-පියාණෝගේ පුරාණය- නන්දන වීරරත්න ලියන ලිපි මාලාවක පස්වැන්න
(ලංකා ඊ නිව්ස් -2024.ජන.19, ප.ව.11.30) අලුත්කඩේ, සන්ත බස්තියමේ, ඩයස් පෙදෙසේ උපන් රණසිංහ ප්‍රේමදාස කුමරු ළමාවිය ගෙව්වේත්, “සුචරිතයේ” යෙදෙමින් තරුණ කාලය ගෙවා දැමුවේත් කොළඹ කොටුව ආසන්නයේම පිහිටි මුඩුක්කු ප්‍රදේශයේය. ඔහුගේ දේශපාලන ජීවිතයේ වැඩි කාලයක් මේ නිසාම නිවාස නැති ජනයාට නිවාස සැපයීමට කැප කළේය. විශේෂයෙන්ම ඔහු ඩයස් පෙදෙසේ පැරණි මුඩුක්කු නාගරික තට්ටු නිවාස බවට පත් කළේය. නාගරික මංත්‍රිවරයෙක් හැටියට ඔහු දේශපාලනය කළේ කොළඹ මහ නගර සීමාව ඇතුලේය. 1956 ඔහු රුවන්වැල්ල ආසනයට තරග කර පරාජය වූ පසු යලිත් කිසිම දිනක කොළඹින් පිට ආසනයකට චන්දය ඉල්ලන්නට ගියේ නැත. එහෙත් ඔහුට හම්බන්තොට දිස්ත්‍රික්කයට විශේෂ ලැදි කමක් තිබුණි. කතරගම දේවාලය අයිති මොණරාගල දිස්ත්‍රික්කයට වුවත් භාවිතයේ දී එය ගැනෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේපොලක් හැටියටය. ප්‍රේමදාස බරපතල විදිහට කතරගම දෙවියන් විශ්වාස කළේය. ඔහු ජීවමාන කාලයේ ඔහු කතරගම පූජා පැවැත්වීමට සම්බන්ධ උපහාස කතා දුසිම් ගණනක් තිබුණේය. මේ ඒවා ගැන කතා කරන්නට වෙලාවක් නොවේ. ඔහු හම්බන්තොට සංවර්ධනයට උනන්දුව එන්නේ කොතැනින්දැයි සොයමු. එයම ඔහුගේ දේශපාලන උරුමක්කාරයාට සම්බන්ධ කරන්නේ කෙසේ දැයි සොයමු.
‘හින්නා වංශිකයන්ගේ’ නිල ඉතිහාසය අනුව ඔවුන් දකුණු ඉංදියාවේ සාලෙයි බමුණු ගමෙන් පැමිණි බමුණන් හත්දෙනාගේ බාලයා හෙවත් ‘සින්නාවා’ ගෙන් පැවත එන බව මම ඔබට මීට පෙර කීවෙමි. එහෙත් ‘සලාග්‍රාම වංශයේ’ නිල ඉතිහාසය අනුව ‘සින්නාවා’ කීවේ ඔවුන්ගේ සළු පිරිසිදු කරන්නා හෙවත් ‘හේනයාට’ ය. රණසිංහ ප්‍රේමදාස දේශපාලනයේ යෙදෙද්දී මේ කුල ඉතිහාස දෙකම මනාව යොදා ගත්තේය. ‘සින්නාවා’ බමුණු කුමාරයාගේ කතාව ඔහු කොළඹදී කීවත් ඔහු හම්බන්තොට දී කීවේ තමන් ‘හේන වංශිකයෙක්’ බවය. ඔහු මේ බව කීවේ ඇයි? ඒ ඔහු හම්බන්තොට ‘කුලගහනය’ මැනවින් දැන සිටි නිසාය. කුලගහනය අතින් හම්බන්තොට අපුරුම දිසාවකි. එහි හේන වංශික චන්ද 65000 එකම එකම නිල දිසාවක ඇති භූමිය හම්බන්තොටය. මේ අපුරු පිහිටිමේ ඉතිහාස සොයන්නට අපි ලංකාවේ ‘කුල සිතියමේ’ හේන වංශයේ පිහිටීම බලමු.
හේන වංශය හෙවත් රජකවරු යනු ලංකාවේ ජනගහනයෙන් දශමයකටත් අඩු කුඩා කුල කණ්ඩායමකි. ඔවුහු පවුල් අතලොස්සකට සීමා වෙමින් ලංකාවේ සෑම ගම්මානයකම සමාජිකයන් වී සිටිති. නමුත් පුදුමයකට මෙන් ඔවුන් විශාල සමාජ කණ්ඩායමක් හැටියට එකම එක දිස්ත්‍රික්කයක ගොනු වී සිටිනු අපට දකින්නට ලැබෙන්නේය. ඒ හම්බන්තොට දිස්ත්‍රික්කයයි. ලංකාව පුරා ගම්මානවල දී පවුල් කීපයකට සීමා වෙන හේන වංශිකයන් හම්බන්තොට දිසාවට අයත් අම්බලන්තොට හම්බන්තොට හා තිස්සමහාරාම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ තුල දී විශාල ගම්මාන හැටියට පදිංචි වී සිටීම තරමක අහම්බයකි. එහෙත් ඔවුන් සතු පුරාණ කතා හා ජනප්‍රවාද ඔස්සේ ගමන ගනිද්දී ඔබට ඒ ගැන විමතියක් ඇති නොකරයි.
වලවේ ගංගාවේ දකුණු ඉවුර පුරා ඇති හේන වංශික ගම්මානවල පුරාණ කතා මේ සමාජ කණ්ඩායමේ අතීතය ක්‍රිස්තු වර්ෂයෙන් පලමු සියවස දක්වා ඈතට ගමන් කරයි. මහාවංශයේ සඳහන් නොවෙන සෙසු සාහිත්‍යයේ සඳහන් වෙන බොහෝ ජන ඇදහිලි හා විශ්වාසයන් අපට තහවුරු වන්නේ ජනකතා හා ජනශ්‍රැති ඇසුරේය. ගජබා රජතුමා ක්‍රිස්තු වර්ෂයෙන් දෙවැනි සියවසේ දී දකුණු ඉංදියාවෙන් ගෙනෙන පත්තිනි ඇදහීම හා ඒ හා බැඳුණු පුජාභාන්ඩ කතා සියල්ලම අපට හමුවෙන්නේ ගජබා පුවත, අංකොට හටන හා පැරකුම්බා සිරිත යන කාව්‍ය හා සාහිත්‍ය නිර්මාන ඇසුරෙන්ය.
වංකනාසික තිස්ස හෙවත් වක් වූ නහයක් තිබූ රජතුමා ප්‍රකට මහාවාරිකරු වසභ රජුගේ පුත්‍රයා ය. වංකනාසික තිස්ස කුමරු තරුණ කාලයේ බලවත්වු අර්ශස් රෝගයකට ප්‍රතිකාර ගැනීමට රහසිගතව රුහුණු මාගමේ උඩමලල ගමේ කීර්තිමත් හේන වංශික වෙද ගෙදරකට යැවෙන්නේය. 'අප්පුවා' නමින් වෙදගෙදර සහායෙක් හැටියට එහිම නැවතී වංකනාසික තිස්ස කුමරු ප්‍රතිකාර ලැබීමට පටන් ගන්නේය. මේ වෙදගෙදර රංමැණිකා හා කළුමැණිකා නමින් දියණියෝ දෙදෙනෙක් විසූහ. එයින් අප්පුවා නමින් වෙස් වලාගත් රෝගී කුමරුට වඩාත් කරුණාව දැක් වූයේ බාල රංමැණිකාය. වැඩිමලා කළුමැණිකාගේ කරුණාවක් කුමරුට නොලැබුනේය.
දිනක් මේ තරුණ වෙද දූවරුන් දෙදෙනා සමඟ දිය නෑමට මලල ආරට ගිය කුමරුට තරුණියන් දෙදෙනාට පෙර දිය නෑමට අවසර නොලැබුනේය. "අප්පුවාට" අපට පෙර ගඟේ දිය නෑමට ඉඩ දිය නෑමට ඉඩ දිය නොහැකියයි කුලමානයෙන් දැපුණු වැඩිමහල් කළු මැණිකා දැඩිව කියා සිටියාය. එහෙත් බාල රංමැණිකා ඔවුන්ට කලින් "අප්පු අයියාට" නෑමට අවසර අරන් දීමටකොතෙක් පෙරැත්ත කලත් අක්කාගේ හිත වෙනස් කිරීමට අසමත් වූවාය. මේ නිසා 'අප්පුවා' නමින් රෝගී වෙස් ගත් වංකනාසික තිස්ස කුමරුට හැකි ඉක්මනින් තමන් කවුදැයි උඩ මලලේ වෙද පවුලට පෙන්වීමට වුවමනා විය. මේ ආසන්න දිනෙක වෙද නින්ද ගමේ සී සෑමකට ගොස් වෙහෙසී පැමිණි "අප්පුවා" හැන්දැවේ පිලෙ මැස්සේ ඇලවී සිටිද්දී අපුරු සිහිනයක් දුටුවේය. ඒ ඔහු සී සෑ නඟුලේ මීයක් බැඳ තිබෙනු දැකීමය.
"අප්පුවා" තමා දුටු සිහිනය නිවැසියන්ට විස්තර කළේය. වෙදකම මෙන්ම නැකැත්කීම ද දත් උඩමලලේ වෙදැදුරා පලමුව අප්පුවාට හීන ඵල අපල කීවේය. අනතුරුව එහි හොඳ නරක තේරුම් කළේය.
"අප්පුවා, පුරාණ චාරිත්‍ර අනුව, නඟුලේ මීයක් බඳිනවා කියන්නේ හීන දුටු උන්දෑ නුදුරේම රජවෙන බව දැනුම් දීම ය. ඉතින් උඹ රජ පෙලපතක නොවෙන රජකම හිමි කුමාරයෙක් නොවෙන නිසා මේ හීනේ අනික් පැත්ත තමයි වෙන්න තියෙන්නේ. උඹට මහා අපල කාලයක් උදා වෙන්නේ. සමහරවිට මේ අර්ශස් රෝගය වැඩිවෙලා උඹ මැරෙන්නත් බැරි නෑ. ඒ නිසා උඹ පරෙස්සම් වෙන එක ඇඟට වැඩිය ගුණායි."
අප්පුවා දුටු සිහිනය අනුවම යමින් පසුදාම අනුරාධපුරයෙන් රහස් රාජ පුරුෂයෙක් උඩ මලල ගමට ආවේය. වසභ පියරජතුමා රෝගී වී සිටින දැනුම් දුන්නේය. ඒ නිසා රාජ්‍ය විචාරීමට වහාම වංකනාසික තිස්ස කුමරුට අනුරාධපුරයට එන්නැයි දැනුම් දුන්නේය. කුමරු උඩමලල වෙදාණන් ගෙන්ද පවුලේ සමාජිකයන්ගෙන්ද විශේෂයෙන් රංමැණිකාගෙන් ද සමුගෙන රහස් රාජපුරුෂයා සමඟ පිටත් වුනේය. අතරමඟ රැඳි සිටි සෙසු රාජපුරුෂයන් හමුවීමෙන් පසු ඔවුහු අනුරාධපුරය බලා පිටත් වූහ.
වසභ රජතුමා වංකනාසික තිස්ස කුමරුට යුවරාජ තනතුර සමඟ රාජ්‍ය විචාරීම ද පැවරුවේය. වහාම සුදුසු කුමරියක් ද කුමරුගේ සරණබන්ධනයට සෙව්වේය. වංකනාසික තිස්ස කුමරු සරණ බන්ධනයට තොරා ගත්තේ උඩමලල ගමේ හේන වංශික වෙදදුරුගේ බාල දියණියයි. නමුත් වෙදගෙදර වැඩිමහල් දියණිය කළුමැණිකා ද අන්තංපුරයට ගැනීමට වංකනාසික තිස්ස යුවරජු අමතක නොකළේ ය.
රජුට රන්දෝලි බිසව වූ රන්මැණිකාට ලැබුණු රජ කුමරු ගජබා නමින් වූයේය. යකඩදෝලියට ගිය කළුමැණිකාට ලැබුණු පුතා නීල ය. ලංකා ඉතිහාසයේ ජනප්‍රවාද ගත ප්‍රකටම යෝධයා නීල ය. වසභ රජුගේ හතලිස් හතර අවුරුදු රාජ්‍ය විචාරීම අවසානයේ වංකනාසික තිස්ස රජ වුණේය. එතුමා යුව රජ තනතුර ගජබා කුමරුට දී යකඩ දෝලියෙන් උපන් නීල මහා යෝධයාට රුහුණේ දොලොස්දාස් රට (නිල්වලා නදියේ සිට කුඹුක්කන් ඔය දක්වා වූ භූමිය) නින්දගම් කර දුන්නේය.
මිටි ශරීරයක් හිමි නමුත් මනා බාහු බලයෙන් යුත් නීල මහ යෝධයා නොයෙක් සපන්කම් පාමින් රුහුනේ වාසය කළේය.
රාත්‍රියේ වෙස්වලාගෙන රට පුරා යමින් රාජ්‍ය පාලනයේ තතු විචාරන ගජබා රජුට පුතා අහිමි වූ මහළු මවගේ විලාපය ඇසෙන්නේ මෙබඳු රාත්‍රී නුවර සංචාරයක දීය. පිය රජතුමා රාජ්‍ය කරන සමයේ චොල සොලී රජෙක් රජරටට කඩා වැදී 12000 ක් තරුණ සිංහල සෙනඟ පැහැරගෙන කාවේරි නදියේ ඉදිකිරීම් සඳහා වහලුන් ලෙස ගෙන ගිය බව දැන ගන්නේ මේ මවගේ රාත්‍රීයේ විලාපයට හේතු විචාරීමෙන්ය.
ඒ අනුව රුහුණේ සිටි ස්වකීය අර්ධ සොහොයුරා වූ නීල ද ඔහුගේ ප්‍රකට යගදාව සමඟ ගෙන්වා ගන්නේය. ලංකාවෙන් පැහැරගත් සිංහල සිරකරුවන් ගෙන ඒමට මන්නාරමෙන් සොලී දේශයට යාමට පිටත් වන්නේ ගජබා හා නීල යන මේ සහෝදරයන් දෙදෙනා පමණි.
ජනප්‍රවාදය අනුව සොලී රජුගේ රජ වාසලේදී තම රටේ සිරකරුවන් ඉල්ලා ගජබා රජු කළ ඉල්ලීම බාර ගැනෙන්නේ, යගදාව මිරිකා වැලි හා ජලය ගැනීම තරම් දුෂ්කර ක්‍රියවක් හැටියට ය. නමුත් ඒ වෙලේම යගදාව මිරිකා වැලි හා වතුර පෙන්වූ නිසා ලංකාවෙන් ගෙන ගිය දොලොස් දහස වෙනුවට විසිහතර දහසක් සිරකරුවන් ගජබා රජුට ලැබෙන්නේය. පෙරලා විසි හතර දහසක් සෙනඟ සමග ජයග්‍රාහීව එන ගජබාට හා නීල දෙදෙනාට පඬි රටේ රජුගේ පත්තිනි පූජාවලට සහභාගී වීමේ ඇරැයුමක් ලැබෙන්නේය. මේ පත්තිනි පුජා අවසන් කර එන්නට පිටත් වෙද්දී ඔවුන් දෙදෙනාට පත්තිනි සලඹක් ඇතුළු වෙනත් සළු පූජා භාන්ඩ පඬි රජුගේ ත්‍යාගයක් ලෙස හිමිවන්නේය. මේ සෙනඟ ද පුජා භාන්ඩ ද රැගෙන රුහුණු මාගම ගොඩවාය වරායෙන් ලංකාවට ගොඩ බසින මේ රාජකීය දෙසොහොයුරෝ මේ පත්තිනි පුජා භාන්ඩ තැන්පත් කරන්නේ දෙදෙනාගේම මව්වරුන්ගේ උපන් භූමිය වූ උඩ මලල ගම්වරයේ කැලිගම කෝවිල් ගොඩානේ ඉදිකල පත්තිනි දේවාලයේ ය.
මේ පත්තිනි දෙවතාවිය ඇදහීම භාර ගැනීමට හෝ එයට උපකාර කිරීමට එවකට රටේ බලවත් වූ මහවිහාරය හා අභයගිරි උභය විහාර තරයේම ප්‍රතික්ෂේප කළ නිසා පූජකත්වය හෙවත් කපු තනතුරු සඳහා රජක කුලයට පහල දමා සිටි උඩමලල ගම බ්‍රාහ්මන වංශිකයන්ට පැවරුනේය. රැගෙන ආ දොලොස් දහසක් සිංහල සිරකරුවෝ ඔවුන්ගේ පවුල්වලට නැවත භාර දුන්හ. සිරකරුවන් හැටියට ගෙනා සොලීන් දොලොස් දහස රටේ නොයෙක් ගම්වල පදිංචි කෙරුණේය. නීල මහා යෝධයාගේ ප්‍රසිද්ධිය හා විශ්වකර්ම ගොවිතැන් කර්මාන්තය නිසා රටේ නොයෙක් පලාත්වල සිටි හේන වංශිකයෝ වලවේ ගංගාවේ දකුණු ඉවුරේ පිහිටි රිදීගම, බඳගිරිය, බුන්දල සහ වීරවිල ගම්මානවල පදිංචි වූහ.
මේ පුරාණ කතාවට බොහෝ තොරතුරු සැපයෙන්නේ, ගජබා පුවත, අංකොට හටන [ගද්‍ය හා පද්‍ය] පත්තිනි හෑල්ල හා පැරකුම්බාසිරිත යන ගැදි පැදි සාහිත්‍යයෙනි. නමුත් මහා වංශයේ කොතැනකවත් ගජබා රජුගේ හෝ නීල මහා යෝධයාගේ ඉංදියානු සංචාරයක් ගැන සඳහනක් නැත. පැරකුම්බා සිරිතේ එබඳු සඳහනක් ඇතත් නීලමහා යෝධයා සමඟ ගිය බවක් නොකියැවේ. එහෙත් මහාවංශය වසභ රජුගේ විවාහය හා වංකනාසික කුමරුගේ අසම්මත විවාහ දෙක හොඳින් විස්තර කර ඇත. මහාවංශයට අනුව වසභ රජතුමා අගබිසව කර ගන්නේ තමාට ජීවිතාරක්ෂාව දුන් ස්වකීය මාමගේ බිරිඳ වූ 'මෙත්තා' නම් නැන්දනියයි. ඒ රජතුමා සිය පුත් වංකනාසික තිස්ස කුමරුට විවාහ කර දෙන්නේ ඔහු විසින්ම මරා දැමූ සුභ රජුගේ උළුවඩු ගෙදර හැදුණු වැඩුණු දියණිය වූ මහා මාත්‍රා කුමරියයි.
මේ මහාවංශ විස්තරය හා ගැදිපැදි සාහිත්‍ය විස්තර වලවේ නිම්නයේ පුරාන ජනප්‍රවාද එකට තැබීමේදී වලවේ ගං ඉවුරේ නිශ්චිත ප්‍රදේශයක හේන වංශිකයන් විශාල වශයෙන් ප්‍රවේනියෙන් ජීවත් වීමේ ඓතිහාසික හේතු සොයා ගැනීමට පුළුවනි. සිංහල රාජාංඩු යටතේ රාජ්‍ය විරෝධීන්ට ලැබුණු එක් බරපතල දඬුවමක් වූයේ කුලයෙන් පහත ට දැමීමය. මේ දඬුවම මහනුවර උඩරට රාජධානියේ අවසානය තෙක්ම පැවතුනේය. කාලිංග මාඝ වැනි ආක්‍රමනිකයෝ තමන්ට සතුරු වූ සිංහල කුලීනයන් බලාත්කාරයෙන් කුල දුෂණයේ යොදවමින් සෙසු කුල සමඟ මිශ්‍ර කළ බව පුජාවලිය කියයි. මේ කරුණු කාරනා විභාග කරද්දී අපට හේන වංශික ජනයා මාගම්පත්තුවේ දී පැතිරුණු භූමියක දී විශාල කුල කන්ඩායමක් හැටියට රැස්වී සිටීමේ හේතුවලට අදාල ඉඟි සොයා ගැනීමට පුළුවන.
සබැඳි ලිපි පෙළ
* පියාණෝ හා පුතාණෝගේ කුල අශ්ව ඉස්තාලය..!
* රණසිංහ ප්‍රේමදාස හා එජාපයේ කුල දේශපාලනය.!
* ප්‍රේමදාසගේ කුල පෙරමුණ..!
* ලයනල් ජයතිලක, මෙරිල් කාරියවසම් හා උපාලි විජේවර්ධන ඝාතන අහම්බයක්ද?
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/98
---------------------------
by (2024-01-19 20:11:24)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි