-පියාණෝගේ පුරාණය- නන්දන වීරරත්න ලියන ලිපි මාලාවක නවවැන්න
(ලංකා ඊ නිව්ස් -2024.ජන.24, ප.ව.11.45) ජනාධිපතිවරණය ජයගත් විගස රණසිංහ ප්‍රේමදාසට මහනුවර දළදා මාළිගයේ පත්තිරිප්පුවට නැඟ දිවුරුම දීමට අවශ්‍ය විය. එය 1988 දෙසැම්බරයේ අග සතියේ දිනකි. ඔහු නැකැත් බලා කල්වේලා ඇතිව ඒ සඳහා අවසර ගැනීමට දූතයන් මහනුවරට යැව්වේය. දුතයන් මුළින්ම මුනගැහුනේ එවකට දියවඩන නිළමේ නිරන්ජන් විජේරත්නය. නිළමේ විජේරත්න කෙළින්ම කතාවට බැස්සේය.
"මගේ අකමැත්තක් නෑ. මගේ මුත්තත් පාතරට [බේරුවල- ගාබ්‍රියෙල් පෙරේරා] කෙනෙක්. හැබැයි, මහනායක හාමුදුවරු මොනව කියයිද දන්නේ නෑ. ඉස්සෙල්ලා උන්වහන්සේලා බැහැදැකලා එන්න..!"
දළදාවේ බාරකාර අස්ගිරි- මල්වතු මහනායකයෝ එයට විරුද්ධ වුහ. විශේෂයෙන්ම ඔවුන් විරුද්ධ වූයේ මේ දිවුරුමට ප්‍රේමදාස සිය ආර්යාවද කැඳවා ගෙන එන බව ඔවුන්ට දැනුම් දුන් නිසාය. දළදාව මෙරරට ගෙනාවේ ස්ත්‍රියක් කොණ්ඩයේ සඟවාගෙන බව ඉතිහාසයේ ලියවී තිබුණත් මේ නායකයෝ ස්ත්‍රීන්ට පත්තිරිප්පුවට නැඟීමට ඉඩ නොදෙති. ඒ “කිළ්ලට” අසුවේය යන බියෙනි. [ඉංදිය බමුණන් මෙන්ම මේ නායකයෝ ද ඔසප් චක්‍රය නිසා ස්ත්‍රීන් අපිරිසිදු බව විශ්වාස කරති...!] අනෙක් අතට ශ්‍රී වික්‍රම රාජසිංහ රජ දවස ඉදි වූ පත්තිරිප්පුව රජුන්ගේ පරිහරණයට වෙන් වූවක් මිස සාමාන්‍ය ජනයාට විවෘත නොවන්නකි.
සියම් නිකායේ නායකයන්ගේ මේ විරෝධය ඇසු සැනෙන් ප්‍රේමදාස නයෙක් මෙන් කිපුණේය. ඔහු ඒ වන විටත් දළදාවට රන් වියනක් ඉදිකර දී තිබුණේය. එයට ද මහනුවර පැවිදි නායකයන් සමච්චල් කරණ බව ඔහුට ආරංචි වන්නට ඇත. දළදාවට රන් වියනක් තනන්නට අවසර ඉල්ලු විට මහනුවර නායකයෝ එයට කැමැත්ත දුන්නේ මෙවැනි උපහාසයකිනි.
“ඔව් ඉතින් එතුමාගේ පරම්පරාවේ රස්සාව වියන් බැඳීම නෙවැ. ඉතින් දළදා වහන්සේට වියන් බැඳීමේ වැරද්දක් නෑ නෙවැ...!”
ඇතැම් විට ප්‍රේමදාසට පත්තිරිප්පුවට නඟින්නට නොදීමේ ආරංචිය ලැබෙද්දි මේ පැරණි කුල උපහාසය ද සිහිපත් වන්නට ඇත. ඔහු මහනුවර සියම් නිකායේ නායකයන්ට දූතයන් අත තර්ජනයක් යැව්වේය. එය මෙසේ ය.
“මට පත්තිරිප්පුවට නැඟ දිවුරුම් දීමට ඉඩ නොදුන්නොත් මට රටේ වෙන තැනක ඒක කරන්න පුළුවනි. හැබැයි දිවුරුමෙන් පස්සේ රටේ විධායක ජනාධිපති හා සේනාධිනායකය වෙන්නේ මම. එතකොට රාජ්‍ය නායකයා හැටියට මගේ බලය පාවිච්චි කරල මම දළදාව හුණුපිටියේ ගංගාරාමයට වඩම්මනව. අන්න ඒක මතක තියා ගන්න කියන්න”
මේ තර්ජනය ඇසු මහනුවර සියම් නිකායේ නායකයෝ “මේ යකා ඒකත් කරන්න බැරි නෑ. ‘හුණුපිටියේ පොඩ්ඩෙ’ [ ගලබඩ ඥාණිස්සර හෙවත් පොඩි හාමුදුරුවෝ] එයාගේ ගජ මිත්‍රය. එයා සියම් නිකායේ වුණත් දළදාව හුණුපිටියට දැනටමත් ඉල්ලල ඇත්තේ. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. ඔන්න ඔහේ දීල දාමු.”
මේ අවසරයෙන් 1989 ජනවාරි 02 වෙනිදාට තිබූ සුභ නැකතට කළින් රණසිංහ ප්‍රේමදාස ස්වකීය ආර්යාව වූ හේමා ප්‍රේමදාස සමඟ පත්තිරිප්පුවට නැඟ්ගේය. ගොවි වංශයට පමණක් මහනකම සීමා කර ගෙන සිටින සියම් නිකායේ නායකයෝ දැරිය නොහැකි කෝපයෙන් මේ සියල්ල දෙස බලා සිටියහ. ජනාධිපති ප්‍රේමදාස දිවුරුම් දීමෙන් පසු විශේෂ අමුත්තන් හමුවීමට මහනුවර ජනාධිපති මන්දිරය බලා පිරිවරත් සමඟ පිටත් වුණේය. ඒ අස්සේ කල්තියා සුදානම් වූ කිරි කරත්ත දෙකක් දළදා මාළිගාවට ලඟා වුණේය. මාළිගාවේ ආවතේවා සපයන්නෝ කල්තියාම කෙරෙන දේ දැන සිටියාක් මෙන් කරත්තවල තිබූ කිරි කල පත්තිරිප්පුවට ගෙන ගියහ. අනතුරුව කිරිවලින් පත්තිරිප්පුව සෝදා හැරුණේය. ඒ පත්තිරිප්පුව “කිළි” හා අනෙකුත් දෝසවලින් මුදවා ගන්නටය...!
සබැඳි ලිපි පෙළ
* පියාණෝ හා පුතාණෝගේ කුල අශ්ව ඉස්තාලය..!
* රණසිංහ ප්‍රේමදාස හා එජාපයේ කුල දේශපාලනය.!
* ප්‍රේමදාසගේ කුල පෙරමුණ..!
* ලයනල් ජයතිලක, මෙරිල් කාරියවසම් හා උපාලි විජේවර්ධන ඝාතන අහම්බයක්ද?
* ප්‍රේමදාස මැද කොළඹින් මාගමට..? -වංකනාසික තිස්ස කුමරු සහ "අප්පුවා" - ගජබා කුමරු සහ නීල මහා යෝධයා..!
* හේන වංශයට හින්න වංශය මුහු කිරීම..! ජීවිතයට රැකියාවක් ව්‍යාපාරයක් නොකළ පියාණෝට, පුතාණෝට වියදම් කිරීමට මේ සා ඩොලර් පවුම් කොහෙන්ද?
* සයිමන් නවගත්තේගමගේ "ආර්. පණ්ඩුකාභය"
* ප්‍රේමදාස පාතාලයට වැඩ පවරයි..! -1988 ජනාධිපතිවරණය
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/98
---------------------------
by (2024-01-24 19:20:25)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි