-සුනිමල් මුතුමාල ලියයි
(ලංකා ඊ නිව්ස් -2024.අප්‍රේල්.11, ප.ව.11.00) සංස්කෘතික දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නැකත් කමිටුව මගින් ඉදිරිපත් කොට ඇති සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුව පිළිගන්නා ලෙස අනියමින් බල කෙරෙන නිවේදනයක් සංස්කෘතික ආමාත්‍යංශ ලේකම් සෝමරත්න විදානපතිරණ විසින් නිකුත් කොට ඇත. ඔහු ඉන් පවසා ඇත්තේ ප්‍රවීණ ජ්‍යොතීර්වේදීන් විසි දෙදෙනකු ගෙන් යුතු රාජ්‍ය නැකත් කමිටුව මගින් සකස් කරන ලද සිංහල දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුව නිල වශයෙන් භාවිතයට ගත යුතු බවකි. එහෙත්, මෙවර සිංහල අලුත් අවුරුදු නැකත් හුට පටය පිළිබඳ එකී නොකී කිහිප දෙනකුගේ කටේ නරිවාදංරෙද්ද පල්ලෙන් පෙරීම මුල් කොට දැන් එහි හෙළුව සමස්ත ශ්‍රී ලාංකේය ජාතිය හමුවේම හෙළි වෙමින් තිබේ.
හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ හින්දු ආගමික කටයුතුවලට අදාලව සියලුම විෂයන්ට වගකිවයුතු දෙපාර්තමේන්තුව ලෙස 1985 ඔක්තෝම්බර් 02 වන දින 1985/123-12 යන අංක දරණ කැබිනට් මණ්ඩලයේ තීරණය මත 1986 වන වර්ෂයේ ජනවරි මස පළමුවන දින ස්ථාපිත කරන ලද්දකි. රාජ්‍ය නැකත් කමිටුව සකස් කළ බව පැවසෙන මෙම නැකත් සීට්ටුව සම්බන්ධයෙන් හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු නිලධාරිනියක අප හා පවසා සිටියේ මෙවැනි කතාවකි.
“ ඔය සිංහල දෙමළ අලුත් අවුරුද්ද කියන කතාව කියන්නේ සිංහල සමාජයේ සමහරු විතරයි. හින්දු ආගම අදහන දෙමළ ජාතිකයන් එදාට සමරන්නේ චිත්තරෙයි පුතාන්ඩු කියලා වෙනම උත්සවයක්. චින්තරෙයි කියන්නේ හින්දු දින දර්ශනයේ අප්‍රියෙල් ආශ්‍රිත මාසයක නමක්, පුත්තාන්ඩු කියන්නේ අලුත් අවුරුද්ද කියන එක. මේක මුලුමනින්ම හින්දු ආගමානුකූල උත්සවයක්. හැබැයි මේක දෙමළ ජාතිකයන්ට සිංහල අයට වගේ සූර්ය මංගල්‍යයක් වත් "සූර් මංගල්‍යයක්" වත් නෙවෙයි, අපේ සූර්ය මංගල්‍යය කියන්නේ ජනවාරි මාසය ආශ්‍රිතව හින්දු දින දර්ශනයේ එන තායි මාසයේ යෙදෙන තායි පොන්ගල් කියන උත්සවයට. අනික මේ චිත්තරෙයි පුත්තාන්ඩු අපිට එක දවසකට සීමා වුණු උත්සවයක්. උදේ හිරු උදාවත් එක්ක පටන් ගන්න ඒ උත්සවය එදා හවස හිරු බැස යාමත් එක්ක ඉවර වෙනවා. ඒ උත්සවයේ ප්‍රධාන තැනක් ගන්නේ ගෘහණිය. තව ඒකේ තියනවා කායි විශේෂම් කියන විශේෂ ගනුදෙනුවක්. ඒක ඇතුළු ඒ උත්සවයේ සියලුම කටයුතු කරන්නේ හින්දු ආගමානුකූල නියමයන් වලට අනුව, ඔය රෑ දොලහට කිරිබත් කනවා වගේ වැඩ ගැන අපිට නම් හිතා ගන්න බෑ. නමුත් මේක සිංහල දෙමළ කවුරුත් එකට සමරන උත්සවයක් කිය කියා සිංහල මාධ්‍ය වලින් පුන පුනාම කියනවා ඇහෙන කොට සිංහල තේරෙන අපිට කරන්න තියෙන්නේ හිනාවෙලා නිකම් ඉන්න එක විතරයි" ඇගේ එම ප්‍රකාශය අනුව සංස්කෘතික අමාත්‍යංශ ලේකම්වරයා ගේ ඉහත සඳහන් නිවේදනයේ බරපතල කොස්සක් තිබේ. එය නම් සිංහල දෙමළ අලුත් අවුරුද්ද ලෙසින් නම් කිරීම ය.
සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් නැකත් පිළියෙල කිරීම සඳහා වන රාජ්‍ය නැකත් කමිටුව ස්ථාපිත කර මේ වන විට වසර හතලිහකි. 1984 වර්ෂයේ එවක සංස්කෘතික අමාත්‍ය පදවිය දැරූ විජමු ලොකු බණ්ඩාරගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වූ ඊට මුල් කාලයේ ජ්‍යොතීර්වේදය, ආයුර්වේදය හා දේශීය වෛද්‍ය ක්‍රම සේම පාලි සංස්කෘතික ඇතුළු ප්‍රාචීණ භාෂා පිළිබඳ උගත් විද්වත් පිරිසක් එක්ව සිටියහ. පසුව නා, නුග ආදී වනස්පතී වෘක්ෂ බඳු ඒ පඬි වරුන් ඉවත් වී එවක බලයේ සිටින දේශපාලනඥයන් ගේ වැසිකිලි කැසිකිලි සෝදන සට්ටැඹි රාළලා නමැති එරඬු ගස් රාජ්‍ය නැකත් කමිටුව නම් බිමේ රෝපනය කෙරිණ. විශේෂයෙන් පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ ජ්‍යොතීර්වේදීන් ගේ නමින් පෙනී සිට ඔහුට අං තට්ටු පැළඳ වූ ලෝක කපටි කයිරාටිකයන්ට එවක රාජ්‍ය නැකත් කමිටුවේ මුල් පුටු හිමි විය. ඒ ගමන් මඟ ඔස්සේ පැමිණ දිගින් දිගට විපරීත වූ රාජ්‍ය නැකත් කමිටුව අද වන විට අසුන් වෙනුවට බූරුවන් සහ කොටළුවන් යොදවා පවත්වන තරඟයක ස්වරූපය ගෙන තිබේ.
ඒ සඳහා මේ වන විට එහි මුල් තැනක් ගෙන කටයුතු කොට ඇත්තේ ජීවිතයේ අගිස්සේ එල්ලී සිටිය ද ජන්ම පත්‍රයේ මනමාල යෝග උතුරා යන බව තම ක්‍රියාවන්ගෙන් කළ ආනන්ද සෙනෙවිරත්න නම් සායන හෝ නිරයන ජ්‍යොතීර්වේදී සිද්ධාන්ත පිළිබඳ මළ පොතේ අකුරක් නොදත් මැටි මෝලෙකු බව රාජ්‍ය නැකත් කමිටු සාමාජිකයෝම කියති. එමෙන්ම කේන්දර බලන මුවාගෙන් කුප්පියාවත්ත ජයසේකරාරාමයට මාසිකව කීයක් හරි ගෙවමින් එහි කාමරයක් තුළට වී ඔහු කළ ස්ත්‍රී දූෂණ නාමාවලියෙන් අඩක් තමන් සතු බව ඔහුගේ සුමිතුරෝ අප හා කියති.දැනට ඒ කතාව පසෙක තබමු.
සූර්ය උදාව පදනම්ව සිදුවන නැකත් පිළියෙල කිරීමේ දී ඒ නැකත ශුද්ධ කර ගත යුතු ආකාරය මුහුර්ත චින්තාමනී වැනි පැරණි පොත් පත් වල මනාව විස්තර කොට ඇතත් ඒ මෙවර රාජ්‍ය නැකත් කමිටුව නැකත් නිර්මාණයේ දී ඒ සිද්ධාන්ත පයිසෙකටවත් මායිම් කොට නැතැයි එහි සාමාජිකයෝ කියති. ඉන් එක් සාමාජිකයකු අප හා කියා සිටියේ රාජ්‍ය නැකත් කමිටුව මෙවර සිංහල අලුත් අවුරුදු නැකත් ජනතාව හමුවට ඉදිරිපත් කොට ඇත්තේ "බල්ලන්ට ලෙලි පොල් දෙන" න්‍යායට බව ය. කෘෂි මූලික ශිෂ්ඨාචාරයකින් යුතු අප රටේ සිංහල අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීම යනු කැත්ත උදැල්ල ගෙන හේනට කුඹුරට යාම මුත් ආනන්ද සෙනෙවිරත්න ගොබ්බයා දුන් වැඩ ඇල්ලීමේ නැකත එළඹෙන වේලාවට කළ හැකි එකම දෙය ඔහුට ඉතා හුරු පුරුදු ස්ත්‍රීන් හා ලිංගික සංසර්ගයේ යෙදීම බව ඔහුගේ සමීපතමයෝ කියති.
මේ අතර මැදියම් රැය ඉකුත් වී විනාඩි හයකින් එනම් අප්‍රියෙල් 14 වන දාට පහන් වන රාත්‍රී දොලහයි හයට කිරිබත් කෑමට ඉහත සඳහන් රාජ්‍ය නැකත් කමිටුව නියම කිරීම ආයුර්වේද හා දේශීය වෛද්‍ය සිද්ධාන්ත වලට පා පහරක් බඳු විපත්තිකර තත්ත්වයක් බව පෙන්වා දෙන ඒ සම්බන්ධ විද්වතුන් පවසනුයේ ආයුර්වේදයෙහි එන ද්‍රව්‍ය ගුණ විඥාන නම් විෂය පථය මගින් ඒ බව මනාව තහවුරු වන බවකි. සෙම වඩන, ගීත -වීර්ය ගුණයෙන් සපිරි කිරි බත රාත්‍රියේ අනුභව නොකිරීමේ ජනසම්මතය මෑතක සිට සිංහල අළුත් අවුරුදු චාරිත්‍ර මගින් සාහසික ලෙස උල්ලංඝනය වූ බව පවසන ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරනුයේ මෙවර යක්කු ගස් නගින වේලාවේ කිරිබත් කෑමට ජනතාව යොමු කරවීම මගින් ඒ විපරීතය උස්මුරුත්තාව තෙක් වර්ධනය වී ඇති බවකි.
ආයුර්වේදයේ එන ද්‍රව්‍ය ගුණ විඥාන විෂය පථයට අනුව ආහාර ගැනීම සම්බන්ධයෙන් ඒවායේ පදාර්ථමය තත්වයන් සේම ඒ සඳහා පත්‍ය සහ අපත්‍ය කාල හෝරාවන් ද දක්වා තිබේ. ඒ අනුව හිරු උදාවේ සිට හිරු මුදුන් වන තෙක් යෝග්‍ය බවට එහි දැක්වෙන කිරි බත මැදියම් රැයේ ආහාරයට ගැනීමෙන් ශරීරයේ සප්ත ධාතු ක්ෂය වීමට ඇති පහසු ඉඩ ප්‍රස්ථාව ඔව්හු පෙන්වා දෙති. ඒ අනුව කුඩා දරුවන්, ගැබිණි මවුන්, රෝගීන් සහ වියපත් වූවන් එබඳු හෝරාවක එබඳු ආහාරයක් ගැනීමේ අයෝග්‍යතාව ඔවුන් පෙන්වා දෙනුයේ එය ඇතැම් විට මරණීය අවදානමක් තෙක් දුර දිග යා හැකි බවට අනතුරු අඟවමිනි.
මේ අතර හැකි නම් ඉහත සඳහන් රාජ්‍ය නැකත් කමිටුව සකස් කළ අලුත් අවුරුදු නැකත් සීට්ටුව සම්බන්ධ ජ්‍යොතීර්වේදී සිද්ධාන්ත ජනතාව හමුවේ හෙළි කරන මෙන් පසුගිය කාලයේ ප්‍රවීණ ජ්‍යොතීර්වේදීන් පිරිසක් විසින් එම රාජ්‍ය නැකත් කමිටුව වෙතින් ඉල්ලීමක් කොට තිබිණ. එහෙත් ඒ හමුවේ රාජ්‍ය නැකත් කමිටු සාමාජිකයන් කිසිදු පිළිතුරක් නොදී නිහඬව සිටියේ එසේ ජ්‍යොතීර්වේදී සිද්ධාන්ත සම්බන්ධයෙන් එම විෂය සම්බන්ධ ප්‍රාමාණික විද්වතුන් හා වාදයකට පැටලුණහොත් තමන්ට හත් පොළේ ගා ගැනීමට සිදුවන බව එහි ප්‍රධානීන් හොඳ හැටි දැන සිටි බැවිනි.පසුව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක ඔවුන් කැඳවා කළ කතා බහේදී වුව ඒ සම්බන්ධ ජ්‍යොතීර්වේදී සිද්ධාන්ත ඉදිරියට නොගෙන "අපි කරපු වැඩේ කිසිම දෝෂයක් නෑ.මෙතන තියෙන්නේ දේශපාලන ගේමක්"යැයි කීමට තරම් ආනන්ද සෙනෙවිරත්න බාලයා නිර්ලජ්ජිත වී තිබේ. ඒ අනුව අප රටේ තවත් ජ්‍යොතීර්වේදීන් පිරිසක් එක්ව රාජ්‍ය නැකත් කමිටු අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ එන වස්දොස් දුරු කොට සංශෝධනය කළ විකල්ප අලුත් අවුරුදු නැකත් සීට්ටුවක් ඉදිරිපත් කළ අතර රජය ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම මෙම සිංහල අලුත් අවුරුදු නැකත් හුට පටය වඩාත් බරපතල අතට හැරීමට මුල් වී තිබේ.
කෙසේ හෝ මෙම රාජ්‍ය නැකත් කමිටුව විසින් සකසන ලද මෙම ආතක් පාතක් නැති අලුත් අවුරුදු නැකත් සීට්ටුව ඊයේ 10 දා එබඳුම කිසිදු ආතක් පාතක් හෙවත් ජනවරමක් නොමැති ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත නිල වශයෙන් පිළිගන්වා තිබේ. එනිසාම මේ වන විට රාජ්‍ය නැකත් කමිටුවේ එම නැකත් සීට්ටුව "ආණ්ඩුවේ නැකත්" යනුවෙන් ජන කරලියේ ප්‍රකට වෙමින් තිබේ. එම අගතිගාමි ක්‍රියාදාමයේ ප්‍රතිඵලයන් දෙකක් තිබේ. ඉන් එකක් ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාවගේ සිත් සතන් තුළින් බුබුළු දමන දැඩි අප්‍රසාදය මුල් කොට ජනතාවගෙන් පිරිසක් විකල්ප අලුත් අවුරුදු නැකත් වෙත යොමු වීම ය. එමෙන්ම සෙසු පිරිස මෙවර නැකත් පිළිපැදීමකින් තොරව සිංහල අලුත් අවුරුද්ද සැමරීමට පෙළඹීමය.
මෙම තත්වය යටතේ වුවද ආහාර අනුභවය ගනු දෙනු කිරීම සහ වැඩ ඇල්ලීම පිළිබඳ එකම නැකත මෙසේ දෙකට කඩා ගැනීම පිළිබඳ සියුම් සතුටක් සත්ව අවිහිංසාවාදීන් සත්ව හිමිකම් ක්‍රියාධරයන් හා පරිසර ලෝලීන් ගේ සිත් සතන් තුලින් මෝදු වෙමින් තිබේ. ඒ එම නැකත මුල් කොට අප අවට ජීවත් වන ගෘහස්ථ සතුන් ගේ සිට හාත්පස පරිසරයේ වෙසෙන කුරා කුහුඹුවන්ට පවා බරපතල විපතක් ව්‍යසනයක් අත් කරන එක් වර රතිඤ්ඤා විශාල ප්‍රමාණයක් දැල්වීමෙන් හට ගන්නා ශබ්ද දූෂණය එමගින් යම් පමණකට හෝ අව ප්‍රමාණ වන බැවිනි.
---------------------------
by (2024-04-11 17:39:00)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි