-ආනුභාවනන්ද ලියයි
(ලංකා ඊ නිව්ස් -2024.අප්‍රේල්.18, ප.ව.8.00) බල්ලා තම නැට්ට වැනීම අප දකින සුපුරුදු දර්ශනයකි. එහෙත් නැට්ට විසින් බල්ලා නැටවීම දුර්ලභ දසුනකි. එය විකෘතියක් මෙන්ම අබුද්දස්ස යුගයේ දසුනකි. ඊශ්‍රායලය නැමැති නැට්ට විසින් ලොව සුපිරි බලවතා වන ඇමරිකාව නැටවීම විකෘතියක් මෙන්ම විශාල අනතුරක් බවට අපි අනතුරු ඇඟවූවෙමු.
“පසුගිය දා ඔහු (නෙතන්යාහු) සිරියාවේ ඩමස්කස් නුවර ඉරාන කොන්සියුලර් කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඉරාන හමුදා ප්‍රධානීන් ඇතුළු කිහිදෙනෙක් ඝාතනය කළේ ය. මෙය පැහැදිලිව ම ගාසාතීරයේ යුද්ධය ඉරානය දක්වා ව්‍යාප්ත කර කලාපීය ගැටුමක් නිර්මාණය කිරීමේ උත්සාහයකි. ඉරානය ඊශ්‍රායලයට ප්‍රති ප්‍රහාරයක් එල්ල කරන ඕනෑම මොහොතක මැද පෙරදිග යුධ ගිනි ඇවිලෙනු ඇත” යනුවෙන් සඳහන් වූ අපේ ලිපිය පසුගිය සෙනසුරාදා (13) ලංකා ඊ නිවුස් හි පලවී පැය කිහිපයක් ගතවීමට පෙර ඉරානය, ඊශ්‍රායලය ඉලක්ක කරගත් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළේ ය. ඩ්රෝන් තුන්සියයක් සහ මිසයිල වලින් මේ ප්‍රහාරය සමන්විත විය. මෙය ඉරානය, ඊශ්‍රායල භූමිය ඉලක්ක කරගත් පළමු ප්‍රහාරයයි. ඒ ප්‍රහාරයෙන් මැද පෙරදිගම බියෙන් සලිත වී ගිය අතර ඊශ්‍රායලය අවට රටවල් සියල්ල තම ගුවන් අවකාශයන් වසා දැමීමට කටයුතු කළේ ය.
මේ ඉරාන ප්‍රහාරය ඊශ්‍රායලය ඉලක්ක කරගත් ආක්‍රමණයක් නොවෙයි. එය ගණනය කරන ලද ප්‍රහාරයකි (calculated attack). ඉරානය තමන් ඊශ්‍රායලයට එරෙහි ප්‍රහාරයක් එල්ල කරන බව අසල්වැසි රටවල් වන තුර්කිය, ඉරාකය සහ ජෝර්දානයට පැය 72කට පෙර දැනුම් දුන් බව ඉරාන විදේශ ඇමති හොසේන් අමිරබොඩොල්ලාහියන් ප්‍රකාශ කළේ ය. ස්විට්සර්ලන්තය හරහා ඉරානය අදාළ පණිවුඩය ඇමරිකාවට ද ලබා දී තිබෙන අතර මේ ප්‍රහාරය ඩමස්කස් සිද්ධියට ප්‍රතිචාරයක් පමණක් බවත් අවධාරණය කර තිබේ. ඊශ්‍රායලයට එරෙහි ප්‍රහාර ඉදිරියට ගෙන යෑමට තමන්ට අවශ්‍යතාවයක් නොමැති බව ඉරාන ආරක්ෂක බලධාරීහු පැහැදිලි කළහ.
ඉරාන ප්‍රහාරය කල් තියා දැනගත් ඇමරිකාව, සිය මිතුරන් වන බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ ජෝර්ඩානය සමඟ එක්ව මේ මිසයිල සහ ඩ්රෝන ඊශ්‍රායලයට ලඟාවීමට පෙර විනාශ කිරීමේ මෙහෙයුමක් සැළසුම් කළේය. ඊශ්‍රායලය ද එයට එක් වූ අතර ඔවුන්ට ඇමරිකාව සැපයූ ශක්තිමත් මිසයිල් ආරක්ෂක ආවරණ පද්ධති තුනක් තිබේ. ඉරාන ප්‍රහාරයට මුහුණදීමේ සැළසුම ඉතා සාර්ථක වූ අතර ඊශ්‍රායලයට කිසිදු හානියක් නොවීය. ඉරාන ප්‍රහාරය ව්‍යර්ථ කිරීම ජයග්‍රහණයක් ලෙස සළකා යළිත් ඉරානය ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමෙන් වැළකී සිටිය යුතු බව ඇමරිකානු ජනාධිපති බයිඩන් සහ බ්‍රිතාන්‍ය විදේශ ඇමති කැමරන් ඊශ්‍රායලයට අවධාරණය කළහ.
ප්‍රංශය, ජර්මනිය ඇතුළු යුරෝපා සංගමය ද, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව ද ඊශ්‍රායලය, ඉරාන ගැටුම නවතා සංසුන් වන ලෙසට දෙපාර්ශවයෙන් ම ඉල්ලා සිටියහ. විශේෂයෙන් ඉරානයට සහයෝගය දක්වන රුසියාව සහ චීනය ද ගැටුම් අත්හැර සංසුන් වන ලෙසට දෙපාර්ශයෙන්ම ඉල්ලීම් කළහ. ඉරාන ප්‍රහාරය හේතුවෙන් මේ වන විටත් ලෝක තෙල් මිල ඉහළ ගොසිනි. මැද පෙරදිග ගැටුමකින් ඇතිවිය හැකි ආර්ථික පසුබැසීම දැවැන්තය.
මේ මාසය ආරම්භයේදී නෙතන්යාහු සිරියාවේ ඩමස්කස් නුවර ඉරාන කොන්සියුලර් කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේ ඇමරිකාවේ කිසිම අනුදැනුමක් නොමැතිවය. එහෙත් ඉරානය එය සැළකුවේ ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව එල්ල කළ ප්‍රහාරයක් වශයෙනි. ඩමස්කස් සිද්ධිය පිළිබඳ ඉරානය ඇමරිකාවට ද දැඩිව චෝදනා කළ අතර ඒ සම්බන්ධයෙන් ප්‍රති ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කළේ ය. ජාත්‍යන්තර පුවත් සේවා වාර්තා කරන අන්දමට, ඇමරිකාවට තමන් එම ප්‍රහාරයට සම්බන්ධ නොමැති බව ඉරානයට ඒත්තු ගැන්වීමට සෑහෙන රාජතාන්ත්‍රික පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබේ.
නෙතන්යාහුගේ ඩමස්කස් ප්‍රහාරය පිළිබඳව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු බලධාරීහු කෝපයට සහ කනස්සල්ලට පත්වූහ. ගාසා ගැටුම කලාපීය ගැටුමක් බවට පත් කිරීමට ඇමරිකාවට කිසිම අවශ්‍යතාවයක් නැත. ඒ පිළිබඳව ජනාධිපති බයිඩන් කිහිපවරක්ම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ය. පසුගිය සෙනසුරාදා (13) ඉරාන ප්‍රහාරය ව්‍යර්ථ කිරීමෙන් පසුව අගමැති නෙතන්යාහුට දුරකතන ඇමතුමක් ලබාගත් ඇමරිකානු ජනාධිපතිවරයා ඉදිරියේදී ඊශ්‍රායලය ඉරානයට එරෙහිව ප්‍රති ප්‍රහාර එල්ල කරන්නේ නම් එයට ඇමරිකාව කිසිම අයුරකින් සම්බන්ධ නොවන බව අවධාරණය කළ බව ජාත්‍යන්තර පුවත් සේවා වාර්තා කළේ ය.
එහෙත් නෙතන්යාහුගේ ආණ්ඩුව දැඩිව කියා සිටින්නේ තමන් යළිත් ඉරානයට ප්‍රහාරයක් එල්ල කරන බවයි. ඇමරිකාව ඇතුළු ඊශ්‍රායලයේ මිතුරු කඳවුරේ ඉල්ලීම ඔවුන් නොසළකා හැර තිබේ. ගාසා තීරයේ ගැටුම් සිදු වන මේ අවස්ථාවේ අගමැති නෙතන්යාහු තවත් පෙරමුණක ගැටුමක් ඇති කර ගන්නේ මන්ද? එයට සෘජුව බලපාන සාධක කිහිපයකි.
1) තිස් තුන්දහසකට වඩා පලස්තීන ජනතාව ඝාතනය කළ ජන සංහාරය මෙන්ම ගාසාතීරයේ නිර්මාණය කළ සාගතය පිළිබඳ ජාත්‍යන්තර අවධානය වෙන අතකට හැරවීම;
2) නෙතන්යාහුගේ දේශපාලන පැවැත්ම සඳහා දීර්ඝ කාලීන “දේශප්‍රේමී” යුද්ධයක අවශ්‍යතාවය;
3) නෙතෙන්යාහුට ඉල්ලා අස්වන ලෙසට සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමට ගාසාතීරයේ සටන් විරාමයකට එකඟ වන ලෙසට ඊශ්‍රායල වැසියන් වීදි බැස කරන උද්ඝෝෂණ පරාජය කිරීම;
4) ගාසා ජන සංහාරය හේතුවෙන් නෙතන්යාහුගේ ආණ්ඩුවට අවි ආයුධ ලබානොදෙන ලෙසට ඇමරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර කඳවුර තුළ ඇතිව තිබෙන විරෝධයෙන් ගැලවීම;
5) මාස හයකට අධික කාලයක් පුරා ඊශ්‍රායලය ගාසා තීරයේ ගෙන යන ජන සංහාරයට එරෙහිව බටහිර කඳවුරෙන්ම මතු වන විරෝධතා යටපත් කිරීමට ඔවුන් දීර්ඝ කාලීන කලාපීය යුද්ධයකට පටලවා ගැනීම;
6) නෙතන්යාහු දීර්ඝ කාලයක් පුරා ජප කරන “ඉරාන බිල්ලා” මන්තරය යළි කරලියට ගෙන ඒම.
ඊශ්‍රායලයේ කීර්තිමත් පුවත්පතක් වන “Haaretz” පසුගිය දා සිය කතුවැකියක් මගින් නෙතන්යාහු ආණ්ඩුවේ මාස හයක ගාසා යුද්ධය විශ්ලේෂණය කර තිබිණි. ඔවුන්ට අනුව මාස හයක ගාසා යුද්ධයෙන් නෙතන්යාහු ආණ්ඩුව ජයග්‍රහණය කර නොමැත. හමාස් සංවිධානය සම්පූර්ණයෙන් පරාජය කිරීමට හැකිව නැත. පසුගිය මාස හය තුළ හමාස් සංවිධානය පැහැරගත් ඊශ්‍රායල ජාතිකයන් කිසිවෙකු මුදවා ගැනීමට හමුදා සමත් නොවීය. ඊශ්‍රායල ජාතිකයන් 133 ක් තවමත් හමාස් සංවිධානය භාරයේ පසුවෙයි. ඊශ්‍රායලය මෙන්ම එහි ජනතාව පෙරට වඩා අනාරක්ෂිත තත්ත්වයකට මුහුණ දී සිටියි. මාස හයක කාලය පුරා ගාසාවේ සිදු වන ගැටුම් හේතුවෙන් ඊශ්‍රායලයට හිමි වූ ජාත්‍යන්තර සහයෝගය අවම වෙමින් පවතියි. මේ පරාජයන් වසා ගැනීම සඳහා නෙතන්යාහු ආණ්ඩුව යුද්ධය ඉරානයට, ලෙබනනයට දිගු කරමින් කලාපීය යුද්ධයක් නිර්මාණය කිරීමට උත්සාහ කිරීම ගැන පුදුම විය යුතු නැත.
සිරියාවේ ඩමස්කස් නුවර ඉරාන කොන්සියුලර් කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඉරාන හමුදා ප්‍රධානීන් ඇතුළු කිහිදෙනෙක් ඝාතනය කිරීමේ ඊශ්‍රායල ප්‍රහාරය ඉතා පැහැදිලිව නෙතන්යාහුගේ දේශපාලන අනාගතය සුරක්ෂිතභාවය වෙනුවෙන් ගත් පියවරක් බව අද වන විට බටහිර ජාත්‍යන්තර කටයුතු විශ්ලේෂකයෝ බොහෝ දෙනෙක් ප්‍රසිද්ධියේ පෙන්වා දෙති. එම ප්‍රහාරය හරහා ඇමරිකාව ඇතුළු බටහිර කඳවුර මැද පෙරදිග දිගු කාලීන ගැටුමකට කොටු කර ගැනීම නෙතන්යාහුගේ උපාය බව ඔවුහු අවධාරණය කරති. AP පුවත් සේවය වාර්තා කරන අන්දමට, ජනාධිපති බයිඩන් ද මේ යථාර්ථය වටහා ගෙන සිටින අතර නෙතන්යාහු උත්සාහ කරන්නේ ඇමරිකාව අනවශ්‍ය මැද පෙරදිග යුද්ධයක පැටලවීමට බව ඔහු නිළ නොවන සාකච්ඡාවන්හිදී පවසා තිබේ.
එහෙත් ජනාධිපති බයිඩන් දැන් ප්‍රමාද වැඩිය. ඔහු පසුගිය මාස හයකට අධික කාලයක් පුරා නෙතන්යාහු ආණ්ඩුවේ ජන සංහාරයට සම්පූර්ණ සහයෝගය ලබා දුන්නේ ය. දැන් ඔහුට කොටි වලිගය අතහැරීමට නොහැකිය. ඇමරිකාවේ Defense Priorities නම් ප්‍රතිපත්ති සම්පාදක ආයතනයේ අධ්‍යක්ෂක බෙන්ජමින් ෆ්‍රීඩ්මන් පෙන්වා දෙන්නේ ඊශ්‍රායල් ආණ්ඩුව ඉරානය සමඟ සටනක් ආරම්භ කර ඇත්තේ ඉරානයට එරෙහිව යෑම සඳහා ඇමරිකාවෙන් ලැබෙන උදව් අපේක්ෂාවෙන් ධෛර්‍යමත්වී බවයි.
ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් හි ජාත්‍යන්තර සබඳතා සහ මැද පෙරදිග දේශපාලනය පිළිබඳ මහාචාර්යවරයෙකු වන ෆවාස් ගර්ජස් ඊශ්‍රායලයේ හමුදා තීරණ කෙරෙහි ජනාධිපති බයිඩන් කරන බලපෑම පිළිබඳ දැඩි විවේචනයක් ඉදිරිපත් කරයි.
“බයිඩන් පරිපාලනයේ ඊශ්‍රායලය සම්බන්ධයෙන් වන මූලෝපාය තීරණාත්මක ලෙස අසාර්ථක වී තිබෙනවා. බයිඩන් ඇමරිකාව මැද පෙරදිග තවත් ව්‍යසනකාරී යුද්ධයකට ගෙනයමින් සිටිනවා. ගාසා තීරයේ යුද්ධය අසල්වැසි රටවලට පැතිරයෑම වැලැක්වීමේ ඔහුගේ ප්‍රධාන ඉලක්කය අසාර්ථක වී තිබෙනවා” යැයි පවසන ගර්ජස් ජනාධිපති බයිඩන්ට ගාසාවේ හෝ ඉරානය සම්බන්ධයෙන් නෙතන්යාහුගේ තීරණයන්ට බලපෑම් කිරීමට අසමත් වී ඇති බව පෙන්වා දෙයි.
මහාචාර්ය ෆවාස් ගර්ජස්ගේ නිගමනය නිවැරදි ය. අවම වශයෙන් World Central Kitchen සිදුවීමෙන් පසු නෙතන්යාහු ඇමරිකානු ජනාධිපති බයිඩන්ට ලබාදුන් මානුෂික ආධාර පිළිබඳ අවම පොරොන්දු හෝ ඉටු කිරීමට තවම කටයුතු කර නැත. නෙතන්යාහු ආණ්ඩුව තවදුරටත් ගාසා තීරයට අත්‍යවශ්‍ය මානුෂික ආධාර ඇතුළුවීමට බාධා කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය අඟහරුවාදා (16) ඒ බව යළි සනාථ කළේ ය. ඇමරිකාවේ නිළ මානුෂික ආධාර ආයතනය වන USAID හි ප්‍රධානියා වන සමන්තා පවර් අවධාරණය කරන අන්දමට දැනටමත් ගාසා තීරයේ පලස්තීන වැසියන් සාගතයට ගොදුරුවී අවසානය.
පසුගිය සෙනසුරාදා (13) ඇමරිකාව, සිය මිතුරන් වන බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ ජෝර්ඩානය සමඟ එක්ව ඉරාන ඩ්රෝන් සහ මිසයිල ප්‍රහාරයන්ගෙන් ඊශ්‍රායල ජනතාව බේරා ගත්තේ ය. එහෙත් ඊශ්‍රායල ජනතාව ගැන තිබූ කැක්කුම අනුකම්පාව ඔවුන්ට පසුගිය මාස හය පුරා පලස්තීන ජනතාව පිළිබඳ තිබුණේ නැත. නෙතන්යාහු ආණ්ඩුව පලස්තීන පුරවැසියන් තිස් තුන්දාහක් පසුගිය මාස හයක කාලයේදී ඝාතනය කළේ ය. ඒ අතරින් ළමුන් දහතුන් දහසකි. ගාසාහි තාවකාලික සටන් විරාමයක් ස්ථාපිත කිරීමට පවා ඇමරිකාව මැදිහත් වූයේ නැත. ඊශ්‍රායලය ආහාර සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ආයුධයක් වශයෙන් භාවිතාකරමින් සිටියි. එය ජාත්‍යන්තර මානුෂීය නීතිරීති උල්ලංඝනයකි. එමෙන්ම යුධ අපරාධයකි. එහෙත් ඇමරිකාව මෙන්ම බටහිර කඳවුර මේ යුධ අපරාධ හමුවේ දෑස වසාගෙන සිටිති. දැන් ගාසාතීරයේ ජීවත් වන පලස්තීන ජනතාව සාගතයකට මුහුණ දී සිටියි. තවමත් ජනාධිපති බයිඩන්ගේ කටේ පිට්ටුය.
ඇමරිකාවට මෙන්ම බටහිර කඳවුරට පලස්තීන ජනතාවගේ ජීවිත තුට්ටුවකට වටින්නේ නැත. එහෙත් ඔවුන්ට ඊශ්‍රායල ජීවිත පිළිබඳ විශාල වටිනාකමක් ඇත. ඊශ්‍රායල ආරක්ෂක ඇමැති Yoav Gallant ගාසාතීරයේ ජීවත් වන පලස්තීන ජනතාව හඳුන්වා දුන්නේ “සතුන්” හැටියටය. ඉතිහාසයේ සරදමකට මෙන් හිට්ලර් ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවන් වශයෙන් පෙනී සිටින ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුරට ද ගාසාතීරයේ ජීවත් වන පලස්තීන ජාතිකයන් මනුෂ්‍යයන් වශයෙන් නොසලකන බව පසුගිය මාස හයක කාලයේදී පැහැදිලි විය. එය අප ඉදිරියේ පවතින කටුක යථාර්ථයයි.
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/33
---------------------------
by (2024-04-18 14:46:31)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි