(ලංකා ඊ නිව්ස් -2023.සැප්.30, ප.ව.7.20) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිකාරයා පසු ගිය සතියේ ජාත්‍යන්තර වේදිකාවේ දී මහා හයියෙන් ඇද බෑ තනිකරම ගල් පැලෙන බේගලයක් වූයේ, ප්රජාතන්ත්රවාදී සම්ප්‍රදායන්ට එල්ල වූ තර්ජන ඇතුළුව පසු ගිය වසරේ සැලකිය යුතු සමාජ, ආර්ථික සහ දේශපාලන අභියෝග මධ්‍යයේ වුව ද, ශ්‍රී ලංකාව “ප්රජාතන්ත්රවාදී පරිවර්තනයක්” අත්කර ගැනීමට සමත් වූ බවයි.
ගෝලීය භූ දේශපාලනික භූ දර්ශනය, දේශගුණික විපර්යාස, සහ ණය හා තිරසාර සංවර්ධනය වැනි විවිධ අභියෝග ගැන ඔහු එහි දී දොඩමළු විය. විශේෂයෙන්ම කුඩා, දේශගුණික අවදානමට ලක්වය හැකි, සහ ණය බරින් පෙළෙන රටවල් සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවය සහ දේශගුණික මූල්‍ය අවශ්‍යතාවය ඔහු අවධාරණය කළේය.
ඔහු පුනර්ජනනීය බලශක්ති ඉලක්ක, වන සංරක්ෂණය, හා වායු විමෝචනය අඩු කිරීම ඇතුළු දේශගුණික ක්‍රියාමාර්ගවලට කැප වන බව කීවේය; දේශගුණික විපර්යාස හේතුවෙන් ආහාර සුරක්ෂිතතාව, පිරිසිදු බලශක්තිය සහ ජීවනෝපායන් කෙරෙහි ඇති වන බලපෑම පිළිබඳව කනස්සල්ල පළ කළේය.
දේශගුණ මූල්‍යය එක්රැස් කිරීමේ හදිසි අවශ්‍යතාව අවධාරණය කළේය.
ඊට අමතරව, එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි බහුපාර්ශ්වික ආයතනවල ප්‍රතිසංස්කරණ අවශ්‍යතා, විශේෂයෙන්ම ආරක්ෂක මණ්ඩලයේ සංයුතිය පුළුල් කිරීමේ අවශ්‍යතාවය ගැන ද අපේ ජනාධිපතිකාරයා මුළු ලෝකයටම අවධාරණය කළේය.
එමෙන්ම, නිරායුධකරණයේ වැදගත්කම සහ ගෝලීය මිලිටරි වියදම්වල බලපෑම ගැන ද ඔහු අවධාරණය කළේය.
[කොටින්ම කියතොත්, ලෝකයේ දැනට ඇති බරපතලම මාතෘකාවලින් සැලකිය යුතු ප්‍රමාණයක් ඔහු ආවරණය කළේය.]
ජනාධිපතිකාරයාගේ ඒ කථා සියල්ල ඇත්ත වශයෙන්ම හොඳ කථාය. ගැටළුව නම් ඔහු විසින් ලෝකයාට පෙන්වන ලද ශ්‍රී ලංකාවේ පාට පාට පින්තූරයට වඩා රටේ සැබෑ පින්තූරය බොහෝ සෙයින් දුර්වර්ණ වී තිබීමත්, වික්‍රමසිංහ පාලනය විසින් ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති ලෝක වේදිකාවේ උසස් ප්‍රතිපත්ති ප්රකාශනවලට ඉඳුරාම පටහැනි වීමත්ය.
වික්‍රමසිංහ ජනාධිපතිකාරයා අවශේෂ ලෝකයට “ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදී සම්ප්රදාය” හඳුන්වා දෙමින් ගාම්බීර දේශනාවක් පැවැත්වූ ඒ සතියේ දීම, ඔහුගේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ප්රජාතන්ත්ර විරෝධී අතිශය කුරිරු පනත් දෙකක්ම එක පිට එක ගැසට් කළේය.
‘ත්‍රස්තවාදී ක්‍රියාවක්’ යනු කුමක් ද යන්න පිළිබඳ නොපැහැදිලි සහ පුළුල් නිර්වචන සහිත, රනිල්ගේ නවතම “ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත” වනාහී වසර 40 ක් තිස්සේ දේශපාලන විරුද්ධවාදීන් “ගසා දැමීම” උදෙසා භාවිතා කළ “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත” නම් වූ මන්නා පිහියම තවත් මුවහත් කිරීමකි.
