~

පිළිකන්නෙ සිටි මැරයන් දේශපාලඥයන් බවට පත්කළ අප්පච්චි කවුද කියා අපි හැමෝම මතක තබාගත යුතුයි...! (Video)

-චම්පික රණවක

(ලංකා ඊ නිව්ස් -2024.ජන.29, ප.ව.10.40) මියගිය සනත් නිශාන්ත මහතා මේ රට තුළ පවතින දුෂිත දේශපාලනයේ ගොදුරක් බවත් මෙවැනි ගොදුරු බිහි වීමට LTTE, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු මෙරට පාලනය කළ ජනාධිපතිවරුන් සේම අගමැතිවරුන්ද වගකිවයුතු බව එක්සත් ජනරජ පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අවධාරණය කර සිටියේය. එමෙන්ම දේශපාලන මැරයන් බිහි කිරීමටත් මැරකම දේශපාලනය කිරීමටත් ජාතියේ අප්පච්චි කෙනෙකු බිහි වූ බවද ඔහු ප්‍රකාශ කළේය.

ඔහු මේ බව පවසා සිටියේ 2024.01.27 වන දින ගම්පහ ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමිනි. මේ සඳහා එක්සත් ජනරජ පෙරමුණේ නායකයන් පිරිසක්ද සම්බන්ධ වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක ;

"සනත් නිශාන්ත මහතා අනතුරකින් මිය ගියා. එතුමාට ගෞරව දක්වන්න මමත් ගියා. මම ඇත්තටම එතුමාව දන්නවා 2012 ඉඳන්. මම එහේ ගියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට සනත් නිශාන්ත කියන මනුෂ්‍යාට ගෞරව කරන්න මිසක් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අනුගාමිකයෙක් හැටියට පුත්තලම් ප්‍රදේශයේ ප්‍රචලිත චණ්ඩියෙක් හැටියට හිටපු සනත් නිශාන්තට ගෞරව කරන්න නෙමෙයි. ඔහු චණ්ඩියෙක් වෙන්න ඇති. මැරවරයෙක් වෙන්න ඇති. මම නම් ඒ ගැන ඔහුට දොසක් කියන්නේ නැහැ. ඔහු මේ රටේ එක්තරා දේශපාලන ක්‍රියාවලියක ගොදුරක්. මතක ඇති හම්බන්තොට වීරකැටියේ විතාරන්දෙණියේ උක්කුවා ගොදුරු වුණා. ඒ වගේම කොළඹ CID ඔෆිස් එක ඉස්සරහ වෙඩි තියලා මරපු චන්ඩි මල්ලි, කොලොන්නාවේ ප්‍රාදේශීය සභා මැතිවරණයේදී භාරත ලක්ෂ්මන් වෙඩි කාලා මැරුණේ. ඔහුගේ මරණය වෙනුවෙන් දුමින්ද සිල්වා අද ජීවිතාන්තය දක්වා සිරගෙදරට ගිහින් තියෙනවා. මේ ලැයිස්තුව දිගයි. මේ ලයිස්තුවේ අප්පච්චි කවුද කියලා අපි හැමෝම මතක තබාගත යුතුයි. විශේෂයෙන්ම මේ රටේ මැරකම දේශපාලනය වෙලා තියෙනවා. පොන්නම්බලම් මහත්තයා මැරවර දේශපාලනය පාවිච්චි කළා යාපනේ. බණ්ඩාරනායක මහත්තයා පාවිච්චි කළා අත්තනගල්ලේ, සේනානායකවරු පාවිචිචි කළා වාමාංශිකයන්ට විරුද්ධව. මැතිනිය පාවිච්චි කළා. ලක්ෂ්මන් ජයකොඩි මහත්තයා පාවිච්චි කරා. කවුරුත් දන්නවා හැත්තෑ පහේ මීරිගම අතුරු මැතිවරණය. ජේ ආර් ජයවර්ධන පාවිච්චි කළා, රණසිංහ ප්‍රේමදාස මහත්මයා මේ මැරවර දේශපාලනය කරළියට ගේන්න එක හේතුවකුත් තිබුණා. ඒ හේතුව තමයි අද ඔය මැර දේශපාලනය ගැන කතා කරන ජනතා විමුක්ති පෙරමුණේ තුවක්කු දේශපාලනය නිසා. වැදගත් මිනිස්සුන්ට බෝඩ් ලෑල්ල ගෙදර එළියේ ගහලා අපි දේශපාලනයෙන් සමුගත්තයි කියන්න වුණා. එතන්ට ආවේ කවුද? එතන්ට ආවේ තුවක්කුව අරගෙන ජනතා විමුක්ති පෙරමුණට මුහුණ දෙන්න පුළුවන් මැරවරයා තමයි ආවේ දේශපාලනයට. තුවක්කු තාම බිම තියලා නෑ. උතුරේ වුණෙත් ඒකයි. උතුරේ LTTE යට මුහුණ දෙන්න පුළුවන් තුවක්කු තියෙන මිනිස්සු පිරිසක් තමයි දේශපාලනයට ආවේ. ඒ තුවක්කුත් තාම බිම තියලා නෑ. මේ ලඟදි මම දැක්කා ඉතාම වැදගත් මුහුණු පොතේ රසික ජයකොඩි මහත්මයා සටහනක් ලියලා තිබුණා. "ලංකා දේශපාලනය පිළිකන්නෙ හිටපු මැරවරයින්ව, සාලෙට කැඳවගෙන ඇවිල්ලා පිළිගැනීම් නිලධාරියෝ බවට පත් කළේ, අපේ අප්පච්චි" කියලා. ඒ නිසා මේ කණ්ඩායමේ වගකීම දරන්න ඕනේ ඒ අය."

ශ්‍රී ලාංකික ජනතාව අරගලයක් මගින් පවා සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලා සිටියද එවැනි දේශපාලන සංස්කෘතියක් මෙරට තුළ තවමත් ඇතිවී නොමැති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඒ මහතා විසින් මෙරට ප්‍රධාන පෙළේ දේශපාලඥයන් විසින් සිදුකර ඇති අකටයුතුකම් හා විදෙස් රටවල් මෙවැනි ක්‍රියාවලට ගෙන ඇති පියවරයන් පිළිබඳව කරුණු ගෙනහැර දක්වමින් ඒ බව පෙන්වා දෙන ලදී.

ජනාධිපති ආර්යාවක් ජනාධිපති මන්දිරයේ තිබිච්ච අර මුල්කිරිගල චිත්‍රය ගලවගෙන ගිහිල්ලා වික්කා...

"මෑතදී ජපානයේ පාලක පක්ෂය, නියෝජනය කරන ඇමතිවරු කිහිපදෙනෙකුටම එකවර ගෙදර යන්න වුණා. මොකක්ද චෝදනාව? ඩොලර් මිලියන 2.6ක් අවභාවිතා කිරීම. ගැන. මේ රටේ ගහලා තියෙන කෑලි වල හැටියට ඒක ලොකු ගාණක් නෙමෙයි. මේ රටේ කට්ටිය ගහලා තියෙන ගැහිලි වලට. නේද? ජපානයේ බලගතු ඇමතිවරු හතර දෙනෙකුට ඒ ප් රධාන කණ්ඩායමේ හිටපු අයට ගෙදර යන්න වුණා. සිංගප්පූරුවේ මේ මෑතදී ඇමතිතුමෙක් එතුමට ගෙදර යන්න වුණා. මොකක්ද එතුමාට චෝදනාව? එක්තරා මුදල් සහගත පුද්ගලයෙක්ගේ සල්ලි වලින් පිටරට මැච් බලන්න ගියා කියලා. මේ රටේ ආර්යාවෝ නේද? කොහොම කරාද කියලා අපි හැමෝම දන්නවනේ. හමුදාවේ නිලධාරීන් දන්නවා. වට්ටුහාන්, පුදුමාතලන් දෙමළ ජනයාගේ ඔක්කොම දේපල විනාශ වුණා. අන්තිමට අරන් ආවේ රත්තරන් විතරයි. ඒ රත්තරන් වලින් අංශු මාත්‍රයක්වත් ආපහු බෙදලා දුන්නේ නෑ. මේ රටේ එක්තරා ජනාධිපති ආර්යාවක් ජනාධිපති මන්දිරයේ තිබිච්ච අර මුල්කිරිගල චිත්‍රය ගලවගෙන ගිහිල්ලා වික්කා. ඒ කාලේ අපේ මහා බ්‍රිතානයේ තානාපතිතුමා චිත්‍ර ප්‍රදර්ශනයක් බලන්න ගියාම මේ චිත්‍රය එතුමා අඳුරගත්තා. ඔහු ඇහුවා කොහෙන්ද මේක ගත්තේ කියලා. පවුම් 35,000 ගත්තේ කිව්වා. කවුද? අර ආර්යාවගේ බෑනා. අදටත් ඒගොල්ලෝ මේ රටේ දේශපාලනය කරනවා. අර මහත්මයාගේ සහ මුස්තාපා මහත්මයාගේ මැදිහත්වීමෙන් තමයි යන්තම් ඒ චිත්‍රය නැවත අපිට ලැබුණේ. ඔය ජනාධිපති මන්දිරයේ තිබිච්ච බොහෝ දේවල් අතුරුදහන් වෙච්ච විත්තියත් ඇතැම් අය දන්නවා."

එමෙන්ම වර්තමාන ආණ්ඩුව විසින් අධික බදු බරක් ජනතාව මත පටවා ඇති මොහොතක කිසිදු සොයා බැලීමකින් හා නිවැරදි ක්‍රමවේදයකට නොයා TIN අංකයක් හරහා ජනතාව බදු ක්‍රමවේදයට ඇතුලත් කරගනිමින් සිටින බව පාඨලී චම්පික රණවක මහතා පවසයි. එමෙන්ම මෙම ක්‍රියාවලිය නිවැරදිව සිදුකළ යුත්තේ කෙසේද යනවග ඒ මහතා මෙහෙදී අවධාරණය කරන ලදී.

QR කේතය වැඩි දියුණු කරන්න තිබුනා..

"මේ සඳහා පියවර විය යුතුව තිබුණේ QR කේතය වැඩි දියුණු කරලා ඒක ලංකා පේස් සිස්ටම් එකත් එක්ක එකතු කරන එක.  ෂෙඩ් එකට ගිහාම මට පුළුවන් මගේ දුරකථනය හරහා මගේ ගිණුමෙන් QR කේතය ස්කෑන් කරන්න. මගේ බිල 10,000. මං ගෙව්වා. ඒ 10,000 යනවා කාටද? ඒක අයිති මහත්තයාගේ ගිණුමට. ඒ ගිණුමෙන් 3% ඒ කියන්නේ 10,000න් රුපියල් 300 ක් කපාගෙන ඉතුරු 9,700 එක්කෝ IOC එකට එහෙම නැත්නම් සිපෙට්කෝ එකට බැර වෙනවා. එතකොට මට මම මගේ වාහනේට දහපාරක් තෙල් ගැහුවනම් මගේ බැංකු ගිණුමෙන් රුපියල් ලක්ෂයක් අඩුවෙලා. අන්න IRD එකට පුළුවන් මට එවන්න මොකක්ද? ගන්න TIN නොම්මරේ ඔබ තෙල්ම ගහලා තියෙනවා ලක්ෂෙක. ඔබට අනිවාර්යෙන් ලක්ෂෙට වැඩිය ආදායමක් තියෙනවා කියලා. දැන් මොකද කරලා තියෙන්නේ? දැන් එක් කෝටි හැට ලක්ෂයකටම ලියුම් එවනවා. ඔවුන්ගේ ආදායම දන්නෙත් නෑ. වියදම දන්නෙත් නෑ. මම චීනෙට ගියා අවුරුදු දොළහකට කලින්. මේ නගරවල තියෙන පොදු වැසිකිලියට යන්න ගියත්, QR එකෙන් තමයි ගෙවන්න තියෙන්නේ. අපේ රටේ පවුල් ලක්ෂ පහකට මුකුත් එහෙම ප්‍රශ්නයක් නැහැ නමුත් අනිත් මිනිස්සුන්ට තියෙනවා හැබැයි ඒ ලක්ෂ පහ කරන වියපැහැදම් හොයන්න ක්‍රමයක් නැහැ.  මුලින් ආණ්ඩුව පටන් ගන්න එතනයි. මොකක්ද? ඉලෙක්ට්‍රොනික වේදිකාවකට රටේ වියපැහැදම් ටික ගන්න එක, සමාජ සුභසාධනය ගන්න එක, රජයේ වැටුප් පද්ධතිය, විශ්‍රාම වැටුප් පද්ධතිය ගන්න. එහෙම කළා නම් රටේ මීට වඩා විධිමත් ආදායම් ක්‍රමයක් එනවා."

හැම මිනිහෙක්ගේම පසුම්බිය ඩිජිටල් පසුම්බියක්

"එක්සත් ජනරජ පෙරමුණ අපි බොහොම පැහැදිලිව කියනවා මාස හයක් ඇතුළත මේ ලංකාවේ ආදායම් වියදම් සියල්ලම අපි ඉලෙක්ට්‍රොනික වේදිකාවකට ගේනවා. ඒකෙ අවසාන ඉලක්කය තමයි අවුරුදු තුනකින් ඉලෙක්ට්‍රොනික රුපියලක් රටට හඳුන්වා දීම. හැම මිනිහෙක්ගේම පසුම්බිය ඩිජිටල් පසුම්බියක් බවට පත් කිරීම. තැඹිලි ගෙඩියක් බොන්න ගියත් ප්ලේන්ටියක් ගහන්න ගියත්, වඩේ එකක් කෑවත් කොහේ ගියත් මේ හැම කෙනෙක්ගෙම කඩේ, QR එක, එහෙම නැත්නම් ක්‍රෙඩිට් කාඩ් එක, එහෙම නැත්නම් ටෙලිෆෝන් එක හරහා කරන ඉලෙක්ට්‍රොනික වයර් ක්‍රමයට සල්ලි මාරු කරන එක ලෝකේ කොහේ ගනුදෙනුවක් කළත් ඒකට අපි මග පාදනවා. ඒක තමයි අපේ දියුණු ක්‍රමය."

අදාල වීඩියෝව පහතින්

---------------------------
by     (2024-01-29 17:18:30)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links