-විශේෂ ලියුම්කරුවෙකු ලියයි
(ලංකා ඊ නිව්ස් -2024.අප්‍රේල්.17, ප.ව.8.40) ආහාර මිලදී ගැනීම සඳහා පැමිණි විදේශීය ජාතිකයෙකු විසින් ආහාරවල මිල ගණන් විමසීමෙන් පසු වෙළඳ සල් හිමියා විසින් අහස පොළොව නුහුලන ගානක් කීමෙන් පසු එය තේරුම් ගත් විදේශිකයා ආහාරය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ එම වෙළඳසැලේ හිමිකරු විසින් එම විදේශීකයාට තර්ජනය කරමින් අඩත්තේට්ටම් සිදුකරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. එහිදී ඒ වෙළෙන්දා අල්ලා දෙවියන්ද පාවා දෙමින් බොරු කියයි. (එම වීඩියෝව පහතින් ඇත)
එම තර්ජනය කිරීමට සම්බන්ධයෙන් විමර්ශන පැවැත් වූ පොලීසිය අදාළ සිද්ධියට සම්බන්ධ වෙළඳසැලේ හිමිකරු ඊයේ අත්අඩංගුවට ගත් අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුට අද ඇප නියම විය.
කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි සැකකරු රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇපයක් සමඟ රුපියල් 50,000ක මුදල් ඇපයක් මත මුදා හැරීමට නියෝග කර තිබිණි.
මෙවැනිම සිදුවීමක් දකුණු පළාතේ හෝටල් හිමියෙකු ද සිදුකරන අයුරු දැක්වෙන වීඩියෝවක් ද පසුගියදා සංසරණය විය. එහිදී මසල වඩයක් සහ ප්ලේන්ටියකට හෝටල් හිමියා රුපියල් දහසක් අයකරයි. පසුව විදේශිකයා ප්‍රශ්න කිරීමෙන් පසු රුපියල් දෙසීයක් පමණක් ආපසු දී රුපියල් අටසියයක් අසාධාරණ ලෙස සාක්කුවේ දා ගනී.
මේ අතර මෙවැනි සිදුවීම් ඉදිරියේදී සිදුවීම වැලක්වීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් නුගේගොඩ පදිංචි චම්පික රුවන් පෙරේරා නමැති අය අද පාරිභෝගික ආරක්ෂණ අධිකාරියෙන් සහ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුමේන්තුවෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත. එම ලිපි දෙක මෙහි පහත ඉමේජයන්හි දැක්වේ.
ශ්‍රී ලංකාවේ බොහෝ වීදි වෙළෙඳුන්ගේ, විශේෂයන් ආහාර ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට වලංගු බලපත්‍රයක් වෙළෙන්දා සතුව නැතිවීම, ආහාර තත්ත්ව පරීක්ෂාව පිලිබඳව නිසි ක්‍රමවේදයක් නැතිවීම, වෙළෙන්දා තම නිෂ්පාදන සඳහා මිල ප්‍රදර්ශනය කිරීමට අපොහොසත් වීම, පාරිභෝගික අයිතීන් අමු අමුවේ නොසලකා හැරීමකි. මිලදී ගැනීමේ තීරණයක් ගැනීමට පෙර භාණ්ඩ හා සේවාවල පිරිවැය දැන ගැනීමට පාරිභෝගිකයින්ට ඇති අයිතිය ද එයින් ගිලිහීම වැනි කරුණු මෙවැනි අකටයුතුකම් වීමට හේතු ලෙස ඔහු සිය පැමිණිල්ලෙන් දක්වා ඇත.
වෙළෙන්දාගේ සදාචාර විරෝධී ක්‍රියාකලාපය නිසා අයහපත් ලෙස පීඩාවට පත් වූ Emeka Iwueze මහතා ඇතුළු පාරිභෝගිකයින්ට සාධාරණය ඉටු කිරීම සඳහා මෙම චෝදනා තරයේ විමර්ශනය කර සාධාරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට අදාළ බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලා සිටී.
තවද, වීදි ආහාර වෙළෙන්දන් නිරන්තරයෙන් පරීක්ෂා කිරීම, බලපත්‍ර අවශ්‍යතා බලාත්මක කිරීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් සහ වගකීම් පිළිබඳ පාරිභෝගික අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම වැනි අනාගතයේදී එවැනි උල්ලංඝනයන් වැළැක්වීම සඳහා අධිකාරිය ක්‍රියාත්මක කරන ලෙස ද චම්පික රුවන් පෙරේරා ඉල්ලා සිටී.
මෙම කාරණය සම්බන්ධයෙන් අවධානය යොමුකර. පාරිභෝගික අයිතීන් තහවුරු කිරීමට සහ මහජන යහපත ආරක්ෂා කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය කඩිනම් සහ තීරණාත්මක ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයිද ඔහු එම ලිපියෙන් සඳහන් කරයි.
ලංකා ඊ නිව්ස් අප අවස්ථා ගණනාවකදී මෙවැනි සිදුවීම් පිලිබද වාර්තා කළ අතර දැන් සාමාන්‍ය ජනතාව ද පාලනාධිකාරියෙන් ප්‍රශ්න කරන තත්වයට පත්ව ඇත.
සංචාරකයන් මිලියන ගණන් ගෙන්වා ගැනීමට සැලසුම් හදන හරීන් ප්‍රනාන්දු ට මෙවැනි දේ කිරීමට උනන්දුවක් නැතිබව පෙනී යන්නේ විශේෂයෙන් කොළඹ ආශ්රිත වෙළඳ ඒකාධිකාරයට ඇති බිය නිසාද යන්න අපට ඇති ගැටලුවකි.
සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති අන්තරායක ඖෂධ කාර්යංශය ද මෙවැනි දේ සිදුකරන හොර ගුහාවකි. හම සුදුවීමට කියා ලංකාවේ හැම අස්සක් මුල්ලක් නෑර විකුණන බෙහෙත් ගැන ඒ කාර්යංශට වගේ වගක් නැත.
ශ්‍රී ලංකාව තුල ඉහල සිට පහලටත්, වමේ සිට දකුනටත් පැතිරී විනාශ වී යමින් තිබෙන මෙවැනි පිළිල මුලිනුපුටා දැමීමට සියළු වගකිවයුත්තන් වග බලා ගත්තේ නැතිනම් සංචාරකයන් එනවාට වඩා වේගයෙන් පළා යාම සිදුවනු ඇත.
චම්පික රුවන් පෙරේරාගේ ලිපි දෙක සහ Emeka Iwueze මහතාට සිදුවන අසාධාරණය දැක්වෙන වීඩියෝව පහතින්
---------------------------
by (2024-04-17 15:20:36)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි