~

තුන්වන ලෝකයට ඖෂධ ප්‍රතිපත්ති සකස් කළ මහාචාර්ය සේනක බිබිලේ සිටි රටේ ජනතාව බාල ඖෂධ වලින් මියයාමේ කරුමය කිම?

-ආනුභාවනන්ද විග්‍රහ කරයි

(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.17, ප.ව.8.50) ඖෂධ හිඟය, ඖෂධ මිල සීඝ්‍රයෙන් ඉහළ යෑම, ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ආනයනය, සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල සහ ඔහු වටා සිටින නිළධාරි වළල්ලේ දූෂණ සහ ගසාකෑම්, ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ හේතුවෙන් සහ ඖෂධ හිඟයෙන් රෝගීන් දිගින් දිගටම මියයාම සහ ඒ පිළිබඳ දේශපාලන පංති තුළ සහකම්පනයක් නොවීම යනු ප්‍රශ්නයේ රෝග ලක්ෂණ මිස රෝග නිධානය නොවෙයි.  රෝග නිධානය වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය ව්‍යවස්ථාපිත නීතියක්ව පවතින ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොකිරීමය.

ඖෂධ මාෆියාව සමඟ සටන…

ලෝකයේ දැවැන්තම වෙළෙඳ මාෆියාවන් වන්නේ ආයුධ සහ ඖෂධ වෙළඳාමයි. මේ අතරින් ඖෂධ මාෆියාවෙන් ශ්‍රී ලංකා ජනතාව ගලවා ගැනීමට වසර 1970 දී බලයට පත්වූ සමගි පෙරමුණු ආණ්ඩුවට අවශ්‍ය විය. ඒ සඳහා  ශ්‍රී ලංකාවට ගැලපෙන රාජ්‍ය ඖෂධ ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වගකීම පැවරුණේ දොස්තර එස්. ඒ වික්‍රමසිංහ සහ මහාචාර්ය සේනක බිබිලේ වෙත ය. බහුජාතික ඖෂධ සමාගම් ආධිපත්‍යයෙන් ගැලවී රටට ගැලපෙන ඖෂධ ප්‍රතිපත්තියක් නිර්මාණය කර ගන්නා ආකාරය පිළිබඳ සිය වාර්තාව ඔවුහු 1971 මාර්තු 23 වන දින සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය වෙත ඉදිරිපත් කළහ.

මැතිනියට ඉදිරිපත් කළ වර්තාවේ නිර්දේශ …

එම වාර්තාවේ මූලික යෝජනා වූයේ: ලංකාවට අනවශ්‍ය ඖෂධ  වර්ග ගෙන්වීම නතර කිරීම; ඖෂධ සඳහා ඖෂධීය නාමය පමණක් යෙදීම; ඖෂධ ගෙන්වීම, බෙදාහැරීම රජයට පවරා ගැනීම; ලංකාවේ ඖෂධ නිෂ්පාදනය ආරම්භ කිරීම; ඖෂධ පිළිබඳ දැනුම හා තොරතුරු වෛද්‍ය වෘත්තිකයන්ට සහ මහජනතාවට නිවැරැදිව සන්නිවේදනය කිරීම රජයේ වගකීමක් බවට පත් කිරීම; ඖෂධ පිළිබඳ පේටන්ට් නීති සංශෝධනය කිරීම; ඖෂධවල තත්ත්ව පාලනය සඳහා නවීන පරීක්‍ෂණාගාරයක් ආරම්භ කිරීම.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ආරම්භය…

මේ වාර්තාවේ  මූලික යෝජනාවක් අනුව වසර 1971 සැප්තැම්බර් 22 දින රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) ආරම්භ කළේ ය. නව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) සභාපතිධූරය මහාචාර්ය සේනක බිබිලේට හිමිවිය. ඒ වන විට ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෙෙද්‍ය පීඨයේ පීඨාධිපති වශයෙන් සේවය කරමින් සිටියේ ය. නව සංස්ථාවේ සභාපති වශයෙන් වැටුප් ගෙවීමට සූදානම් වූ අවස්ථාවේ ඔහු එය ප්‍රතික්ෂේප කළේ "විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් ලෙස මට වැටුපක් ලැබෙනවා. එය මට ප‍්‍රමාණවත්. එක් පුද්ගලයෙකුට වැටුප් දෙකක් කුමකටද" යැයි පවසමිනි.

දීමනා, වැටුප් ප්‍රතික්ෂේප කළ සංස්‍ථා සභාපති…

සභාපති වශයෙන් සිදු කරන සේවයට යම් දීමනාවක් ගෙවීමට යෝජනා වූ අවස්ථාවේදීත් ඔහු එය ප්‍රතික්ෂේප කළේ ය. මහාචාර්ය සේනක බිබිලේ තමන්ට සභාපති වශයෙන් හිමිවූ නිළ වාහනය ද ප්‍රතික්ෂේප කළේ ය. එය සංස්ථාවේ සේවකයන් සඳහා වන පොදු වාහනයක් වශයෙන් භාවිතාවට ගැනිණි. නව සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලට ලබා දුන්නේ ප්ලේන්ටි සහ වඩේ ය. අලුතින් ආරම්භ කළ සංස්ථාවකට අනවශ්‍ය වියදම් සඳහා මුදල් වැය කළ නොහැකි බව මහාචාර්ය බිබිලේගේ අදහස විය. සෑම සතියකම සඳුදා සහ අඟහරුවාදා දිනයන්හි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගැන්වීමේ කටයුතු හි නිරත වන මහාචාර්ය සේනක බිබිලේ,  බදාදා උදෑසන දුම්රියෙන් කොළඹට පැමිණෙයි. එතැන් සිට ඔහු සති අන්තය දක්වා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වැඩ කටයුතු මෙහෙයවයි.

ඖෂධ ආනයනයේ එකම නියෝජිතයා..

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනයේ එකම නියෝජිතයා බවට පත් විය. ආනයනය කිරීම ජාතික වශයෙන් අනුමත කරන ලද ඖෂධ සඳහා පමණක් සංස්ථාව තොග ටෙන්ඩර් කැඳවන ලදී. පෞද්ගලික සහ රජයේ සෞඛ්‍ය සේවා ආයතන සියල්ල සිය අවශ්‍යතා සපුරා ගත්තේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා ය. ඖෂධ වෙළඳාම නව සංස්ථාව විසින් නියාමනය කරන ලද බැවින් ඖෂධ ව්‍යාපාරිකයන්ට ඖෂධ පිරිවැය මත තරඟ වැදීමට සිදුවිය. මේ ප්‍රවේශ හරහා අපේ රටට අඩු මිලට ඖෂධ මිලදී ගැනීමට හැකි වුණි.

බහුජාතික ඖෂධ සමාගම් වෙනුවෙන් ඇමරිකාව සටනට..

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඖෂධ නිෂ්පාදනයට පිවිසීම මෙන්ම ඖෂධ වර්ගීය නාමයන් (generic names) යටතේ නම් කිරීම පිළිබඳ බහුජාතික ඖෂධ සමාගම් මෙන්ම ඔවුන්ගේ දේශීය නියෝජිතයෝ මාරාන්තික විරෝධයක් පල කළහ. ඔවුන්ගේ ඉල්ලීම් සහ අවශ්‍යතාවයන් වෙනුවෙන් මැදිහත් වූයේ ඇමරිකා එක්සත් ජනපදයයි. වසර 1973 මාර්තු 27, 29 දින ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරයා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට යැවූ කේබල් පණිවිඩ  WikiLeaks හරහා කියවන විට එදා පැවති බලපෑම්හි ස්වරූපය අවබෝධ කර ගත හැකිය. ඇමරිකාව එදා දැඩිව පෙනී සිටියේ PFiZER ඇතුළු බහුජාතික ඖෂධ සමාගම්හි වෙළෙඳ සහ මූල්‍ය අවශ්‍යතා වෙනුවෙනි.

Made in Sri Lanka ඖෂධ…

නව සංස්ථාව (SPC) මගින් රටට අවශ්‍ය ඖෂධ රටතුළ නිෂ්පාදනය කිරීමටත්, අඩු මුදලට සහ ප්‍රදාන වශයෙන් සමාජවාදී සෝවියට් කඳවුරේ රටවල් වලින් ඖෂධ මිල දී ගැනීමත් මහාචාර්ය සේනක බිබිලේගේ මූලික ඉලක්කය විය. ඒ හරහා බහුජාතික ඖෂධ සමාගම් වෙනුවෙන් වාර්ෂිකව වියදම් වන විදේශ විනිමය ආරක්ෂා කර ගැනීමට සහ වෙළෙඳ නාම යටතේ රටට ආනයනය කරන ඖෂධ වෙනුවට ඖෂධීය නාම භාවිතා කිරීම හරහා පොදු ජනතාවට අඩු මිලට ඖෂධ ලබාදීමට මහාචාර්ය බිබිලේ උත්සාහ කළේ ය.

