-පියාණෝගේ පුරාණය- නන්දන වීරරත්න ලියන ලිපි මාලාවක දොළොස්වැන්න
(ලංකා ඊ නිව්ස් -2024.පෙබ.14, ප.ව.11.30) 70 හා 80 දශකවල ජනප්‍රියම විදී නළුවා ‘ඇක්ෂන් විජේ’ හෙවත් නිහාල් හෙට්ටිආරච්චි ය. ඔහු රටේ හැම ප්‍රධාන බස් පොළක්ම ස්වකීය රංගනයෙන් රසවත් කළේය. ඔපවත් කළේය. බස් රියක් එන තුරු රස්තියාදු වෙමින් සිටි මගීන් කාලය ගෙවා දැම්මේත් කෝපය නිවා ගත්තේත් නිහාල්ට පිංසිද්ධ වෙන්නටය. සත 55 ගෙවා ගැලරියකට රිංගා අලුත්ම බයිස්කෝපය බලන්න මුදල් නොතිබුණු මම ද නිහාල්ගේ බලවත් රසිකයෙක්ව සිටියෙමි. ඇක්ෂන් නිහාල්ටත් කපන මණ්ඩලයක් හෙවත් ‘සෙන්සර් බෝඩයක්’ තිබුණේය. ඔහු වැඩිහිටියන්ට පමණයි හෙවත් ‘ඇඩල්ට්ස් ඔන්ලි’ රැඟුම ඇරඹීමට පෙර අවට රැස් වී සිටි කොලු කුරුට්ටන් අතරින් වයස සුදුසු රසිකයන් සොයා ගත්තේ මේ ප්‍රශ්න ඇසීමෙනි.
“ ඒයි, තොපි මගේ ෂෝ එක බලන්න ඉස්සරහින්ම වාඩිවෙල කට ඇරගෙන ඉන්නේ තොපේ ‘මයිල්’ ඇවිල්ල ද තියෙන්නේ..?
එහෙමත් නැතිනම් මෙසේ අසන්නේ ය.
“ඒයි, උඹට පුළුවන්ද හබරල කොලයක් හිල් වෙන්න හුජ්ජ කරන්න..?”
මේ රසික පරීක්ෂණයෙන් අසමත් වෙන කිසිම කොල්ලෙකුට ඔහුගේ ‘ෂෝ’ එක බැලීමට අවසර ලබුණේ නැත. වාසනාවට ඒ වන විට මම මේ “සුදුසුකම්” සපුරා සිටියෙමි.
රබර් සෙරෙප්පු දෙකක් දමා පිරිසිදු කලිසමක බැස, අත්කොට කමීසයක් උඩින් දමා හැඩ කෙරුණු නිහාල්ගේ කෙසඟ සිරුර ඔහුට නළුවෙක් වෙන්නට බාදා නොකළේය. ඔහු අලුත්ම චිත්‍රපටියේ කෑලි අපට පෙන්නුවේය. ඉඳහිට පරණ චිත්‍රපටිවල කෑලි ද පෙන්නුවේය. ඔහු පදික රඟහලෙන් පියවර කීපයක් පිටුපසට ගොස් එකවරම ‘විජේ’[විජය කුමාරතුංග]ට අඳින්නේය. ඔළුව උස්සා වටපිට බලමින්, කකුල පද්දා තබමින්, පපුව ඉස්සරහට දමාගෙන විජේ කියූ අලුත්ම සිංදුවක කෑල්ලක් කියාගෙන රංගනය අරඹන්නේය. එය පෙම්වතියට කියන සිංදුවක් වූවත් එහි පෙම්වතියක් නැත. නිහාල් සිංදුවෙන් විනාඩියක් කියා ආපසු “වේදිකාවේ” පිටුපසට යන්නේය. රසිකයන් අමතන්නේ ය.
“ බලා ගනිල්ල දැන් මාලනී [ෆෝන්සේකා] එන්නේ හරිද ?”
ඔහු හිතෙන හිතෙන විදිහට මාලිනීට ඇඳීම අනුකරණය කරන්නේය. සමහර වෙලාවට සාරියකි. වෙලාවකට ගවුමකි. වෙලාවට බිකිනියකි. ඔහු අඳින ආකාරයෙන් මාලනීගේ ඇඳුම අපි තීරණය කළෙමු. අනතුරුව මාලනී මෙන් නලව නලවා දිව එන්නේ ය. සිංදුවේ කෙල්ලගේ කෑල්ල කියන්නේය. තම රසිකයන් වඩාත් සතුටු කරන්නට නිහාල් ඇතැම් දිනක මාලනී, ස්වර්ණා [මල්ලවවාරච්චි] හෝ රුක්මණී [දේවි] දිය රෙද්දක් ඇඳන් දිය නාන හැටි, කුණු අතුල්ලන හැටි පමණක් නොව සබන් ගාන ආකාරය ද පෙන්වන්නේ ය...! එය නම් අපුරුම දර්ශනයකි. හැබෑටම, ඒවා නොදුටු ‘දෑස් මක්කටෙයි?’
හිටිවනම ඔහු ගාමිණි [ෆොන්සේකා]ට අඳී. ඔහුගේ කොට කකුල උස්සා තබමින් දත් නොපෙනෙන්නට විරිත්තමින්, සරම් පොට එක අතකින් උස්සා ගෙන අනෙක් අතින් ප්‍රතිමල්ලවයාට අත දිගු කර තර්ජනය කරයි. අනතුරුව නිහාල් ‘චන්ඩියා’ගේ දෙබසක් කියයි.
“අඩෝ, මේ වැයික්කියේ මගේ ඔළුවට උඩින් කාක්කෙකුටවත් පියාඹන්න බෑ. දැන ගනියව්..!”
විටෙක ‘දඩයමේ’ ස්වර්ණා ට අඳී. එහි දෙබසක් කියයි.
“ බල්ලන්ට දඩාවතේ යන්න දෙන්න බෑ. උන් ඔක්කොම බැඳල දාන්න ඕන..!”
කලාතුරකින් ජෝ අබේවික්‍රමට අදී. ‘බඹරු ඇවිත්’ හී දෙබසක් කියයි.
“හෙලේනා බොලා පරේසම් වෙයල්ලා බඹරු ඇවිල්ලා...! බඹරු.. බඹරු..! බඹරු ඇවිල්ලා...!”
තවත් විනාඩියකින් නිහාල් එහි හෙලන්ගේ චරිතයට පණ පොවමින් රෙද්ද අඳිමින් හැට්ටය හදමින් ඉතිරි දෙබස කියන්නේය. ඉතින් ඔබට කියන්න ඕනෑ නිහාල්ගේ කතාව නොව අගමැති ප්‍රේමදාසගේ කතාව නොවැ..!
80 දශකයේ මුල දවසක නිහාල් හෙට්ටිආරච්චි කොළඹ, කොටුවේ මහ බස්පොලේ උදෑසනම රැඟුම් අවසානයේ එකතු කර ගත් සොච්චම රැගෙන බඩ පුරවාගන්න නීලගිරියේ පුටුවකට බර දුන්නේය. ඔහුගේ නිතර කෙරෙන ඉල්ලීම ඇසූ වේටරයා කෑගැසුවේය.
“ නිහාල් අයියට, ප්ලේන්ටියයි, බනිසයි...!”
මේ අල්ලපනල්ලේ බස්පොලේ ලොතරැයි විකුණන කොල්ලෙක් හිස ගිනිගත්තෙකු විලසින් නිහාල් සොයාගෙන දිව ආවේය.
“ අයියේ අන්න පොලීසිය උඹ හොයනව...! කොටුවේ ඕ.අයි. සී. ලොක්කම පිරිවරත් එක්කම ඇවිල්ල උඹ සොයන්නේ...!”
නිහාල් පස්ස නොබලාම දුවන්න ගත්තේය. ඔහු පාර පනිද්දී මහරගම යන 138 ගාටමින් තිබුණේය. නිහාල්, එහි නැඟ පිටු පස්සේ සැඟවුණේය.
ආයේත් මතු වූයේ මහරගම බස්පොලෙන් ය. දවාලට කන්න සල්ලි සොයන්න එහි ‘ඇක්ෂන් විජේ’ පෙන්වන්න පටන් ගත්තේය. අවාසනාවට විනාඩි ගණනාවකින් හදිස්සියේ පැමිණි පොලිස් රියක් මහ හඬින් බ්රේක් ගසා හයිලෙවල් පාරේ නතර කෙරුණේය. රීදී තිරයේ එකළ සුපිරි වීරයා වූ ගාමිණි [ෆොන්සේකා] ට රඟමින් සිටි නිහාල් එකවරම දුෂ්ඨයා වූ බන්දු [මුණසිංහට]ට ඇන්දේය. නරඹන්නන් පුදුමයට පත්කරමින් වීරයාගෙන් ගුටිකා දුවන දුෂ්ඨයා මෙන් දුවන්නට පටන් ගත්තේ ය. ආයෙත් ගාටන බසයක එල්ලුනේය. එය නුගේගොඩට මිරිහානෙන් යන 119 කි. නිහාල් ඒ ගමන නතර කළේ නුගේගොඩ සුපර් මාර්කටයෙනි. එදා වේල ටුවර්ස් නොව ඒ වේලේ ටුවර්ස් දුවන නිහාල් බඩගින්න නිවා ගන්නට 'ඇක්ෂන් විජේ' එළියට දැම්මේය. වටපිට බලමින් ෂෝ එක දිවෙව්වත් වැඩි වෙලාවක් යන්නට ඔහුට ලඟින්ම සද්දයක් ඇහුණේය.
“අන්න සර් අරූ අතන ඉන්නව. අල්ල ගමු....!”
“ අයියෝ සර් මම පට්ට අහිංසකයෙක්. ජිවිතේට අනුන්ගේ දෙයක් අරන් නෑ. කුරා කූඹියෙකුටවත් හිංසාවක් කරල නෑ....!
නිහාල් විලාප තියද්දීම පොලීසිය ඔහු කුදලා ජීප් රථයට දැම්මේය. පොලීසි දෙක තුනකට මාරු වූ නිහාල් අවසානයේ ගෙන ගියේ කෙසෙල්වත්තේ සුචරිතයට ය. බියෙන් ගැහෙමින් සිටි නිහාල් අගමැති ප්‍රේමදාස ලඟට යද්දී ඔහු සිනාසෙමින් මෙසේ කීවේය.
“ අපොයි නිහාල් තමුසේ අල්ල ගන්න තියෙන ආමාරුවක්. මම උදේ ඉඳල මේ පොලීසිවලට කිව්ව තමුසෙ සොයල දෙන්න කියල. කමක් නෑ දැන් ඇවිල්ලනේ. මම ‘ජන උදාවෙන්’ අලුත් වැඩක් කරනව ‘මාවතේ අපි’ කියල ප්‍රසංගයක්. ඒකේ ප්‍රධාන චරිතයක් නිහාල්ට දෙන්නයි යන්නේ. එතකොට පාරේ පෙන්නන්න ඕන නෑ. කෙළින්ම මහ වේදිකාවේ ‘ඇක්ෂන් විජේ’ පෙන්වන්න පුළුවනි”
නිහාල්ගේ ඇඟට ලේ ඉණුවේ ඉන්පසුවය.
“හරි සර්, මම ෆුල් බැකප් එකක් දෙන්නම්..!”
නිහාල් අපගේ සකලකලා වල්ලභ, අගමැතිවරයාට පොරොන්දු විය.
සබැඳි ලිපි පෙළ
* පියාණෝ හා පුතාණෝගේ කුල අශ්ව ඉස්තාලය..!
* රණසිංහ ප්‍රේමදාස හා එජාපයේ කුල දේශපාලනය.!
* ප්‍රේමදාසගේ කුල පෙරමුණ..!
* ලයනල් ජයතිලක, මෙරිල් කාරියවසම් හා උපාලි විජේවර්ධන ඝාතන අහම්බයක්ද?
* ප්‍රේමදාස මැද කොළඹින් මාගමට..? -වංකනාසික තිස්ස කුමරු සහ "අප්පුවා" - ගජබා කුමරු සහ නීල මහා යෝධයා..!
* හේන වංශයට හින්න වංශය මුහු කිරීම..! ජීවිතයට රැකියාවක් ව්‍යාපාරයක් නොකළ පියාණෝට, පුතාණෝට වියදම් කිරීමට මේ සා ඩොලර් පවුම් කොහෙන්ද?
* සයිමන් නවගත්තේගමගේ "ආර්. පණ්ඩුකාභය"
* ප්‍රේමදාස පාතාලයට වැඩ පවරයි..! -1988 ජනාධිපතිවරණය
* ප්‍රේමදාස, ආර්යාවත් සමඟ පත්තිරිප්පුවට නඟී..!
* 1989 මහ චන්දේ කුල සටන..!
* සීගිරි ගලේ කවි ලීවේ ඩෝල්ටන්..!
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/98
---------------------------
by (2024-02-14 20:10:57)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි