙන්ම ප්‍රබල ජාතිකවාදියෙකු වූ සෝමවංශ අමරසිංහ සහෝදරයා දෙමළ සටන්කාමීන් විනාශ කරන්නට "බර අවි" භාවිතා කරන ලෙස රජයෙන් හා එහි ආරක්ෂක හමුදාවලින් ඉල්ලා සිටියේය. 1983 වන තෙක්, සෝමවංශ ඇතුළු බොහෝ නායකයෝ දෙමළ ජනයාට ඔවුන් දෙමළ වීම නිසාවෙන් ම මුහුණ දෙන්නට සිදු වී තිබෙන ගැට‍ළු තිබෙන බව පිළිගත් නමුත්, 1983 න් පසුව, දෙමළ වීම නිසාවෙන් දෙමළ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න කිසිවක් තිබෙන බව ජවිපෙ තරයේ ම ප්‍රතික්ෂේප කළේ ය.

සුප්‍රසිද්ධ ජවිපෙ නායකයින් දාහතර දෙනෙකුගෙන් බොහෝ දෙනෙකු නීතියට පරිබාහිර ලෙස ඝාතනය කර දැමීමෙන් පසු 1994 දී සෝමවංශ ආපසු ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාව වන විට, ආණ්ඩුව වෙනස් වී තිබුණේය. කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ යළි ගොඩනැගීමට ඔහුට හැකි වීම ඔහුගේ ගෞරවයට හේතු වෙයි. 1994 ට පෙරාතුව ජනතා විමුක්ති පෙරමුණේ ඉන්දියානු විරෝධී නැඹුරුව ඉන්දියාවේ සහ තමිල්නාඩු ප්‍රාන්තවලට පමණක් නොව ඉන්දීය ජනතාවට ද එරෙහිව එල්ල වූවක් විය. 1994 සිට, සෝමවංශ ඉන්දියානු රජයේ සහාය හේතුවෙන් සිය ජීවිතය බේරා ගැනීමට හැකි වූ බව පවසමින් ඔහුගේ ඉන්දියානු විරෝධී වාගලංකාර සැර බාල කර තිබුණේය. නමුත් දෙමළ ජන ප්‍රජාව මුහුණ දෙන ප්‍රශ්න සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය වෙනසක් සිදුව තිබුනේ නැත. ශ්‍රී ලංකාවේ සමීපතම අසල්වැසියා වන ඉන්දියාව සමග ද්විපාර්ශ්වික සම්බන්ධතා ශක්තිමත් කළ යුතු බව වත්මන් නායකත්වය ප්‍රකාශ කර ඇතත්, ඔවුන් පිහිටුවා ගැනීමට බලාපොරොත්තු වන සම්බන්ධතාව පිළිබඳව තවමත් පැහැදිලි කර දී නැත.

බලය පවරා දීම නොවේ නම්, ඊළඟට කුමක් ද?

1972 සිට සකස් කරන ලද ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශණය 1983 ජූලි දක්වා එහි ප්‍රතිපත්තිමය රාමුව වූයේය. ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ “රාජ්‍ය ව්‍යූහය” යටතේ 2 වැනි වගන්තිය ඉතා පැහැදිලි ලෙස සඳහන් කලේ රට අත්තනෝමතික මධ්‍යගත කිරීමට මෙන්ම බෙදීමට ද එය විරුද්ධ වන බවයි. එය අනුගමනය කරමින් එහි 3 වැනි වගන්තිය සඳහන් කලේ "රටේ භෞමික අඛණ්ඩතාව සුරැකීම සහ පවත්වා ගැනීම විවිධ සුළු ජාතීන් විසින් ගෙන යන ස්වයංපාලනය සහ සැබෑ සමානාත්මතාවය මත පදනම් වනවා ඇත." ජවිපෙ ෆෙඩරල් වාදයට සහ ඕනෑම ආකාරයක බලය බෙදීමකට විරුද්ධ වූ අතර එය සෝවියට් සංගමයේ භාවිතාවන් අනුව යමින් කළ බවට සැලකේ. දෙමළ සටන්කාමිත්වය සමඟ අතරමග සමාදානයකට එන්නට ආණ්ඩුව ගන්නා ඕනෑම පියවරකට 1983 සිට ජවිපෙ විරුද්ධ වූයේය. එහි ප්‍රචාරක ව්‍යාපාරයේ අවධානය යොමුව තිබුනේ හුදෙක් රට දෙකඩ කිරීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ගැන පමණි.

2004 දී ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ (එජනිස) පාර්ශව කරුවෙකු බවට පත් විය. ඉන්දු-ලංකා ගිවිසුමේ දක්වා ඇති පරිදි උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට ජවිපෙ විරුද්ධ විය. ජනතා විමුක්ති පෙරමුණ විසින් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත වෙන වෙනම පෙත්සම් තුනක් ගොනු කරන ලදී. 2007 ජනවාරියේ දී අධිකරණය එම පළාත් දෙක වෙන් කරන්නට නියෝගයක් ලබා දුන්නේය. එම පළාත් දෙක වෙන් කිරීමෙන් පසු මුස්ලිම් ප්‍රජාව නැගෙනහිරට වෙනම පළාත් සභාවක් ඉල්ලා සිටියේය. සියළුම සටන් විරාමවලට මෙන්ම එල්ටීටීඊය සමඟ නොකඩවා සාම සාකච්ඡා කරගෙන යාමට විරුද්ධ වූ ජනතා විමුක්ති පෙරමුණ පශ්චාත් සුනාමි ආධාර බෙදා හැරීම සඳහා පිහිටවුන්නට යෝජනා කළ පශ්චාත් සුනාමි මෙහෙයුම් කළමනාකරණ ව්‍යුහය (P-TOMS) නමැති ඒකාබද්ධ යාන්ත්‍රණය පිහිටුවන්නට පැවතුන හැකියාව ද ප්‍රතික්ෂේප කළේය.

2005 දී මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දී ඔහුව අනුමත කළ ජනතා විමුක්ති පෙරමුණ සාම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට තරයේ ම විරුද්ධ වූයේය. 2006 දී ජවිපෙ විවෘත ලෙසම යුදමය විසඳුමක් වෙනුවෙන් පෙනී සිටි අතර අවසානයේ දී එය 2009 මුලයිවයික්කාල් සමූල ඝාතනයට මඟ පෑදීය. ඔව්හු දෙමළ ප්‍රමුඛත්වය ගන්නා පළාත්වලට බලය පැවරීමට හෝ ස්වයං පාලනයක් ලබා දීමට දිගින් දිගටම විරුද්ධ වූහ. 1983 න් පසු ප්‍රථම වතාවට ජනතා විමුක්ති පෙරමුණ දෙමළ ජනතාවගේ දුක්ගැනවිලි විසඳිය යුතු බව ප්‍රකාශ කලේ 2015 දී ය. එහෙත් ඊට ඔවුන් ඉදිරිපත් කරන විසඳුම ෆෙඩරල් හෝ බලය පැවරීම මත පදනම් නොවන බව පුන පුනා ප්‍රකාශ කළේය.

NPP යේ විශිෂ්ට ජයග්‍රහණය

මෑත දී පැවැත්වූ මහ මැතිවරණයේ දී, උතුරේ සිට දකුණට සහ නැඟෙනහිර සිට බටහිර දක්වා ජනවාර්ගික හා ආගමික සීමාවන් ඉක්මවා යමින් NPP යට ඡන්දදායකයින්ගෙන් අතිමහත් සහයෝගයක් ලැබී ඇත. කලාපවල පවතින සාම්ප්‍රදායික දෙමළ දේශපාලන පක්ෂ හා සසඳන විට උතුරු සහ නැගෙනහිර පළාත්වල සහ මලයියහ මැතිවරණ දිස්ත්‍රික්ක පහේ ම විශිෂ්ට මැතිවරණ ජයග්‍රහණය ක් ලබා ගනිමින් NPP ය වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගත්තේය. NPP යේ ජයග්‍රහණය විවිධ අයුරින් අර්ථ දැක්විය හැකිය.

ජාතික සමගිය සඳහා ඇති කැමැත්ත ප්‍රකාශ කිරීමක්, ප්‍රධාන දේශපාලන ප්‍රවාහයට සම්බන්ධ වීමට උනන්දුව දැක්වීමක්, සහ අනුර කුමාර දිසානායක සහෝදරයාගේ නායකත්වය කෙරෙහි විශ්වාසය පළ කිරීමක් ලෙස එය සැලකිය හැකිය. එසේ වූවත්, මෙය සිංහල සහ දෙමළ ප‍්‍රජාවන් ඔවුන්ගේ ජාතිකවාදී දෘෂ්ටි කෝණයෙන් ඈත් ව යන බවට දක්වන සංඥාවක් වන්නට හෝ නොවන්නට පුළුවන. NPP යේ පාලන කාලය තුළ ඔවුන් කරන්නට සූදානම්ව සිටින කටයුතු මඟින් බහු සංස්කෘතික සහ බහුත්වවාදී වටිනාකම් මත පදනම්ව ජාතික පක්ෂයක් ලෙස තම ස්ථානය තහවුරු කර ගැනීමට එයට හැකි වනු ඇත.

NPP ය ඔවුන් ඉදිරිපත් කරන්නට අදහස් කරන ව්‍යවස්ථාවේ හැඩය රටේ ඡන්ද දායකයින්ගේ සලකා බැලීම සඳහා යෝජනා කළ යුතුය. අනෙක් සියළුම දේශපාලන ආයතන ද එසේ කළ යුතු වේ. එමගින් ශ්‍රී ලංකාවේ ජනතා ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පවතින සියලු විකල්ප සලකා බලන්නට අවකාශය විවර කර දෙනවා ඇත. ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ NPP ය සිය ස්ථාවරය පැහැදිලි කළ යුතුව තිබේ. එසේ කිරීමෙන්, ඔවුන්ට ස්වයං විවේචනාත්මක ආකාරයකට තම අතීතය ආවර්ජනය කළ හැකිය. දෙමළ ජනතාවගෙන් බහුතරය වෙනම රාජ්‍යයක් පිහිටුවීමට පක්ෂව සිටින බවක් නොපෙනෙන අතර, ඔවුන් ජාතිකවාදී සටන් පාඨයට සහය දෙනු ලැබුවද, එම සටන් පාඨය ප්‍රායෝගික ලෙස සාක්ෂාත් කර ගැනීමට ඇති නොහැකියාව හේතුවෙන් විකල්පයන් ගැන යළි සිතා බලන්නට ඔවුන්ව යොමු කරවා ඇත.

ඇතැම් NPP නායකයින්ට අනුව ගත් විට, මැතිවරණ ප්‍රතිඵල වාර්ගික දේශපාලනය ප්‍රතික්ෂේප කරන බහුතරය නොවන ජන ප‍්‍රජාවන් නියෝජනය කරයි. එමෙන්ම දකුණේ ජාතිකවාදී බලවේග මෙම මැතිවරණවල දී ඔවුන්ගේ අරමුණ වෙනුවෙන් සිංහල බෞද්ධයන් බලමුළු ගන්වන අන්දමේ ප්‍රධාන වැඩ කොටසක් ඉටු කළේ නැත. ඇතැම් සිංහල දැඩි මතධාරී ජාතිකවාදීන් පරාජයට පත් ව තිබෙන බව සැබෑවක් වන නමුත් එය සිංහල බෞද්ධ ජාතිකවාදයේ පරාජයක් නියෝජනය කරන්නේ ද යන්න ප්‍රශ්නයකි.

බොහෝ ඡන්දදායකයන්ගේ පසුබිම කුමක් වුවත්, ඔව්හු මෑත පැවැත්වූ ජනාධිපතිවරණයේ දී සහ පාර්ලිමේන්තු මැතිවරණයේ දී තමන්ට තිබුණු හොඳම විකල්පය ලෙස NPP ය සැලකිල්ලට ලක් කළහ. එක්තරා ආකාරයකට එය 2022 “අරගලය” විරෝධතා ව්‍යාපාරයෙන් පසුව හට ගත් අනියම් ඵල විපාකවල පිළිබිඹුවකි. අර්ථවත් වෙනසක් අපේක්ෂා කරන උතුරු නැගෙනහිර දෙමළ ජනතාව බොහෝ දුරට තම නියෝජිතයන්ගේ අසමගිය සහ අක්‍රිය භාවය ප්‍රතික්ෂේප කළ අතර බලාපොරොත්තු සහ අපේක්ෂාවන් ගෙන් යුතුව NPP ය තෝරා ගත්හ.

නව පාර්ලිමේන්තුව ආරම්භ කරමින් ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ පවසා සිටියේ ජාතිවාදී සහ ආගම්වාදී දේශපාලනයට යළි හිස ඔසවන්නට තමන් කිසි විටෙකත් ඉඩ නො තබන බවයි. කෙසේ වෙතත්, ජාතිවාදය සහ ආගමික අන්තවාදය යළි මතු වීම මුළුමණින්ම රඳා පවතින්නේ ජාතිවාදය විසින් පසුගිය වසර හැත්තෑ ගණනක කාලය තුළ රට තුළ වපුරුවා තිබෙන ගැට‍ළුවලට අර්ථවත් විසඳුම් සොයා ගැනීම මත යි. මේ තත්ත්වය දේශපාලනික වශයෙන් ජය ගත හැක්කේ උචිත ප්‍රතිපත්ති රාමු සකස් කොට ක්‍රියාත්මක කිරීමෙන් පමණකි.

නිගමනය

සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවේ ජාතික සහ භාෂා ප්‍රතිපත්ති විවිධ ආකාරයේ අවධීන් කිහිපයක් හරහා ගමන් කළේය. ජාතික, භාෂාමය සහ සංස්කෘතිකමය ගොඩ නැංවීමේ දී එම ක්ෂේත්‍රයේ ආරම්භක ප්‍රතිපත්තිය වූයේ සාරවත් සංස්කෘතීන් සහ සංවර්ධිත භාෂා සහිත ජාතිකත්වයන් ගොඩනැගීම සහතික කිරීමයි. ආරම්භක පශ්චාත්-විප්ලවවාදී දශක කිහිපය තුළ, මෙම ප්‍රතිපත්තියේ අරමුණ වූයේ සියළු ජනයාගේ අනන්‍යතා අවශ්‍යතාවයන් සපුරා ලන්නට කටයුතු කිරීම යි. රටේ ජනතාවන්ගේ නිර්මාණාත්මක විභවය මල් පල ගන්වන්නට හා සංවර්ධනය කරන්නට බලවත් අනුබලයක් ලබා දෙන ලදී.

එසේ වෙතත්, 1930 ගණන්වල සිදු වූ සංක්‍රාන්ති සමයේ දී අන්තර් වාර්ගික සන්නිවේදන මාධ්‍යයක් ලෙස රුසියානු භාෂාව යොදා ගැනීම අවශ්‍යව ඇතැයි යන අවබෝධය මත රුසියානු භාෂාව ඉගැන්වීම ක්‍රියාත්මක කරන ලද බව පෙනී යයි. එහෙත් පසු කාලීනව, සෝවියට් සංගමයේ සියළුම ප්‍රාන්තවල රුසියානු භාෂාව සර්වාකාරයෙන් ව්‍යාප්ත කිරීම හේතුවෙන් කලාපීය භාෂාවල ස්ථාවර වර්ධනය වළකා ලන ලද බව පෙන්වන නිෂේධාත්මක පසුබැසීමක් ඇති කර තිබෙන බව දක්නට ඇත. එක්තරා ආකාරයකින් මෙය බහුතරය නොවන අනෙකුත් සියළුම ජන ප‍්‍රජාවන් නොසලකා රටේ එකම රාජ්‍ය භාෂාව ලෙස සිංහල භාෂාව පනවන ලද පණස් ගණන්වල දී ලංකාවේ සිදු වුනු දේ හා සමාන වන අන්දමේ ගති ලක්ෂණ පෙන්නුම් කරයි.

අනෙක් කරුණ ඔක්තෝබර් විප්ලවය පිළිබඳව ම වේ. සෝවියට් සංගමය වැනි දැවැන්ත රාජ්‍යයක් බිහි කිරීම පෙබරවාරි සහ ඔක්තෝබර් විප්ලවයේ නොවැළැක්විය හැකි ප්‍රතිඵලයක් වූයේ ද? 1917 දී, ජනතාව සාර් අධිරාජ්‍යයෙන් මිදී තම ස්වාධිපත්‍යය අත් කර ගත් පසු ඔවුහු රුසියානු පාලනයෙන් තොරව ඔවුන්ගේම වූ නව රාජ්‍යයන් පිහිටුවා ලීම ආරම්භ කළහ. නිදසුනක් ලෙස, තම ස්වාධීනත්වය තහවුරු කල යුක්‍රේනය සිය පාර්ලිමේන්තුව ද පිහිටුවා ගත්තේය. පෙබරවාරි විප්ලවය දිග හැරෙමින් තිබියදී පවා යුක්‍රේනයේ අග නුවර වූ කීව් නගරය, රුසියානු පාලනයෙන් ඉවත් වූයේය. යුක්‍රේනියානුවෝ ඔවුන්ගේ භාෂාව දිරිමත් කරමින් ඔවුන්ගේ සංස්කෘතික නිදහස ප්‍රවර්ධනය කළහ. යුක්‍රේනයට සිය ස්වයං පාලනය ලබා දෙන්නට පෙට්‍රොග්‍රෑඩ් නුවර තාවකාලික ආණ්ඩුව දැඩි අකමැත්තක් දැක්වීය. සෝවියට් සංගමය බිහි නොකලේ නම් සහ එක් එක් සමූහාණ්ඩුවක ජනතාවට ජාතික ස්වයං නිර්ණයට ඇති අයිතිය මත පදනම්ව ඔවුන්ගේ අනාගතය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තීරණය කිරීමට ඉඩ හැරියේ නම් තත්වය කුමක් විය හැකිව තිබුනේද?

ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් සෙවීමට ගන්නා සියලු උත්සාහයන්ට එරෙහිව NPP ය, විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ, තමන් විසින් ගන්නා ලද දේශපාලන ස්ථාවරයන් ආරක්‍ෂා කරමින් සිටියි. නවතම සාක්ෂිය වන්නේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ බලය පැවරීම සම්බන්ධයෙන් NPP ය විසින් ගෙන ඇති ස්ථාවරය යි. සිංහල ජනතාව NPP යට ඡන්දය දී ඇත්තේ ඔවුන් රටේ ප්‍රශ්න සාකල්‍ය ලෙස විසඳනු ඇතැයි යන අපේක්ෂාව ඇතිව යි. එසේම, දෙමළ සහ මුස්ලිම් ජනයා NPP ය වෙත ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ බහුතරය නොවන ප‍්‍රජාවන් වන නිසාම ඔවුන් මුහුණ දෙන විශේෂිත ගැට‍ළු වලට විසඳුම් ලබා දෙනු ඇතැයි බොහෝ සේ විශ්වාස කරමිනි.

මේ සම්බන්ධයෙන් ඔක්තෝබර් විප්ලවයේ අත්දැකීම් සහ එහි ප්‍රතිඵලවලින් ශ්‍රී ලංකාවට ඉගෙන ගැනීමට බොහෝ දේ ඇත. සාධාරණත්වය සහ ඇතුළත් කර ගැනීමේ පදනම මත සමෘද්ධිය කරා යන ගමනක දී රටේ සියළු ජනතාව එක්සත් කිරීම සඳහා ලැබී තිබෙන මෙම ඓතිහාසික හා දුර්ලභ අවස්ථාව අත් හැර නොයන්නට එවැනි ජාත්‍යන්තර අත්දැකීම් මඟින් ලංකාවට ඉගෙන ගත හැකිය. ජාතික ප්‍රශ්නයට විසඳුම වනු ඇත්තේ අනාගතයේ NPP ය විසින් පනවනු ලබන ආකාරයේ විසඳුමක් ද, එසේ නැතහොත් මේ රටේ සියළුම ජන කොටස්වලින් සමන්විත බුද්ධිමය සහ සිවිල් සමාජ කණ්ඩායම්වල ක්‍රියාකාරී සහභාගීත්වය ඇතිව කරන අන්තර්ගත කර ගන්නා මෙන්ම උපදේශනාත්මක ක්‍රියාවලියක් තුලින් ඇති කර ගන්නා එකක් ද?

ආචාර්ය ලයනල් බෝපගේ විසිනි

---------------------------
by     (2024-12-01 17:09:40)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links