~

රනිල්ගේ මීලඟ තුරුම්පුව..!

-ශාන්ත ජයරත්න ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.සැප්.25, ප.ව. 11.30) අනුර කුමාර දිසානායක ජනාධිපති වී පොරොන්දු වූ පරිදිම දින කිහිපයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණය සඳහා දින නියම කර ඇත. මෙම මැතිවරණය ඔහුට “ලිට්මස් ටෙස්ට්” එකක් බව කිව යුතුය. මන්ද, ජනාධිපති මැතිවරණයේදී ඔහු ජනතාවට ලබාදුන් සමහරක් පොරොන්දු ඉටුකිරීමට පාර්ලිමේන්තුවේ 2/3 ක නියෝජනයක් (150) ලබා ගැණීම අත්‍යාවශ්‍ය ය.  

රනිල් වික්‍රමසිංහ මෙවර ජනාධිපතිවරණයෙන් ඡන්ද 2,299,767 (17.3%) ලබා ගත්තේය. සජිත් ප්‍රේමදාස ලබාගෙන ඇති ඡන්ද ප්‍රමාණය 4,363,035 (32.8%) වන අතර නාමල් රාජපක්ෂ ඡන්ද 342,781 (2.6%) ලබාගෙන ඇත. ඊට අමතරව දෙමළ පොදු අපේක්ෂකයා ඡන්ද 226,343 (1.7%) ක්ද, දිලිත් ජයවීර 122,396 (0.7%) ක් ද ඡන්ද ලබාගෙන ඇත.

ජාජබ සැලකිලිමත් විය යුතු කරුණු රාශියක්..

රනිල් සහ සජිත් ලබාගත් ඡන්ද ප්‍රමාණය එකට එකතු කළ විට 50.1% ක් වේ. එය අනුර කුමාර දිසානායක ලබාගත් මුලු ඡන්ද ප්‍රමාණය වූ 42.3% (5,634,915) ඉක්මවා යාමකි. මෙම ප්‍රතිශත අනුව අනුර කුමාරට ආසන 105 ක් පමණ ලැබෙන විට රනිල් සජිත් එකතුව ආසන 115 කට ආසන්න ප්‍රමාණයක් ලබාගනු ඇත. කෙසේ වෙතත්, මහ මැතිවරණයකදී ලැබෙන ප්‍රතිඵලය මීට වෙනස් වනු ඇත. එහිදී ප්‍රාදේශීය හා පුද්ගල සාධක බොහෝමයක් බලපානු ඇත. එම නිසා ජාතික ජන බලවේගයට දිස්ත්‍රික් අපේක්ෂකයන් තෝරාගැණීමේ සිටම සැලකිලිමත් විය යුතු කරුණු රාශියක් ඇත.  

භාරකාර ආණ්ඩුව සකස් කොට ලේකම් වරුන් 17 දෙනෙකුද මේ වන විට පත් කොට ඇත. එහෙත්,  පත් කොට ඇති ලේකම් වරුන් කිහිප දෙනෙකු පිළිබඳව යම් යම් පිරිස් අතර කතා බහක් ඇති වී තිබෙන බවක් පේන්නට ඇත. කෙසේ වෙතත් මෙය කෙටිකාලීන තත්වයක් වන අතර ආණ්ඩුව විධිමත්ව සකස් වූ පසු කිසියම් වෙනස් කිරීමක් වුවද කළ හැක. මුදල් අමාත්‍යංශ ලේකම් වරයා කෙටි කාලයකට හෝ තබා ගැණීමට අවශ්‍ය ය. IMF වැඩසටහන ආරම්භයේ සිටම මුදල් අමාත්‍යංශ ලේකම් වරයා සහ මහ බැංකු අධිපතිවරයා කටයුතු කළ හෙයින් යම් කාලයක් ඔවුන් සේවයේ තබා ගැණීම වැදගත් තීරණයකි. අනෙක් අතට මහ බැංකු අධිපතිවරයා ඉවත් කිරීම පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් හැර ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි කළ නොහැක.

ඔවුන් පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගත හොත්..

රනිල් මහ මැතිවරණයට ඉදිරිපත් නොවෙන බව ඊයේ පැවති (24) ප්‍රවෘති සාකච්ඡා කිහිපයකදීම ප්‍රකාශ විය. ඔවුන් මින් මතු අලියා ලකුණ හැර වෙනත් ලාංඡන භාවිතා නොකරන බව වජිර අබේවර්ධන ප්‍රකාශ කළේය. එමෙන්ම, අකිල විරාජ්, රුවන් විජේවර්ධන, තලතා, හරීන් සහ රාජිත සහභාගි වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ වූයේ සජබය සමග සන්ධාන ගත වී සජිත් අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට ඔවුන් බලාපොරොත්තු වන බවකි. ඊට අමතරව පොහොට්ටුවෙන් සහ ශ්‍රීලනිපයෙන් කැඩී ගිය කණ්ඩායම් ද එකතු කරගැණීමට ඔවුන් බලාපොරොත්තු වන බව සඳහන් කළේය. දිලිත් ජයවීරත් ඔවුන්ට එකතුවීමට ඉඩ ඇත. මොවුන් එක පෙරමුණක් හැටියට ඡන්දයට ඉදිරිපත් වීම හෝ වෙන් වෙන්ව ඉදිරිපත් වී පාර්ලිමේන්තුවේදී එක් කණ්ඩායමක් හැටියට ක්‍රියාකිරීමට ඉඩ ඇත.

ඔවුන් පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගත හොත්, ජනාධිපති අනුරට ඔහුගේ අගමැති වරයකු පත්කර ගැණීම අපහසු වනු ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 (4) ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා සිතන අන්දමට පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය ඇතැයි සිතන මන්ත්‍රීවරයා අගමැති වරයා හැටියට නම් කළ යුත්තේය යනුවෙන් සඳහන් කොට ඇත. ප්‍රතිපක්ෂයකට ආණ්ඩුව ගියහොත් ආරම්භයේ සිටම අර්බුද ඇතිවීමට ඉඩ ඇත.

ජනාධිපති අනුරට ඇති පළමු අභියෝගය..

ජනාධිපති අනුරට ඇති පළමු අභියෝගය වන්නේ ජනාධිපති වරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැණීමත්,  එය ක්‍රියාත්මක කරගැණීම සඳහා අවශ්‍ය මුදල් වෙන්කර ගැණීමත් ය.  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (අ) ව්‍යවස්ථාව අනුව එය සිදුවන අතර යම් හෙයකින් එය පරාජය වීම 70 (ආ) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හේතුවක් නොවන්නේය. එහෙත්, ප්‍රතිපත්ති යෝජනා ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව විසින් මුදල් අනුමත කරගැණීම සඳහා විසර්ජන පනත සම්මත කර ගත යුතුය. 70 (ඈ) ව්‍යාවස්ථාව අනුව විසර්ජන පනත පළමුවර ඉදිරිපත් කිරීමේදී පරාජය වුවහොත් තවත් වරක් ඉදිරිපත් කළ හැක. දෙවතාවේදීම පරාජය වුවහොත් ජනාධිපති වරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සිදුවේ.

ජනාධිපතිවරයාගේ බොටුව අගමැති ප්‍රමුඛ ව්‍යවස්ථාදායකය විසින් තද කරණු ඇත...

පාර්ලිමේන්තුවේ බහුතර බලය එජාපය ප්‍රමුඛ සංධානයට ගියහොත් 64 (1) ව්‍යවස්ථාව අනුව කතානායක වරයෙක් පත් කරගැණීමේ දුෂ්කරතාවයක් පැන නගිණු ඇත. එහිදී ඔවුන්ට පක්ෂපාති කථානායක වරයකු පත් කරගැණීමට හැකියාව ඇති අතර ව්‍යවස්ථාදායකයේ කටයුතු හරහා විධායකයට බලපෑම් කිරීමට කතානායකවරයාට හැකි වනු ඇත. ඊට අමතරව 157 වන ව්‍යවස්ථාව අනුව කිසිදු විදේශ රටක් සමග සංවර්ධන හෝ වෙනත් ගිවිසුමකට ඇතුලත් වීමට ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැණීම දුෂ්කර වනු ඇත. කෙටියෙන් ප්‍රකාශ කරන්නේ නම් ජනාධිපතිවරයාගේ බොටුව අගමැති ප්‍රමුඛ ව්‍යවස්ථාදායකය විසින් ක්‍රමාණුකූලව තද කරණු ඇත.

සජබය සහ එජාපය මේ සියල්ල පිළිබඳ විශ්ලේෂනයක් කොට ගත් තීරණයක ප්‍රතිඵලයක් හැටියට මෙය වටහා ගත යුතුය. රනිල් මැතිවරණ තරඟයට නොගෙන එලියෙන් තබා සජිත්ට අගමැතිකම දීමට එකඟ කරගෙන ඉතාමත් සූක්ෂම මෙහෙයුමක් කිරීමට ඔවුන් බලාපොරොත්තු වනවාට සැක නැත.

වැරැදීමකින් හෝ සජිත් අගමැති වුවහොත්..

ඔවුන්ට ජනාධිපතිවරයා ග්‍රහණයට ගැණීමට ලැබෙන පළමු අවස්ථාව වන්නේ 2025 විසර්ජන පනතයි. රජයේ බහුතර බලය ඔවුන් සතු වුව හොත් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම දුෂ්කර වන අතර වැරැදීමකින් හෝ සජිත් අගමැති වුවහොත්, ඔවුන්ට අවශ්‍ය අන්දමට වැයශීර්ෂ වෙන්කර ගෙන ඔවුන්ගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට ඉඩ ඇත.

එජාපයට හෝ සජබයට පක්ෂපාත කතානායක වරයකු මුලසුනේ සිටින විට ජනාධිපතිට විරුද්ධව දෝශාභියෝගයක් වුවද ගෙන ආ හැකිය. ව්‍යවස්ථාදායක සභාව හරහා ජනධිපතිවරයාගේ උසස් නිලතල සඳහා කෙරෙන පත් කිරීම් අභියෝගයට ලක් කළ හැක. අවසානයේදී කුමන්ත්‍රනයක් හරහා නැවත වරක් ජාතික ලැයිස්තුව හරහා රනිල් පාර්ලිමේන්තුවට රිංගාගෙන අගමැති හෝ ජනාධිපති පුටුවට නැග ගනු ඇත. රනිල්ට ජනතා ප්‍රසාදය තුලින් පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි වූවද කුමන්ත්‍රන මගින් බලය ඩැහැ ගැණීමට දක්ෂය.

ජාජබ අවධානය යොමුකළ යුතුයි..

ජාතික ජන බලවේගය මේ සම්බන්ධව අවධානය යොමු කිරීම වටී. ඔවුන් ඉදිරිපත් කරන දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තු අදාල දිස්ත්‍රික්කයේ ජනතාවට පිළිගත හැකි කණ්ඩායමක් වගේම දැන උගත් පුද්ගලයන්ගෙන් සමන්විත පිරිසක් විය යුතුය. මනාව සංවිධානය වූ මැතිවරණ සන්නිවේදන ව්‍යාපාරයක්, විශේෂයෙන්ම දිස්ත්‍රික් සහ ජාතික මට්ටමින්, දියත් කළ යුතුය. උතුරු නැගෙනහිර සහ දෙමළ කතා කරන කඳුකර ජනතාවගේ සාධාරණ අභිලාෂයන් ඉටුකර දෙන බවට විශ්වාසයක් ඔවුන් තුල ඇතිකළ යුතුය. තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 2/3 බලයක් ලබාදෙන ලෙස ජනයාගෙන් ඉල්ලා සිටිය යුතුය. ලැබූ ජයග්‍රහනය තහවුරු කරගැනීමට සියලු ක්‍රියාධරයන් අදිටන් කර ගත යුතුය. එසේ නොවුනහොත්, සතුරා නැවත කඳවුරු බැඳ වැරෙන් පහර දීමට පටන් ගනු ඇත.

-ශාන්ත ජයරත්න

ජ්‍යෙෂ්ඨ උපදේශක (හිටපු)
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA)
[email protected]

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/102

---------------------------
by     (2024-09-25 19:59:05)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links