-අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් කුඩගම්මන සීලරතන හිමියෝ ලියති
(ලංකා ඊ නිව්ස් -2024.මාර්තු.08, ප.ව.5.30) තවත් ලෝක කාන්තා දිනයක් අද සැමරේ. කාන්තා දින සැමරුමෙහි ඉතිහාසය විසිවන සියවස පළමු දශකයෙහි කාන්තාවනට ඡන්ද අයිතිය දිනා ගැන්ම සඳහා වූ උතුරු ඇමරිකානු කාන්තා අරගල දක්වා දිවෙයි. 1909හි දී ඇරඹී 1913 දක්වා ඇමරිකාවේ සැමරුණ කාන්තා දිනය ජාත්‍යන්තර සැමරුමක් වීම ඇරඹෙන්නේ 1910 දී පමණ ය. 1911 මාර්තු 19 වන දින මුල් ම ජාත්‍යන්තර කාන්තා දිනය සැමරෙන්නේ; ඩෙන්මාර්කය, ස්විට්සර්ලන්තය සහ ජර්මනිය එක් ව ඔස්ට්‍රියාවේ දී ය. ඉන් පසු ව, විවිධ රටවල නොයෙකුත් දිනවල කාන්තා දින සැමරුමක් සිදුවී තිබෙන අතර, මාර්තු 8 වන දින ලෝක කාන්තා දිනය ලෙස තීරණය කෙරෙන්නේ, 1917 මාර්තු 8 වන දින රුසියාවේ ශාන්ත පීට්ස්බර්ග් නගරයෙහි මුළු දෙවුණ සමුළුවෙහි දී ය. එහි රැස් වූ කාන්තාවන්ගේ අරගලය ව තිබී ඇත්තේ ආහාර හිඟය, පහත් ජීවන තත්වයන් සහ පළමුවන ලෝක යුද්ධයට එරෙහි ව වැඩ වැරුමකට යාම ය. හුදෙක් මේ දිනය මාර්තු මාසයේ යොදා ගැනෙන්නේ ද, සීත සමය පියමං වී දළු නැගී මල් පිබිදෙන පරිසරය සැකසෙන්නාක් මෙන්, ප්‍රමුදිත මානව සමාජයක් බිහිකරවීමෙහි ලා කාන්තාවන් ප්‍රබෝධවත් කරලීම ප්රමුඛත්වයෙහි ලා ගැනෙන නිසා යයි ද අදහසක් පළ වී තිබේ.
ලොව පුරා කාන්තාවන්ගේ දියුණුව විශේෂයෙන් අරමුණු කළ 1975-1985 එක්සත් ජාතීන්ගේ ලෝක කාන්තා දශකය අපූරු තේමා පාඨයක් යොදාගෙන තිබුණි.
"පිරිමින්ට දුම්රිය මාර්ග, පාලම්, අහස්කුසට එසැවුණු ගෙඩනැගිලි ආදි බොහෝ දේ ගොඩ නැගිය හැකි මුත්, ඒවා නිමේෂයකින් සුණු විසුණු කර දූවිලි බවට පත් කළ හැකිය. ශිෂ්ඨාචාරයක් ගොඩ නැගිය හැක්කේ මවකට පමණක් වන අතර, මවක විය හැක්කේ ගැහැණියකට පමණි."
යනුවෙන් දැක්වුණ එම තේමා පාඨය පමණ ගැහැණු ජීවිතයක ගැඹුර දුටු අදහසක් මෑතක පළ නොවුණ තරම් ය. කාන්තාව ශිෂ්ටාචාරයක් බිහිකරන්නීය යන්නෙහි ගැඹුර වටහා ගත හැකි, වටහා ගැන්මට කැමති හෝ එයට යොමු කරවා ගත හැකි කාන්තාවන් කීදෙනෙකු නම් අද සොයා ගත හැකි වනු ඇද්ද?
ශිෂ්ටාචාරය යන්න සමාජ-මානව මෙන් ම මනෝ විද්‍යා ක්ෂේත්රයන්හි ගැඹුරින් සාකච්ඡාවට බඳුන් වන වචනයකි. එය සැකසෙන්නේ ශිෂ්ට+ආචාරය යන පද දෙක එකතුවෙනි. ශිෂ්ට යන්නට දිය හැකි සරල ම තේරුම යහපත්, ප්‍රසන්න, සාමකාමී, ගැටුමක් නැති වැන්නකි. ආචාරය යනු හැසිරීම ය. ශිෂ්ටාචාරවත් මිනිසෙකු යනු ගැටුමක් නොමැති ව සමාජයෙහි ජීවත් වීමට දන්නා තැනැත්තා ය. ඒ අනුව, ගැටුමකට නොයන පුරවැසියන් බිහි කිරීම මවකගේ මුඛ්‍ය පරමාර්ථය වන අතර, ඒ අතින් ශ්‍රී ලාංකික සමාජය අද ද පවත්නේ ඉතාමත් ප්‍රාථමික අවධියක බව පැහැදිළි ය. ශ්‍රී ලාංකික ගැහැණුන් අතින් ඔවුනට පමණක් කළ හැකි ඒ ‘මවක’ වීමේ වික්‍රමය නිසි පරිදි ඉටු නොවූ බවක් මෙම තත්වයෙන් හැඟේ ද?
බොහෝ පැතිවලින් ගරා වැටෙන සමාජය නගා සිටුවීමෙහි ලා කාන්තාවට තිබෙන හැකියාව සුවිශේෂී ය. විශේෂයෙන් ම, ශ්‍රී ලංකාව වැනි ආගමික සමාජයක ඒ සඳහා තිබෙන ඉඩකඩ වැඩි ය. සෑම ආගමික කටයුත්තක ම කාන්තා සහභාගිත්වය වැඩි බව අලුත් හෝ අමුතු දෙයක් නොවේ. එක්සත් ජාතීන් පවා කාන්තාවන් සුවිශේෂත්වයෙන් සලකන්නේත් මෙනිසා ම වන අතර, ලාංකික බෞද්ධාගමික සමාජයෙහි කාන්තාව පමණ අවභාවිතා වන, අපයෝජනය වන, අවතක්සේරු වන, අවඥාවට, නින්දාවට, විහිළුවට භාජනය වන අන් කිසිදු පාර්ශවයක් ද නොමැති තරම් ය. මේ අතර, තවත් තැන්වලින් දරුවන් ලැබීමට සිටින මවුවරුන්ට දරුවා නෑවීමට බේසමේ සිට සියල්ල ලබා දී වීඩියෝ කර සමාජ මාධ්‍යයන්හි පළ කරවා තිබෙනු කොතෙකුත් දැකිය හැක. ඒ අතර, සැමියා ලවා තේ කෝප්පයක් සාදවා ගැනීම තරම් දෙයක් පවා පාපකාරී ක්‍රියාවක් ය, ගැහැණු ළමයින් උපදින්නේ බොරු කියන දෙමාපියන්ටය ආදි දෙසුම් පවත්වන තැන්වලට රොක් වන ගැහැණුන් ප්රමාණයන්හි ද අඩුවක් සිදු වී නැත. කාන්තාවගේ ඉරණම කුස්සියට සීමා වූ ඉපැරණි සමාජයේ තැනින් කාන්තාව ඉදිරියට ඒම අදටත් සිදුවන්නේ ඉතාමත් සෙමෙනි.
කාන්තාවන් ස්වකීය කාන්තා භාවයෙහි සුවිශේෂත්වය වටහා නොගැනීම පවත්නා තත්වය තවතවත් පරිහාණියට ම පත් කරවන්නකි. ගැහැණිය පිළිබඳ කිසිවෙකුගේ ඇස නොගැටුණ බුදුන් වහන්සේගේ අදහසක් අංගුත්තර නිකාය, දසක නිපාතයේ ධම්මික වග්ගයේ, ඛත්තිය සූත්‍රයෙහි දැක්වේ. එයට අනුව, ස්ත්‍රියකගේ අභිප්‍රාය පිරිමියෙකු සොයා ගැන්ම ය. ඒ දරුවන් ලැබීමේ අදිටනෙනි. සොයන්නේ වස්ත්රාභරණ ය. කැමැත්ත තමාට වඩා බලසම්පන්න ස්ත්‍රියක නොමැති තැනෙක වාසය කිරීම සහ පවුලේ ආධිපත්‍ය ය. අද සමාජ මාධ්‍යයන්හි පළ කෙරෙන බොහෝ සංසිද්ධි සිහිපත් කරවන්නේ මේ යුගයෙහි කාන්තාව කෙතරම් පරිහාණියට පත් ව සිටින්නී ද යන්න ය. අඩු ම තරම බොහෝ කාන්තාවන් සොයා ගන්නා පිරිමියා දරු ප්‍රසූතිය සඳහා අවශ්‍ය මූලික දේවල්වත් සපයා දිය නොහැකි තරමේ දුබලයෙකි. මේ නිසා, සවි ශක්තිමත් ව නැගී සිටින අදහසක් ඇති හැම කාන්තාව ම උත්සුක විය යුත්තේ, සිය අභිමානය උත්කර්ෂයට නංවා ගතහැකි පිරිමියෙකු සොයා ගැන්මට ය.
වරක්, සිය අග මෙහෙසිය දියණි කෙනෙකුන් බිහි කිරීම නිසා කනස්සල්ලට පත් වන කොසොල් මහ රජතුමා බුදුන් වහන්සේ හමු වූ පුවතක් සංයුත්ත නිකාය කෝසල සංයුත්තයේ, ධීතු සූත්‍රයෙහි දැක්වේ. දිනක් විවේකී සවසක බුදුන් වහන්සේ සමග සාද සාමීචියක යෙදී සිටි කොසොල් රජතුමන් වෙත පැමිණි පණිවිඩකරුවෙකු මල්ලිකා දේවිය දියණියක බිහි කළ පුවත සැළ කර තිබේ. ඒ අසා රජතුමන් නොසතුටු වූ බව දකින බුදුන් වහන්සේ; “මහරජ, සමහර ස්ත්‍රියක ද ශ්‍රේෂ්ඨ වන අවස්ථා තිබේ. එනිසා ඇය පෝෂණය කර රැක බලා ගන්න. නැණවත්, සිල්වත්, සිය නැදිමයිලන්ට සලකන ඇයට බිහිවන දරුවා දක්ෂයෙකු වන අතර, ඔහු රාජ්යානුශාසනයට වුව ද පත්වනු ඇත,” යයි පවසා තිබේ.
දිගින් දිගට ම බරපතළ පරිහානියකට පත්ව තිබෙන ශ්‍රී ලාංකික සමාජයෙහි ද හැම දරුවෙකු ම බිහිවන්නේ මවකගෙනි. ඒ දරුවන් බහුතරය කුඩුකාරයන්, සොරුන්, දාමරිකයන් තක්කඩින් වීම මෑත කාලයේ ශ්‍රී ලංකාව පත් ව තිබෙන දරුණු තම ඛේදවාචකය ය. මෙයින් මේ දිවයින තවත් පරම්පරා කිහිපයකින් වත් බේරාගැනීමේ වගකීම ඇත්තේ ද අතනින් මෙතනින් ඇහිඳ ගැනීමටවත් තවමත් සිටින යහපත් කාන්තාවන්ට ම ය.
යහපත් කාන්තාව යනු, පන්සල්, පල්ලි හෝ කෝවිල් යන, සුදු අඳින, දන් පිළිගන්වන කෙනෙකු ම වියයුතු නැත. ඒ කිසිවක් නොකර ම වුව ද, ගැහැණියකට විචක්ෂණශීලී විය හැකි ය. විචක්ෂණශීලී කෙනෙකු කටයුතු කරන්නේ මනා විමසිලිමත්කමකිනි. දුටුමතින් කෙනෙකු කෙරෙහි ඇදී නොයන ඇය මදක් නැවතී කල්පනා කරයි. පුරුෂයෙකු සමග සබඳතා පැවැත්වීමෙන් පිරිමියාට ලොකු දෙයක් නොවුණත්, ගැහැණියකට සිදුවන දේ බරපතළ ය. විශේෂයෙන් ම, කාන්තාවකට සිදුවන හැම දෙය ම සිදුවන්නේ සිරුර තුළ ය. පරිබාහිර ව නොවේ. ඒ බව සිහි තබාගෙන ඉදිරියට යාමට තරම් කාන්තාව නැණවත් විය යුතු ය. ලලිත් ඇතුළත්මුදලි තරුණයා මුලින් ම විදෙස් ගත වන දින ගුවන් තොටුපළෙහි අවසන් ම ඉම දක්වා ඔහුගේ පියාණන් පසුපසින් පැමිණි බව ඔහු මරා දැමීමෙන් පසුව ලියැවුණ ‘නොනිමි මෙහෙවර’ චරිත කථාවෙහි දැක්වේ. අවසන් දොරටුවෙහි දී සිය පුතණුවන්ගේ අත ගත් පියාණන් පවසා තිබෙන්නේ, ඒ දොරටුවෙන් ඔබ්බෙහි ඔහු වෙනුවෙන් කිසිවෙකුත් නොමැති බවත්, එතැනින් පසු මේ සුවිසල් ලොව තුළ ඔහු තනි වන බවත්, කරන්නේ මොනවාද, නොකළ යුත්තේ මොනවා දැ’යි තනි ව තීරණය කළයුතු බවත්, සිතට අවශ්‍ය යයි කී පමණින් හෝ කයට අවශ්‍ය යයි හැඟුණ පමණින් කිසිවක් නොකරන ලෙසත්, සිතේ අවශ්‍යතාවට පමණක් යමක් කළේ නම් එය අවසන් වූ පසු ව කය චෝදනා කරන්නට පෙළඹෙන බවත්, කයේ අවශ්‍යතාවට යමක් කළේ නම් එය අවසන් වූ ඇසිල්ලේ සිට ම සිත චෝදනා කරන්නට පෙළඹෙන බවත්, පසුව එය ඔහුට මහා කරදරයක් වී හිස අවුල් කර දැමිය හැකි නිසා සිතත් කයත් එකසේ එකඟ නොවන කිසිවක් නොකිරීමට අදිටන් කර ගන්නා ලෙසත් පවසා අත අතහැර යන්නට හැරිය බවත් එහි දැක්වේ.
බුදුන් වහන්සේට අනුව කාන්තාවක වීම නිසා ගැහැණියකට විශේෂයෙන් විඳ දරා ගතයුතු කම්කටොළු පහකි. සංයුත්ත නිකාය 4, මාතුගාම වග්ගයෙහි, ආවේණික දුක්ඛ සූත්‍රය දක්වන්නේ, පෞරාණික ඉන්දීය විශ්වාසයට අනුව ගැහැණියකට තරුණියක වූ ඇසිල්ලෙහි ම සිය නෑ සියන් අතහැර පති කුලයකට යාමට සිදුවෙයි. මාසික ඔසප්වීම ඇයට ම විඳින්නට සිදුවන්නකි. දරුවන් බිහි කරන්නට ද සිදුවෙයි. දිවි හිමියෙන් ඇගේ ස්වාමි පුරුෂයාගේ පාද පරිචාරිකාව වීමට සිදුවෙයි. මේවා සාම්ප්‍රදායික, ස්වාභාවික ලෝකයෙහි ගැහැණියක වීම නිසා විඳින්නට සිදු වන දේ මිස, පවක් නිසා සිදුවන්නක් නොවේ. පුරුෂයෙකු වීම නිසා ම පිරිමියෙකුට විඳින්නට සිදුවන දේ ඇතත් මෙතරම් කටුක නැතිකම මිස, මෙහි පවක් හෝ පිනක් නොමැත.අද ලෝකයේ කෙනෙකු පිරිමියෙකු හෝ ගැහැණියක වීම පිළිබඳ අවශ්‍ය තරමටත් වඩා විද්‍යාත්මක පැහැදිළි කිරීම් තිබේ.
අද ශ්‍රී ලංකාවේ ප්‍රසූතියෙහි දී සිදුවන මාතෘ මරණ සහ දාරක මරණ ප්‍රතිශත වශයෙන් ලොව දියුණු ම රටවලට සමාන වුව ද උපදින දරුවන්ගෙන් 6%ක් අඩු බර දරු උපත් යයි දැක්වේ. බරපතළ ම ගැටලුව එය නොවේ. අන්තර්ජාලයට මුදා හැර තිබෙන තොරතුරු අනුව, දැනට ශ්‍රී ලංකාවේ විවාහක පවුල් 9ක් දිනකට නීත්‍යානුකූල ව විවාහ සබඳතා අවලංගු කරයි. පොදුවේ මානසික ආතතියෙන් පෙළෙන්නවුන්ගේ ප්‍රතිශතය 19.4% ක් වන අතර, එය තරුණ ජනගහණය අතර, 39%කි. දැනට පවත්නා තත්වයන් මත මේ සංඛ්‍යා දිනෙන් දින දෙතුන් ගුණයකින් ඉහළට මිස පහළට යැවෙන බවක් කිසිවෙකුටත් කිව නොහැක. එනිසා, කාන්තා දිනයෙහි ඔබට සිතන්නට තිබෙන්නේ මෙම දත්තයන් සාධනීය වෙනසකට භාජනය කරන්නේ කෙසේ ද යන්න ය.
ලෝකයේ කටයුතු සිදුවන පිළිවෙළ අනුව සමාජය ගොඩ නැගෙන්නේ රාමුවක් තුළ යයි පෙන්වා දී තිබේ. එය සැකසෙන්නේ; අධ්‍යාපනය, ආගම, කලාව, මාධ්‍ය සහ විද්‍යාව සහ තාක්ෂණයෙනි. දේශපාලනය එම රාමුවෙහි තිබෙන්නක් නොව, එම රාමුව තුළ සැකසුණ සමාජයෙහි තිබෙන්නකි. එහෙත්, ශ්‍රී ලංකාවේ හැමදාමත් සිදුව තිබෙන්නේ, සමස්ත රාමුව ම දේශපාලනය විසින් මෙහෙයැවීම ය. ලෝකයේ පළමුවන අගමැතිනිය බිහි වූ රට, ලෝකයේ එක ම කාන්තාව අගමැතිනිය සහ ජනාධිපතිනිය වූ රට ආදි වශයෙන් ලැබී තිබෙන විරුදාවලි ගැන ඔජ වඩවන නමුත්, ඒ හැම කෙනෙකු විසින් ම සිදු කර තිබෙන්නේ රාමුව ඒ ඒ අයගේ සිතැඟි පරිදි එහා මෙහා කරවීම ය. තව පරම්පරා ගණනාවක් අනාගතයට විඳවනු ඇත්තේ විරුදාවලි ලත් තැනැත්තන්ගේ අභිලාශයන්හි මහිමයයි. මේ කාන්තා දිනයෙහි සිටවත්, කාන්තාවන්ගෙන් හැකිතාක් කල්පනාකාරී වන ලෙස, තනි තනි ව හැම කෙනෙකු ම වඩවඩාත් බුද්ධිමත් ව තීරණ ගන්නා කෙනෙකු ලෙස ඉදිරියට ආ යුතු ව තිබෙන බව ලංකා ඊ නිවුස් සිහිපත් කරවනුයේ එනිසා ය. අද අප පත්ව තිබෙන තත්වය තුළ තවදුරටත් රටක් ලෙස අපට ඉදිරියට යා නොහැක. මේ තත්වය තුළත්, විවිධ දේශපාලකයන් සුපුරුදු අදහස් දැක්වීම් යළි අරඹා තිබේ. ඔබේ සුවිශේෂත්වය වටහා ගන්න. ඔබේ ශක්තිය සංවිධානාත්මක ව, බුද්ධිමත් ව මෙහෙයවන්න. අවශ්‍ය වෙනස ඔබට කළ හැකි ය.
හිමි ලියූ ලිපි එකතුව
https://www.lankaenews.com/category/80
---------------------------
by (2024-03-08 12:08:22)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි