-පියාණෝගේ පුරාණය- නන්දන වීරරත්න ලියන ලිපි මාලාවක තුන්වැන්න
(ලංකා ඊ නිව්ස් -2024.ජන.17, ප.ව.10.30) ‘පුරවැසි පෙරමුණ’ යන කෙටිනාමයෙන් හැඳින්වුණු මේ ව්‍යාපාරයට එජාපයෙන් කොටසක් කැඩී යාම එහි නායකත්වයට බරපතල අර්බුදයක් නිර්මාණය කළේය. එවකට එජාප නායකයා වූ ඩඩ්ලි සේනානායකට, රණසිංහ ප්‍රේමදාස පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් අස්වී තැනූ මේ අලුත් පෙරමුණ පෙණුනේ පක්ෂයේ අනාගතය විනාශ කිරීමක් හැටියටය. 1973 අප්‍රියෙල් 13 දා හදිසියේ හෘදයාබාධයකින් ඩඩ්ලි සේනානායක මිය යාමේ චෝදනාව එල්ල වූයේ ප්‍රේමදාසට ය. එයට හේතුව හැටියට විස්තර කෙරුණේ ප්‍රේමදාස කුල අයිතිවාසිකම් ඉල්ලා කළ සටන හා අනතුරුව පුරවැසි පෙරමුණ තැනීම නිසා ඩඩ්ලි බලවත් ශෝකයට පත්වූ ආකාරයයි.
කෙසේ වෙතත් 1951 බණ්ඩාරනායක [ඇස්.ඩබ්ලිව්. ආර්. ඩී] එජාප හවුලෙන් කැඩී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තැනුවේය. ඉන් පසු සිදු වූ ප්‍රධාන බෙදීම වූයේ ප්‍රේමදාස පුරවැසි පෙරමුණ තැනීමය. අනෙක් අතට බරපතල දේශපාලන උන්නතිකාමියෙකු වූ ප්‍රේමදාසගේ පුරවැසි පෙරමුණේ සිටි කැපී පෙනෙන ජනප්‍රිය පුද්ගලයන් වූයේ මීටියාගොඩ ගුණරතන [කරාව වංශයේ පැවිදි නායකයෙකි] හා ගාමිණි ෆොන්සේකාය [ සුපිරි නළු හා දුරාව වංශයේ ජනප්‍රිය නායකයෙකි]. පුරවැසි පෙරමුණ සංවිධානය වෙමින් ගිය ආකාරයටම එය එජාපයේ තිබූ ගොවි වංශයේ නායකත්වයට කෙරෙන අභියෝගයක් විය.
ඩඩ්ලිගේ අකල් මරණයෙන් පසු එජාපයේ නායකයා හැටියට ජේ.ආර්. ජයවර්ධන පත් විය. ජයවර්ධන, සේනානායක පවුලට වඩා හොඳින් රටේ කුල දේශපාලනය දැන සිටියේය. ප්‍රේමදාස, පුරවැසි පෙරමුණ තැනීමේ එකායන හේතුව ද ඔහු දන්නේය. මේ නිසා පුරවැසි පෙරමුණ විසුරුවා හැරීමට ප්‍රේමදාස එකඟ කර ගත්තේය. එයට වන්දි ලෙස ප්‍රේමදාසට එජාපයේ නියෝජ්‍ය නායකයා හැටියට පත් කළේය. ජයවර්ධනගේ මේ නව පත් කිරීම රටේ කුල දේශපාලනයේ නව යුගයකට පිවිසෙන්නේය. රටේ ඉතාම සුළුතරයක් වූ කුලයකින් පැමිණියෙකුට ප්‍රධාන පක්ෂයක නියෝජ්‍ය නායකත්වය හිමිවීම මෙහි විශේෂත්වයයි. මීට පෙර රාජ්‍ය මන්ත්‍රණ සභාව පැවති යුගයේ පටන් ම සුළුතර කුලවල නාකයයන් ජාතික මට්ටමේ දේශපාලනයේ යෙදුනත් ඔවුන්ට ප්‍රධාන පක්ෂයක නියෝජ්‍ය නායකත්වය හිමි වූයේ නැත. උදාහරණයක ජෝර්ජ් ඊ ද සිල්වා [හේන වංශය] ඩී. ඇස්. සේනානායක ආණ්ඩුවල ඇමති පදවි දැරුවත් ඔහුට රටේ ඇගමැතිවරයා වීම හීනයක් විය. එසේම රටේ බිහි වූ විශිෂ්ඨතම ඉංජිනේරුවා වු ඩී.ජී. විමලසුරේන්ද්‍ර [ විශ්ව බ්‍රාහ්මන/ නවන්දන්න] රත්නපුරයෙන් මංත්‍රිවරයෙකු හැටියට තේරී පත් වූවත් ඔහුගේ දේශපාලන ජීවිතය කෙටි කලකට සීමා විය.
1977 මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ජයවර්ධන ආණ්ඩුවේ, පලාත් පාලන හා ඉදිකිරීම් ඇමතිවරයා වුයේ රණසිංහ ප්‍රේමදාසය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව සම්මත වූ පසු රටේ ඇති කෙරුණු ජනාධිපති පදවියට ජයවර්ධන මාරු වෙද්දී අගමැති ධූරය පත් වූයේ ප්‍රේමදාසය. ඔහු අගමැති පදවිය දිනා ගත්තේ ගොවි වංශය නියෝජනය කළ එජාපයේ පළමු පෙළ නායකයන් දෙදෙනෙකු වූ ගාමිණි දිසානායක හා ලලිත් ඇතුලත්මුදලි පරාජය කරමින් ය. රටේ දෙවැනි පුරවැසියා වූ තැන් පටන් අගමැති ප්‍රේමදාසගේ ඉලක්කය වූයේ ජයවර්ධනගෙන් පසු ජනාධිපති පදවිය ලබා ගැනීමය. මේ වෙනුවෙන් ඔහු, තමා යටතේ තිබූ නාගරික සංවර්ධන අධිකාරිය, ඉංජිනේරු සංස්ථාව හා ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථව බඳු ආයතනවලට හැකිතාක් සෙසු කුල රැකියා විරහිතයන් බඳවා ගත්තේය. අගමැති ප්‍රේමදාස, නාගරික සංවර්ධන අධිකාරියේ එක් දෙපාර්තමේන්තුවක රැකියා තනිකරම වෙන් කළේ තම ‘හින්න වංශික’ ඥාතීන්ට රැකියා දීමටය. ඔහුගේ නිවාස දසලක්ෂයේ වැඩ සටහන යටතේ නිවාස තනා ගැනීමට රාජ්‍ය ඉඩම් බෙදා දිමේ දී ඉඩම් හිඟයට බරපතල ලෙස මුහුණ දී සිටි සුළුතර කුල කෙරේ වැඩි සැලකිල්ලක් දැක් වීය. අගමැති ප්‍රේමදාසගේ මේ ප්‍රතිපත්තිය නිසා පාලක එජාපයේ නායකයන් කුල වශයෙන් කල්ලි ගැසෙනු දකින්නට ලැබුණේය.
ජයවර්ධන ආන්ඩුවේ [1977 – 1988] නායකයන් කුල අනුව බෙදී සිටියේ මෙසේය. ඉඩම්, ඉඩම් සංවර්ධන හා මහවැලි ඇමති, ගාමිණි දිසානායකය එජාපයේ උඩරට ගොවි වංශයේ නායකයා විය. වරාය හා නාවික ඇමති, ලලිත් ඇතුලත්මුදලි, එහි පහතරට ගොවි වංශයේ නායකයා විය. කර්මාන්ත ඇමති කළුවාදේවගේ සිරිල් මැතිව්, එහි වහුම්පුර වංශයේ නායකයා විය. මුදල් ඇමති රොනී ද මෙල්, එහි කරාව වංශයේ නායකයා විය. සමාජ සේවා ඇමති අශෝක කරුණාරත්න එහි බත්ගම වංශයේ නායකයා විය. අගමැති ප්‍රේමදාස, මෙහි නියෝජනය නොවූ සෙසු කුලවල නායකයා වූයේ ය...!
මේ බෙදීම් රටේ අනාගතයට කෙරුණු බලපෑම කෙසේ වෙතත් සංස්කෘතික වශයෙන් රට ආපස්සට ගෙන යමින් තිබුණේය. එහි උපරිමය වූයේ 1984 මුල්කිරිගල ඇතුරු මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් මිද්දෙනියේ පැවති අවසාන රැස්වීම අමතා ජනාධිපති ජයවර්ධන කළ ප්‍රකාශයයි. ඔහු කුල චන්ද ඉල්ලා මෙසේ කීවේය.
“මම තමුන්නාසේලාට වහුම්පුර ළමයෙක් ඉදිරිපත් කොරල තියෙන්නේ. එයාට චන්දය දීලා පාර්ලිමේන්තුවට එවන්න. ගොවි කුලේ උදවියට බයවෙන්න දෙයක් නෑ. රටේ ජනාධිපති එම කුලයේ කෙනෙක් වෙන නිසා”
ජනාධිපති ජයවර්ධනගේ මේ ප්‍රකාශය ඊට පෙර හෝ පසුව රටේ කිසිම රාජ්‍ය නායකයෙකුන් මුවකින් පිට වුවක් නොවේ. මෙයින්ම ජයවර්ධන යුගයේ එජාපය තුල තිබූ කුල බෙදීම ඔබට තේරුම් ගැනීමට පුළුවන.
සබැඳි පුවත්
* පියාණෝ හා පුතාණෝගේ කුල අශ්ව ඉස්තාලය..!
* රණසිංහ ප්‍රේමදාස හා එජාපයේ කුල දේශපාලනය.!
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/98
බලාපොරොත්තු වන්න : ලයනල් ජයතිලක, මෙරිල් කාරියවසම් හා උපාලි විජේවර්ධන ඝාතන
---------------------------
by (2024-01-19 16:58:18)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි