-ශාන්ත ජයරත්න ලියයි
(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.01, ප.ව.10.00) ප්‍රංශයේ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්, ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහූ සහ ලංකාවේ අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර අසමාන කම් වලට වඩා සමානකම් බොහෝය. මොවුන් තිදෙනාම රටේ ජනයාගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් අමු අමුවේ උල්ලංඝනය කරමින් රටේ බලය පවත්වා ගැනීමට නොකරන දෙයක් නැත.
පසුගිය සිකුරාදා මධ්‍යම රාත්‍රියේ නිව් කැල්ඩෝනියා සහ වනවාටු සංචාරයකින් පසු පැපුවා නිවිගිනියාව දක්වා යන අතර තුර ප්‍රංශ ජනාධිපති එමානුවල් මැක්රෝන් තම නිල ගුවන් යානය එයාර් බස් A330 නිල ඉන්ධන ලබා ගැනීම සඳහා (Refueling ) පැයයි විනාඩි පහළොවකට කටුනායක ගුවන් තොටුපළට පැමිණි අතර ලංකාවේ අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී කෙටි සාකච්ඡාවක් පැවැත්වූ බව මාධ්‍යයේ දකින්නට ලැබුණි.
මැක්රෝන් පළමු වතාවට ප්‍රංශයේ ජනාධිපති වන්නේ 2017 වර්ෂයේ ය. එකල ඔහු තරුණ ඉතා ජනප්‍රිය නායකයෙක්. එහෙත්, ඔහු 2022 දෙවන වරට බලයට පත් වීමත් සමග ජනතා විරෝධී, ප්රජාතන්ත්ර විරෝධි අණ පනත් සම්මත කරගැනීමට යෑම තුල මේ වන විට ඔහුගේ ජනප්‍රියත්වය ඉතා සීඝ්රයෙන් පහළ ගොස් තිබෙන බව සමීක්ෂණ වාර්තා පෙන්වා දෙනවා. 58%ක වැඩි ඡන්දයෙන් දෙවන වතාවට ජනාධිපති වූ මැක්රෝන්ගේ ජනප්‍රියත්වය මේ වන විට 26% දක්වා සීඝ්රයෙන් පහළ ගොස් තිබෙනවා. ඉදිරි මාස කිහිපය ඔහුට ඉතා තීරණාත්මකයි. මන්ද ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනා කිහිපයක්ම පාර්ලිමේන්තුවට ගෙන ඒමට සූදානමක් තිබෙන බව වාර්තා වෙමින් තිබෙනවා. රටේ ජනයා ඔහු කෙරෙහි විශාල අප්‍රසාදයකින් පසු වෙනවා.
මැක්රෝන් දැනට මාස කිහිපයකට පෙර පනතක් ගේන්නේ වැඩකරන සේවකයන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 62 සිට 64 දක්වා ඉහළ දැමීමට. කිසිදු මහජන මත විමසීම කින් හෝ දැණුම්වත් කිරීමකින් තොරව ගෙන ආ එම යෝජනාවට රටේ ජනයා දැඩි සේ විරුද්ධ වන්නේ ඔවුන්ට විශ්‍රාම ජීවිතය ගත කිරීමට එකවර ලැබෙන විශ්‍රාම වැටුප තවත් වසර දෙකක් යනතුරු ලබා ගැනීමට තිබෙන අවස්ථාව අහිමි කිරීමට යෑම නිසයි. මැක්රෝන් බලාපොරොත්තු වන්නේ වාර්ෂිකව ගෙවිය යුතු විශාල මුදලක් තවත් කාලයක් ප්‍රමාද කිරීම තුල දුර්වල වෙමින් තිබෙන ආර්ථිකය යම් මට්ටමකට පාලනය කර ගැනීම යි. එහෙත් ජනයා එම පනතට විරුද්ධව වීදි බැස උද්ඝෝෂණ මාලාවක් ප්‍රංශයේ පැරිස් සහ අනෙකුත් නගරවල දියත් කරනවා. මැක්රෝන් ඔහුගේ පොලීසිය සහ මිලිටරි හමුදා යොදවා දැඩි මර්ධනයක් දියත් කරනවා. සිය ගණනක් අත් අඩංගුවට ගන්නවා.
මේ වන විට ලංකාවේ සිදුවන්නේත් එවැන්නක්. වැඩ කරන සේවකයාට අයිති සේවක අර්ථසාධක අරමුද ඔවුන්ගේ කැමත්තකින් හෝ විමසීමකින් තොරව, මංකොල්ල කෑමට විරුද්ධව පැන නැගී තිබෙන සියළු විරෝධතා නොතකා රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයා සහ ඔහුගේ රජය ණය ප්‍රශස්තකරණය මුවාවෙන් අසාධාරණ ලෙස විශ්‍රාමිකයාට හිමිවිය යුතු ප්රතිලාභ අහිමි කිරීමට කටයුතු කරමින් සිටිනවා. ප්‍රංශයේ මැක්රෝන්ගේ විශ්‍රාම වයස කල් දමා සේවකයින්ට ලැබිය යුතු පාරිතෝෂිකය ලබා දීම වසර දෙකකින් ප්‍රමාද කිරීමත් එක්තරා ආකාරයකට මෙයට සමානයි.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එක් මූලධර්මයක් වන්නේ සෑම ණය හිමියෙකුටම සාධාරණ වීම සහ සමාන වීම ( Fair and Equitable ) තහවුරු කළ යුතු වීමයි. රජයට ණය දී තිබෙන්නේ සේවක අර්ථසාධක අරමුදලේ හිමිකරුවන් වන ඔබයි. එසේ නම් අන් ණය හිමියන්ට සලකන අයුරින්ම ඔබටත් සැලකිය යුතු යි. ඔබ මෙන්ම ප්‍රාථමික ගැණුම්කරුවන් සහ මහාපරිමාන ව්‍යාපාරිකයන් දිගුකාලීන භාණ්ඩාගාර බැඳුම්කර හරහා රජයට ණය දී තිබෙනවා. එහෙත් ඔවුන්ට කිසිදු හානියක් හෝ මූල්‍යමය පාඩුවක් සිදු නොකිරීමට රනිල් වික්‍රමසිංහ රජය වග බලා ගන්නවා. ණය හිමියන් දෙගොල්ලකට දෙවිදිහකට සැලකීම කෙතරම් සාධාරණ ද?
මැක්රෝන් තම බලය පාවිච්චි කොට පොලීසිය සහ හමුදාව යොදවා පහරදී දැඩි මර්දනයක් දියත් කොට සිය ගණනක් අත් අඩංගුවට ගෙන කෙසේ හෝ ව්‍යවස්ථාවේ පැවති හිලකින් රිංගා පාර්ලිමේන්තු විවාදයකට ඉඩ නොදී එම පනත ප්රජාතන්ත්ර විරෝධීව සම්මත කරගැනීමට කටයුතු කරනවා. එහෙත් රටේ ජනයා අවස්ථාවක් එන තුරු බලා සිටින්නේ එමානුවෙල් මැක්රෝන්ට හොඳ පාඩමක් ඉගැන්වීමට යි. මැක්රෝන් කිසිවක් සිදු නොවූ ලෙස පසුගිය දා එක් නගරයක පාසැලක් සහ දැව කර්මාන්ත ශාලාවක් නිරීක්ෂණයට පැමිණි අවස්ථාවක ජනයා තම නිවෙස් වල තිබෙන හැලි වලං වලට තට්ටු කරමින් මාර්ගයට පැමිණ ඔවුන්ගේ අප්‍රසාදය පල කිරීමට කටයුතු කොට තිබුණා. මැක්රෝන්ට තම රටතුල පවතින තත්ත්වයට සමාන තත්ත්වයක් ලංකාවේ අනුප්‍රාප්තික ජනාධිපතිට නොතිබෙනවා කියා යමෙක් හිතනවා ද?
ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු විවිධ උපක්‍රම මගින් 07 වන වරටත් පසුගිය නොවැම්බර් මස ඊශ්‍රායලයේ අගමැති තනතුරට පත්වනවා. මොහුට විරුද්ධව මැතිවරණ දූෂණ චෝදනා සහ මහජන මුදල් අවභාවිතාව පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කිහිපයක් පවතිනවා. මෙවර බලයට පැමිණි විගස නව පනතක් ගෙන එමින් රටේ ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතල කප්පාදු කිරීමට නෙතන්යාහු උස්සාහ කරනවා. එමගින් ඔහු බලාපොරොත්තු වන්නේ කැබිනට් මණ්ඩලය අනුමත කරන කිසිදු අණපනතක් අධිකරණයේ අභියෝගයට ලක් කළ නොහැකි බවට නීතියක් සම්මත කිරීම යි. මෙතෙක් පැවති සංවරණ හා තුලන න්‍යාය (Checks & Balances) ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමට ඔහු කටයුතු කරනවා. කැබිනට් මණ්ඩලයේ තීරණය අවසනාත්මක බවට නෙතන්යාහු තීරණය කරනවා. මෙම යෝජනාව මගින් ඔහුට විරුද්ධව විභාග වෙමින් පවතින නඩු සහ චෝදනා ඉවත් කරගැනීම සහ ඔහුට අවශ්‍ය පුද්ගලයන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාර ධූර සඳහා පත්කර ගැනීම නෙතන්යාහුගේ අරමුණ යි. රටේ පොදු ජනයා ලක්ෂ ගණනින් වීදි බැස ඊට විරුද්ධව නැගී සිටිනවා. රටේ වෘතිකයන් ඊට සහයෝගය දක්වනවා . රට අකර්මණ්‍ය වෙනවා. නෙතන්යාහු තරමක් පසු බැස පනත සම්මත කිරීම ප්‍රමාද කොට තිබෙනවා.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයා හැසිරෙන්නේ නෙතන්යාහුලාට වඩා ස්මාට් විදිහටයි. පළාත් පාලන මැතිවරණය ඔහුට අවාසි බව අවබෝධ වීමත් සමග එය කල්දැමීම සඳහා මැතිවරණ කොමසාරිස් වරුන්ට මරණීය තර්ජන තිබෙන බව මාධ්‍ය හරහා ප්‍රචාරය කොට ඔවුන්ට ඉල්ලා අස්වීමට කියනවා. ඉන් පසු ඔවුන් ආණ්ඩු කාරවරුන් හෝ වෙනත් කොමිෂන් සභා සාමාජිකයන් හැටියට පත් කරනවා.එසේ නැතහොත් තානාපති තනතුරක් ලබා දී පිටරටකට යවනවා. රජයේ මුද්‍රණාලයාධිපතිට වරප්‍රසාද ලබා දීමට එකඟ වී ඡන්ද පත්‍රිකා මුද්‍රණය කඩාකප්පල් කරනවා. සේවා දිගු සහ වෙනත් වරප්‍රසාද ලබා දෙනවා. ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් ලබා නොදීම නීති විරෝධි බවට නඩු තීන්දු ලබා දුන් විනිසුරුවරුන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභා ඉදිරියට කැඳවා බලපෑම් කිරීමට කටයුතු කරනවා.
එමානුවෙල් මැක්රෝන්, බෙන්ජමින් නෙතන්යාහු සහ රනිල් වික්‍රමසිංහ එක වල්ලේ පොල් නොවෙයි ද?
එක් විශේෂත්වයක් තිබෙන්නේ ප්‍රංශයේ ජනාධිපති මැක්රෝන් නීති විරෝධි පනතක් ගේන විට ඒ රටේ ජනයා පක්ෂ භේදයකින් තොරව ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරගැනීමට පාරට බැස සටන් කළා. ඔවුන් පක්ෂ වශයෙන් බෙදුනේ නැහැ. ඊශ්‍රායලයේ අගමැති නෙතන්යාහු ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කරන විට එහි ජනයා ඔහුට විරුද්ධව වීදි බැස්සා. අත් අඩංගුවට පත්වූවා. ඒ රටවල ජනයා තම ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් එකාවන්ව කටයුතු කරනවා.
ලංකාවේ ජනයා එසේ තම අයිතිවාසිකම් උල්ලංඝනය කරන පාලකයන්ට විරුද්ධව නැගී සිටිනවා ද ? රටේ ජනයාද ඔවුන්ගේ නායකයින් මෙන් නිල්, කොල, රතු පාට, පක්ෂ වලට බෙදී තමන්ගේ වරප්‍රසාද කොල්ල කෑමට ඉඩදී බලා සිටින වා.
මේ දිනවල සේවක අර්ථසාධක අරමුදලට වන හානිය වලක්වා ගැනීමට යම් වෘත්තීය සමිති සාමාජිකයන් කටයුතු කරද්දී , එජාපයට හෝ පොහොට්ටු පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති එම උද්ඝෝෂණ අරගල වලට සම්බන්ධ නොවී ඒවාට විරුද්ධව කටයුතු කරනවා. මාධ්‍ය සාකච්ඡා තබනවා. මන්ද ඔවුන්ගේ පාලකයන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කල ද ඔවුන්ට කම් නැහැ. ඔවුන් හිතන්නේ ඒ අපේ පක්ෂය කියාය. එහෙත් වෙනත් රටවල ජනයා ඊට හාත්පසින්ම වෙනස්.
කීමට ඇත්තේ මෙයයි. ලංකාවේ ජනයිනි, ප්‍රංශයේ ජනයාගෙන්, ඊශ්‍රායලයේ ජනයාගෙන් පාඩම් ඉගෙන ගනිල්ලා !!
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/102
---------------------------
by (2023-08-01 16:31:07)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි