-විශ්ව විද්‍යාල සමාජ විද්‍යා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයකු ලියයි
(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.19, ප.ව.10.30) මේ දිනවල කොළඹ, කිරුළපන ඇලන් මැතිණියාරාම විහාරස්ථානය ඉදිරියේ ප්‍රදර්ශනය කෙරෙන අමුතු ආකාරයක බැනරයක සේයාරුවක් අප සමාජ විද්‍යාව හදාරන සිසු සිසුවියන් අතරේ විද්‍යුත් ක්‍රම වලට සංසරණය වෙමින් තිබේ. එම විහාරස්ථානයේ ලබන අගෝස්තු 01 දා පැවැත්වෙන වස් ආරාධනා පින්කමක් පිළිබඳව දැනුම් දීම පිණිස ප්‍රදර්ශනය වෙමින් තිබෙන එම බැනරයේ සිරස්තලය වනුයේ “සොඳුරු වස්සානයේ ඇරඹුම” යන්න ය.
අප රටේ කාලගුණික රටාව අනුව අගෝස්තු මාසය වස්සානයක ඇරඹුමක් නොවේ. අප කුඩා කාලයේ පාසල් දරුවන්ට ලබා දුන් අගෝස්තු නිවාඩුව හැඳින්වෙන ලද්දේ ග්‍රීෂ්ම නිවාඩුව යනුවෙනි. ඒ අනුවම එම 'සොඳුරු වස්සානය' යන්න අරුත් සුන් වූවකි.
ඒ කෙසේ වුවද එළැඹෙන ග්‍රීෂ්මය තුළින් සොඳුරු වස්සානයක් නිර්මාණය කළ එම විහාරස්ථානයේ නූතන අධිපති පදවිය දරනුයේ වත්මන් ජනප්‍රිය බුද්ධාගම තුළ ජනකාන්ත භික්ෂු චරිත අතුරිනිදු සුපිරි තරුවක් සේ බැබලෙන උඩුවේ ධම්මාලෝක භික්ෂුව ය. ධර්ම විනය ධර බව, ශීල වෘද්ධ ගුණ වෘද්ධ බව වශයෙන් කිසිදු අගැයුමක් කළ නොහැකි පසුබිමක බුදුන් වදාළ ධර්ම විනය ප්‍රඥප්තීන් වල හතර මායිමට උඩින් පැන රට, ජාතිය, ආගම බේරා ගැනීම නම් වන රන් මසුරන් කඩන කෙක්ක අතැ'තිව සිංහල බෞද්ධ සමාජය පුරා ඉබාගාතේ වැඩම කොට බුදුන් අනුදැන වදාළ අල්පේච්චතාව සුනු විසුණු කළ ඒ භික්ෂුව අපට නුහුරු නුපුරුදු චරිතයක් නොවේ. අද වන විට ඔහු සමාජයේ සිටු වරයකු මහා ධන කුවේරයකු බවට පත්ව හිඳින බවත් පස්කම් සැප උතුරා යන ලෞකිකත්වයෙන් සපිරි දිවියක් ගත කරන බවත් සාමාන්‍ය සමාජ විඥානයක් සහිත ඕනෑම කෙනකුට පහසුවෙන් වටහා ගත හැක.
මහනුවර රාජධානි සමය තෙක් විවිධ යුග වල සඟ රජ වරුන් ගැන අසන්නට ලැබිණ. නමුත්, අද වන විට සඟ රජ වරුන් නොමැති වුව ද සඟ සිටු පැලැන්තියක් බිහි වී තිබේ. "වනවාසී" යන වදන කූට සන්නාමයක් ලෙස යොදා ගත් නාමල් උයනට බහිරව වෙසින් අරක් ගත් රාහුල නම් භික්ෂුව තමන් මේ වන විට අතිසුඛෝපභෝගී බී.එම්. ඩබ්ලිව් රථයක් හිමි සිටු වරයකු බව ඒ වචන වලින්ම යූටියුබ් සාකඡාවක දී පසුගිය දා පැවසීය. ඒ අනුව මහ ජනයාගෙන් රුපියල් කෝටි ගණන් ගසා කෑ ඔහුට බුදු සමයේ හුළඟක් වත් වැදී නැති බව ඒකාන්ත සත්‍යයකි. නමුත් අවාසනාව වනුයේ මෙවන් ශ්‍රමණ ප්‍රතිරූපකයන් බුදු සසුන වනසන පිළිලයන් බවට පිළිගැනීමක් පොදු සමාජය තුළ නොමැති වීම ය.
බුදුන් වහන්සේ අනුදැන වදාළ ශ්‍රමණ ආකල්ප වලින් ඉඳුරාම වෙනස් ගමන් මඟක යමින් සමාජමය ප්‍රතිරාවය ගොඩනංවා ගැනීම පිණිස වන නිල ඇඳුම සේ බුද්ධ චීවරය ඇඟලා සිටින මෙවන් කූට ජාවාරම්කාර භික්ෂුන් ඒ ඔස්සේ බුදු දහමට කරනු ලබන නිගරුව කියා පෑම සඳහා අද මම ඉහත සඳහන් බැනරයේ කතාව යොදා ගතිමි.
ඉහත සඳහන් බැනරයේ ඇති ‘සොඳුරු වස්සානය’ යන යෙදුම භික්ෂුන් ගේ වස් සාර මාසය හා කවර ලෙසකින් වත් ගලපා ගත නොහැක. මක් නිසා ද ‘සොඳුරු’ යන වදනේ ව්‍යවහාරික අරුතින් හුදෙක් ලෞකිකත්වය පදනම් කර ගත් කාමභෝගී බව හැඟවෙන බැවිනි. ඒ අනුව එය උඩුවේ ධම්මාලෝක භික්ෂුවගේ ධර්ම ශාස්ත්‍රීය නිර්වස්ත්‍ර බව එළි දක්වන්නක් බව නිසැක ය.
වත්මන් ශ්‍රී ලාංකේය ජන සමාජය ඉතිහාසයේ අන් කවර දිනෙකටත් වඩා එෛහලෞකීයකරණය නතුව ඇති බව අතිශයින් පැහැදිලි ය. විශේෂයෙන් වත්මන් නාගරික ඉහළ මධ්‍යම පාන්තික පරමාදර්ශ අතරේ කාමභෝගීත්වයට ම ඉහළ අගයක් හිමි ව තිබේ. එය ඇතැම් විට "ෆන් එකක් ගැනීම" ලෙස ද ව්‍යවහාර වෙයි. මෙය සුබපරමවාදය (Hedonism ) නම් තත්වය වෙත සමාජය යොමු කෙරෙන මංපෙතකි. එය ප්‍රඥාවන්තයන් හට සසර කලකිරුවන්නක් බව ගිරග්ග සමජ්ජ නම් කාමභෝගී සැනකෙළිය දැකීමෙන් සසර කළකිරී පැවිදි බිමට පත් කෝලිත, උපතිස්ස, දෙමිතුරාණන් ගෙන් පෙනෙයි. පසුව සැරියුත් මුගලන් නමින් බුදුන් ගේ අග සව්වන් බවට පත් වූවෝ ද ඔව්හු ය. එවන් පසුබිමක් තුළින් උඩුවේ ධම්මාලෝක භික්ෂුව වස් සාර මාසයේ පවත්නා ආධ්‍යාත්මික බව යටපත් කොට ඊට "සොඳුරු බවක්" ආරෝපණය කිරීම ඒ භික්ෂුව ගේ ගේ සමස්ත භික්ෂු ප්‍රජාවේ මෙන්ම මුළුමහත් ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජයේ ම පිරිහීම කදිමට සනිටුහන් කරවන්නකැයි අපට සිතේ.
බෞද්ධ මූලාශ්‍ර වලට අනුව වස්සාන සෘතුව ලෙස සඳහන් වනුයේ ඇසළ මස අව පෑලවිය පටන් ඉල් මස පුන් පොහොය දක්වා සාර මස් කාලයයි. බුදුන් වහන්සේ පහළ වූ භාරතය තුළ අදටත් ඉහත කී සෘතුවල ඒ ඒ කාර්යයන් ස්වභාවික වශයෙන් සිදු වන බව නොරහසකි. නිදසුනක් ලෙස පසුගිය දින කිහිපය තුළ උතුරු ඉන්දියාවට බල පෑ මෝසම් තත්වය මත යමුනා නදිය පිටාර ගැලීමෙන් දිල්ලිය අවට පහත් බිම් යට වී විශාල පිරිසකට විපත් සිදු වූ අතර හිමාචල් ප්‍රදේශ් වැනි උස් බිම් ද එම වර්ෂාවේ බලපෑමට නතු විය. බුද්ධ චරිතය හා මෙම භාරත වස්සාන සමය නිරන්තර සබැඳියාවකින් තිබූ බව ධර්ම විනය කරුණු පරිශීලනයේ දී පෙනී යයි. පෙළ දහමේ සඳහන් අන්දමට බෝසතුන් බුද්ධත්වය ලැබ, පළමු මංගල ධර්ම දේශනය වූ දම්සක් පැවතුම් සූත්‍ර දේශනය බරණැස ඉසිපතනයේ දී පස්වග මහණුන්හට දේශනා කරන්නට යෙදුණේ ද මෙකී වස්සාන සෘතුව ආරම්භ වන ඇසළ පුන් පොහෝ දිනකදී ය. එසේ එම දේශනය සිදු කොට අනතුරුව බුදුන් වහන්සේ පළමු වැසි සාර මස එහිම වැඩ විසූ බව සඳහන් ය. ඒ අනුව පිළිවෙතක් ලෙස නොවූවත් මෙම වර්ෂාවෙන් ආරක්ෂා වීම හෙවත් වස් විසීම ප්‍රායෝගිකව සිදු කරන ලද්දක් බව පෙනෙයි.එතැන් සිට සිට බොහෝ කාලයක් යනතුරු භික්ෂූන් සඳහා වස් විසීමේ නියමයක් පනවා නොතිබුණ ද සම්ප්‍රදායක් ලෙස ලෙස බුදුන් වහන්සේත්, ශ්‍රාවකයන් වහන්සේලාත් මුලදී සම්ප්‍රදායක් ලෙස ලෙස වස් කාලයෙහි චාරිකාවේ නොගොස් එකම තැන වැඩ වාසය කොට තිබේ. මෙසේ කල් ගතවත්ම ක්‍රමයෙන් භික්‍ෂු පිරිස වර්ධනය වීමෙන් අනතුරුව භික්‍ෂු පිරිස කෙරෙන් චර්යාත්මක විෂමතා හට ගත් බව පෙනෙයි. ඒ අනුව වැසි කාලය තුළදී ද ගම්, නියම්ගම් සැරිසරමින් ධර්මය ප්‍රචාරණය කරන්නට ද උන්වහන්සේලාගෙන් කොටසක් කටයුතු කළ අතර, එය විවිධ ජනයාගේ දෝෂ දර්ශනයට ලක්වන්නට විය.
බෞද්ධ සාහිත්‍යයේ සඳහන් අන්දමට මෙම චෝදනාව මුලින්ම එල්ල වී ඇත්තේ ජෛන ශාස්තෲ නිඝණ්ඨනාථ පුත්ත ආදී ශාස්තෘවරුන් මුල් කරගත් භක්තිකයන්ගෙනි. එයට ප්‍රධාන හේතුව වූයේ ඔවුන්ගේ ආගම පරම අවිහිංසාවාදී දහමක් වීම ය. වැසිකාලය තුළ ඇවිදීමෙන් දලු ලා වැඩෙන කුඩා, කුඩා තණකොල ආදී ශාක පත්‍ර විනාශ වීමත්, එය ප්‍රාණඝාතයක් හැටියටත් ඔවුන් අදහස් දැක්වූහ. තිරිසන් සතුන් පවා වැසි කාලයේ තම කූඩුවල, කැදලිවල සිටින නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස තුළ එබන්දක් දක්නට නැත යයි විවිධ චෝදනා එල්ල කළහ. බුදු දහම ගස්, කොළන් ආදියට පණ ඇතැයි පිළිගැනෙතත් සත්ත්වයන්ට මෙන් විඥානයක් ඇති බව නොපිළිගනියි. එසේ හෙයින් තණකොළ ආදී ගස්, පැළෑටි වර්ග පෑගීම බුද්ධ ධර්මයේ හැටියට පාපයක් නොවේ. නමුත් බුදුන් වහන්සේ වස් කාලයෙහි එක් තැනකට වී වාසය කිරීම යහපත් බව පවසා ශික්‍ෂා පදයක් පනවන්නට යෙදුණි. මෙය උපසම්පන්න භික්‍ෂුන් හා සම්බන්ධ වූ ශික්‍ෂා පදයකි. “ අනුජානාමි භික්ඛවේ, වස්සානෙ වස්සං උපගන්තුං” යනුවෙන් වස්සාන සෘතුවෙහි වස් එළඹීමට මෙන්ම පෙර වස්, පසු වස් යනුවෙන් වස් විසීම් දෙකක් පෙන්වමින් අසවල් දිනයෙහි මෙසේ වස් සමාදන් විය හැකියැයි පෙන්වා බුදුහු වදාළහ. ඒ අනුව එතෙක් පැවැති සම්ප්‍රදායක් ප්‍රඥප්ති ගත වීමක් බව සැලකිය යුතු ය.
පෙළ දහමට අනුව වස් සමාදානය ඉතා වටිනා මෙන්ම අගනා උතුම් වූ විනය කර්මයකි. ඊට හේතුව එය මුලුමනින්ම භික්ෂූන් තම ආධ්‍යාත්මික සංවරය සඳහා කැප කළ යුතු කාලයක් වීම ය. මෙබඳුම සාර මාසයක් ජෛන ශාස්තෲ නිඝණ්ඨනාථ පුත්ත ද නම් කොට ඇති අතර එය හැඳින්වෙනුයේ චර්තුර් මාස සංවරය යනුවෙනි. වස් සමාදානය තුළ, වස් ආරාධනාව සුවිශේෂී වූවකි. දායක කාරකාදීන්ගේ ආරාධනාවක් ලැබුණත්, නොලැබුණත් සුදුසු ස්ථානයක් නොලැබීම් ආදී බාධාවක් නැතොත් භික්‍ෂූන් විසින් වස් විසිය යුතු ය. වස් ආරාධනා කරනු ලබන්නේ හුදෙක් දායක පින්වතුන්ගේ ප්‍රයෝජනය පිණිස ය.එසේම භික්ෂූන්ට වස් ආරාධනා කිරීම ගිහි සමාජයේ යුතුකමක් වුව තමන්ට වස් විසීමට ඇරයුම් කරන ලෙස ඉල්ලා සිටීමේ හිමි කමක් භික්‍ෂුන් හට නොමැත.
වර්තමානයේ මෙන් විහාරාධිපති පදවි නොතිබූ එකල භික්‍ෂූන් නිතර එක තැනක වාසය නොකළහ. ග්‍රාම වාසය භික්ෂූන් හට කැප වුවද නූතනයේ මෙන් තාප්ප වලින් වට කළ පන්සල් තනාගෙන; වායු සමීකරණ යන්ත්‍ර පවා සවි කොට භික්ෂූන් ඒවායේ පැලපදියම් වීමක් දක්නට නොලැබුණි. එයින් දායක පිරිසට අවශ්‍ය වෙලාවට බණක් ඇසීමට, දනක් පූජා කිරීම ආදි ගැටලු ද මතුවිය. යම් ප්‍රදේශයක භික්‍ෂූන් වස් වසවා ගන්නට ලැබුණොත් ඔහුනට සිව් පසයෙන් උපස්ථාන කිරීමෙන් දායක පක්‍ෂයට පින් සලසා ගැනීමටත්, යහපත සලසා ගැනීමටත් හැකි වන නිසා ඒ වස්සාන කාල ආරම්භයේ දී ගිහියෝ ඒම පන්සල් වල වැඩ වසන භික්ෂූන්ට වස් සාර මාසයේ එහි වැඩ වසන ලෙස ඉල්ලා සිටියහ. එහි දී ගිහි, පැවිදි යන දෙපිරිසම අතර ආධ්‍යාත්මික පක්ෂය මුල් කොට ගත් අන්‍යොන්‍ය සුසංවාදයක් සහ සම්බන්ධතාවයක් ගොඩ නැගුණු අතර ගිහි පාර්ශවයට සාමාන්‍ය කාලවලට වඩා චිත්ත දමනය මුල් කොට ගත් සදාචාර මාර්ගය වෙත යොමු වීමට ද මෙම සාර මාසය තුළ නිරතුරුවම අවකාශ ලැබිණ. එමෙන්ම මෙම වස්සාන කාලය තුළ ගිහි ජනතාව ද තමන්ගේ කෘෂි කාර්මික ගව පාලන ව්‍යාපාරික කටයුතු වලින් දුරස් වී සිටි බැවින් මෙම කාලය සීල, භාවනා දී ගුණධර්ම පිරීමෙන් නිතර කල් ගෙවන ආධ්‍යාත්මික සමයක් ලෙස සම්මත විය.
