~

බ්‍රිතාන්‍ය, ඇමරිකාව කැළඹූ තරුණ දේශපාලන බල කුණාටුව දැන් ශ්‍රී ලංකාව දෙසට...!

-ආනුභාවනන්ද ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.ජුලි.24, ප.ව. 2.10) ලියොනිඩ් ඉලිච් බ්‍රෙෂ්නෙව් (Leonid Ilyich Brezhnev) යනු ජෝශප් ස්ටාලින්ට පසුව සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ  මහ ලේකම්වරයා වශයෙන් වැඩිම කාලයක් කටයුතු කළ නායකයාය.  ඔහු වසර 1964 සිට 1982 නොවැම්බර් දී මිය යන තෙක් වසර දහඅටක් සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කළේ ය. වසර 1960 සිට 1964 දක්වා සහ නැවත වසර 1977 සිට 1982 නොවැම්බරයේ මිය යන තෙක්  දක්වා සෝවියට් සංගමයේ රාජ්‍ය නායකයාය. බ්‍රෙෂ්නෙව් මිය යන විට හැත්තෑ හය වන වියේ පසු විය.

සහයකයන් දෙදෙනෙකුගේ වාරුවෙන් ඇවිද ගිය සෝවියට් නායකයා…

ඔහුට හැත්තෑව දශකයේ මැද භාගයේ දී දරුණු හෘදයාබාධ තත්ත්වයකට මුහුණදීමට සිදු වූ අතර ඉන් පසුව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සීඝ්‍රයෙන් පිරිහී ගියේය. ඔහුට හරි හැටි වචන ගලපා ගැනීමට නොහැකි වූ අතර මතකය පිරිහී ගියේ ය. ඔහු ඇවිද ගියේ පෞද්ගලික සහයකයන් දෙදෙනෙකුගේ වාරුවෙනි. බ්‍රෙෂ්නෙව් රාජ්‍ය නායකයා වශයෙන් රූපවාහිනියෙන් සෝවියට් ජනතාව අමතන විට ඔහුගේ කටෙන් කෙළ බේරෙනු දැකිය හැකි විය. ඔහු සිටියේ එතරම් දුර්වල තත්ත්වයකය. එහෙත්  සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ නායකයන්ට සහ සමීපතයන්ට ඔහුව ධූරයෙන් ඉවත් කිරීමට අවශ්‍ය නොවීය.

බ්‍රෙෂ්නෙව්ට පදක්කම්, ඇමතිවරුන්ට සැප..

බ්‍රෙෂ්නෙව්ගේ ඉතා දුර්වල සෞබ්‍ය තත්ත්වය ඔවුන්ට විශාල වාසියක් විය. තමන් පිළිබඳ  කිසිදු අධීක්ෂණයක් නොමැති බැවින් ඇමතිවරු රිසිසේ නිදහසේ කටයුතු කරමින් තම පෞද්ගලික අභිමතාර්ථයන් ඉෂ්ට කර ගත්හ. ඔවුහු ජාතික ධනය සොරාකමින් කුමාර ජීවිත ගත කළහ. ඒ වෙනුවෙන් ඔවුහු බ්‍රෙෂ්නෙව්ට වාර්ෂිකව විවිධ වීර පදක්කම් ප්‍රදානය කළහ! රටේ නායකයා වශයෙන් බ්‍රෙෂ්නෙව්ට උපක්‍රමික තීරණ, ප්‍රතිපත්ති ක්‍රියාත්මක  කරමින් රට ඉදිරියට මෙහෙයවීමේ හැකියාවක් නොවීය.

