~

කළාවැවේ පිටවානේ ධාතුසේන රජු සැඟවූ නිධානය හොරකම් කළේ කව්ද? මහවැලියේ ඉහළ නිලධාරීන් ආරක්ෂක අංශ සම්බන්ධයි..!

(ලංකා ඊ නිව්ස් -2024.ජුනි.25, ප.ව.11.45) කළාවැවේ පිට වාන අභියස ඇති කළු ගල කැනීම් කර එහි තිබූ නිධානයක් කිසියම් පිරිසක් විසින් ලබා ගෙන ඇති සිද්ධියේ ඇත්ත නැත්ත සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කළාවැව යටතේ වගා සිදු කරන මහවැලි එච් කළාපයේ ගොවි සංවිධාන නියෝජිතයින් පිරිසක් ඊයේ (24) අදාළ ස්ථානය නිරීක්ෂණය කර ඊට සම්බන්ධ පිරිසට දඬුවම් කරන ලෙස ඉල්ලා කළාවැව් බැම්ම මත පිහිටි කඩවර දේවාලයේදී පොල් ගසා දේව කන්නලව්වක්ද සිදු කරනු ලැබීය. ඔවුන් චෝදනා කරන්නේ මහවැලියේ ඉහළ නිළධාරීන් සහ මහවැලි ආරක්ෂක අංශය මීට සම්බන්ධ බවයි.

ක්‍රිස්තු වර්ෂ පස්වන ශතවර්ශයේ රජකම් කළ ධාතුසේන රජ විසින් කළාවැව ඉදි කරන බව ඉතාහසයේ සඳහන් වේ, කළාවැවේ ඉදිකිරීම් වලින් අනතුරුව රජු විසින් ඊට ආසන්නයේම බළලු වැව නමින් තවත් වැවක්ද ඉදි කර එම වැව් දෙක එක් කිරීමෙන් ශ්‍රී ලංකාවේ විශාලතම වැව ඉදි කර ඇත.කළාවැව උතුරු මැද පළාතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇති පුරාණම ජලාශයකි. සීගිරිය තම රාජධානිය කර ගත් කාශ්‍යප රජු තම පියා වන ධාතුසේන රජතුමන්ගෙන් වස්තුව ඉල්ලා සිටි අවස්ථාවකදී, කළාවැව තමාගේ එකම වස්තුව බව ධාතුසේන රජු පැවසූ විට, ධාතුසේන රජු කළාවැව් බැම්මට තබා පස් ගසා  ඝාතනය කළ බව ඉතිහාසයේ සඳහන් වේ.

කළාවැව අක්කර අඩි ලක්ෂක ජල ධාරිතාවයක් රඳවා තබා ගත හැකි ජලාශයකි.කළාවැවේ සිට තිසා වැව දක්වා සැතපුම් 54 (කිලෝමීටර 86.9) ක් ජලය රැගෙන යන යෝධ ඇළ, ජය ගඟ ආරම්භ වන්නේද කළාවැවෙනි.කළාවැවට ආස්නනයේ අවුකන බුද්ධ ප්‍රථිමාව, විජිතපුර රාජමහා විහාරය ඇතුළු පුරාණ වෙහර විහාරස්ථානයන්ද පිහිටා ඇත.

එවැනි වටිනාකමක් සහිත වසර ගණනක් පැරණ කළාවැවෙහි පිටවානේ බැම්ම ආසන්නයේ කැනීම් සිදු කර ඇති අයුරු නිරීක්ෂණය සඳහා කළාවැව යටතේ පෝෂණය වන මහවැලි එච් කළාපය ගොවි නායකයින් පිරිසක් අද (24) නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.

එහිදී ගොවි නායකයින් විසින් වාන් බැම්මට අඩි කීපයක් මෙපිටින් කළුගල කැනීම් කර අඩි 02 කට ආසන්න ගැඹුරකින් හාරා ඇති වල නිරීක්ෂණය කරනු ලැබීය.එහිදීද ගොවීන් මහත් කණගාටුවෙන් එම සිදු කර ඇති හානිය සම්බන්ධයෙන් අදහස් දැක්වීය.එම ස්ථානයේ කැනීම් කීපයක් සිදු කර තිබූ අතර, එක් ස්ථානයක් අඩි 02 ක් පමණ ගැඹුරට කිසියම් යන්ත්‍රයක් උපයෝගී කර ගෙන කැනීම් සිදු කර ඇති බව දැක ගත හැකි විය.

අනතුරුව එම පිරිස කළාවැව කඩවර දේවාලය වෙත ගොස් පොල් ගසා මෙම නිධන් කොල්ලය සිදු කළ පිරිසට දඩුවම් දෙන ලෙස දේව කන්නලව්වක්ද සිදු කළහ.