ප්රකාශනය හා අදහස් දැක්වීමට ඇති මූලික අයිතිවාසිකම සැලකිය යුතු ලෙස කප්පාදු කිරීමට යෝජනා කරන “ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත” වනාහී රජය හා රාජ්‍ය ආයතන පිළිබඳ විවේචන මැඩලීම සඳහා ගෙන එන තවත් මර්දන මෙවලමක් මිස අන් යමක් නොවේ. මීට පෙර ද මේ වික්‍රමසිංහ නමැති පුද්ගලයාගේම පාලන කාලයක දී ගුවන්විදුලි නියාමන කොමිෂන් සභා පනත නම් කෙටුම්පතක් මගින් ද මෙවැනිම අයිතීන් කප්පාදුවකට උත්සාහ කළ අතර එය මහජන විරෝධතා හේතුවෙන් ඉල්ලා අස් කර ගැනීමට සිදු විය.
ශ්‍රී ලංකාවේ “ප්රජාතන්ත්රවාදී සම්ප්රදාය” ගැන පිටරට ගොස් අඬහැර පාන වික්‍රමසිංහ ජනාධිපතිකාරයා විසින්ම තමන් උපන් රටේ පළාත් පාලන මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දමා තිබේ. ප්රජාතන්ත්රවාදී සම්ප්රදා ගැන කතා කිරීමට පෙර ක්‍රියාකාරී ප්රජාතන්ත්රවාදයේ අවම ප්‍රමිති මෙන්ම, නිදහස්, සාධාරණ හා විධිමත් මැතිවරණ පැවැත්වීමේ අවශ්‍යතා සපුරාලිය යුතුය.
ශ්‍රී ලංකාව සිය දරුණු ආර්ථික අභියෝග ජය ගෙන ඇති බව මේ සැප්තැම්බර් මාසයේ දී ලෝකයට ප්‍රකාශ කරන වික්‍රමසිංහ ජනාධිපතිකාරයා, ඒ වසරේම අප්‍රේල් මාසයේ දී පාර්ලිමේන්තුවට වාර්තා කර ඇත්තේ මැතිවරණය පැවැත්වීමට නොහැකි තරමට සල්ලි නැති බවයි.
“දැන් ඉලෙක්ෂන්වලට සල්ලි නැහැ. සල්ලි තිබුණත් දැන් ඉලෙක්ෂන් එකක් නැහැ. ඉතින්, අපි මොකද කරන්නේ?" යනුවෙන් මේ [බොළඳ] රාජ්‍ය නායකයා එදා උපහාසාත්මකව ප්‍රකාශ කළේ, මේ වන විට දින නියමයක් නොමැතිව කල් දමා ඇති පළාත් පාලන මැතිවරණය සම්බන්ධවයි.
රාජ්‍ය අංශයේ අනවශ්‍ය වියදම් කප්පාදු කිරීම සඳහා කිසිදු උත්සාහයක් නොගන්නා ආණ්ඩුව මැතිවරණ කල් දැමීමට පියවර ගෙන ඇත.
පසු ගිය දශක දෙක තුළ පැහැදිලිව දක්නට ලැබුණු, අවසානයේ ශ්‍රී ලංකාව මූල්‍යමය වශයෙන් බෙලහීන කළ, ජනතා මුදල් අපහරණය කිරීමේ බරපතල වාතාවරණයක් තවමත් රටේ පවතින මොහොතක, නිව්යෝර්ක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අසාමාන්‍ය ලෙස විශාල නියෝජිත පිරිසක් රැගෙන යාම සඳහා වික්‍රමසිංහ ජනාධිපතිකාරයා පසුබට වූයේ නැත.
දේශපාලකයන්ගේ බලු ප්‍රතිපත්ති නිසා රටේ බහුතරය තවමත් දැවැන්ත ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන මොහොතක, බදු ගෙවන්නන්ගේ රුපියල් වියදම් කර, ශ්‍රී ලංකාවේ යටි පැත්ත බැලීම සඳහා අතිවිශාල [අමන] නියෝජිත පිරිසක් රැගෙන යාමට වික්‍රමසිංහ ජනාධිපතිකාරයාට ලැජ්ජාවක් තිබුණේ නැත.
ආර්ථිකය හෝ ‘ප්රජාතන්ත්රවාදී සම්ප්රදාය’ හෝ වේවා, ශ්‍රී ලංකාවේ යථාර්ථය නිව්යෝර්ක් නුවර දී ජනාධිපතිකාරයා දේශනා කළාට වඩා බොහෝ පරස්පරය. [වැරහැලි පොරවා ගත් ඇඹෙණිය ගෙයි ඇතුළේ බඩගින්නේ තැවෙද්දී, “ආ! එයා මගුල් ගෙදරක ගියා!”යයි කිව්ව මිනිහා වාගේය.]
- 2023 සැප්තැම්බර් 26 වන දින DailyFT වෙබ් අඩවියේ පළ වූ, “Reality in Sri Lanka very different from speeches in New York” නම් කතු වැකිය සිංහලට නැගුවේ,
ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68
---------------------------
by (2023-09-30 13:51:50)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි