~

මීලඟ ජනාධිපති උඩරටින්...?

-නන්දන වීරරත්න ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.ජුනි.13, ප.ව.10.45) ලංකාවේ ජනාධිපතිවරණයකට උඩරටින් පැමිණි බලවත් අපේක්ෂකයෙක් මීට පෙර ඉදිරිපත් වී නැත. ඩිංගිරි බණ්ඩා විජේතුංග ජනාධිපති වූයේ චන්දයකින් නොවේ. ජනාධිපති ප්‍රේමදාස,  කොටි නියෝජිතයෙකු කෙහෙල් වත්තේ නතර කර ගෙන “දිවිනසා”  ගත් නිසාය.  1995 ජනාධිපතිවරණයේ එජාප අපේක්ෂකයා  වූ ගාමිණි දිසානායක එල්.ටී.ටී ඊ. යේ මිනිස් බෝමබයකින් මරා දැමුණු නිසා ඔහු වෙනුවට තරග වැදුනේ බිරිඳ ශ්‍රීමා දිසානායක ය. එහෙත් අගමැති හා ජනාධිපති හීන තිබූ උඩරටින් පැමිණි දේශපාලකයෝ ගණනාවක්ම සිටියහ. 1989 පෙබරවාරි මහ චන්දයේ දී උඩරට නගරවල මෙබඳු පෝස්ටර් අලවා තිබුණි.

“මීලඟ අගමැති කන්ද උඩරටින්”

මෙය 1988 දෙසැම්බර් ජනාධිපති චන්දයට පෙර එජාප අපේක්ෂක රණසිංහ ප්‍රේමදාස ප්‍රචාරය කළ ඕපා දූපයක් පෝස්ටරයක් වීමකි. මේ ‘අගමැති සාටකය’ දෙදෙනෙක් ඇඳගත්තෝය. එක් අයෙක් ගාමිණි දිසානායකය. දෙවැන්න අනෙකා ඩිංගිරි බන්ඩා විජේතුංගය. එහෙත් ජනාධිපති ප්‍රේමදාස විජේතුංගට ඇගමැතිකම දී ගාමිණිට දෙකේ පංතියේ ඇමැතිකමක් දුන්නේය. පසුව එයින්ද නෙරපුවේය. ලංකාවේ උඩරටින් පැමිණ ජනාධිපති පුටුවේ වාඩි වූ එකම උඩරැටියා විජේතුංගය. ඔහුට පෙර බලංගොඩින් පැමිණි සිරිමා බණ්ඩාරනායක දෙවරක් අගමැති වූ නිසා [1960 සහ 1970] ‘උඩරටින් පැමිණ අගමැති පුටුවේ වාඩිවීමේ කිරුළ විජේතුංගට හිමි නොවෙයි. අනික ඔහු අගමැති හා ජනාධිපතිවලට පත් වූයේ චන්ද වලින් නොවේ.

ගාල්ලෙන් පැමිණි විජයානන්ද දහනායක අගමැති තනතුර ලැබුණේ අගමැති බණ්ඩාරනායක ඝාතනය කෙරුණු නිසාය. බැලූ බැල්මටම මෙහි පළාත්වාදයක් හා පවුල්වාදයක් තිබේ. බැලූ බැල්මටම එය ප්‍රජාතන්ත්‍රවාදයේ සෞඛ්‍යයට එතරම්ම ගුණ නැත. මේ පළාත්වාදය නිසා රටේ වැඩිපුර රජයේ කර්මාන්ත ශාලා පටන් ගැනුනේ ප්‍රධාන වශයෙන්ම කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක දෙකේ ය. රැකියා විරහිත තරුණ තරුණියන් එසේත් නැතිනම් මාර්ටින් වික්‍රමසිංහගේ වචනවලින් කීවහොත් “තරුණ අසහනය” තිබුනේ සෙසු දිස්ත්‍රික්කවලය.

ජනාධිපති චන්ද ඉතිහාසයේ ප්‍රථම වතාවට...

ජනාධිපති චන්ද ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙවර උඩරටින් එන බලවත් අපේක්ෂකයෙකු සිටී. ඔහු අනුර කුමාර දිසානායකය. අනුර තරඟ කිරීමේ විශේෂත්වය වන්නේ සෙසු කුලවල ජනයාගේ පක්ෂයක් වූ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයා බවට අනුර පත්වීමය. රෝහණ විජේවීර ආරම්භ කළ ජවිපේ 1971 නායකත්වයෙන් බහුතරයක් අයත් වූයේ ඔහු ද අයත් වූ කරාව වංශයටය. 1988 වෙද්දී මේ එක් කුලයකට නායකත්වයෙන් බහුතරයක් අයත් වීම සපුරාම වෙනස් විය. 1971 ඒ තත්වය ඇති වුයේ විජේවීර අම්බලන්ගොඩ නගරයෙන් උසස් පෙළට සුදානම් වීමත්,  ඔහුට එම නගරයේ විශාල වශයෙන් ඥාතීන් සිටීමත්, එම නගරය අයත් එනමින් ඇති ආසනය එකල සමසමාජ හා කොමියුනිස්ට් මූළ කඳවුරක් වීමත් නිසාය.

ඉතිහාසය තහවුරු කරන  ආකාරයට ජවිපෙන් ජනාධිපතිවරණයට එන පලමු උඩරට වැසියා මෙන්ම ගොවි වංශිකයා වන්නේත් අනුර කුමාර දිසානායකය. සෙසු කුල පක්ෂයක් හැටියට තිබූ ජවිපෙන් උඩරට ගොවි වංශිකයෙකු ජනාධිපති අපේක්ෂකයා වීම එම පක්ෂයේ දේශපාලන පරිණාමයේ  යහපත් වෙනසක් හැටියට පෙනෙන්නේය. අනෙක් අතට අනික් අපේක්ෂකයන් දෙදෙනාම පවුල් උරුමයෙන් දේශපාලනය කරද්දී මිනිදෝරු කම්කරුවෙකුගේ පුතෙක් වූ අනුර මෙවර බලවත්ම අපේක්ෂකයා වීම ලංකා ඉතිහාසයේ ද වැදගත් සංසිද්ධියකි. ජවිපේ සන්නද්ධ නැඟීටිම් දෙකේ දීම එහි බහුතරයක් සටන්කරුවන්  අයත් වූයේ කරාව, දේව [වහුම්පුර] හා බත්ගම වංශවලටය.  සාමාන්‍යයෙන් සෙසු කුල වෙනුවෙන් තැනුණු [රණසිංහ ප්‍රේමදාස ප්‍රේමදාස හැරුණු විට] වෙන සෙසු කුලීනයෙක් ලංකාවේ අගමැති හෝ ජනාධිපති තනතුරුවලට පත් වී නැත. ප්‍රේමදාස 1988 දිනූවේ දුෂිතම චන්දයකිනි.

-නන්දන වීරරත්න

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/98

---------------------------
by     (2024-06-13 17:43:42)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links