මෙම ගොවි නායකයින් අදාළ ස්ථානයෙන් පැමිණි පසු  අපරාධ ස්ථාන පරීක්ෂක  (SOCO)  නිළධාරීන් පිරිසක් පැමිණ ස්ථානීය පරීක්ෂණ සිදු කළහ.

මෙතන නිධන් ගන්න බෑ සාමාන්‍යය මිනිස්සුන්ට..  

මහවැලි එච් කළාපයේ ව්‍යාපාර කළමණාකරන කමිටුවේ සභාපති බන්දුල පියරත්න මහතා,

"මහවැලි එච් කළාපයට නායකත්වය සපයන ගොවි නායකයෝ එකතු කර ගෙන කළාවැවට ආවේ පසුගිය 18 වැනිදා අපිට ආරංචි වුණා මහවැලි එච් කළාපයේ හදවත, ජීවනාලිය බඳු කළාවැවේ වාන අසල තිබුණු නිදන් වස්තුවක් කිසියම් පිරිසක් විසින් මංකොල්ල කාලා කියලා, මේක ඉතාම බරපතල ඛේදවාචකයක්, බරපතල ප්‍රශ්නයක්, මේ කළාවැව කියන්නේ මහත් ගෞරවයට, පූජනීයත්වයට පත් කර ගත්ත ස්ථානයක්, මහවැලි ව්‍යාපාරය ආරම්භ වෙලා අවුරුදු 56 කට එහා ගත වෙලා තියෙනවා, ඉතිහාසයේ කවදාවත් මෙවැනි ඛේදවාචකයක් කළාවැවෙන් අපිට අහන්න ලැබුණේ නෑ, කළාවැවේ වාන කියන ස්ථානය පිහිටලා තියෙන්නේ කළාවැව සංචාරක බංගලාවට යාබදව, එම ස්ථානයේ මහවැලි ආරක්ෂක අංශය රාජකාරියේ නිරත වෙලා ඉන්නවා, වාන කියන්නේ කළාවැවේ අධිආරක්ෂිත කළාපය විදිහට නම් කරපු පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයක්.එහි කැනීම් කටයුත්තක් කරලා අපේ මුතුන්මිත්තන් හදපු කළාවැව, මුතුන්මිත්තන් තැන්පත් කරපු නිධන් වස්තු හොරකම් කරලා තියෙනවා, මේවා ගන්න මෙතන්ට සම්බන්ධ වුණේ කොහොමද කියන කාරණය ඉතාම බරපතලයි. අපි පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා මේකට යුක්තියේ මෙහෙයුම ක්‍රියාත්මක කරන්න.මේකට සාධාරණය ඉටු කරළා මේ මංකොල්ලකරුවෝ අල්ලන්න ඔ්න, මෙතන නිධන් ගන්න බෑ සාමාන්‍යය මිනිස්සුන්ට ඇවිල්ලා, අපි අද මේක බලන්න එද්දී මහවැලි නිළධාරීන් අපිට බාධා කෙරුවා මේක අධිආරක්ෂිත කළාපයක් කියලා. මේකේ නිධානය ගත්තාම අපිට බලන්න යන්න බෑ කියද්දී, මේකේ නිධානය තියෙද්දී කොහොමද මේ අය ගියේ කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා.

අනිවාර්යෙන්ම මේකට මහවැලියේ ඉහළ නිළධාරීන් සම්බන්ධයි...

අනිවාර්යෙන්ම මේකට මහවැලියේ ඉහළ නිළධාරීන් සම්බන්ධයි. ඒ වගේම මහවැලි ආරක්ෂක අංශයත් මේකට සම්බන්ධයි, ඒ වගේම රටේ දේශපාලන නායකත්වයත් මේකට සම්බන්ධයි.ඒ නිසා අනුරාධපුර දිස්ත්‍රික්කයේ දේශපාලන නායකයෝ මේවට සම්බන්ධයි.

මේ කළාවැවට අපි ආදරෙයි, මේ කළාවැව අපේ ජීවිතය, මේ මහපොළවත් එක්ක පොරබදන ගොවියෝ අපි, ඒ නිසා අපි මේ රටේ ජනාධිපතිවරයාට කියනවා, පොලිස්පතිතුමාට, මහවැලි ඇමතිතුමාට අපි කියනවා, මේක සුළුවෙන් තකන්න බෑ, අද 23 වැනිදා, අද වෙනකල් පොලීසියෙන් කිසිදු පරීක්ෂණයක් මේ සම්බන්ධයෙන් සිදු වෙලා නෑ, මහවැලි ගොවි නායකයෝ එනවා කිව්වම අද පොලීසියෙන් ඇවිත් අපිට බාධා කරන්න ඇවිත් තියෙනවා.අපි ආවේ මෙතන නිධන් ගන්න නෙමෙයි. ගත්තේ මොනවාද? ගත්තේ කොහොමද කියලා අහන්න අපි ආවේ.ඒ නිසා පොලිස්පතිතුමාගෙන් අපි ඉල්ලන්නේ ඔයාගේ යුක්තියේ මෙහෙයුම මේකට පෙන්වන්න,මේ නිධන් හොරු අල්ලන්න.

මහවැලියේ ඉහළ නිළධාරීන් ගොවි නායකයන්ට බලපෑම් කරනවා..

අද ගොවියෝ මේකට එන්න එද්දී, මහවැලියේ ඉහළ නිළධාරීන් ගොවි සංගම් වල සභාපතිවරුන්ට බලපෑම් කරලා තියෙනවා, මෙතන්ට යන්න එපා, අපි කථා කරලා සාකච්ජා කරලා මේක විසඳගමු කියලා. ඇයි මේ ගොවි නායකයන්ට මෙහෙම බලපෑම් කරන්නේ. අපි කළාවැව වෙනුවෙන් ජීවිත වුණත් දෙන්න පුලුවන්, එදා ධාතුසේන රජ්ජුරුවෝ මේ කළාවැව හැදුවේ පවුලේ අයගේ සුඛ විහරනය වෙනුවෙන් නෙමෙයි, කළාවැවෙන් පෝෂනය වෙන දහස් ගණනක් මිනිස්සුන්ගේ පෝෂනය වෙනුවෙන්, මේ රජරට ජීවනාලියේ තියෙන නිධන් වස්තු එක එකාට ඔ්න විදිහට හොරකම් කරන්න පුලුවන් නම් කොයි මේ රටේ ආරක්ෂාව, කෝ මේ රටේ දේශපාලන නායකත්වය.මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමන්ට, පොලිස්පතිතුමන්ට ඇඟිල්ල දික් වෙන්න පුලුවන්, ඒ නිසා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරලා මේකට සම්බන්ධ අය කවුද කියලා හෙළි කරන්න.

ඇල්ලුවේ නැතිනම් අපි පාරට එනවා...

කළාවැව සෙල්ලම් බඩුවක් බවට පත් කර ගන්න එපා, මේකේ තියෙන වටිනා සම්පත් එක් එක් පුද්ගලයින්ගේ සුඛ විහරණය වෙනුවෙන් පරිහරණය කරන්න දෙන්න සූදානම් වෙන්න එපා, මහවැලි එච් කළාපයේ ගොවි පවුල් 25000 ක් විතර කළාවැවෙන් පෝෂණය වෙනවා, ගොවි අම්මා තාත්තා කම්පනයෙන් ඉන්නේ, ගොවි අම්මා තාත්තා කැත්ත උදැල්ල අරගෙන කුඹුරට යනවා වෙනුවට මහපාරට එන්න පුලුවන්, ගොවි අම්මා තාත්තා දඬුවම් දෙන්න එන්න ඉසරලා රටේ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා බලපෑම කරන්නයි අපි ආවේ.මේකට සම්බන්ධ පිරිස අත්අඩංගුවට ගත්තේ නැත්නම් අපි ගොවියෝ පාරට අරගෙන ඇවිත් මේ වෙනුවෙන් සටන් කරනවා.

හාරපු දවසේ මහවැල් සංචාරක බංගලාවේ ලොකු උත්සවයක් තිබුනා...

එදා තිබුණ නැති බෝට්ටු සර්විස් එකක් දැන් කළාවැවේ ආරම්භ කරලා තියෙනවා, මේ බෝට්ටු සර්විස් එකට සම්බන්ධ අය මේ නිධන් ගන්න වැඩේට සම්බන්ධද කියලා අපිට සැකයක් තියෙනවා, මහවැලි බංගලාවට ආරක්ෂකයෝ 05 ක් දාගෙන, සී.සී.ටී.වී කැමරා දාලා තියෙනවා, කළාවැවේ හදවත වෙච්ච වාන් දොරටු ආරක්ෂා කරන්න කැමරා සවි කරලා නෑ,  මේක දේශපාලන අධිකාරියේ මැදිහත් වීමෙන් කරපු මහා මංකොල්ලයක් මේක, ධාතුසේන රජ්ජුරුවෝ තමන්ගේ පුතාට කිව්වේ තමන්ගේ එකම වස්තුව මේ කළාවැව කියලා.ඒ කළාවැව ස්වාභාවික විපතකට යම් දිනයක පත් වුණොත් ඒක ආපහු නැවත සකස් කරන්න තමයි මේ විදිහට නිධන් තැන්පත් කරලා තියෙන්නේ.නමුත් මේ රටේ දේශපාලකයෝ , ඉහළ නිළධාරී තක්කඩි මේ විදිහට නිධන් තමන්ගේ සුඛ විහරනයට ගන්න සූදානම් වෙනවා නම් ගොවි අම්මා තාත්තා බලන් ඉන්නේ නෑ, මාවිල් ආරුවෙන් හොරකම් කරපු හොර දේශපාලඥයෝ මේකට සම්බන්ධයි කියලා අපිට ආරංචියි.

මේක මහා ධන සම්පත් තියෙනවා, ධාතුසේන රජතුමන් තැන්පත් කළ මහා නිධන් තියෙනවා, අපි ඇස්කන් පියන් හිටියොත් මේකේ තියෙන හැම නිධානයක්ම ගන්නවා.ඒ නිසා අවධි වෙලා මේ කළාවැව ආරක්ෂා කරන්න එකතු වෙන්න කියලා අපි සියලු ගොවියන්ගෙන් ඉල්ලා සිටිනවා.මේ කටයුත්ත කරපු වෙලාවේ මහවැලි සංචාරක බංගලාවේ ලොකු උත්සවයක් තියලා ශබ්ද තියලා තියෙනවා.ඒ නිසා ඒ උත්සවයත් මේ නිධන් ගැනීමත් අතර සම්බන්ධයක් තියෙන්න පුලුවන්

ඒ වගේම අපි කඩවර දේවාලයට ගිහින් පොල් ගහලා ඉල්ලන්නේ මේ හොරුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න . දෙවියන්ට අපි කියන්නේ මේ කරපු පාහර, තුප්පහි වැඩේට, මේ ජාතික උරුමය විනාශ කරන්න කටයුතු කරපු අයට දඬුවම් කරන්න කියලා" යැයි පැවසීය.

මේ සිදුරු කරන්නේ අපේ හදවත්..

මේ සම්බන්ධයෙන් අදහස් 305 ඩී 1 ගොවි සංවිධානයේ සභාපති දැක්වූ ජී.එම් විජේරත්න මහතා,

"මේ නිධන් හොයන්නේ, නිධන් ගන්නේ  යන්ත්‍ර සූත්‍ර දාලා, මේ විදිහට බිසෝ කොටු, ප්‍රධාන හොරොව් හාරලා නිධන් ගත්තොත් මොකද කරන්නේ, මේ කළාවැව මහවැලි එච් කළාපයේ හදවත, ඔවුන් මේ සිදුරු කරන්නේ අපේ හදවත්, මේවාට නිහඩ වුණොත් මේ කළාවැව විනාශ කරලා දානවා.මේ සිද්ධියට නිහඩ නොවී මේ නිධන් හොරු අල්ල ගන්න, නැත්නම් අවුකන පිළිමයටත් ලඟදීම හානි කරයි" යැයි පැවසීය.

හිටුවා පස් ගහන්න ඕන..

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජයලාල් ජයසූරිය ගොවි මහතා,

"අපි ඉන්නේ ලොකු කම්පනයකින්, මේ කළාවැව අපේ හදවත, අපේ හදවත සිදුරු කරලා, මේක සංවිධාන ජාලයක් තුළ කරපු වැඩක්, මේකට බළධාරීන් නිළධාරීන් පිරිසගේ මැදිහත් වීමකින් කරපු වැඩක්.මේ වගේ සිදුවීම් අපිට කවදාවත් අහන්න ලැබිලා නෑ, ධාතුසේන රජ්ජුරුවන්ට මේවා අහන්න දකින්න ලැබුනොත් එතුමාට මොනවා වෙයිද? මේවාට නීතී හැදෙන්න ඕන, සුළුපටු නීතී නෙමෙයි, හිටුවා පස් ගහන්න ඕන, බෙලි කපලා දාන්න ඕන, ලේසී පහසු දඬුවම් දුන්නොත් මේවා සාමාන්‍යය වැඩ වෙනවා.මේ අයට නිසි දඬුවම් දෙන්න කියලා අපි ඉල්ලනවා.බැරි වෙලා හරි වාන් බැම්මට හානියක් වුණා නම් කී දෙනෙක්ට බඩ ගින්නේ ඉන්න වෙනවාද?" යැයි පැවසීය.

සේයාරූ සහ වාර්තාව

තිසර සමල් -අනුරාධපුරය

---------------------------
by     (2024-06-25 19:37:54)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links