-පියාණෝගේ පුරාණය- නන්දන වීරරත්න ලියන ලිපි මාලාවක දෙවැන්න
(ලංකා ඊ නිව්ස් -2024.ජන.16, ප.ව.10.30) ලංකා ජාතික සංගමය, එක්සත් ජාතික පක්ෂය හැටියට රූපාන්තරය වෙද්දීත් එහි බලවත් නායකයෝ සියල්ලෝම ගොවි වංශිකයෝ වුහ. දෙමළ දේශපාලනයේත් මේ කුල නායකත්වය වෙල්ලාවරුන්ට හිමි විය. 19 වෙනි සියවසේ ව්‍යවස්ථාදායක මණ්ඩලයේ යුගයේ පටන්ම ලංකා දේශපාලනයේ නායකත්වය අරා වැජඹුණේ ගොවි වංශයේ ඉඩම් හිමි ධනවතුන් ය. සේරම්, ඔබේසේකර, අල්විස් හා බණ්ඩාරනායක යන පවුල්වල සමාජිකයෝ පාරම්පරික උරුමයෙන් දේශපාලන නායකත්වයට පත් වූහ. කුමාරි ජයවර්ධනට අනුව [ මහාචාර්ය - සොක්කන් ලොක්කන් වූ සැටි] ගොවි වංශයේ සොක්කෝ හා සෙසු කුලවල සොක්කෝ දේශපාලන නායකත්වය ගන්නට එන්නේ 20 සියවස ආරම්භයේ පටන් ය. ඒ මිනිරන් හා අරක්කු රේන්දවලින් උපයාගත් ධනස්කන්ධය ආයෝජනය කරමිනි. ඔවුන්ගේ දේශපාලන ඇතුල්වීම වඩාත් කැපී පෙනෙන්නට ගන්නේ 1915 සිංහල- මුස්ලිම් කෝලාහලයෙන් පසුවය.
මේ ගොවි වංශික සොක්කෝ තම කුල මහන් තත්වය ඔසවා තබන්නට උඩරට රදල පවුල්වලින් අවාහ විවාහ කර ගැනීමට පටන් ගත්හ. උදාහරණ ලෙස බලන්න ජාතික සංගමයේ නායකයන් වූ සේනානායක [ඩී. ඇස්] විවාහවෙන්නේ මොලී දුනුවිල සමඟය. බණ්ඩාරනායකගේ [ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී] මනාලිය වන්නේ සිරිමා රත්වත්තේ ය. ඩී.ආර්. විජේවර්ධනගේ මනාලිය වන්නේ ඇලිස් මීදෙණිය යයි. මේ විවාහවලින් ජාතික සංගමයේ නායකයන්, තමන් “උභය කුල පාරිශුද්ධ” ගොවි වංශිකයන් බවක් ඔවුනේ දේශපාලන උරුමක්කාරයන්ට ලබා දුන්හ. රටේ ජනගහනයෙන් 61% පමණ වූ ගොවි වංශිකයන්ගේ කුල චන්ද සදහටම ගැනීමට ඔවුහු මේ උපාය යොදා ගත්තෝය.
ජේ. ආර්. ජයවර්ධනට [ ඔහුගේ චරිතාපදානයේ පළමු වෙළුම] අනුව 1940 දශකයේ අවසානය වෙද්දී එජාපය ජාතික මට්ටමේ පක්ෂයක් බවට ගෙන එද්දී සෙසු කුලවලට එහි නායකත්වය ලබා දීමට සැලසුම් කෙරුණේය. එහෙත් ඒ වන විට ලංකාවේ මුල් දේශපාලන පක්ෂය වූ සමසමාජ ව්‍යාපාරය, කුලවාදය විරුද්ධව දැමු පීඩනය නිසා එජාප නායකයන්ට කුල දේශපාලනයෙන් මිදීමට බල කෙරුණු බව මේ රචකයාගේ විශ්වාසයයි. කෙසේවෙතත් අපේ කතා නායකයාගේ පියාණෝ එනම් රණසිංහ ප්‍රේමදාස කරළියට එන්නේ පසුගිය සියවසේ හතරවන දශකය ගෙවුණු පසුවය. 1946 දී සමකුල ගුණසිංහගේ ලංකා කම්කරු පක්ෂයේ පූර්ණකාලීනයෙකු වූ ප්‍රේමදාස 1947 මහා මැතිවරණයේ බලවත් ආධාරකරුවෙක් වන්නේය. මේ කුල දේශපාලන බැඳීම නිසා 1950 කොළඹ මහ නගර සභා මැතිවරණයේ දී ප්‍රේමදාස සන්ත බස්තියම කොට්ඨාශයට කම්කරු පක්ෂයෙන් තරඟ කර නාගරික මංත්‍රිවරයෙක් වන්නේය.
එහෙත් නොබෝ දිනකින් නාගරික මංත්‍රි ප්‍රේමදාස, කම්කරු පක්ෂයෙන් එජායට මාරු වන්නේ තම කුල නායකයා වූ ගුණසිංහ දේශපාලන මරණයක් කරා යමින් සිටි නිසාය. 1956 අප්‍රියෙල් මහා මැතිවරණයට පෙර ජනප්‍රිය දේශපාලන නායයෙකු හා කොළඹ පුරපතිවරයා වූ සමසමාජ නායක ඇන් ඇම්. පෙරේරා පුරපතිකමෙන් නෙරපීම එවකට එජාප නායක ජෝන් කොතලාවලට අවශ්‍ය විය. බලවත් උන්නතිකාමියෙකු වූ ප්‍රේමදාස, කොතලාවලගේ ව්‍යාපෘතියේ නගර සභා නියෝජිතයා වන්නේ ප්‍රේමදාසය. ඔහු එජාපයේ කැපී පෙනෙන තෙවැනි පෙළ නායකයක් වන්නේ 1956 පෙබරවාරියේ දී එවකට සමසමාජ නායකයා හා කොළඹ පුරපතිවරයා වූ ඇන්. ඇම්. පෙරේරා එම තනතුරෙන් ඉවත් කිරීමේ කොතලාවලගේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට උර දීමෙනි. මේ දේශපාලන කුමන්ත්‍රණයේ නායකයෙකු වූ නිසාම ඔහුට තනතුරු මාරුවෙන් පසු එහි නියෝජ්‍ය නගරාධිපති ධූරය හිමි විය.
මේ ජයග්‍රහණය නිසා නාගරික මංත්‍රි ප්‍රේමදාසට 1956 අප්‍රියෙල් මහා මැතිවරණයේ දී එජාපයේ රුවන්වැල්ල ආසනයේ නියෝජිතයා විමට මඟ පෑදෙන්නේය. එජාප නායකයන් මේ “උසස්වීම” නාගරික මංත්‍රි ප්‍රේමදාසට දෙන්නේ එම ආසනයේ 50 වැසියන් බත්ගම වංශිකයන් වූ නිසාය. 1936 පටන්ම රුවන්වැල්ලේ මංත්‍රිවරයා වූ ඇන්. ඇම්. පෙරේරා කුල පීඩිතයෙක් ලවා පරාජය කිරීම එජාපයේ සැලසුම විය. එහෙත් රුවන්වැල්ල, ප්‍රේමදාසගේ ‘වැරදුනු කුරුමානම’ බවට පත් විය. ඒ ඔහු කොටුවේ ‘සන්ත බස්තියම’ ලෙසම රුවන්වැල්ල ගැනත් සිතූ නිසාය. මේ පරාජයෙන් පසු ප්‍රේමදාස යළි කිසිම දිනක යළි ‘කුල’ චන්ද කොට්ඨාශවලට තරඟ කිරීමට නොගියේය. එහෙත් පසුව විස්තර කෙරෙන ආකාරයට ස්වකීය පුතාණෝ වෙනුවෙන් කුල චන්ද ව්‍යාපාරයක් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළේය.
1960 මාර්තු මැතිවරණයේ දි ප්‍රේමදාස රුවන්වැල්ලේ පාඩම හොඳින් ඉගෙන ගෙන කුල චන්ද කොට්ඨාශයක් නොවූ හා බහු මංත්‍රි කොට්ඨාශයක් වූ මැද කොළඹට තරඟ වැදී තුන්වෙනි මංත්‍රිවරයා වුයේය. එහෙත් 1960 ජුනි මැතිවරණයේ දී එහි හතරවෙනියා වී පරාජය විය. 1961 කොළඹ නගර සභා මතිවරණයේ දී ඔහු කුල චන්ද අඩු කුරුඳුවත්ත නාගරික කොට්ඨාශයට තරඟ කර යළිත් නාගරික මංත්‍රි ධූරයට පල්ලං බැස්සේය. 1965 මාර්තු මැතිවරණයේ දී යළිත් කුල චන්ද නැති මැද කොළඹ ආසනයට තරඟ වැදී එහි මංත්‍රි ධූරයක් ලබන්නේය. වාසනාවට ඔහුගේ පක්ෂයට බහුතර බලය ලබුණේය. මේ ජයග්‍රහණයත් සමඟ රණසිංහ ප්‍රේමදාසට අගමැති ඩඩ්ලි සේනානායක ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුර හා පළාත් පාලන නියෝජ්‍ය ඇමති ධූරය ද හිමි වන්නේය. 1968 දී ඩඩ්ලිගේ හත් හවුල් ආණ්ඩුවෙන් පෙඩරල් පක්ෂය ඉවත් වෙද්දී එම පක්ෂය වෙනුවෙන් පළාත් පාලන ඇමති ධූරය දැරු එම්. තිරුචල්වම් ඉවත්වන්නේය. මේ හිඩස පුරවන්න පත් කෙරෙන්නේ නියෝජ්‍ය ඇමති ප්‍රේමදාසය.
මේ වන විට එජාප නායකයෝ 1956, 1960 [ජුනි] පරාජයන් වැනි කැපී පෙනෙන පරාජයන් වලක්වා ගැනිමට සැලසුම් සකසමින් සිටියෝය. මේ පසුබෑම්වලට වලක්වා ගැනීමට උපමාරුවක් හැටියට එජාපය ‘සකල කුලයන්ම’ නියෝජන කෙරෙන පක්ෂයක් බව පෙන්නුම් කිරීමට එහි නායකයන්ට අවශ්‍ය විය. ‘කුල චන්ද කොට්ඨාශ’ දිනා ගැනීමට චන්දදායකයන්ට ඉදිරිපත් කෙරුණු මුල්ම හා ප්‍රධානම කුල චිහ්නය වූයේ අභිනව පළාත් පාලන ඇමති රණ්සිංහ ප්‍රේමදාසය. ඔහු නියෝජනය කළේ රටේ ඉතාම සුළුතර කුළුයක් වූ හින්නා වංශයයි. එහි නියෝජිතයාට කැබිනට් ඇමති පදවියක් දීමෙන් එජාප නායකයෝ සෙසු සුළුතර කුලවලට කොල එළියක් දැමූහ. එහෙත් ප්‍රේමදාසට අනාගත දේශපාලනය වෙනුවෙන් කුල හංවඩුවෙන් බේරීමට අවශ්‍ය විය. ඔහු ස්වකීය පූර්වගාමීන් අනුව යමින් “කුල පාරිශුද්ධත්වය” වෙනුවෙන් ‘කුල මිශ්‍රණය’ යොදා ගත්තේය. ඒ 1964 ජුනි මාසයේ දී බණ්ඩාරවෙල උපන් ගොවි වංශයට අයත් වික්‍රමතුංග ආරච්චිගේ හේමාවතී [හේමා ප්‍රේමදාස] සමඟ විවාහවීමෙන් ය.
එහෙත් සේනානායකවරුන් යටතේ එජාපය ‘සකල කුල’ නියෝජනය කෙරෙන පක්ෂයක් ඇති නොවන බව ප්‍රේමදාසට අවබෝධ විය. 1970 මහා මැතිවරණයෙන් එජාපය අන්ත පරාජයකට පත්වීම ප්‍රේමදාසට බරපතල වාසියක් ගෙනාවේය. ඔහු මෙවර [1970] දී බටහිර කොළඹ පළමුවෙනි මංත්‍රිවරයා විය. පාර්ලිමේන්තුවේ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකයා වුයේත් ප්‍රේමදාසමය. මේ දේශපාලන බලය අතට ගත් ප්‍රේමදාස,1972 දී යූඑන්පිය [UNP] “උන්ගේ නෑයන්ගේ පාටිය” යන ජන අවමානය වෙනස් කිරීමට පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට යෝජනා කළේය. එජාපයේ නායකත්වය දෙස 1952 පටන් කෙළ හළමින් සිටි ජයවර්ධන [ජේ. ආර්.] ඔහුගේ මේ යෝජනාවට සම්පූර්ණ අනුග්‍රහය හා රැකවරණය දුන්නේය. එජාප නායක ඩඩ්ලි සේනානායක එයට එකඟ නොවීය. මේ නිසා ප්‍රේමදාස 1972 අවසාන වෙද්දී එජාපයෙන් ඉවත් වී 'සමස්ත ලංකා පුරවැසි පෙරමුණ' නමින් නව ව්‍යාපාරයක් ආරම්භ කළේය. එහි නායකත්වය මණ්ඩලයට සෙසු කුල [ගොවි කුලය නොවන] නායකත්වය පත් කළේය.
සබැඳි පුවත - පියාණෝ හා පුතාණෝගේ කුල අශ්ව ස්තාලය..!
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/98
බලාපොරොත්තුවන්න - ප්‍රේමදාසගේ කුල පෙරමුණ
---------------------------
by (2024-01-19 16:59:00)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි