-පියාණෝගේ පුරාණය- නන්දන වීරරත්න ලියන ලිපි මාලාවක දසවැන්න
(ලංකා ඊ නිව්ස් -2024.ජන.26, ප.ව.11.30) මහා භීෂණයක් මැද ජනාධිපතිවරණය ජයගත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා 1988 පෙබරවාරියේ මහා මැතිවරණයට යාමට සුදානම් විය. රටේ ඉතාම සුළුතර වංශයකට අයත් තමා නායකත්වය දෙන එජාපයට සෙසු කුල චන්ද එකතු කර ජය ගැනීම ඔහුගේ ප්‍රධානම උපාය මාර්ගය වී තිබුණේය. රටේ දෙවන විශාලතම කුලගහනයක් සහිත දේව වංශය, එජාපය තුල නියෝජනය කළේ කළුවාදේවගේ මැතිව් පවුලය. එහි කැපී පෙනුනු නායකයා කළුවාදේවගේ සිරිල් මැතිව් ය. 1984 දී ජනාධිපති ජයවර්ධන කැළණියේ සිටි තමන්ගේ දිගු කාළින දේශපාලන සගයා වූ සිරිල් මැතිව් දරූ කර්මාන්ත හා විද්‍යා කටයුතු ඇමති ධූරයෙන් ඔහු ඉවත් කළා පමණක් නොව ඔහුගේ පක්ෂ සමාජිකත්වයෙන් ද ඉවත් කළේය. එයට හේතු වුයේ ජයවර්ධන ආණ්ඩුව, දෙමළ ප්‍රශ්නයට විසඳුම් සෙවීමට කැඳවූ සර්ව පාක්ෂික සමූළුව ඇමති මැතිව් ප්‍රසිද්ධියේම විවේචනය කළ නිසාය. නූතන ඉතිහාසයේ සිටි කෲරතම සිංහල බෞද්ධ නායකයා වූ සිරිල් මැතිව්ට ජයවර්ධන කළ දඬුවම නිසා මේ වන විට දේව වංශය එජාපයෙන් ඇත් වෙමින් සිටියේ ය අනෙක් අතට මැතිව්, දැඩි සිංහල බෞද්ධ ජාතිකවාදීන්ගේ ජනප්‍රිය නායකයෙකුව සිටියේය.
ජනාධිපති ප්‍රේමදාස මහ චන්දයට පෙර සිරිල් මැතිව් යළිත් එජාපයට බඳවා ගත්තේය. ඔහුගේ පුතයා වූ කළුවාදේවගේ නන්ද මැතිව් සබරගමු දේශපාලන කරළියේ ඉහලින්ම තැබුවේය. මැතිවරණයෙන් පසු අනාගත තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමතිවරයා වන්නේ මැතිව් පුත්‍රයා බවට ඕපාදුප යැව්වේය. [සත්තකින්ම 1978 සිට 1989 මුල දක්වා රනිල් වික්‍රමසිංහ [ඇමති] හා චරිත රත්වත්තේගේ [ අමාත්‍යාංශ ලේකම් හා තරුණ කටයුතු අධ්යක්ෂ ජෙනරාල්] අණසක යටතේ තිබූ ආණ්ඩුවේ තරුණ ව්‍යාපාරය හෙවත් තරුණ කටයුතු අමාත්‍යාංශය හා ජාතික තරුණ සේවා සභාව නන්ද මැතිව්ට පැවරුවේය] මේ නිසා දේව වංශයට බලවත් තැනක් ප්‍රේමදාස ජනාධිපති යටතේ ලැබෙන බව කල්තියාම පෙන්නුම් කළේය.
රටේ තුන්වන විශාලම කුලය වන බත්ගම වංශයේ කුල චන්ද එකතුකරන්නට ජනාධිපති ප්‍රේමදාස ඉදිරියට දැම්මේ කෑගල්ලේ, රඹුක්කන සුප්‍රකට කීර්තිරත්න - කරුණාරත්න පවුලය. නුවරපක්ෂ හේවලාගේ කීර්තිරත්න 1936 රාජ්‍ය මණ්ත්‍රණ සභා චන්දයට රඹුක්කන ආසනයෙන් තරග කරන්නට ගොස් ගොවි - රදල වශයෙන් බැට කෑවේය. ඔහුගේ විරුද්ධවාදීන් ව සිටියේ ඩඩ්ලි සේනානායක, රිචඩ් නුගවෙල, පී.බී. දැදිගම හා මුදලි ජේ. ඩබ්ලිව්. උදලාගම යන ගොවි - රදල වංශිකයන් ය. කීර්තිරත්නලා එකල රටේ සිටි ධනවත්ම බත්ගම වංශික පවුල විය. එහෙත් දැදිගම ආසනයේ බහුතර කුලය බත්ගම වංශය වූවත් ඔහුගේ විරුද්ධවාදී කීර්තිරත්නට මැතිවරණ ව්‍යාපාරය කරගෙන යාමට ඉඩ නොදුන්හ. මේ නිසා කීර්තිරත්න ස්වකීය ප්රචාරක පත්‍රිකා බෙදුවේ කුඩා ගුවන් යානයක් කුලියට ගැනීමෙනි. එය ලංකා මැතිවරණ ඉතිහාසයේ එවැන්නක් සිදු වු මුල්ම අවස්ථාවය. එහෙත් දිනුවේ කීර්තිරත්න නොව අගමැති පුත්‍ර ඩඩ්ලි සේනානායක ය. 1947 දී හා 1953 මහා මැතිවරණවලින් තමාට කුල වෙනස්කම් කළ එජාපයෙන්ම තරඟ කර කෑගල්ල ආසනය ජය ගත්තේය. කීර්තිරත්නගේ බාල සහෝදරයා වූ අසෝක කරුණාරත්න එජාපයේ කුල වාදයෙන් බේරෙන්නට නුවරපක්ෂ හේවලගේ අසෝක මහානාම කරුණාරත්න 1951 බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනද්දී එහි ආරම්භක නායකයෙකු විය. රඹුක්කන නගරාධිපතිවරයා වූ කරුණාරත්න 1958 දී බණ්ඩාරණායක ආණ්ඩුව පත් කළ මන්ත්‍රිවරයෙකු හැටියට අසෝක පාර්ලිමේන්තුවට ගෙනෙන්නේ ශ්‍රීලනීපය තුල බත්ගම කුලය නියෝජනය පෙන්නුම් කිරීමටය. එහෙත් 1960 මහා මැතිවරණ දෙකෙන්ම නවමු රඹුක්කන ආසනයේ මන්ත්‍රීවරයා වූවත් සිරිමා බණ්ඩාරනායකගේ ශ්රීලනීපයේ කුල වෙනස්කම් දරා ගැනීමට නොහැකිව 1964 එජාපයට එකතු විය. එජාප නායක ප්‍රේමදාස බත්ගම වංශය වෙනුවෙන් 89 මහා මැතිවරණයේ දී ඉදිරියට ගෙනාවේ අසෝකගේ දියණිය වු සමන්තා කරුණාරත්නය.
ලංකාවේ කිසියම් දිස්ත්‍රික්කයකින් හේන වංශයට මන්ත්‍රිවරයෙකු පත් කර ගැනීමට අවශ්‍ය කුල චන්ද නිසා එම වංශයේ චන්ද එකතු කිරීමට ප්‍රේමදාස වෙනත් උපක්‍රමයක් යෙදුවේය. ඒ, හේන වංශයේ සුප්‍රකටම පවුලක් වූ වස්කඩුවේ හා දෙහිවල මුල් තිබූ ප්‍රනාන්දු පවුලේ ප්‍රකටම සාමාජිකයා වූ දෙහිවල කොණ්ඩ වෙද මහත්තයා හෙවත් ප්‍රනාන්දු වෙද මහත්තයා ජාතික ලැයිස්තුවෙන් පාර්ළිමේන්තුවට පත් කෙරෙණ බවට යැවූ ඕපාදූපයයි. කොණ්ඩ වෙද මහත්තයාගේ සහෝදරයා වුයේ හිටපු දිසාපතිවරයෙකු වූ ඩබ්ලිව්. ජේ. ප්‍රනාන්දුය. 1967 ඩඩ්ලි සේනානායක ආණ්ඩුව මහනුවර දිසාපතිවරයා හැටියට ඩබ්ලිව්. ජේ. පත් කළ විට එහි වැඩවසන සියම් නිකායේ මහනායකවරු හා රදළ ප්රභූවරු එම පත්වීමට විරුද්ධ වූහ. එජාප නායකයාගේ මේ උපක්‍රමය එක් අතකින් අවමානයට පත් වූ ප්‍රනාන්දු පවුලට ගෞරව දැක්වීමක් විය. කෙසේ වෙතත් ප්‍රේමදාස කොණ්ඩ වෙදමහත්තයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙනාවේය.
අගමැති ප්‍රේමදාස සුණ්නක්කාර වංශය සංවිධානය කරන්නට උත්සාහ කළේ පසුගිය සියවසේ 70 දශකයේ අවසානයේ ය. ඔහු එම වංශය සංවිධානය කිරීමට යැවුවේ එහි ප්‍රකටම නායකයා වූ සර් ආර්. ඇස්. ඇස්. ගුණවර්ධනය. සර්, ආර්. එස්. එස්. දේශපාලනයෙන් සමුගත්තේ 40 දශකයේ දී ය. ඔහුත් හරියටම නවන්දන්නා වංශයේ ප්‍රකටම නියෝජිතයා වූ ඉංජි. ඩී. ජේ. විමලසුරේන්ද්‍ර ට 30 දශකයේ දී කුලවාදය නිසා දේශපාලනයෙන් සමුගන්නට සිදු වුවෙකි. මේ වන විට ලංකාවේ විශාලත සුණ්නක්කාර කුලගහනය සිටින දකුණු කොළඹ, දෙහිවල හා රත්මලාන ප්‍රදේශවල කුල චන්ද කුට්ටිය ඩැහැගත්තේ බොරළුගොඩ ගුණවර්ධන පවුලය. එහි ප්‍රකටම චරිතය වූ පිලිප් ගුණවර්ධන විවාහ වී සිටි කුසුමා [කුසුම්සිරි අමරසිංහ] ගුණවර්ධන සුණ්නක්කාර වංශයේ ධනවත් පවුලකින් පැවතෙන්නියකි. ඇය කුල දේශපාලනයේ නොයෙදුනත් ඇගේ දරුවන් වූ දිනේෂ්, ඉංදික, හා ගීතාජන වැනි දරුවෝ සමානුපාතික චන්ද ක්‍රමය යටතේ කොළඹ දිස්ත්‍රික්කයට චන්දය ඉල්ලද්දී අම්මාගේ ඥාතීත්වය කියමින් මේ වංශයේ ජනයාගේ චන්ද එකතුකර ගැනීමට පුරුදු වී සිටියහ. එජාප නායක ප්‍රේමදාස, සුණ්නක්කාර වංශයේ කැපී පෙනෙන නායකයෙකු ඒ වන විට නොසිටියෙන් ස්වකීය නියෝජිතයන් යවා එහි කුල නායකයන් ඇමතුවේය.
මේ ආකාරයට සෙසු කුල මහා මැතිවරණය වෙනුවෙන් සංවිධානය කරමින් ජනාධිපති ප්‍රේමදාස තමන්ට කුලය නිසා වෙනස්කම් කළ එජාපයේ පහතරට ගොවි වංශයේ නායකයා වූ ලලිත් ඇතුලත්මුදලිට හා එහි උඩරට ගොවි වංශයේ නායකයා වූ ගාමිණි දිසානායකට අභියෝග කළේය. ඔහුගේ උපාය ජය ගත්තේය. 89 පෙබරවාරි 15 පැවැත් වුණු මහා මැතිවරනයෙන් එජාපය ආසන 125 බහුතරයක් දිනාගත්තේ ය.
සබැඳි ලිපි පෙළ
* පියාණෝ හා පුතාණෝගේ කුල අශ්ව ඉස්තාලය..!
* රණසිංහ ප්‍රේමදාස හා එජාපයේ කුල දේශපාලනය.!
* ප්‍රේමදාසගේ කුල පෙරමුණ..!
* ලයනල් ජයතිලක, මෙරිල් කාරියවසම් හා උපාලි විජේවර්ධන ඝාතන අහම්බයක්ද?
* ප්‍රේමදාස මැද කොළඹින් මාගමට..? -වංකනාසික තිස්ස කුමරු සහ "අප්පුවා" - ගජබා කුමරු සහ නීල මහා යෝධයා..!
* හේන වංශයට හින්න වංශය මුහු කිරීම..! ජීවිතයට රැකියාවක් ව්‍යාපාරයක් නොකළ පියාණෝට, පුතාණෝට වියදම් කිරීමට මේ සා ඩොලර් පවුම් කොහෙන්ද?
* සයිමන් නවගත්තේගමගේ "ආර්. පණ්ඩුකාභය"
* ප්‍රේමදාස පාතාලයට වැඩ පවරයි..! -1988 ජනාධිපතිවරණය
* ප්‍රේමදාස, ආර්යාවත් සමඟ පත්තිරිප්පුවට නඟී..!
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/98
---------------------------
by (2024-01-26 19:14:08)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි