~

ලයනල් ජයතිලක, මෙරිල් කාරියවසම් හා උපාලි විජේවර්ධන ඝාත​න අහම්බයක්ද?

-පියාණෝගේ පුරාණය- නන්දන වීරරත්න ලියන ලිපි මාලාවක සිව්වැන්න

(ලංකා ඊ නිව්ස් -2024.ජන.18, ප.ව.7.15) 1988 වෙද්දී 10 වසරක්ම විධායක ජනාධිපති තනතුර අරා සිටි ජේ. ආර්. ජයවර්ධනට තවත් වසර 5ක් ජනාධිපති වීමේ තන්හාව ඇති විය. එහෙත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තිබුණේ වරක් පත් වූ ජනාධිපතිවරයෙකුට දෙවන වරට පමනක් පත්වීමට පමණි. ජනාධිපති ජයවර්ධනගේ මේ “අශාවට” බලගතු හතුරෙක් පක්ෂය තුලම සිටියේය. ඔහු අගමැති ප්‍රේමදාස ය. ප්‍රේමදාස ජයවර්ධන ගෙදර යවා හැකි ඉක්මනින් ජනාධිපති වීමේ සිහිනය දකිමින් සිටියේ ය. එහෙත් ඔහු මේ සිහිනයෙන් අවධි වූයේ 1988 අගෝස්තුවේ දී එක්සත් ජාතික පක්ෂය තුල නව යෝජනාවක් මතු වීමෙන් ය. මේ යෝජනාව අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර ජනාධිපති ජයවර්ධන තවත් වාරයක් තරඟ කර තව අවුරුදු 5 ජනාධිපතිකම දැරීමට අවස්ථාව දිය යුතුය යන්න ය.  

එජාප පළමු පෙළ නායකයෝ ප්‍රේමදාසගේ මැර බලයට බිය වුනා..

එහෙත් අගමැති ප්‍රේමදාස කෑදරව බලා සිටියේ හැකි ඉක්මනින් ජනාධිපති තනතුරට පත්වීමටය.  ප්‍රේමදාසගේ ස්භාවය හා ඔහුට කොළඹ පාතාලයේ සොත්ති උපාලි ඇතුළු අපරාධ නායකයන් සමඟ තිබූ සබඳතා දැන සිටි එජාපයේ පළමු පෙළ නායකයෝ කිසිවෙක් ජයවර්ධනට තුන්වෙනි වාරයක් දීමට කැමති වූවත් ප්‍රේමදාසගේ මැර බලයට බියෙන් මේ යෝජනාව ඉදිරිපත් කර සම්මත කර දීමට බිය වූහ. ඔවුන්ට සිහිපත්වන්නට ඇත්තේ උපාලි විජේවර්ධනගේ ඉරණමය ...!

උපාලි විජේවර්ධනගේ යානයේ කාල බෝම්බයක් ඇටවූයේ කව්ද?

1983 පෙබරවාරියේ දී උපාලි විජේවර්ධන හා ඔහුගේ ව්‍යාපාරික සගයන් කණ්ඩායම ගමන් ගත් ලියර් ජෙට් පුද්ගලික ගුවන් යානය මලක්කා සමුද්‍ර සන්ධිය මතින් ගමන් ගනිද්දී පුපුරා ගියේය. එහෙත් උපාලිගේ යානයේ සුන්බුන්වත් හමුවුනේ නැත. මැලේසියාවේ ක්වලාලම්පූර් නුවර දී මේ යානයේ කාල බෝම්බයක් ඇටවීම කළේ කවුරුන් විසින් ද? මෙය තේරුම් ගැනීමට උපාලි විජේවර්ධන හඳුනා ගත යුතුය. උපාලි ඔහුගේ යුගයේ රටේ ජීවත් වූ පුරෝගාමි කර්මාන්තකරුවෙකි. ඔහු රටේ ආරම්භ කළ කර්මාන්ත අතරේ මෝටර් රථ නිෂ්පාදනය [උපාලි මැස්ඩා], රස කැවිළි නිෂ්පාදනය [ඩෙල්ටා ටොෆී], චොකලට් නිෂ්පාදනය [කැන්ඩෝස්], උපාලි ඉලෙට්‍රෝනික් නිෂ්පාදන, උපාලි පුවත්පත් සමාගම, හා උපාලි ගුවන් සේවය ඇතුළු කර්මාන්ත දුසිම් ගණනක් තිබුණි. රටේ බලවත් දේශපාලන පවුල් සියල්ලම වාගේ ඔහුට ඥාතීත්වයක් තිබුණි. ඔහුගේ නැන්දාගේ පුතා ජනාධිපති ජයවර්ධන ය. ඔහු විවාහ වී සිටියේ හිටපු අගමැතිවරියගේ ලේලිය සමඟය. රටට විදේශ ආයෝජකයන් කැන්දා ගැනීමට තැනූ මහ කොළඹ ආර්ථික කොමිසමේ සභාපතිවරයා වූයේ ද උපාලි ය.

උපාලිගේ දේශපාලන සම්ප්‍රාප්තිය නුරුස්සන දෙදෙනෙක්..

සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙද්දී ඔහුට දේශපාලනය ගැන ද උනන්දුවක් තිබුණි. ඔහු තම මවගේ උපන් බිම වූ මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ ළමුන්ගේ හා තරුණ පරපුරේ සුභ සිද්ධිය වෙනුවෙන් විදේශ භාෂා හා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කළේය. උපාලිගේ දේශපාලන සම්ප්‍රාප්තිය නුරුස්සන දෙදෙනෙක්ම එජාප නායකත්වය තුල සිටියේය. ඉන් පළමු වැන්නා අගමැති රණසිංහ ප්‍රේමදාසය. දෙවැන්නා මුදල් ඇමති රොනී ද මෙල් ය. උපාලිගේ වේගවත් කර්මාන්ත ගමන මෙන්ම දේශපාලන ගමන ද සාර්ථක වුවහොත් තමාට එජාපයේ නායකත්වය හා ජනාධිපතිකම අහිමිවේය යන බියෙන් අගමැති ප්‍රේමදාස බලවත් කෝපයකින් සිටියේ ය. මෙකල මාතර දිසාවේ එජාප නායකයා වුයේ මුදල් ඇමති රොනී ද මෙල් ය.  උපාලි මාතර දිස්ත්‍රික්කයේ සුභ සාධනයේ යෙදීම රොනී නොරිස්සුවේ ය. ජනාධිපති ජයවර්ධන, උපාලි මුදල් ඇමති පදවියට පත් කිරීමට යන බව මේ කාලයේ ප්‍රසිද්ධ රහසක් විය. එසේ නම් උපාලිගේ යානයට කාල බෝම්බයක් ඇටෙව්වේ එක් කෙනෙකුගේ මැදිහත් වීමෙන් ද? නැතිනම් දෙදෙනෙකුගේ මැදිහත් වීමෙන් ද? එසේත් නැතිනම් එජාපයේ සෙසු කුල නායකයන්ගේ එකතුවකින් ද?

උත්තරයට ඉඟියක්..

ඔබට ඒ වෙනුවෙන් උත්තරයක් සොයා ගැනීමට ඉඟියක් දීමට මට පුළුවන. 1988 අගෝස්තුවේ ජනාධිපති ජයවර්ධනට තුන්වන වාරයකට ජනාධිපති තනතුරට පත්වීමට අවසර ලැබෙන යෝජනාව ඉදිරිපත් කළේ කුලියාපිටිය මංත්‍රි හා අධ්‍යාපන සේවා ඇමති ලයනල් ජයතිලකය. එම යෝජනාව ස්ථිර කළේ අගලවත්ත මංත්‍රි මෙරිල් කාරියවසම් ය. මේ දෙදෙනාම 1988 සැප්තැම්බරය අවසාන වන්නට පෙර මරා දමන ලදී. මොවුන් දෙදෙනා ද ඝාතනය කරවන්නට ඇත්තේ ජනාධිපති වීමේ හදිසියක සිටි පුද්ගලයෙක් විසින් නොවේ ද? අනෙක් අතට මේ තිදෙනාම රටේ ප්‍රධාන කුලයට අයත්වීම අහම්භයක් ද?

-නන්දන වීරරත්න

සබැඳි පුවත්
* පියාණෝ හා පුතාණෝගේ කුල අශ්ව ඉස්තාලය..!
* රණසිංහ ප්‍රේමදාස හා එජාපයේ කුල දේශපාලනය.!
* ප්‍රේමදාසගේ කුල පෙරමුණ..!

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/98

බලාපොරොත්තුවන්න - "ප්‍රේමදාස මැද කොළඹින් මාගමට ?"

---------------------------
by     (2024-01-19 16:57:50)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links