~

ක්‍රිකට් නඩුව විමසීමෙන් චූදිත සභාපති විනිසුරු සහ තවත් විනිසුරුවරු පෝලිමේ ඉවත්වෙති..!

(ලංකා ඊ නිව්ස් -2023.නොවැ.14, ප.ව.8.30) ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ පත්කළ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව ෂම්මි සිල්වා ඇතුළු ක්‍රිකට් පාලක මණ්ඩලය  ගොනුකර ඇති පෙත්සම් විභාගයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ දී දැඩි දෝෂ දර්ශනයට ලක් වූ අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ඉවත්වන බව දැනුම් දුන්නේය. ඒ අද රොෂාන් රණසිංහ ඉදිරිපත් කළ මෝසම විභාගයට ගැනීමේ දී රොෂාන් රණසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා මෙම නඩුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා විමසීම සම්බන්ධයෙන් තම සේවාදායකයා විරෝධය පළ කරන බව දැනුම් දීමෙන් පසුවය

තමන් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සහ අනිකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අසාධාරණ විවේචන එල්ල කිරීම හේතුවෙන් තමන් මෙසේ නඩු විභාගය ඉවත් වන බව ද සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න  සඳහන් කළේය. (ඔහුට එල්ල වූ චෝදනා දෙස බැලූ විට ඒවා අසාධාරණ යැයි සාමාන්‍ය මහජනතාවට නිගමනය කළ නොහැකි අතර හරි නම් ඔහු විනිසුරු වෘත්තියෙන්ම ඉල්ලා අස්විය යුතුව තිබිණි. )

ඉන් අනතුරුව මෙම රිට් පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරුවරුන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල වෙත යොමු කෙරිණි.

එවිට ‍අභියාචනාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල ද නඩුව විමසීමෙන් ඉවත් වන බව දැනුම්දීම හේතුවෙන් නව විනිසුරු මඩුල්ලක් නම් කිරීම සඳහා අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත රිට් පෙත්සම යළිත් යොමු කෙරිණි.

ඉන්පසුව මෙම රීට් පෙත්සම ඩී.එන් සමරකෝන් සහ නීල් ඉද්දවෙල යන විනිසුරුවරුන්ගෙන් සමන්විත නව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම මස 16 වැනි දින එනම් අනිද්දා කැඳවීමට තීරණය විය.

මේ අතර දැනට පනවා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) තහනම ඉවත් කිරීමට අදාළ කටයුතු මෙහෙයවීමත්, යම් ක්‍රිකට් තරගාවලියක් ශ්‍රී ලංකාවට අහිමි වීමේ අවදානමක් පවතින්නේ නම් ඒ පිළිබඳව සාකච්ඡා කර වහාම තීරණ ගැනීමේ බලයත් ක්‍රිකට් සඳහා පත්කර ඇති විදේශ අමාත්‍ය අලි සබ්‍රි ගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය අනු කමිටුව වෙත පැවරීමට ඊයේ (13) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කළේය.

එසේම මින් ඉදිරියට අතුරු කමිටු පත් කරන්නේ නම් ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අත්‍යාවශ්‍ය බවට ද කැබිනට් මණ්ඩලයේ දී තීරණය කෙරිණි.

---------------------------
by     (2023-11-14 15:09:52)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links