~

ජාතික ජන බලවේගය හැදෑරිය යුතු ලොව මවිත කළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ “කේරළ ක්‍රමය”

-ආනුභාවනන්ද ලියයි

(ලංකා ඊ නිව්ස් -2023.දෙසැ.13, ප.ව.11.30) "we are not going to do anything wonderful"  ඒ වසර 1957 දී  කේරළයේ ප්‍රථම ප්‍රාන්ත මැතිවරණය සඳහා තරඟ කළ ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ප්‍රචාරක පාඨයකි. ලොවම පුදුමයට පත් කරමින් ඉන්දීය කොමිනියුස්ට්වාදින් කේරළ ප්‍රාන්තයේ බලය ලබා ගත්තේ ය. ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් හරහා කොමියුනිස්ට් පක්ෂ  පාලනයක් ස්ථාපිත කළ ලොව ස්ථාන කිහිපය අතරින් එකක් බවට කේරළය පත් විය. කේරළය දකුණු ආසියාවට කොමියුනිස්ට්වාදය පැතිරවීමේ මධ්‍යස්ථානය වනු ඇතැයි ඇතැම් දේශපාලනය විචාරකයෝ මත පල කළහ. ඇමරිකානු CIA සංවිධානය කේරළය දෙස ඇස ගසා ගෙන සිටියේ ය. එවකට ඉන්දීය අගමැති ජවහර්ලාල් නේරු පවා කේරළය දැඩිව නිරීක්ෂණය කළේ ය.

කේරළයේ පළමු මහ ඇමතිවරයා වූයේ   E. M. S Namboodiripad ය. ඔහු ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකට න්‍යාචාර්යවරයෙකු විය. පසු කලෙක පක්ෂය තුළ ඇතිවූ මතවාදී ගැටුමකින් පසුව ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ මාක්ස්වාදී කණ්ඩායම වශයෙන් නව පක්ෂයක් බිහි කිරීමට ද ඔහු නායකත්වය ගත්තේ ය. එදා සිට අද දක්වා කේරළ ප්‍රාන්තයේ බලය ලබා ගත්තේ ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) සහ ඉන්දීය කොන්ග්‍රස් පක්ෂයයි.

තුන්වන ලෝකයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය…

කේරළය දකුණු ආසියාවට තබා ඉන්දියාවේ අනෙක් ප්‍රාන්තයන්ට හෝ කොමියුනිස්ට්වාදය පැතිරවීමට නොහැකි විය. එයට හේතුව වූයේ කේරළයේ ඡන්දදායකයන් ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) ට ආකර්ෂණය වූයේ විප්ලවය වෙනුවෙන් නොවූ නිසා ය. ඒ වෙනුවට, ඉඩම් ප්‍රතිසංස්කරණ, නිදහස් අධ්‍යාපනය, සහ මහජන සෞඛ්‍යය සේවය. කුල, වාර්ගික හා ආගම් මත පදනම් නොවූ සමානාත්මක ආර්ථික අවස්ථාවන්.  මේ සාධක මත පදනම් වූ ආර්ථික හා සමාජීය සංවර්ධනය පිළිබඳ දැක්මක් වටා කේරළ වැසියෝ ඒකරාශී වූහ. ඇමරිකාවේ
බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාඥයකු සහ ඉන්දියාව පිළිබඳ  විශේෂඥයකු ලෙස සැළකෙන පැට්‍රික් හෙලර්ට අනුව කේරළයේ පවතින්නේ එතරම් සම්භාව්‍ය කොමියුනිස්ට් පාලනයක් නොව “තුන්වන ලෝක පසුබිමක පවතින සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකි”.

ආර්ථික හා සමාජ සංවර්ධනයේ කේරළ ආකෘතිය කුමක් ද?

දශක හයකට වඩා කාලයක් කේරළයේ ක්‍රියාත්මක වන සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කුමක් ද? එය  ආර්ථික හා සමාජ සංවර්ධනයේ කේරළ ආකෘතිය ලෙස ද හඳුන්වනු ලබයි. කේරල සංවර්ධන ආකෘතිය යනු වඩා ඉහළ  ඵලදායිතාවයක්, අඩු ළදරු මරණ අනුපාත, සැලකිය යුතු ලෙස අඩු ජනගහන වර්ධන අනුපාත, වැඩි ආයු අපේක්ෂාව, නිදහස් අධ්‍යාපනය,  වඩා හොඳ සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා කේරළ රජය සහ ජනතාව විසින් අනුගමනය කරන ලද ඒකාබද්ධ ප්‍රයත්නයකි.

වසර 1956 දී කේරළය ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට පත් වන විට එය ඉන්දියාවේ දුප්පත්ම ප්‍රදේශවලින් එකකි. අද එය ධනවත්ම ඉන්දියානු ප්‍රාන්තවලින් එකක් වන අතර නුදුරු අනාගතයේ දී සංවර්ධිත රටක ජීවන තත්ත්වයන් සාක්ෂාත් කර ගැනීම සඳහා හොඳම විභවයක් සහිත ස්ථානයක් ලෙස සැළකෙයි. දශක ගණනාවක් පුරා කේරළයේ ප්‍රාන්ත ආණ්ඩුව විසින් සිදු කරන ලද ඉහළ මට්ටමේ සමාජ ආයෝජනය මේ කැපී පෙනෙන පරිවර්තනයේ කේන්ද්‍රීය වේ. රජයේ මැදිහත්වීම්, දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, ප්‍රජා සංවිධාන සහ මාධ්‍යවල ක්‍රියාකාරකම් සමඟ සමපාත විය. එය සංවර්ධනීය පරිවර්තනයක් ඇති කිරීම සඳහා  මහජන ක්‍රියාකාරීත්වයේ බලය මනාව ප්‍රදර්ශනය කිරීමකි.  

ජනතාව සහ ආණ්ඩුව අතර සමාජ සහ ආර්ථික සංවර්ධන පිළිබඳ නිරන්තර සංවාදයක්…

1970 දශකය වන විට, කේරළය ඉඩම් ප්‍රතිසංස්කරණ, සාමාන්‍ය අධ්‍යාපනය සහ මහජන සෞඛ්‍ය යන ක්ෂේත්‍රවල සහ කුල හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අසමානතා අවම කිරීම සම්බන්ධයෙන් සාධනීය  ප්‍රගතියක් ලබා ගත්තේ ය.  එකල කේරළයේ ඒක පුද්ගල ආදායම අඩු මට්ටමක පැවතිය ද මේ මානව සංවර්ධන ජයග්‍රහණ ලබා ගැනීමට හැකි විය.

කේරළ ආකෘතිය පිළිබඳව නොබෙල් සම්මානලාභී අමර්‍ත්‍යා සෙන් තර්ක කළේ, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට, අධ්‍යාපනය ලබා ගැනීමට සහ දේශපාලන සාකච්ඡාවලට සහභාගී වීමට සහ මූලික නිදහස පුළුල් කිරීම සඳහා ඉහළ ආදායම් මට්ටමකට පැමිණෙන තෙක් බලා සිටිය යුතු නැති බවයි. කේරළයේ ආර්ථිකය 1980 දශකයේ අගභාගයේදී ශක්තිමත්  වූ අතර අද පවා වේගයෙන් වර්ධනය වෙමින් පවතී. කේරළ අත්දැකීම කැපී පෙනෙන්නේ , සමාජ සංවර්ධනය ආර්ථික වර්ධනයට පෙර ස්ථාපිත වූ නිසා පමණක් නොව සමාජ සංවර්ධනය වේගවත් හා ගුණාත්මකව වඩා යහපත් ආර්ථික වර්ධනයක් සඳහා උත්තේජනයක් සැපයූ බැවිනි. එමෙන්ම ජනතාව සහ ආණ්ඩුව අතර සමාජ සහ ආර්ථික සංවර්ධන පිළිබඳ නිරන්තර සංවාදයක්, සාකච්ඡාවක් සහ හවුල්කාරීත්වයක් නිර්මාණයවීම තවත් වැදගත් සාධකයකි.

ඉඩම් ප්‍රතිසංස්කරණ, නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍යය….   

1957 දී කේරළයේ ප්‍රාන්ත ආණ්ඩු  බලය ලබාගත් ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය සති කිහිපයක් ඇතුළත, කේරළයේ පළමු ප්‍රාන්ත ආණ්ඩුව ඉඩම් ප්‍රතිසංස්කරණ සහ සාමාන්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ව්‍යවස්ථාදායක ක්‍රියාමාර්ග ගත්තේය. 1950 දශකයේ  අගභාගය වන විට, කේරළයේ පාසල්වලින් බහුතරයක් පෞද්ගලික කළමනාකාරීත්වය විසින් පවත්වාගෙන ගිය අතර, ගුරුවරුන්ට රැකියා සුරක්ෂිතභාවයක් නොමැතිවූ අතර ඔවුන්ගේ වැටුප් ඉතා පහළ මට්ටමක පැවතුණි. වසර 1957 දී කේරළ අධ්‍යාපන පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලද්දේ මේ සන්දර්භය තුළ ය. මේ ව්‍යවස්ථාව සමඟ ප්‍රාන්ත රජය  “ආධාර ලබන” පාසල්වල ගුරුවරුන්ට සෘජුවම වැටුප් ගෙවන අතර ඔවුන්ගේ සේවා කොන්දේසි නියාමනය කරයි. කේරළ ප්‍රාන්තය පුරා ඇති රජයේ පාසල්වල (රජය විසින් සෘජුවම පවත්වාගෙන යනු ලබන) සහ රජයේ ආධාර ලබන පාසල් නිදහස් අධ්‍යාපනයට හිමිකම් කියයි. මේ පාසැල් කේරළයේ සියලුම පාසල්වලින් සියයට 92 කි.

විශ්ලේෂකයින්ට ප්‍රහේලිකාවක් වූ කේරළ ආකෘතිය….

“The `Kerala model’ of development: Development and sustainability in the Third World” නමින් “Third World Quarterly” ශාස්ත්‍රීය සංග්‍රහයට Vol 17, No 5 පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කරන Govindan Parayil කේරළය දශක තුනකට අඩු කාලයකදී අත්පත් කරගත් සමාජ සංවර්ධන ජයග්‍රහණ මෙසේ විස්තර කරයි. “මිලියන 29 ක (කැනඩාවට වඩා විශාල) ජනගහනයක් සහිත ඉන්දියානු කේරළ ප්‍රාන්තය තුන්වන ලෝකයේ ජාත්‍යන්තර සංවර්ධනය, සමාජ ප්‍රගතිය සහ සාමකාමී සමාජ වෙනස්කම්  පිළිබඳ හදාරන  විශ්ලේෂකයින්ට ප්‍රහේලිකාවක් බවට පත් වී ඇත. වසර 30කට අඩු කාලයකදී, කේරළය ඉහළ ළදරු මරණ අනුපාතික සහ ඉහළ ජනගහන වර්ධන අනුපාත සහිත සමාජයක සිට අඩු ළදරු මරණ අනුපාතිකයක් සහිත, ඉතා අඩු ජනගහන වර්ධනයක් සහිත සමාජයක් දක්වා සංක්‍රමණය වී ඇත. මෑත ඇස්තමේන්තු වලට අනුව, කේරළය කාන්තාවන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 74 ක් (ඉන්දියානු සාමාන්‍යය, අවුරුදු 60) සහ පිරිමින් සඳහා අවුරුදු 71 ක් (ඉන්දියානු සාමාන්‍යය, අවුරුදු 59), ළදරු මරණ අනුපාතය දහසකට 16.5 කි.
(ඉන්දියානු සාමාන්‍යය, 91) සහ කේරළය සම්පූර්ණ සාක්ෂරතාවය අත්පත් කර ගෙන තිබේ” (පිටු 941-942).

පුරවැසියන්ගේ ජීවන තත්ත්වයෙහි රැඩිකල් දියුණුවක්…

ආර්ථික වර්ධනය මත පදනම් වූ සහ සැලසුම් කළ සංවර්ධන වැඩසටහන් හරහා තුන්වන ලෝකයේ දරිද්‍රතාවය, ජනගහන වර්ධනය, ආදායම් හා සම්පත් බෙදී යාමේ අසමානතාව සහ පාරිසරික විනාශය අඩු කිරීමට නොහැකි විය.  එහෙත්, සාමාන්‍ය පුරවැසියන්ගේ ජීවන තත්ත්වයෙහි රැඩිකල් දියුණුවක් ඉහළ ආර්ථික වර්ධනයකින් තොරව සහ සිදු කළ හැකි බව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම මගින් පෙන්නුම් කිරීමට කේරළයට හැකි වූ බව තර්ක කරන Govindan Parayil, බලශක්තිය සහ අනෙකුත් ස්වභාවික සම්පත් විශාල වශයෙන් පරිභෝජනය නොකර මේ ඉලක්කය සපුරා ගැනීම තවත් කැපී පෙනෙන ලක්ෂණයක් බව පෙන්වා දෙයි (පිටු 942).

ඒක පුද්ගල ආදායම අවලංගු කළ කේරළ 'සංවර්ධනය'...

ඒක පුද්ගල ආදායම 'සංවර්ධනය' මැනීමේ මිනුම් දණ්ඩක් නොවන බව කේරළයේදී පැහැදිලිව පෙන්නුම් කරන බව අවධාරණය කරන Govindan Parayil, “කේරළය සම්පුර්ණ සාක්ෂරතාවය අත්කරගෙන ඇති අතර, සාමාන්‍ය ඉන්දියානු සාක්ෂරතා අනුපාතය කේරළයේ මට්ටමින් අඩකි. කේරළය, ඉන්දියාවේ ඒක පුද්ගල පුවත් පත්, සඟරා සහ පොත් වැඩියෙන්ම පරිහරණය කරන ප්‍රාන්තයයි.  ඉන්දියාවේ සියලුම ප්‍රාන්ත අතරින් සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනය සඳහා වැඩිම ඒක පුද්ගල වියදමක් දරන්නේ කේරළයයි. එම වියදම් සමාජ සංවර්ධනයේ ඉහළ දර්ශක බවට පරිවර්තනය විය. 1970 දශකයේ අග භාගය වන විට, සියලුම ඉන්දියානු ප්‍රාන්ත අතරින් තෝරාගත් යටිතල ව්‍යුහාත්මක සහ මූලික සේවා 21ක් අතරින් 15ක ඉහළම ආයෝජනය සිදු කරනු ලැබූවේ කේරළයයි. එහි ඉහළ සමාජ සංවර්ධනයේ කැපී පෙනෙන අංගයක් නම් එය ඉතා අඩු ඒක පුද්ගල ආදායමක් තිබියදීත් සිදු වීමයි. සමාජ ආර්ථික සංවර්ධනයේ මිනුම් දණ්ඩ ලෙස ආදායමේ සහ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයේ අර්ථ විරහිතභාවය අප ඉන්දියාව තුළ විවිධ ප්‍රාන්ත සඳහා සංසන්දනය කරන විට පැහැදිලි වේ.

ඇමරිකාව සමඟ තරඟ කරන කේරළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය…

කේරළයට වඩා ඒක පුද්ගල ආදායම වැඩි රාජ්‍යයන් සංවර්ධනයේ සමාජ දර්ශකවල ඉතා පහළ මට්ටමක සිටියි.  එය ඒක පුද්ගල ආදායම 'සංවර්ධනය' මැනීමේ මිනුම් දණ්ඩක් නොවන බව පැහැදිලිව පෙන්නුම් කරයි. Physical Quality of Life Index (PQLI) සහ මානව සංවර්ධන දර්ශකය (Human Development lndex - HDI) ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය වැනි ආර්ථික වර්ධන දර්ශකවලට වඩා සාපේක්ෂ වශයෙන් 'සංවර්ධනය' මැනීමේදී සාර්ථකය. කේරළයට වඩා ඒක පුද්ගල ආදායම අතින් දෙගුණයකින් ඉදිරියෙන් සිටින පන්ජාබ් ප්‍රාන්තය  PQLI දර්ශක අනුව කේරළයට වඩා ලකුණු 33ක් පසුපසින් සිටියි. කේරළයේ PQLI දර්ශකය සමස්ත ඉන්දීය සාමාන්‍යයට වඩා ලකුණු 53කින් ඉදිරියෙන් සිටින විට  කේරළයේ  ජාතික ආදායම ඉන්දියාවේ ජාතික ආදායමෙන්  පහෙන් එකකි. මානව විද්‍යාඥ රිචඩ් ෆ්‍රෑන්ක් ගණනය කිරීම් අනුව, 1981 දී කේරළයේ PQLI අගය 82ක් වූ අතර, ඇමරිකා එක්සත් ජනපදයේ දර්ශකය 96.18ක් විය.  කේරළයේ HDI දර්ශකය ජාතික සාමාන්‍යයට වඩා දෙගුණයකන් ඉහළ ය. 1994 දී එක්සත් ජනපදයේ HDI අගය 0.925 ක් වූ අතර, කේරළයේ එය 0.775 ක් විය.  එහෙත්, කේරළයේ ඒක පුද්ගල ආදායම ඇමරිකාවේ එම අගයෙන් සියයෙන් පංගුවකි” (පිටුව 944).

මෙහිදී ඉතාම වැදගත් වන්නේ කේරළය මේ සංවර්ධන ඉලක්ක සපුරා ගන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සාමකාමී ලෙසය. මැතිවරණ නිරන්තරයෙන් පැවැත් වූ අතර වාමාංශිකයින් සහ මධ්‍යවාදීන් (Centrist) යන දෙපිරිසම කේරළයේ පාලනයට තේරී පත් විය.

කේරළ ආකෘතිය පිළිබඳ පසු විපරමක්..

පොදු ජනතාවගේ ජන ජීවිතයේ තත්වය වර්ධනය කළ හැක්කේ ඒක පුද්ගල ආදායම ඉහළ නැංවීමෙන් පමණක් වන අදහස කේරළයේදී බිඳ වැටුණි. එහෙත් කේරළ වැසියන්ගේ සමස්ත ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා කාර්මික හා කෘෂිකාර්මික වර්ධනයක් අත්කර ගත යුතු බව අවිවාදිත බව සිය පර්යේෂණ පත්‍රිකාවේ පෙන්වා දෙන Govindan Parayil, “එහෙත් සමාජ සංවර්ධනයේ ඉහළ දර්ශක සහ ඉහළ සාක්ෂරතාවක් ඇති ජනතාවක් රාජ්‍යයේ වේගවත් කාර්මීකරණයට හිතකරය. ඉඩම් ප්‍රතිසංස්කරණ සහ වෙනත් නැවත බෙදාහැරීමේ සංවර්ධන වැඩසටහන් බොහොමයක් ආරම්භ කළ කේරළයේ පළමු මහ ඇමතිවරයා වූ   E. M. S Namboodiripad කාර්මීකරණය, කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම  සහ නවීන ලෞකික හා විද්‍යාත්මක සංවර්ධනයක් නොමැතිව රටකට හෝ ප්‍රාන්තයකට සමෘද්ධිමත් විය නොහැකි බවට අනතුරු ඇඟවීය. කොමියුනිස්ට් නායකයෙකු සහ හිටපු මහ ඇමතිවරයෙකු වන පී කේ වාසුදේවන් නායර්, ප්‍රාන්තයේ සංවර්ධනයේ ප්‍රධාන ධනාත්මක දර්ශක නිසි ලෙස පිළිගනිමින්, කේරළ ආකෘතිය පිළිබඳ පසු විපරමක් අවශ්‍ය බව නිවැරදිව පෙන්වා දුන්නේ ය. (පිටු 952-953).

අමර්‍ත්‍යා සෙන්ගේ කේරළ දැක්ම..

නොබෙල් ත්‍යාගලාභී අමර්‍ත්‍යා සෙන් සහ ඩ්රේසන් ජීන් වසර 1996 දී රචනා කළ ‘India: Economic Development and Social Opportunity’ කෘතියේ ද කේරළයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළහි ජයග්‍රහණ පිළිබඳ කරුණු සඳහන් කර තිබේ.  ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ, උප සහරා අප්‍රිකාවට වඩා නරක තත්ත්වයක පවතින බව කියා සිටින ඔවුහු, එහෙත් එයට හාත්පසින්ම වෙනස්ව, සැලකිය යුතු මානව සංවර්ධන දර්ශක පරාමිතීන් රැසකින්ම ඉන්දුනීසියාව, තායිලන්තය සහ දකුණු කොරියාවට වඩා කේරළය ඉදිරියෙන් සිටින බව පෙන්වා දෙති. "ප්‍රාථමික අධ්‍යාපනය, ඉඩම් ප්‍රතිසංස්කරණය, සමාජයේ කාන්තාවන්ගේ භූමිකාව සහ සමාජීය අවස්ථා රාශියක් ප්‍රවර්ධනය කිරීමේදී මහජන ක්‍රියාකාරීත්වයේ කාර්යභාරය හරහා කේරළයේ සාර්ථකත්වය සොයාගත හැකිය” අමර්‍ත්‍යා සෙන් සහ ඩ්රේසන් ජීන්සිය සිය කෘතියේ සඳහන් කරති.

කම්කරු සුබසාධනය සහ වැඩි වැටුප්…

ඉඩම් ප්‍රතිසංස්කරණ, නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යයට අමතරව කේරළ ආණ්ඩුව අවධානය යොමු කළ තවත් ප්‍රධාන අංශයක් වන්නේ කම්කරු සුබසාධනයයි. සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය ඇති කිරීම සඳහා නව නීති හඳුන්වාදුන් අතර ඉහළ අවම වැටුප් මට්ටමක් ව්‍යවස්ථාපිත කළේ ය. ඒ හරහා සේවකයන්ගේ ආදායම ඉහළ ගිය අතර ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් මට්ටමකට ලඟා විය. පාරිභෝජනය ඉහළ ගිය අතර එය ආර්ථික වර්ධනයට හේතු සාධක සැපයීය. නිදසුනකට 1970 දශකයේ මැදභාගයේ  තමිල්නාඩුවේ කොයිම්බතූර්හි කම්කරුවන් සඳහා ගෙවූ දිනක වැටුප ඉන්දියානු  රුපියල් දෙකකි. එහෙත් ප්‍රාන්ත දේශසීමාවෙන් එහා කේරළයේ එය පස් ගුණයකි. එනම් දිනක වැටුප ඉන්දියානු රුපියල් දහයකි.

වාර්ගික සාමය සහ ආර්ථික වර්ධනය…

වසර 2011 ජනසංගණන අනුව කේරළ ප්‍රාන්තයේ සමස්ත ජනගහනයෙන් සියයට 54.73ක් හින්දු භක්තිකයන්ය. සියයට 26.56 මුස්ලිම් වන අතර තවත් සියයට 18.38ක් ක්‍රිස්තියානි භක්තිකයෝ වෙති. කේරළ ප්‍රාන්තය බිහිවීමෙන් පසුව ගත වූ දශක හයකට අධික කාලය තුළ දී එහි වාර්ගික සහ ආගමික ගැටුම් වාර්තා වූයේ ඉතා අවම මට්ටමිනි. වාර්ගික සහ ආගමික සහජීවනය කේරළ ජනතාව තුළට කාවැද්දීමට ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) ට හැකි විය. මේ වාර්ගික සාමකාමී වාතාවරණය කේරළයේ ආර්ථික, සාමාජීය වර්ධනයට සෘජුවම බලපෑවේය.

ඒක පුද්ගල ආදායමේ කේරළ පිම්ම…

කේරළයේ මානව සංවර්ධන දර්ශක ඉහළ මට්ටමේ පැවතිය ද ඒක පුද්ගල ආදායම පහළ බවට නිරන්තර විවේචනයක් විය. කේරළයේ ඒක පුද්ගල ආදායම වසර 1987-88 දී ඉන්දියාවේ සාමාන්‍ය ඒක පුද්ගල ආදායමට වඩා සියයට 20 කින් අඩු විය. එහෙත් වසර 1993-94 වන විට එය ජාතික සාමාන්‍යයට සමාන මට්ටමක් දක්වා වර්ධනය විය. වසර 2004-05 දී එය සියයට 30 කින් සහ වසර 2017-18 වන විට එය සියයට 60 දක්වා ඉහළ ගියේ ය.

කේරළයේ ඒක පුද්ගල ආදයම් වර්ධනය වේගවත් වීමට  බලපෑ  ප්‍රධාන සාධක දෙකකි. පළමු සාධකය ප්‍රාන්තයේ දේශීය පාරිභෝජන ඉල්ලුම  ඉහළ යෑමය. දෙවැන්න, කේරළය මානව සංවර්ධනය සඳහා දශක ගණනාවක් පුරා සිදු කළ ආයෝජනයන්ගේ පල ලබා ගැනීම ආරම්භ වීමය. එනම් කේරළ සංක්‍රමණිකයන්ගේ සංපේෂණ වැඩි වශයෙන් ප්‍රාන්තයට ලැබීමය. වසර  2018 වන විට එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ගල්ෆ් රටවල් ඇතුළු රටවල් ගණනාවක කේරළ වැසියෝ මිලියන 1.8 ක් පමණ සේවය කළහ. මේ ජාත්‍යන්තර ශ්‍රමිකයන්ගෙන් අඩක් පමණ හෙදියන්, ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, පරිපාලකයින් සහ මාධ්‍ය සේවකයින් ඇතුළු ඉහළ නිපුණතා ඇති වෘත්තිකයන් වන අතර ඉතිරි පිරිස මධ්‍යම මට්ටමේ රැකියාවන්හි නිරතව සිටිති.

ආණ්ඩුවේ වියදම් ඉහළ යෑම ආර්ථික වර්ධනයේ මගක් ද?

අද කේරළයේ ජනතාව භුක්ති විඳින නිදහස සහ සාපේක්ෂ උසස් ජීවන මට්ටම, ප්‍රාන්තයේ ප්‍රගතිශීලී සමාජ හා දේශපාලන හැඩතලයන් විසින් ක්‍රියාත්මක කරන ලද දශක ගණනාවක මහජන ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයකි. ඒවා ද 1960 ගණන්වල සිට ප්‍රාන්ත ආණ්ඩුව සමාජ සංවර්ධනය සඳහා සිදු කළ ඉහළ ආයෝජනයන්හි ප්‍රතිඵලය. කේරළ අත්දැකීම පෙන්වා දෙන්නේ - ආණ්ඩුවේ වියදම් ඉහළ යෑම ආර්ථික වර්ධනය මන්දගාමී කරන බවට ලෝකයේ බොහෝ තැන්වල නැවත නැවතත් පුනරුච්චාරණය කරන ලද තර්කයේ හිස් බව ය. කේරළයෙන් ලබා ගත හැකි තවත් පාඩමක් වන්නේ සේවක වැටුප් හි භූමිකාවයි. ඉහළ වැටුප් සේවකයන්ට ලබාදීම මගින් ආර්ථිකයට හානියක් සිදුවනවා වෙනුවට ඒ හරහා නිර්මාණය වන ඉල්ලුම ආර්ථික වර්ධනය වේගවත් කිරීමට උපකාරී වේ.

කේරළ ආකෘතියේ මූලික  අසාර්ථකත්වයන් හතරක්…

කේරළ සංවර්ධන ආකෘතිය පිළිබඳ සාධනීය විවේචනයක් ඉදිරිපත් කරන  මහාචාර්ය K. P. Kannan ගේ “Revisiting the Kerala ‘Model’ of Development: A Sixty-year Assessment of Successes and Failures” ශාස්ත්‍රීය පත්‍රිකාව  “The Indian Economic Journal”, Volume 71, Issue 1 හි වසර 2023 ජනවාරියේ පල විය. එම පත්‍රිකාව මගින්  මහාචාර්ය කේ.පී. කන්නන් කේරළ ආකෘතියේ මූලික  අසාර්ථකත්වයන් හතරක් මතු කරයි: උගත්, විශේෂයෙන්ම කාන්තාවන් අතර විරැකියාව; බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාව; රාජ්‍ය අංශය පොදු සම්පත් විනාශ කිරීම; වියදම් අධික, අකාර්යක්ෂම  යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා  රාජ්‍යය ආයෝජන.

කේරළයේ ඉදිකල ඉන්දියාවේ පළමු තොරතුරු තාක්ෂණ උද්‍යානය Technopark …

ඉහළ වැටුප් සහ කම්කරු නීති හේතුවෙන් ලාභ ශ්‍රමය සොයන ආයෝජකයෝ කේරළය මඟහැර ගියහ. මෙය කේරළ ආර්ථිකයට එල්ල වූ දැඩි පහරක් බව ඇතැම් ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. විශේෂයෙන් කේරළ ආණ්ඩුව ව්‍යාපාර සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන දැඩි නියාමනයන්, රාජ්‍ය අංශයේ අකාර්යක්ෂමතාව ආයෝජකයන් තවදුරටත් විකර්ෂණය කළේ ය. කේරළය පසුගිය කාලයේ ව්‍යාපාර හිතකර දර්ශකයන්ට අනුව අවසාන මට්ටමේ ස්ථාන ගතව සිටියේ ය. කේරළ ආණ්ඩුව ඉදිරි දැක්මක් සහිතව ඉන්දියාවේ පළමු තොරතුරු තාක්ෂණ උද්‍යානය වසර 1990 දී Technopark නමින් තිරුවානන්තපුරම් හි ස්ථාපිත කළේ ය. එහෙත් තොරතුරු තාක්ෂණ සම්බන්ධයෙන් ඉන්දියාවේ අනෙකුත් ප්‍රාන්ත කේරළය පසුකර ඉදිරියට ගියේ ය. එයට හේතුව වූයේ ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට නොහැකි වීමය. මේ බාධකය මඟ හැරීම සඳහා ව්‍යාපාර හිතවාදී  රාජ්‍ය ප්‍රතිපත්ති හඳුන්වාදීමට කේරළ ආණ්ඩුව පසුගිය කාලයේ දැඩි උත්සාහයක නිරත විය. එහි ප්‍රතිඵලයක් ලෙස  ව්‍යාපාර හිතකර දර්ශකයන්ට අනුව ඉන්දීය ප්‍රාන්ත අතරින් දහවන ස්ථානයට ලඟා විය.

කේරළය ආර්ථික ඌන සාධනය පිළිබඳ අනතුරු ඇඟවීමක්…

“Putting the “Kerala Model” to Rest: Lessons for a New Era of Development in India” නමින් වසර 2010 සැප්තැම්බරයේ The American Enterprise lnstitute සඳහා  සංවර්ධන ප්‍රතිපත්ති පිළිබඳ පත්‍රිකාවක් ඉදිරිපත් කරන Apoorva Shah කේරළ ආකෘතිය පිළිබඳ දැඩි විවේචනයක් ඉදිරිපත් කරයි. ඔහු අවධාරණය කරන්නේ කේරළය සාර්ථක මානව සංවර්ධනයේ උදාහරණයක් පමණක් නොවිය යුතුය, එය ආර්ථික ඌන සාධනය පිළිබඳ අනතුරු ඇඟවීමක් ද විය යුතු බවයි. “ලොව, මානව ප්‍රාග්ධනය තරම් බලවත් සංවර්ධන බලවේගයක් නොමැති බව කේරළය අපට ඉගැන්වීය. එමෙන්ම රජය විසින් ආර්ථික හා සමාජ කටයුතු මෙහෙයවීම සහ පාලනය කිරීමේ ආදීනව පෙන්වා දෙනු ලැබීය” (පිටු 30-31). කේරළ ක්‍රමයේ ජයග්‍රහණ මෙන්ම පරාජයන් ද ඇති බව අපි උපුටා දැක්වූ පර්යේෂණ පත්‍රිකා වලින් පැහැදිලි ය.     

ජාතික ජනබලවේගය කියන සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කුමක් ද?

ජාතික ජනබලවේගය සිය සමාජ ආර්ථික සහ දේශපාලන දර්ශනය වශයෙන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය තෝරා ගන්නා බවට එහි නායක අනුර කුමාර දිසානායක මෑතකදී කිහිපවරක්ම අවධාරණය කළේ ය. එහෙත් මේ කියන සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කුමක් ද යන්න පිළිබඳ තව පැහැදිලි කිරීමක් කර නැත. බටහිර යුරෝපයේ, ස්කැන්ඩිනේවියානු රටවල, කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය ඇතුළු රටවල් ගණනාවක සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙයි. එහෙත් මේ රටවල් සඳහා තමන්ට අන්‍ය වූ වැඩපිළිවෙළක් තිබේ. පළමු ලෝකයේ රටවලින් පරිබාහිරව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වැඩ පිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක වූ ස්ථානයක් වශයෙන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය ප්‍රකටය.

කේරළයෙන් ඉගෙන ගනිමු…

යටත්විජිත ඉතිහාසය, දේශගුණය, වැවිලි ආර්ථිකය, සමාජ, දේශපාල, ආර්ථික පසුබිම වැනි සාධක සළකන විට කේරළය අපට වඩාත් සමීප බව අපේ අදහසයි. පැට්‍රික් හෙලර් පැවසූ පරිදි කේරළයේ ක්‍රියාත්මක වන්නේ  තුන්වන ලෝකයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයයි.  දශක හයකට අධික කාලයක් පුරා ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ  (මාක්ස්වාදී) නායකත්වයෙන් සිදු වන  සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අත්දැකීම සහ කේරළ ආර්ථික ක්‍රියාමාර්ග මේ මොහොතේ හැදෑරීම වැදගත් ය. එහිදී කේරළ ක්‍රමයේ වාසි, අවාසි, ජයග්‍රහණ  සහ පරාජයන් හඳුනාගත හැකිය. විශේෂයෙන්  නොකළ යුත්තේ කුමක්ද? යන්න පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම වැදගත්ය. ඒ සඳහා මෙය ආරම්භක ප්‍රවේශයක් වනු ඇති අපගේ අවංක බලාපොරොත්තුවයි. චීන නායක මා‍ඕ සේතූං වරෙක පැවසූ පරිදි “දහසක් මත ගැටේවා. දහසක් මල් පිපේවා”.

-ආනුභාවනන්ද

[email protected]

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/33

---------------------------
by     (2023-12-13 18:20:34)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links