එහෙත්, උඩුවේ ධම්මාලෝක භික්ෂුවගේ පන්සලෙන් සන්නිවේදනය කෙරෙන එම වස්සානයේ ඇති "සොඳුරු බවක්" පිළිබඳව ගෞතම බුදුන් ගේ තබා අට විසි බුදු වරුන් ගේ ශාසන තුළින් වත් අසන්නට නොලැබීම මත ඉහත සඳහන් සොඳුරු වස්සාන මායාව ශාසන විලෝපනයක් හෙවත් විලම්බීතයක් බව එක හෙළා කිව යුතු ය.
උඩුවේ ධම්මාලෝක භික්ෂුව මෙලෙස බුදු දහම සැහැල්ලුවට නිගරුවට පත් කරන අතරේ මගේ සිහියට නැංවෙන ලද්දේ සුත්ත නිපාතයේ සඳහන් රමණීය සුත්‍ර දේශනාවක් වන ධනිය සූත්‍රයයි. මහා ධනවතකු; පශු සම්පත් හිමි කරුවකු වූ ධනිය ගෝපාලක වරක් තම ගවයින්ට තණ කවා බිරිඳ සහ දරුවන් සමග මහී ගං තීරයේ තාවකාලික ව නැවතී සිටියහ. ඒ රාත්‍රියේ මහා වැහි වළාකුළු අහස් කුස නැංවෙන අයුරු බලා සිටි ද එය සොඳුරු වස්සානයක ඇරඹුම සේ සිතා මහත් සතුටට පත් විය. තමන් දැන් සොඳුරු වස්සානයකට මුහුණ දීමට අවශ්‍ය සියළු දෙයින් සංතෘප්ත බැවින් මහා වැසි වසින්නැයි ඔහු වළාවන්ට ගීතයෙන් ඇරයුම් කරන්නට විය.
සැවැත්නුවර දෙව්රම් වෙහෙරේ වැඩ සිටි බුදුන් වහන්සේ මේ සිදුවීම දිවැසින් දුටහ. තමන් වහන්සේ නො වැඩියහොත් එදින මහ රෑ වසින වැස්සෙන් ගඟ උතුරා ගලා ගොස් ඇතිවන භයානක ගං වතුරකට මේ සියලු දෙනා ගොදුරු වී විනාශ වන බව ද දුටහ. ඒ අනුව මේ ජල ගැල්මෙන් පමණක් නොව, සංසාර නම් වන මහා ඕඝයෙන් ද මොවුන් බේරා ගැනීමට සිතු බුදුන් සෘද්ධි බලයෙන් වහා එතැනට වැඩම කොට ධනිය වැසි ඉල්ලා ගැයූ ගීයට පිළිතුරු ගාථාවක් දේශනා කරන්නට පටන් ගත්හ මේ දාර්ශනික සංවාදය අවසානයේ ධනිය හා ඔහුගේ බිරිඳ සසුන් ගත නිවන් අවබෝධ කර ගත් බව ධනිය සූත්‍රය කියයි.
එහෙත්, එම කරුණු අනුව එදා ගව පාලක ධනියට ලැබුණු අවස්ථාව මේ වන විට ශ්‍රමණ ප්‍රතිපදාවෙන් පිටතට පැන කූට පූජක වාදයේ මුල් පෙළ අසුනක් හිමි කර ගෙන හිඳින උඩුවේ ධම්මාලෝක භික්ෂුව ඇතුළු වත්මන් ජනකාන්ත භික්ෂූන්ට හිමි වේයැයි සිහිනයකින් වත් සිතා ගත නොහැක. නමුදු ඔබට මෙහි දී කළ හැකි පහසු දෙයක් තිබේ.එනම් උඩුවේ ධම්මාලෝක භික්ෂුව ගේ ලෞකිකත්වය තර කොට නිවන් මඟ අවුරන මෙම "වස්සාන කානිවල්" එක වර්ජනය කිරීම ය.
---------------------------
by (2023-07-20 16:29:24)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි