~

රටේ ජනයා ගොනාට ඇන්දූ රනිල්ගේ 2024 අයවැයෙන් දෙසා බෑ බේගල් මෙන්න..!

-ශාන්ත ජයරත්න ලියයි

(ලංකා ඊ නිව්ස් -2023.නොවැ.22, ප.ව.10.45) රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ 2024 සඳහා ඉදිරිපත් කොට ඇති  ප්‍රයෝගකාරී අයවැය ප්‍රකාශයේ ඇති අපූරු යෝජනා කිහිපයක් පිළිබඳ ඔබගේ අවධානය යොමු කිරීමට මෙම ලිපියෙන් අදහස් කරමි. රනිල් වික්‍රමසිංහ හැමදාම කරන්නේ නොපෙනෙන සිහින ලෝකයක් ජනයාට පෙන්වා ඔවුන් මුලාවේ දැමීමය. අවසානයේ කිසිවක් සිදුවී නොමැත. මෙවර වන්නේ ද එයමය. "ස්මාට් ශ්‍රී ලංකා" "2048 පෝසත් රටක්" වැනි සංකල්ප සියල්ල හිස් වචන බව ඔබ අවබෝධ කරගත යුතුය.

විශ්ව විද්‍යාල 4 ක් හදනවා කීවාට ඒවාට සල්ලි වෙන් කරලා නෑ...

රනිල් වික්‍රමසිංහගේ අයවැය කතාවේ යෝජනා අංක 18 යටතේ ඔහු ප්‍රකාශ  කරන්නේ ලංකාවේ අලුතෙන් විශ්වවිද්‍යාල හතරක්  පිහිටුවන බව ය. යෝජනාවක් හැටියට එය ආකර්ශනීය වන්නේ ය. එහෙත් ඒ සඳහා 2024 අයවැයේ ශතයක් වෙන් කොට නැත. එසේනම් රනිල් වික්‍රමසිංහ විශ්වවිද්‍යාල පිහිටුවන්නේ කෙසේද? ඒ සඳහා මුදල් වෙන්කොට තිබෙනවා ද කියා ඔබටම බලාගැනීමට අවශ්‍ය නම් ප්‍රධාන වියදම් සංරචක 2024 අයවැය ඇස්තමේන්තු කෙටුම්පතේ පිටු 1-4 දක්වා පහත දිගුවෙන් කියවා බලන්න.
https://www.treasury.gov.lk/api/file/13f1816f-678a-49a9-91c9-f23c5423b068

ඔවැනි සිහින යෝජනා රාශියක් 2023 අයවැයේද තිබුණි. මුදල් අමාත්‍යාංශ වෙබ් පිටුවේ (රාජ්‍ය මූල්‍ය පිටුව) දක්වා ඇති අන්දමට 2023 වසරේ අයවැය යෝජනා වලින් 97% ඉටු කොට නොමැති හෝ ඒවා සම්බන්ධ තොරතුරු කිසිවක් නැති බව ප්‍රකාශ කරයි. 2024 අවසානයේ 99.9% තොරතුරු නොමැති බව ප්‍රකාශ කළහොත් ඔබ පුදුම නොවන්න . එහෙත් රනිල් වික්‍රමසිංහ එතෙක් බලයේ නොසිටිනු ඇත. රටේ බහුතර ජනයා ඔහුව පන්නා දැමීමට මේ වන විටත් තීරණය කොට තිබෙන බව පේන්නට ඇත.

බිලියනයක් වෙන් කරන කතාවත් බොරුවක්...

මීට තරමක වෙනස් යෝජනාවක් අංක 19 යටතේ ඇත. රනිල් වික්‍රමසිංහ යෝජනා කරන්නේ අධ්‍යාපන විද්‍යාපීඨ 19 ක් ඒකාබද්ධ කොට අධ්‍යාපන විශ්වවිද්‍යාලයක් ස්ථාපනය කරන බවකි. ඒ සඳහා රුපියල් බිලියන 1 ක් වෙන් කරන බව අයවැය කථාවේ කියයි. එහෙත් අයවැය වියදම් සංරචක කෙටුම්පතේ මූලධන වියදම් ලැයිස්තුවේ ඒ සඳහා ශතයක් වෙන් කොට නැත. ගුරු විද්‍යාල සහ මධ්‍යස්ථාන හා විද්‍යාපීඨ සඳහා රුපියල් මිලියන 305 වෙන්කොට ඇත. මේ සම්බන්ධව තොරතුරු අවශ්‍ය නම් මෙම දිගුවට ගොස් පිටු 1-4 කියවා බලන්න. https://www.treasury.gov.lk/api/file/13f1816f-678a-49a9-91c9-f23c5423b068

මිලියන 500 ක් වෙන්කරන කතාවත් බොරුවක්...

සැමට ඉංග්‍රීසි නමින් තවත් යෝජනාවක් අංක 28 යටතේ අයවැය කතාවේ ඇත. බැලූ බැල්මට මෙයද ආකර්ශනීය පොරොන්දුවකි. මේ සඳහා අයවැය කතාවේ රුපියල් මිලියන 500 ක් වෙන් කරන බව කියයි. එහෙත් එවැනි වෙන්කිරීමක් වැය ඇස්තමේන්තුවක දක්වා නැත. ඔබට එය ඉහත දක්වා ඇති දිගුවෙන් තවදුරටත් විමසා බැලිය හැක. මෙම යෝජනා හුදෙක් මහජනයා රැවටීමට ඉදිරිපත් කරන බව පැහැදිලිය.

පාස්කරලිංගම් බළලා මල්ලෙන් එළියට...

රනිල් වික්‍රමසිංහ ජනාධිපති අංක 18 යටතේ තෝරාගත් පෞද්ගලික අධ්‍යාපන ආයතන දෙකක් සඳහා විශ්වවිද්‍යාල මට්ටමට උසස් කිරීම සඳහා නීති සකස් කල යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කොට ඇත. හැව්ලොක් ටවුමේ ඇති රෝයල් ඉන්ස්ටිටියුට් (Royal Institute ) සහ මාලබේ හොරයිසන් කැම්පස් (Horizon Campus) මෙසේ විශ්වවිද්‍යාල බවට උසස් කිරීමට නීති සකස් කිරීමට රනිල් වික්‍රමසිංහ යෝජනා කරයි.

මෙහි ඇති විශේෂත්වය කුමක්? රටේ ජාතික අයවැයකින් තෝරාගත් පෞද්ගලික අධ්‍යාපන ආයතන දෙකක් සඳහා පමණක් ප්‍රමුඛතාවයක් ලබා දෙන්නේ ඇයි? මෙම ආයතන දෙකට අමතරව තවත් රටපුරා විහිදුණු ශාඛා ජාලයක් හිමි විශාල පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන කිහිපයක්ම රටේ ක්‍රියාත්මක වෙද්දී රනිල් වික්‍රමසිංහ හොරයිසන් කැම්පස් සඳහා ප්‍රමුඛතාව දෙන්නේ ඇයි ? එයට සාක්ෂි මෙම පැන්ඩෝරා පත්‍රිකාව සපයයි.
https://projects.icij.org/investigations/pandora-papers/power-players/en/player/ramalingam-paskaralingam

මෙම හොරයිසන් කැම්පස් (Horizon Campus) ආයෝජනයෙන් 80% අයත් වන්නේ R. පාස්කරලිංගම් හෙවත් "Paski" ටයි. පාස්කරලිංගම් යනු කවුද කියා රාජ්‍ය සේවයේ අප වැනි පැරැණි අය නම් හොඳින්ම දනි. වයෝවෘධ පාස්කරලිංගම් රනිල් වික්‍රමසිංහගේ සමීප මිත්‍රයෙකි. උපදේශකයෙකි. එජාප සහ යහපාලන රජයන් වල තිරයෙන් පිටුපස සිට ක්‍රියාත්මක වූ දූෂිත නිළධාරීයෙකි. පසුගිය දා උසාවියෙන් දඩගැසූ ආර්ථික ඝාතකයන් ලැයිස්තුවට මොහුද ඇතුළත් කළ යුතුව තිබුණි. රනිල් වික්‍රමසිංහගේ ගජමිතුරුවාදය කුමක්ද කියා දැන් ඔබට වැටහෙනවා ඇති.

දැන් "කොන්ඩේ බැඳපු  චීන්නු"නැත..

ඊට අමතරව 18වන යෝජනාව යටතේම රනිල් වික්‍රමසිංහ අයවැයේ කියන්නේ 13වන ව්‍යවස්ථාව අනුව පළාත් සභා වලටද විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට බලය දෙන බවකි. එහිදී ඇසිය යුතු ප්‍රශ්නය පළාත් සභා ක්‍රියාත්මක වන්නේ කුමන පළාතේද කියායි. උසස් අධ්‍යාපනය 13 වන ව්‍යවස්ථාවේ සමගාමී ලැයිස්තුවේ (Concurrent List) දක්වා තිබෙන බව හැබෑවකි. එහෙත් එම බලතල ක්‍රියාත්මක කිරීම හිතන තරම් පහසු නැති බව පළාත් සභා කටයුතු පිළිබඳ අවබෝධයක් ඇති අය හොඳින්ම දනී. එහෙත් රනිල් වික්‍රමසිංහ තවමත් සිතාගෙන සිටින්නේ ඔහුගේ සුපුරුදු "බයිලා" රටේ මිනිසුන් විශ්වාස කරනවා ඇත කියාය. දැන් "කොන්ඩේ බැඳපු  චීන්නු"නැත කියා ඔහු නොදන්නවා ඇති.

දේශපාලකයින් මෙවැනි ආකාරයට බොරු පොරොන්දු තවදුරටත් ඉදිරිපත් කිරීම නැවතීමට මහජනයා හැටියට අප හඬක් නැගිය යුතුය. සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ කරගෙන යන සිල්ලර "බඩු බෙදීමේ" සංස්කෘතිය අප පරාජය කළ යුතුය. විවිධ ආකර්ශනීය නම් යොදාගෙන ඔබ ඉදිරියට පැමිණ පොරොන්දු ගොන්නක් දෙන කූඨ  දේශපාලකයන් පලවා හැරීමේ ජාතික ව්‍යාපාරයක් ආරම්භ කළ යුතුය. දූෂණයට, වංචාවට, ගජමිතුරුවාදයට වැට බඳින, දේශපාලන පක්ෂයකට රටේ පාලන බලය ලබා දීමට අප අදිටන් කරගනිමු.

ශාන්ත ජයරත්න

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/102

---------------------------
by     (2023-11-22 17:22:09)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links