~

නිහාල් සිල්වා [සාජන්ට් නල්ල තම්බි] ප්‍රේමදාසගේ දේශපාලනයට...!

-පියාණෝගේ පුරාණය- නන්දන වීරරත්න ලියන ලිපි මාලාවක දහතුන්වැන්න

(ලංකා ඊ නිව්ස් -2024.පෙබ.22, ප.ව.11.20) රටේ නුතන කලා ඉතිහාසයේ රීදී තිරය හා වේදිකාව ඔපවත් කළ කැපීපෙනුනු විකට නළුවා නිහාල් සිල්වා ය. ඔහු 1989 දෙසැම්බර් 03 වෙනිදා රාත්‍රියේ දෙහිවල, ගාලු පාරේ, විලියම්ස් හංදියේ දී වෙඩිතබා මරා දැමෙන්නේ නාවික හමුදා භටයෙකු තැබූ වෙඩි පහරකිනි. 1988 අගභාගයේ ජනාධිපති ආර්. ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ඔහුට පමණක් දෙවැනි වූ කථිකයා නිහාල් සිල්වා ය. අගමැති ප්‍රේමදාස සමඟ එකම හෙලිකොප්ටරයේ ගමන් කළේය. අපේක්ෂක ප්‍රේමදාසගේ කතාවට පෙර සෙනග අද්දා ගැනීමේ උපහාසත්මක කතාව කළේ නිහාල් ය. ප්‍රේමදාසගේ කතාව අවසන්වූ පසු දෙදෙනාම හෙලිකොප්ටරයේ නැඟී ඊලඟ රැස්වීමට යන්නේය. එහෙත් ජනාධිපති ප්‍රේමදාසගේ පදවිප්‍රාප්තියට වසරක් ගතවෙද්දීම නිහාල් වෙඩි තබා මරා දැමෙන්නේය. නිහාල් සමඟ ඔහුගේ මොටර් රියේ ගමන්ගත් අනෙක් තිදෙනාට වෙඩි තැබීමෙන් සීරිමක්වත් සිදු වූයේ නැත. 2019 දෙසැම්බරයේ නිහාල් ඝාතනයට වසර 30 සම්පූර්ණ වෙද්දී මම ඔහුගේ මරණයේ පසුබිම සෙවීමේ යෙදුනෙමි. මාගේ ජනමාධ්‍ය ගවේෂණයේ වාර්තාව ඔබට දීමට පෙර නිහාල් සිල්වාගේ කලාව හා දේශපාලනය ගැන තොරතුරු ඔබට ලිවිය යුතුය.

ප්‍රේමදාස සාජන්ට් හමුවන්න තනියම යයි...

ඔහුගේ 'සාජන්ට්  නල්ල තම්බි' බලන්න ප්‍රේමදාස එන්නේ ඔහු අගමැතිව සිටිය දීය. වාර සීයක් පමන නාට්‍ය පෙන්වූ පසුවය. අගමැති  ඔහුගේ නායකයා පමණක් නොව රටේ ජනාධිපති වූ ජේ. ආර්. ජයවර්ධන ට ද ඇමති මන්ඩලයට ද 'සාජන්ට් නල්ල තම්බි' බැලීමට නිර්දේශ කළා පමණක් නොව ඔවුන්ට විශේෂ දර්ශණයක් ද සංවිධානය කළේය.  1988 දෙසැම්බරයේ ජනාධිපත්වරණය ලං වෙද්දී රටේ තිබුනේ මහා භීෂනයකි. එජාපයේ පාරම්පරික හිතවතුන් වූ කලා කරුවෝ සියල්ලෝම එජාපයෙන් ඈත්වී සිටියහ. හිටපු අගමැති ප්‍රේමදාස අපේක්ෂ්කත්වය ගත්තේ බලහත්කාරයෙන් වගේය. සම්ප‍්‍රදායික එජාප ප‍්‍රභූවරු ඔහුට මේ අවස්ථාව දීමට විරුද්ධ වූහ. මේ නිසා ඔවුන්ගේ  බලවත් සහායක් ප්‍රේමදාසට නොතිබුනේය. මේ නිසා ඔහු ස්වකීය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ප‍්‍රධාන සගයා හා  කථිකයා හැටියට තෝරා ගත්තේ අතිශයින්ම ජනාදරයට පත් ‘සාජන්ට් නල්ල තම්බිය’. මේ වෙනුවෙන් සාජන්ට් එකඟ කර ගැනීමට ප්‍රේමදාස කිරුලපොනේ කුණුමෝල වත්තට අල්ලපු වත්තේ පදිංචිව සිටි සාජන්ට් හමුවීමට තනිවම ගෙදරට ගියේය.

නිහාල්ට වෙඩි තැබීමේ පුහුණුවක්...

මේ ඇරයුම කරද්දී සාජන්ට් ට එතෙක් රාජ්‍ය නායකයෙක් ගෙන් ලැබුණු ඉහලම සැලකිලි හා උපකාර කර තිබුනේ ප්‍රේමදාස අගමැතිවරයාය. ඔහුට නිවසට ම  පැමින කෙරුණු ඇරයුම කිසිසේත්ම ඉවත ලැමට පුළුවන් කමක් තිබුනේ නැත. ඔහු සිනමාව හා නාට්‍යයෙන් උපයා ගත් මුළු කීර්තියම ප්‍රේමදාස වෙනුවෙන් කැප කිරීමට තීරණය කළේය. එකල මහ භීෂණය මැද්දේ ප්‍රේමදාස වෙනුවෙන් වැඩකළ කලාකරුවන් ගණනාවක්ම ඒ වනවිට නාඳුනන තුවක්කුකරුවන්ගේ ඉලක්කය වී තිබුනේය. එබඳු දඩයමකින් නිහාල් සිල්වා දිවි බේරා ගන්නේ එවක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩග්ලස් පීරිස්ගේ උපකාරයෙන්ය. මීට අමතරව ආරක්ෂක ඇමති  රන්ජන් විජේරත්න  නිහාල්ට ආත්මාරක්ෂාව සඳහා මිලිමිටර් නවයේ විශේෂ රිවෝල්වරයක් ද දුන්නේය. එයින් නොනැවති රිවෝල්වරයෙන් වෙඩි තැබීමට පුහුණුවක් ද දුන්නේය.

"බිංදුමතී" සහ "මූණ කචල් පුක සුරතල්"

නිහාල් ගේ ප්‍රේමදාසගේ දේශපාලන වේදිකාවල දී දැඩි ලෙස උපහාසයට ලක් කළේ එම ජනාධිපතිවරණයේ බලවත්ම තරඟකාරිය වූ හිටපු අගමැතිණි සිරිමා බණ්ඩාරනායක ය. “මූණ කචල් පුක සුරතල්” යෙදුම සිංහල උපහැරණ සාහිත්‍යයට එකතු කලේ නිහාල් සිල්වා ය. ඒ එකල විපක්ෂයේ ජනාධිපති අපේක්ෂිකා සිරිමා බණ්ඩාරනායක  මැතිවරන වේදිකාවලදී උපහාසයට ලක් කිරීමටය. ඔහු හිටපු අගමැතිවරියට හැඳින් වූයේ “බිංදුමතී” යන නමින් ය. එය 1977 මහ චන්දයේ දී ලැබු බලවත් පරාජය නිසා ඇයට පටබැඳුනු නාමයකි. එහෙත් සමහර වේදිකාවල දී නිහාල් මේ උපහාසයේ තරම දැන මේ හැඳින්වීම කිරීමට හිතාමතාම අමතක කළේය. එහෙත් ඔහුගේ දේශපාලන නායකයා වූ ජනාධිපති අපේක්ෂක රණසිංහ ප්‍රේමදාස ඊට එකඟ නොවීය. ඔහු එම උපහාස කතා කිව යුතු බව නිරන්තරයෙන්ම කීවේය.  

මේ ජනාධිපතිවරනයේදී රණසිංහ ප්‍රේමදාස සමඟ රටපුරා රැස්වීම් වලට එකට ගමන් ගත් එකම කථිකයා නිහාල්ය. ප්‍රේමදාස රැස්වීම ඇමතීමට පෙර සෙනඟ වේදීකාව අසලට ලං කළේ නිහාල් ය.  රැස්වීමේ උණුසුම වැඩිකිරීමටත්  ඔහුට පෙර කතාව හිමිවුයේ නල්ල තම්බිට ය. ඔහු මේ වෙනුවෙන්ම  ‘සාජන්ට් නල්ල තම්බි’ වේදිකා වස්ත්‍රය ඇඳ සිටියේ ය.දේශපාලන නල්ල තම්බි කතාව කරද්දී ඔහු අසලින් සිටි අපේක්ෂක ප්‍රේමදාස  ඉහත කී උපහාසය සාජන්ට් අමතක කරන විට නිහාල් අර අරක කියන්න  “මූණ කචල්”  කතාව කියා සිහි කිරීමට පුරුදු වී සිටිය බව නිහාල් ගේ මිතුරෝ කියති. නමුත් මේ උපහාසය සිරිමා බණ්ඩාරනායක දැන සිටියේද යන්න සැක සහිතය.

සමන්ප්‍රිය මාරසිංහ නිහාල් ගැන කතා කරයි..

‘සුදර්ශිය හෙවත් සිංහල කලායතනයේ’ සභාපතිවරයා මෙන්ම නිහාල්ගේ සමීපම සගයා වූ   සමන්ප්‍රිය මාරසිංහ ට ඔහු හඳුන්වාදෙන්නට ඇරයුම් කරමු. සමන් මේ ශ්‍රේෂ්ඨ රංගධරයා ගැන අපුරු කතා කීවේය. එයින් ඔබට නිහාල් හඳුනාගැනීම පහසු කරයි.

“කිරුළපනේ වෙසක් නාට්‍යවලින් මතුවෙන නිහාල් සිල්වා සුදර්ශියට එන්නේ අශෝක සෙනරත් මුදලිත් එක්ක. පස්සේ දයාරත්න රටගෙදරගේ 'ගරු ලිසී' නාට්‍යට එකතු වුනා. පස්සේ නාට්‍ය 262 ක හා  චිත‍්‍රපටි 54 ක රඟපෑව. ලංකාවේ දී ආදායම් බදු ගෙවන්න පුළුවන් එකම වේදිකා නළුවා නිහාල්. අපි අවුරුදු 5 ක් ඇතුලේ සාජන් නල්ල තම්බි 1100 වාරයක් පෙන්නුව. බලන්න අවුරුදු පහට නාට්‍ය දර්ශන වෙන්කොලොත් අපි හැම දවසකම වේදිකාව උඩ ඉඳල තියෙනව. අපි පෝයටත් නල්ල තම්ම්බි පෙන්නුව. ඔහු දුර්ලභ නළුවෙක්. හැම තත්පරයකම ප්‍රේක්ෂකයාගේ අවධානය තියා ගන්න ශිල්පය හොඳින් දැන හිටිය. ඔහු වේදිකාවෙන් පිටවෙන කොට නරඹන්න, ආයෙත් ඔහු එනකල් බලා ගෙන හිටිය. තත්පරය දහයට බෙදල කාලය අරගෙනයි ඔහු ‘පන්ච්’ එක දුන්නේ. එතකොට රසිකය හැම මොහොතෙම නිර්මානයත් එක්ක ඉන්නව. ඔහුට විඩාවක් එපාවීමක් එන්නේ නෑ. ‘මේකයි  නිහාල්ගෙන් ඉගෙන ගන්න ඕනෑ අනිත් උදවිය.”

'පුන්තිලා'

"හෙලේනා ලෙහ්තිමකී" ‘පුන්තිලා’ නාට්‍ය හදන්න පුන්තිලාගේ චරිතයට කෙනෙක් හෙව්ව. හෙන්රි ජයසේන, නීල් අලස්, ෆීලික්ස් ප්‍රේමවර්ධන මේ කිසිම කෙනෙක් හෙලේනට හරි ගියේ නෑ. නමුත් වෙන චරිතෙකට ආපු නිහාල් තමයි ඇගේ අවසාන තේරීම උනේ. නමුත් අවාසනාවට ඒ අවුරුද්දේ හොඳම නළුව සම්මානය නිහාල් ලැබුනෙ නෑ. ඒ නාට්‍යයේ නීතිමය හිමිකරු පුද්ගලික හේතුවක් මත නාට්‍ය උලෙළට 'පුන්තිලා' ඉදිරිපත් කළේ නෑ. ඒකෙන් නිහාල්ගේ හිත හොඳටම බිඳුන. නමුත් එයා දේශපාලන බලය ලැබුනම ජාත්‍යන්තර උළෙලවල් ලංකාවේ තියන්න හීන දැක්ක.”

ප්‍රේමදාස නිහාල්ටත් එක්ක ගෙදරින් කෑම ගේනවා..

“එයා නළුවෙක් නූනනම් කොළඹ පාතාල නායකයෙක් වෙන්න තිබුන. ඒ තරම් දක්ෂකමක් ඔහුට තිබුනේ. මම හිතන්නෙ ඉස්කෝලෙ දෙකටවත් ගිහිල්ල නෑ. නමුත් මිනිස්සු ඇසුරෙන් ජීවිතයත් මිනිස් හැසීරීමත් ඔහු හොඳින් අධ්‍යනය කර තිබුනෙ. අනෙක් නළුවන්ට වගේ චරිතයකට පිවිසෙන්න මාස ගණන් යන්නේ  නෑ. තත්පර ගාණකින් චරිතයට පණ තියන්න පුළුවන්. ඒක අතිශය දුර්ලභ ප‍්‍රතිභාවක්. දේශපාලකය ඔහු පසුපස ආවේ රසිකයන්ගේ අවධානය ගන්න. සයිමන් නවගත්තේගම,  ප්‍රේමදාස ට කතා ලිව්ව. ඔහු ප්‍රේමදාස හෙට යන තැනට අද  ගිහින් ප‍්‍රදේශය බලා කතාව ලියල දෙනව. නිහාල් එහෙම නෙවෙයි ඔහුත් එක්ක එක චොපර් එකේ රැස්වීම් වලට යනව. එයා නිහාල්ටත් එක්ක ගෙදරින් කෑම අරගෙන එනව. සමහර දවස් වලට නිහාල් නාට්‍ය පෙන්නල නිදිමරල ඉන්නේ. ප්‍රේමදාස වෙලාවට වැඩ කරන කෙනෙක්. නමුත් නිහාල් පැය හමාර පරක්කුවෙල ගියත් වචනයක් කියන්නේ නෑ. ඒ සියල්ලම නිහාල්ගේ ජනප‍්‍රියත්වයට තිබුනු සැලකිල්ල හා බය.”

මොන ලාබාල වයසක් ද එයා මරණ කොට, යාන්තම් අවුරුදු 35 යි...

“කොළඹ නාට්‍ය ගුරුකුල කීපයයි තියෙන්නේ. ලයනල් වෙන්ටඩ්, බොරැල්ල වයි. එම්. බී. ඒ. සහ සුදර්ශිය. නිහාල් සුදර්ශියේ දී මේ සම්ප‍්‍රදායන් තුනේ උඩටම ගෙනාව. ඔහුට රසිකයෝ වේදීකාවෙත් හිටිය සිනමාවෙත් හිටිය. ඒක ලොකු පරාසයක්. අවාසනාවට දේශපාලකය ඔහු පස්සේ වැටුනම එයත් එකට එකතුවුනා. 1989 පෙබරවාරියේ දී මිනිහට චිට් මංත‍්‍රි කමක් ජාතික ලැයිස්තුවෙන් දෙන්න ප්‍රේමදාස උත්සාහ කළා. අපි එපාම කියල බේර ගත්ත. ඊගාවට ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාවේ ක‍්‍රියාකාරි අධ්‍යක්ෂ කමක් දෙන්න හැදුව. අපි ඒකත් ගන්න දුන්නේ නෑ. ඒක යාන්තම් ටිකක්වත් ගැලපෙන චිත‍්‍රපටි සංස්ථාවට මාරුකර ගත්ත. එයාට තෙරුමක් තිබුනේ නෑ දේශපාලකය එයා ගිල ගන්නව කියල. බලය එනකොට හොඳ නරක තේරුම් කරන්න අමාරුයි. එයා නිරපරාදෙ මැරුම් කාළා විශාලම පාඩුව කළේ රටට, කලාවට,  එයාට නෙවෙයි. මොන ලාබාල වයසක් ද එයා මරණ කොට, යාන්තම් අවුරුදු 35 යි. එයා ශාරුක් ඛාන්, අමිතා බච්චන්, සල්මන් ඛාන්ල වර්ගයේ බ්‍රෑන්ඩ් එකක් වුණු අපේ එකම වේදිකා නළුව. අවුරුදු තිහකට පස්සෙත් එයාගෙ අඩුව පුරවන්න තාම කෙනෙක් නෑ...!”

-නන්දන වීරරත්න

සබැඳි ලිපි පෙළ
* පියාණෝ හා පුතාණෝගේ කුල අශ්ව ඉස්තාලය..!
* රණසිංහ ප්‍රේමදාස හා එජාපයේ කුල දේශපාලනය.!
* ප්‍රේමදාසගේ කුල පෙරමුණ..!
* ලයනල් ජයතිලක, මෙරිල් කාරියවසම් හා උපාලි විජේවර්ධන ඝාත​න අහම්බයක්ද?
* ප්‍රේමදාස මැද කොළඹින් මාගමට..? -වංකනාසික තිස්ස කුමරු සහ "අප්පුවා" - ගජබා කුමරු සහ නීල මහා යෝධයා..!
* හේන වංශයට හින්න වංශය මුහු කිරීම..! ජීවිතයට රැකියාවක් ව්‍යාපාරයක් නොකළ පියාණෝට, පුතාණෝට වියදම් කිරීමට මේ සා ඩොලර් පවුම් කොහෙන්ද?
* සයිමන් නවගත්තේගමගේ "ආර්. පණ්ඩුකාභය"
* ප්‍රේමදාස පාතාලයට වැඩ පවරයි..! -1988 ජනාධිපතිවරණය
* ප්‍රේමදාස, ආර්යාවත් සමඟ පත්තිරිප්පුවට නඟී..!
* 1989 මහ චන්දේ කුල සටන..!

* සීගිරි ගලේ කවි ලීවේ ඩෝල්ටන්..!

* 'ඇක්ෂන් විජේ' පොලිසියෙන් උස්සයි

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/98

---------------------------
by     (2024-02-22 20:08:38)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links