~

බොරු කතා එපා..! ඇත්ත 'සොනික් සොනික්' යනු කව්ද? රවි සෙනවිරත්න දිව්රා අධිකරණයට කියන කතාව..!

-සේ. පියවර්ධන හෙළිකරයි

(ලංකා ඊ නිව්ස් -2023.ඔක්.14, ප.ව.6.40) පාස්කු ඉරිදා බොම්බ ප්‍රහාර පිළිබඳ පරීක්ෂණය අවුල් කිරීම අරමුණූ කර ගත් මාධ්‍ය මෙහෙයුමක් ඇරඹී ඇති බව අප මෙයට පෙරද හෙළිදරව් කර ඇත්තෙමු.

මෙම දුෂ් තොරතුරු මෙහෙයුමහි ප්‍රධාන ඉලක්කයක් වන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන සුදනකු කිරීමය. රාජ්‍ය බුද්ධි සේවය විසින් සහරාන් කණ්ඩායම තුලට " සොනික් සොනික්" නමින් රිංගවා සිටි බවට හෙළිදරව් වූ උප පොලිස් පරීක්ෂක බණ්ඩාර බේරා ගැනීම පිනිස දැන් බේගල් ව්‍යාපාරයක් දියත් කර තිබේ. මන්ද යත් එම උප පොලිස් පරීක්ෂකවරයාගෙන් ප්‍රශ්න කිරීමට ඉඩ නොදෙන ලද්දේ නිලන්ත ජයවර්ධන යටතේ වූ රාජ්‍ය බුද්ධී සේවය විසින් නිසාය.

නිලන්ත ජයවර්ධන සහ චූලා කොඩිතුවක්කු කඩා කප්පල් කළා...

ඉතා සූක්ෂම අපරාධ පරීක්ෂනයක් මගින් අත්අඩංඟුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයකු වූ බණ්ඩාරගෙන් ප්‍රශ්න නොකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට දැනුම් දී ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති එස්.අයි.එස්.සම්පත් ලියනගේ  විසිනි.  ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වන ලද්දේ එම බණ්ඩාර පොඩි සහරාන් සමඟ ඇති සම්බන්ධය රහස්‍ය මෙහෙයුමක කොටසක් බැවින් එකී ප්‍රශ්න කිරීම් නතර කරන ලෙසය.

නමුත් ප්‍රශ්නය වන්නේ රාජ්‍ය බුද්ධි සේවය පාස්කු බෝම්බ ප්‍රහාරක කණ්ඩායම තුලට ඔත්තුකරුවකු හෝ ඊට වඩා හෝ යවා සිටියේ නම්, ඔවුන්ගෙන් ලබා ගත් තොරතුරු මොනවාද? යන්නයි.  එම තොරතුරු මොනවාදැයි සොයා ගැනීමට නොහැකි වී ඇත්තේ නිලන්ත ජයවර්ධනගේ රාජ්‍ය බුද්ධි සේවය  සහ චූලා කොඩිතුවක්කු ප්‍රධානියා වූ යුද හමදා බුද්ධී සේවය ඊට ඉඩ නොදුන් නිසාය.

බොරු 'සොනික් සොනික්'

දැන් "සොනික් සොනික්" යනු මෙම බණ්ඩාර නොවන බවට තර්ක කිරීම පිනිස ව්‍යාජ ලිපි පවා සකස් කර ඇති බව අපේ ආරංචි මාර්ග දක්වයි.  තවද 'පනාවලගේ මධුසංක පෙරේරා' නම් රාජ්‍ය බුද්ධි සේවයේ රාජකාරි කළ පොලිස් නිලධාරියකු ප්‍රශ්න කිරීමට කැඳවන ලද ලිපියක් පෙන්වමින්, "සොනික් සොනික්" යනු ඔහු යැයි එම ලිපියේ කොතැනකවත් නැති කරුණක් ව්‍යාජ ලෙස ඉදිරිපත් කරමින් සිටී. එවැනි ලිපි පරීක්ෂණ සඳහා කැඳවන සෑම  අයෙකුටම යවා තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙය වූ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න  " සොනික් සොනික්" යනු උප පොලිස් පරීක්ෂකවරයකු වූ බණ්ඩාර බව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද දිව්රුම් පෙත්සම්හි සඳහන්  කර ඇත.
එය බොරුවක් නම් රවි සෙනවිරත්න අධිකරණය නොමඟ යැවීම යටතේ දඬුවම් ලැබීමට සුදුස්සෙක් වෙයි. මෑතකදී මතු වූ මධුසංක පෙරේරා නම් පුද්ගලයා ඇත්ත "සොනික් සොනික්" නම්  මේ තාක් කිසිදු නිලධාරියෙක් ඒ බව අධිකරණය හමුවේ ප්‍රකාශ කර නැත්තේ මන්ද යන ප්‍රශ්ණයට මෙම දුෂ් තොරතුරු මෙහෙයුම්කරුවන් පිළිතුරු දිය යුතුය.

ඇත්ත 'සොනික් සොනික්' සොයා ගත් අන්දම..! රවි සෙනෙවිරත්න අධිකරණයට ඉදිරිපත් කළ දිව්රුම් පෙත්සම..

එම දිව්රුම් පෙත්සමෙහි අදාල කොටස් හි සිංහල පරිවර්ථවනය පහත දැක්වේ. මෙහි පෙත්සම්කරු ලෙස දැක්වෙන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ  රවි සෙනවිරත්නය.

"58. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු M.C.M. සහරාන් ( බෝම්බ ප්‍රහාරයේ ප්‍රධානියා) සමඟ නිතර සන්නිවේදනය කළ පුද්ගලයෙකුට අයත් අන්තර්ජාල ප්‍රොටෝකෝලය (IP) ලිපිනයක් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ පරිගණක, ජංගම උපාංග සහ අන්තර්ජාල ගිණුම් විශ්ලේෂණය කිරීමෙන්  ඇමරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) සොයාගත් බවත් එමගින් තමන් ද දැනුවත් වූ බව පෙත්සම්කරු පවසයි. එම පුද්ගලයාගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කිරීම ආරම්භ කළ ද ඔහු, M.C.M. සහරාන් සමඟ  හෝ  එන්ටීජේ (එනම් නව තව්ෆික් ජමාද්) ඇති සම්බන්ධය පිළිබඳ කිසිදු තොරතුරක් ලබාදීම ප්‍රතික්ෂේප කළ බව පෙත්සම්කරු පවසයි.  ඉන් අනතුරුව ආරක්ෂක අමාත්‍යාංශය විසින් එවක DMI, එනම් යුද හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චූලා කොඩිතුවක්කු හරහා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම පුද්ගලයාගේ ක්‍රියාකාරකම් ජාතික ආරක්‍ෂක හේතූන් ලෙස වර්ග කර ඇති  ඔහුගේ ක්‍රියාකාරකම් රහස්‍ය බැවින් එම පුද්ගලයා රඳවා තබා ගැනීම වැළැක්වූ බවද පෙත්සම්කරු පවසයි.

59. පාස්කු ප්‍රහාරයෙන් පසු සිදුකළ පරීක්ෂණ තුළින් NTJ සමග සබඳතා පැවැත්වූ මාතලේ ප්‍රදේශයේ පදිංචිව සිටි ‘පොඩි සහරාන්’ හෙවත් 'මාතලේ සහරාන්' නමැත්තා පිළිබඳව රහස් පොලිසියට අනාවරණය කර ගැනීමට හැකි වූ බව පෙත්සම්කරු පවසයි. මෙම ‘පොඩි සහරාන්’ මාතලේ පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවත් පසුව එදිනම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව නැවත අත්අඩංගුවට ගත් බවත් පෙත්සම්කරු පවසයි.

60. 'පොඩි සහරාන්' අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කරන අතරවාරයේ ඔහු 'සොනික් සොනික්' නැමැත්තා සමඟ සන්නිවේදනය කර ඇති බවට අනාවරණය වූ බවත්, ඉන් අනතුරුව එම 'සොනික් සොනික්' නමැති පුද්ගලයාගේ සිම් එක සොයා ගැනීමට රහස් පොලිසියට හැකි වූ බවත් පෙත්සම්කරු පවසයි. IP ලිපිනය හරහා. එම හෙළිදරව්ව මත රහස් පොලිසිය එම ‘සොනික් සොනික්’ භාවිත කළ සිම් කාඩ්පත් සහ අයිපී ලිපිනයන් පිළිබඳ තොරතුරු විමර්ශනය කළ බව පෙත්සම්කරු පවසයි.

පොලිස් කාන්තා සැරයන්වරියගේ සිම් එක..

61. ‘සොනික් සොනික්’ භාවිත කළ සිම්පත කොළඹ නගරයේ රථවාහන කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන පොලිස් කාන්තා සැරයන්වරියකගේ නමින් ලබාගෙන ඇති බවට විමර්ශනවලට අනුව අනාවරණය වූ බව පෙත්සම්කරු පවසයි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම කාන්තා පොලිස් සැරයන්වරියගෙන් ප්‍රශ්න කළ බවත්, එම සිම් කාඩ්පත තමන් අනියම් සබඳතාවක් පැවැත්වූ බව කියන එස්අයිඑස් එනම් රාජ්‍ය බුද්ධි සේවයට  අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂක බණ්ඩාරට ලබා දී ඇති බව හෙළි කළ බවත් පෙත්සම්කරු පවසයි.

62 උප පොලිස් පරීක්ෂක බණ්ඩාර යැයි කියනු ලැබූ පුද්ගලයා සමඟ සී.අයි.ඩී.ය ප්‍රශ්න කිරීමට ගිය විට (රාජ්‍ය බුද්ධි සේවාවේ දෙවැනියා වූ) නියෝජ්‍ය පොලිස්පති එස්.අයි.එස්.සම්පත් ලියනගේ මහතා පෙත්සම්කරු අමතා උප පොලිස් පරීක්ෂක  බණ්ඩාර, පොඩි සහරාන් සමඟ ඇති සම්බන්ධය ජාතික ආරක්‍ෂාවට ඍජුව සම්බන්ධ වූ මෙහෙයුමක රහස්‍ය කොටසක් බැවින් එකී ප්‍රශ්න කිරීම් කරගෙන නොයන ලෙසට පෙත්සම්කරුට දැනුම් දුන් බව පෙත්සම්කරු කියයි. කෙසේ වෙතත්, පෙත්සම්කරු එම නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඉල්ලීම පිළිපැදීම ප්‍රතික්ෂේප කර ප්‍රකාශයක් ලබා ගැනීමට සමත් වූ නමුත් ඉහත කී උප පොලිස් පරීක්ෂක බණ්ඩාර සිය ප්‍රකාශයේ ද එම ස්ථාවරයම ගත් අතර එම ‘පොඩි සහරාන්’ සමඟ ඇති සම්බන්ධය පිළිබඳ කිසිදු තොරතුරක් හෙළි කිරීම ප්‍රතික්ෂේප කළේය."
(උපුටා ගැනීම අවසන්).

දුශ් තොරතුරු මෙහෙයුම පිටුපස සිටින අය පැහැදිලියි..

මෙම සොයා ගැනීම් ප්‍රතික්ෂේප කිරීම ඉලක්ක කර ගත් දුශ් තොරතුරු මෙහෙයුම පිටුපස සිටින්නේ කව්දැයි යන්න, ඉහත දිව්රුම් පෙත්සමේ සඳහන්, සහරාන් කණ්ඩායමට රිංගවා සිටියේ යැයි කියන යුද හමුදා බුද්ධි සේවයේ සහ රාජ්‍ය බුද්ධි සේවයේ පුද්ගලයින් දෙදෙනා සඟවා ගැනීමට ක්‍රියා කළ ඉහළ පෙළේ නිලධාරීන් දෙස බැලීමෙන් හඳුනාගත හැකිය.

මෙම දුෂ් තොරතුරු මෙහෙයුම විදේශයන්හි සිට ගෙන යෑමට පත් කර ඇත්තේද එම ආයතනවලට සම්බන්ධ කුලී ලියන්නන්ය. එවැනි පුද්ගලයින්ගෙන් ප්‍රවේසම්වීම පාස්කු ප්‍රහාරයේ ඇත්ත සාක්ෂි සෙවීමට අත්‍යවශ්‍ය වේ.

-සේ. පියවර්ධන

---------------------------
by     (2023-10-14 13:16:51)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links