මහළු නායකයන් නිසා බිඳ වැටුණු සෝවියට් සංගමය…

එහි ප්‍රතිඵල වශයෙන් සෝවියට් ආර්ථිකය එකතැන පල් වූ අතර රට නවීකරණ මාවතට යොමු කිරීමට නොහැකි විය. එයට අමතරව බ්‍රෙෂ්නෙව් ඇෆ්ගනිස්ථාන ආක්‍රමණය සඳහා ද අවසර දුන්නේ ය. දීර්ඝකාලීන ඇෆ්ගන් යුද්ධයට පැටලීම හේතුවෙන්  සෝවියට් ආර්ථික බිඳ වැටීම සිඝ්‍ර විය. මේ සියල්ලෙහි සම්ප්‍රයුක්තය ලෙස සෝවියට් සංගමය බිඳ වැටුණි. බ්‍රෙෂ්නෙව්ගේ සෞඛ්‍ය පිරිහෙන විට ගොර්බචොෆ් වැනි තරුණයෙකු එදා සෝවියට් දේශයේ නායකත්වයට පත්වූවේ නම් එහි ඉරණම වෙනස්වීමට ඉඩ තිබිණ.  

ප්‍රජාතන්ත්‍රවාදී රටවල අයහපත් සෞඛ්‍ය සැඟවිය නොහැක..

සෝවියට් සංගමය වැනි කොමියුනිස්ට් පාලනයක් යටතේ බ්‍රෙෂ්නෙව්ගේ ඉතා අයහපත් සෞඛ්‍ය තත්ත්වය වසර ගණනාවක් සඟවා ගෙන සිටිය හැකි වුවද ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන්හි එවැනි රැවටීම් දුෂ්කරය. එයට හේතුව වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල රාජ්‍ය නායකයන් සෘජුවම ජනතාව, මාධ්‍ය සහ ජනතා නියෝජිතයන් සමඟ ගණුදෙනු  කිරීමට සිදුවීමය. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් අද මුහුණ දී සිටින්නේ එම යථාර්ථයටය. ඔහුට දැන් තියුණු මතකයක් නැත. ඔහු කථා කරනවිට නම් අමතක වේ. ඇතැම් අවස්ථාවන්හි ආරම්භ කරන වාක්‍යය නිසි ලෙස අවසන් කිරීමට ඔහු අසමත්ය. මේවා සංජානනීය බිඳ වැටීම්ය.

ජනාධිපතිවරණ විවාදයෙන් මතු වූ යථාර්ථය….

වසර 2021 ජනවාරියේ ජනාධිපතිධූරයේ දිවුරුම් දුන් අවස්ථාවේ ඔහු එවැනි තත්ත්වයක සිටියේ නැත. එක් එක් පුද්ගලයා වියපත් වන විට මුහුණ දෙන ශාරීරික සහ මානසික දුබලකම් විවිධය. එමෙන්ම එම දුබලතා ඇති වීමට ගත වන කාලය ද වෙනස්ය. දැනට සති තුනකට පෙර  ජෝ බයිඩන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවැති ප්‍රථම ජනාධිපතිවරණ විවාදයේදී  බයිඩන්ගේ මේ දුර්වලතා නැවත වතාවක් ලොවට  ප්‍රදර්ශනය විය. ඒ විවාදයෙන් පසුව ඩිමොක්‍රටික් පක්ෂය හමුවේ මතු වූ ප්‍රධාන අභියෝග  වූයේ ජනාධිපති බයිඩන්ට ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ජනාධිපතිවරණයේ දී  සටන් කළ හැකි ද? සහ ජනාධිපති බයිඩන් මැතිවරණෙයන් ජය ගතහොත් ඔහුට ඉදිරි වසර හතරක පාලන කාලය සම්පූර්ණ කළ  හැකි ද? යන්නය.

ජනාධිපතිවරණ නාමයෝජනාව ඉවත් කර ගැනීම..

මේ අර්බූදයෙන් ජය ගැනීමට හැකි එකම මාර්ගය වූයේ ජනාධිපති බයිඩන් තම ජනාධිපතිවරණ නාමයෝජනාව ඉල්ලා අස්කර ගැනීම පමණි. එහෙත් ඒ  වන විට ඩිමොක්‍රටික් පක්ෂයේ අභ්‍යන්තර ඡන්ද (primary elections) විමසීම් පවත්වා ජනාධිපති බයිඩන්ව තම ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් තෝරා ගෙන තිබිණි. ඔහු ඡන්ද මිලියන දාහතරක් ලබා ගත්තේ ය. ජනාධිපති බයිඩන් ස්වේච්ඡාවෙන් ජනාධිපතිවරණයෙන් ඉවත් වුවහොත් මිස, ඔහුව තරඟ කිරීම වැළැක්වීමට කිසිදු ව්‍යවස්ථා ප්‍රතිපාදනයක් පක්ෂයේ නැත.

තරුණයෙකුට අවස්ථාව දෙන ලෙසට බලපෑම්..

ජනාධිපතිවරණ විවාදයේදී ජනාධිපති බයිඩන් දැක්වූ ප්‍රතිචාර සම්බන්ධයෙන්   ඩිමොක්‍රටික් පාක්ෂිකයෝ කම්පනයට පත් වූහ. ඔහුට ජනාධිපතිවරණයෙන් ඉවත්වී තරුණ අපේක්ෂකයෙකුට අවස්ථාව ලබා දෙන ලෙසට ඩිමොක්‍රටික් ජනතා නියෝජිතයෝ, සහ විවිධ ආධාරකරුවෝ ප්‍රසිද්ධියේ  ඉල්ලා සිටියහ. එහෙත් ජනාධිපති බයිඩන් කියා සිටියේ තමන්ට තවමත් ඩොනල්ඩ් ට්‍රම්ප්ව පරාජය කළ හැකි බවයි. ඩිමොක්‍රටික් පක්ෂයේ විවිධ මට්ටමේ නායකයෝ ඔහුව විටින් විට පෞද්ගලිකව මුණගැසී, බිම් මට්ටමේ තත්ත්වය වඩාත් නරක බව පෙන්වා දුන්හ. එහෙත් ඔහු ජනාධිපතිවරණයෙන් ඉවත්වීමට කැමති නොවීය.

බයිඩන්ට මඟක් නැතේ…

අවසානයේ ජනාධිපති බයිඩන් පසුගිය සෙනසුරාදා (20) සිය සමීපතම උපදේශකයන් සමග දීර්ඝ සාකච්ඡාවක නිරත විය. එහිදී ඔහුගේ උපදේශකයන් නවතම ජනමත සමීක්ෂණ ගෙන හැර දක්වමින් පෙන්වා දුන්නේ ඔහුට මෙවර ජනාධිපතිවරණය ජය ගැනීමට කිසිදු මඟක් නොමැති බවයි.  ඇමරිකානු ජනාධිපතිවරණයේ ජය පරාජය තීරණය කරන ඇරිසෝනා, ජෝර්ජියා, මිචිගන්, පෙන්සෙල්වේනියා, විස්කොන්සන් සහ නෙවාඩා  වැනි  ප්‍රාන්තයන් (swing states) ජය ගැනීමට මෙවර හැකියාවක් නොමැති බව ඔවුහු පෙන්වා දුන්හ. ඒ අනුව තමන් ජනාධිපතිවරණයෙන් ඉවත්වී තම සම්පූර්ණ සහයෝගය උප ජනාධිපති කමලා හැරිස්ට ලබාදෙන බව ජනාධිපති බයිඩන් පසුගිය ඉරිදා (18) ප්‍රකාශ කළේ ය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියට…

වසර 2020 ජනාධිපතිවරණයේදී  බයිඩන් ඇරිසෝනා, ජෝර්ජියා, මිචිගන්, පෙන්සෙල්වේනියා, විස්කොන්සන්, සහ නෙවාඩා ප්‍රාන්ත සියල්ල ජයග්‍රහණය කළේ ය. දැනට වසරකට පමණ පෙර සිදු කළ ජනමත සමීක්ෂණ අනුව මේ ප්‍රාන්තයන්හි  සියයට 2-3ක් අතර ප්‍රමාණයකින්  ඉදිරියෙන් සිටීමට ජනාධිපති බයිඩන් සමත් විය. එහෙත් මේ වන විට ඒ සෑම ප්‍රාන්තයකින්ම සියයට පහකින් පමණ ඉදිරියෙන් සිටීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ට හැකිව ඇත.

පලස්තීන ජන සංහාරයට  සහයෝගය දැක්වීමේ විපාක..

වසරක් ඇතුලත බයිඩන්ට මෙවැනි පසුබැසීමකට මුහුණදීමට සිදු වූයේ මන්ද? එයට ප්‍රධාන හේතුව පලස්තීන ජන සංහාරයට  සහයෝගය ලබාදෙන ජෝ බයිඩන්ගේ විදේශ ප්‍රතිපත්තියයි. වසර 2020 ජනාධිපතිවරණය ජෝ බයිඩන්ට ජයග්‍රහණය කළ හැකි වූයේ තරුණ සහ සුළු ජාතික ඡන්ද ආකර්ෂණය කර ගත හැකි වූ බැවිනි. එහෙත් මෙවර බොහෝ තරුණ සහ සුළු ජාතික ඡන්දායකයෝ බයිඩන්ව ප්‍රතික්ෂේප කළහ. එයට ප්‍රධාන හේතුව බෙන්ජමින් නෙතෙන්යාහුගේ, වර්ගවාදී දක්ෂිණාංශික ආණ්ඩුවේ  පලස්තීන ජන සංහාරයට  බයිඩන් සහයෝගය ලබාදීමය. ජනමත විමසුම් වලට අනුව වයස 18 සිට 34 දක්වා තරුණයන්ගෙන් සියයට 70ක් බයිඩන්ගේ ගාසා ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කර ඇති අතර සමස්ත ඡන්ද දායකයන්ගෙන් සියයට 56ක් ගාසා ජන සංහාරයට විරුද්ධය.

ඇමරිකානු මුස්ලිම් ජාතිකයන්ගේ බයිඩන් විරෝධය…

ඇරිසෝනා, ජෝර්ජියා, මිචිගන්, පෙන්සෙල්වේනියා, විස්කොන්සන් සහ මිනිසෝටා  වැනි ප්‍රාන්තයන්හි සැළකිය යුතු මුස්ලිම් ජනගහනයක් සිටිති. වසර 2020 දී බයිඩන් ඇරිසෝනා ජය ගත්තේ වැඩි ඡන්ද 10,500 කිනි. එහි මුස්ලිම් ජනගහනය  110,000කි. ඔහු ජෝර්ජියාව ජය ගත්තේ වැඩි ඡන්ද 12,500කිනි.  එහි මුස්ලිම් ජාතිකයෝ 123,000ක් ජීවත් වෙති. බයිඩන් මිචිගන් ජය ගත්තේ වැඩි ඡන්ද 154,000කින් වන අතර එහි මුස්ලිම් ජනගහනය 242,000කි. ඔහු මිනිසෝටා ජය ගත්තේ වැඩි ඡන්ද 233,000 කිනි. එහි මුස්ලිම් ජනගහනය 115,000 කි. මේ මුස්ලිම් ජනතාවගෙන් අතිබහුතරය ජනාධිපති බයිඩන්ට සිය අප්‍රසාදය පල කරති. ඒ බව ජනමත විමසුම් වලින් පැහැදිලිය.

සටන් විරාම ආයාචනය නොසළකා හැරීම…

ගාසාතීරයේ සටන් විරාමයක් ස්ථාපිතකර එහි සිදුවන ජන සංහාරය නතර කිරීමට මැදිහත් වන ලෙසට ඇමරිකානු මුස්ලිම් ජාතිකයෝ පසුගිය වසරේ ඔක්තෝබර් 7 වන දා සිට බයිඩන්ට ආයාචනා කළහ. බයිඩන් ඒ සියලු ඉල්ලීම් නොසළකා හැර නෙතන්යාහුගේ මිනීමරු ජන සංහාරයට  සහයෝගය දක්වයි. වසර 2020 ජනාධිපතිවරණයේදී ඇමරිකානු මුස්ලිම් ජාතිකයන්ගෙන් සියයට 69ක් ඡන්ද භාවිතා කළේ බයිඩන්ටය.

බයිඩන්ගේ ඇමරිකානු අරාබි ඡන්ද ප්‍රතිශතය සියයට 17ක් දක්වා පහළට…

එහෙත් මෙවර තමන් බයිඩන්ට ඡන්දය භාවිතා නොකරන බව ඇතැම් මුස්ලිම් ජාතිකයෝ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරති. ඇමරිකානු අරාබි සහ පලස්තීන ප්‍රජාව මේ අතරින් ඉදිරියෙන් සිටිති. Arab American Institute (AAI) සිදු කළ ජනමත සමීක්ෂණයකට අනුව වසර 2024 ජනාධිපතිවරණයේදී  බයිඩන්ට ඡන්දය ලබාදීමට සූදානම් ඇමරිකානු අරාබි ඡන්දදායකයන්ගේ ප්‍රතිශතය සියයට 17ක් පමණි! එබැවින් ජනාධිපති බයිඩන්ට එම ප්‍රාන්ත ජය ගැනීමේ කිසිම හැකියාවක් නැත.

බයිඩන්ගේ ඊශ්‍රායල ගුද රුදාව නිට්ටාවට සුවවෙයි

ජනාධිපති බයිඩන් අදටත් පෙනී සිටින්නේ පලස්තීන ජනතාවට එරෙහිව සිදු කරන නෙතෙන්යාහුගේ ජන සංහාර ප්‍රතිපත්තිය වෙනුවෙනි. ගාසාතීරයේදී ඝාතනය කරනු ලැබූ කුඩා දරුවන්, කාන්තාවන් ඇතුළු හතළිස් දහසකට අධික පලස්තීන පුරවැසියන්ගේ ලේ නෙතෙන්යාහුගේ මෙන්ම ජෝ බයිඩන්ගේ දෑතේ තැවරී තිබේ. බයිඩන්ගේ මේ ඊශ්‍රායල ගුද රුදාව සුවවීමට නියමිතව තිබුණේ ලඟ එන නොවැම්බරයේදීය. එහෙත් මාස තුනකට පෙර ඔහුට නිසි ඖෂධ ලැබුණේ ය. දැන් ජනාධිපති බයිඩන්ගේ ඊශ්‍රායල ගුද රුදාව නිට්ටාවට සුවවී තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිය මෙන්න..

මේ සිද්ධියේ රිදී රේඛාව වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිය යළිත් ප්‍රදර්ශනය වීමය.   ලියොනිඩ් බ්‍රෙෂ්නෙව් මෙන් ජනාධිපති බයිඩන්ට තම ශරීර සෞඛ්‍ය දුර්වලතා සඟවා සිටීමට නොහැකි විය. එමෙන් ඩිමොක්‍රටික් පක්ෂය යනු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් බව යළි තහවුරු විය. ඒ තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් තිබේ.  එම පක්ෂය නායකත්වයට වන්දමාන කරන ට්‍රම්ප්ගේ  MAGA රිපබ්ලිකන් අනුගාමී කල්ලිය (cult) වැන්නක් නොවෙයි.  එවැනි cult හි අනුගාමිකයෝ තම නායකයා දේවත්වයට නංවා ඔහු කියන වචන දේවභාෂිතය ලෙස සළකති. හිට්ලර්ගේ නාසි පක්ෂය,  මුසලෝනිගේ ෆැසිස්ට් පක්ෂය මෙවැනි අනුගාමී කල්ලිය. ඇමරිකානු  ඩිමොක්‍රටික් පක්ෂයේ නායකයා ජෝ බයිඩන්ය. එහෙත් එම පක්ෂයේ මහජන නියෝජිතයෝ, පාක්ෂිකයෝ මෙන්ම විවිධ මට්ටම්හි ප්‍රධානීහු තම නායකයාට ජනාධිපතිවරණයෙන් ඉවත්වී තරුණයෙකුට එම අවස්ථාව දෙන ලෙසට බලපෑම් කළහ.

බහුතර මතයට හිස නැමූ ප්‍රජාතන්ත්‍රවාදියා…

පක්ෂ නායකයා ද ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කටයුතු කරමින් බහුතර මතයට ගරු කළේ ය. ජනාධිපති බයිඩන් යනු වසර පනහකට අධික කාලයක් සිය ජීවිතය මහජන සේවය වෙනුවෙන් කැප කළ චරිතයකි. බයිඩන් ඇමරිකානු සෙනෙට් සභාවට තේරීපත් වනවිට ඔහුගේ වයස අවුරුදු විසිනමයකි. එදා ඔහුට එල්ල කළ විවේචනය වූයේ ඔහු තරුණ වැඩි බවයි! ඔහු රට මෙන්ම පක්ෂය ගැන කල්පනා කර තමා තරඟ කර ලබාගත්  ජනාධිපති නාමයෝජනාව අත්හැර දැමීය. අපේ රටේ මෙන් බලහත්කාරයෙන් නායකත්වයේ රැඳී සිටියේ  නැත.

කමලා හැරිස් ඇමරිකාවට තරුණ ජවය එක් කරයි…

දැන් අසූ එක් හැවිරිදි ජෝ බයිඩන් වෙනුවට පනස් නම හැවිරිදි කමලා හැරිස් ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා බවට පත්ව සිටියි. ඇය ඇමරිකානු ඉතිහාසයේ වයස්ගතම ජනාධිපති අපේක්ෂකයා වන ඩොනල්ඩ් ට්‍රම්ප්ට අභියෝග කරන්නීය. ඇයට පක්ෂ නායකත්වය සහ ජනාධිපති අපේක්ෂකත්වය ලැබුණු සැනින් ඩිමොක්‍රටික් මැතිවරණ ව්‍යාපාරයට නව ජවයක්, විශාල පිබිදීමක් සහ ආකර්ෂණයක් ලැබී තිබේ. පළමු පැය විසිහතර තුළ, කුඩා පරිත්‍යාගශීලීන් කමලා හැරිස්ගේ මැතිවරණ සටනට ලබා දුන් මුදල ඇ. ඩොලර් මිලියන සියයකි! ඒ තරුණ නායකත්වයේ ශක්තියයි.

මීලඟ තරුණ නායකයා ලංකාවෙන්….

දැන් ලොව පුරා හමා යන්නේ තරුණ නායකයන් බලයට ගෙන එන කුණාටුවකි. වසර දාහතරක කොන්සර්වේටිව් පක්ෂ පාලනය අවසන් කර බ්‍රිතාන්‍ය ජනතාව බලයට ගෙන ආවේ හැට හැවිරිදි කීර් ස්ටාර්මර්ගේ නායකත්වයෙන් යුතු කම්කරු පක්ෂයයි. මේ මොහොතේ අප සූදානම්ව සිටින්නේ  ශ්‍රී ලංකාවේ ලාබාලම ජනාධිපතිවරයා බලයට ගෙන ඒමටය.  චිරාගත පැරණි ප්‍රභූ දේශපාලනය විනාශ කර පොදු ජනතාවට බලය ලබා ගැනීමටය. මේ කුණාටුව දැනටමත් අපේ රටට ඇතුළුවී ඇති බව අපේ නිරීක්ෂණයයි.

-ආනුභාවනන්ද

[email protected]

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/33

---------------------------
by     (2024-07-24 08:47:22)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links