ජනතාවට අඩු මිලට ඖෂධ සහ රුපියල් මිලියන 60ක ඉතිරියක්…

ජනතාවට අඩු මිලට ඖෂධ ලබාදීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව යටතේ "ඔසුසල" ජාලය රටපුරා ස්ථාපනය කළේ ය.  මහාචාර්ය බිබිලේගේ පාලන කාලයේදී විදේශ රටවල් වෙත ඇදී ගිය රුපියල් මිලියන 60 ක් ඉතිරි කර ගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට හැකිවිය. එමෙන්ම විදේශයන්ගෙන් ආනයනය කරන ඖෂධ ප්‍රමාණය 4000 සිට 171 දක්වා අඩු කර ගැනීමටත් බිබිලේ මහතා සමත් වූයේ ය.

බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය WHO සහ UNCTAD අවධානයට…

මහාචාර්ය සේනක බිබිලේ හඳුන්වාදුන් මේ ප්‍රතිපත්තිය තුන්වන ලෝකයේ රටවලට ප්‍රතිලාභ දෙන වැඩපිළිවෙළක් ලෙස  ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත ආයතනවල පූර්ණ සහයෝගය ලැබිණි. The United Nations Conference on Trade and Development (UNCTAD) ලේකම් කාර්යාලය ශ්‍රී ලාංකීය අත්දැකීම් විමර්ශනය කළ අතර, ශ්‍රී ලංකාවේ ආකෘතිය විශ්ලේෂණය කිරීමෙන් අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවලට ඒකාබද්ධ ජාතික ඖෂධ ප්‍රතිපත්ති සැකසීමේ, සංවර්ධනය කිරීමේ සහ ක්‍රියාත්මක කිරීමේ ක්‍රම පිළිබඳ අවබෝධයක් ලබා දිය හැකි බව නිගමනය කළේය. ඒ අනුව මහාචාර්ය සේනක බිබිලේගේ සහාය ඇතිව, "Case Studies in the Transfer of Technology: Pharmaceutical Policies in Sri Lanka" ප්‍රතිපත්ති පත්‍රිකාවක් නිකුත් කළේ ය.

තුන්වන ලෝකයේ රටවලට බිබිලේ මාර්ගෝපදේශනය…

ඖෂධ ක්ෂේත්‍රයේ ජාතික ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීමට අදහස් කරන සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා මෙම ලේඛනය ඉතා වටිනා මාර්ගෝපදේශයක් බවට  පිලිගැනීමක් පැවතුනි.  මේ පත්‍රිකාව භාෂා ගණනාවකට පරිවර්තනය කර ඇති අතර, එය සෑම තුන්වන ලෝකයේ රටකම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සැලසුම්කරුවන්ගේ පදනම බවට පත්විය. ඒ වකවානුවේ පැවැති සමාජ, දේශපාලන, ආර්ථික ප්‍රවණතා සහ භූ දේශපාලන තත්ත්වයන්ට සාපේක්ෂව මහාචාර්ය බිබිලේගේ ප්‍රවේශය ජාත්‍යන්තර අවධානය යොමුකර ගැනීමට සමත්විනි.

බහුජාතික ඖෂධ සමාගම් සහ ඔවුන්ගේ ඇම්බැටයන් සමඟ මාර සටන..

එහෙත් මහාචාර්ය සේනක බිබිලේට එම ඉලක්ක ශ්‍රී ලංකාව තුළ  ජය ගැනීම ඉතා දුෂ්කර ව්‍යායාමයක් විය. ලංකාවේ අලුතින් නිෂ්පාදනය කරන ඖෂධ මෙන්ම අඩු මිලට සමාජවාදී කඳවුරෙන් ආනයනය කරන ඖෂධ නිසි ප්‍රමිතියෙන් තොර බවට චෝදනාවක් බහුජාතික ඖෂධ සමාගම් හි දේශීය නියෝජිතයෝ සහ දීර්ඝ කාලයක් පුරා එම සමාගම් හරහා මූල්‍ය සහ අනෙකුත් වරප්‍රසාද ලැබූ වෙෙද්‍යවරු කණ්ඩායමක් දිගින් දිගටම චෝදනා කළහ. මේ අභියෝගය ජය ගැනීම සඳහා මහාචාර්ය බිබිලේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිෂ්පාදිත ඖෂධ සහ අඩු මිලට සමාජවාදී කඳවුරෙන් ආනයනය කරන ඖෂධ ප්‍රමිති පරීක්ෂාවකට යොමු කළේ ය. එහි ප්‍රතිඵල අනුව අඩු ප්‍රමිතිය චෝදනාවට කිසිදු පදනමක් නොමැති බව විද්‍යාත්මකව තහවුරු විය. එහෙත් බොරු ප්‍රචාර සහ චෝදනා සම්පූර්ණයෙන් නැවතුණේ නැත. අනෙක් පසින් බහුජාතික සමාගම් තමන්ට නියාමනයකින් තොරව ඖෂධ සැපයීමට ඉඩ ලබාදෙන ලෙසට සමගි පෙරමුණු ආණ්ඩුවේ නායකත්වයට දිගින් දිගටම බලපෑම් කළේ ය. එහෙත් මහාචාර්ය බිබිලේ අභූත චෝදනා සහ බලපෑම්වලට යටවූයේ නැත. ඔහු ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා කැප වූයේ ය.

වයස 57 දී මියගිය අවංක ට්‍රොට්ස්කිවාදියා….

අවංක ට්‍රොට්ස්කිවාදියෙකු මෙන්ම ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රබල සාමාජිකයෙකු වූ මහාචාර්ය බිබිලේ, සිය පක්ෂය සමගි පෙරමුණු ආණ්ඩුවෙන් ඉවත්වූ සැනින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්විය. ඉන් පසුව ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ වී තුන්වන ලෝකයේ රටවල් සඳහා ඖෂධ ප්‍රතිපත්ති නිර්මාණය කිරීමට දායක වූයේ ය. වසර 1977 සැප්තැම්බර් 13 වන දා ගයානාහිදී අකාලයේ මිය යන විට ද ඔහු ඒ අරමුණ වෙනුවෙන් කටයුතු කරමින් සිටියේ ය.

එජාපය බිබිලේ ප්‍රතිපත්ති කණපිට හරවයි…

වසර 1977 දී බලයට පත්වූ එජාප ආණ්ඩුව මහාචාර්ය බිබිලේගේ ඖෂධ ප්‍රතිපත්තිය දියාරු කර කිසිදු සීමාවකින් තොරව පෞද්ගලික සමාගම්වලට ඖෂධ ආනයනය කිරීමට දොරටු විවෘත කළේ ය. ජේ. ආර් ජයවර්ධනගේ නව ආණ්ඩුව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වසා දමනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වුවද එය එසේ නොවීය. ඒ වෙනුවට එම සංස්ථාව ජනතාවට අඩු මිලට ඖෂධ සැපයීමේ ජාලයක් වශයෙන් පවත්වාගෙන ගියේ ය.

JR තම නෑනා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පත් කරයි…

ඔහු එම සංස්ථාව මෙහෙයවීමට පත් කළේ සිය බාල සොහොයුරු වෙෙද්‍ය ආර්. පී. ජයවර්ධනගේ බිරිඳ,  එනම් තම නෑනා වන වෙෙද්‍ය ග්ලැඩිස් ජයවර්ධන ය. ජේ. ආර් සිය ආණ්ඩුවේ තනතුරු සඳහා තම ඥාතීන් පත් කළේ ඉතා අවම මට්ටමිනි. තම නෑනාව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පත් කළේ එහි වැදගත්කම සහ වටිනාකම මැනවින් දන්නා බැවිනි. "Let the barons rob" යැයි පවසමින් ලංකාවට විවෘත ආර්ථිකය හඳුන්වාදුන් ජේ. ආර් ජයවර්ධන කිසිවිටෙක රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විනාශ කළේ නැත. දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය කිරීමේ වැඩ පිළිවෙල නවතා දැමුවේ නැත.

"ලිබරල් සිඟිති ළමා සමාජයට" JR ගෙන් පාඩම්…

පෞද්ගලික සමාගම්වලට එම අවස්ථාව ලබාදී ඖෂධ නිෂ්පාදනය සම්බන්ධ රජයේ මැදිහත්වීමට තිත තැබුවේ ද නැත. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පිහිටුවීම මෙන්ම එම ආයතනය දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදන කිරීම වැරදි ප්‍රතිත්තියක් යැයි විටින් විට ඤාව් ඤාව් ගාන "ලිබරල් සිඟිති ළමා සමාජයට" ලංකාවේ විවෘත ආර්ථිකයේ පියා වන ජේ. ආර් ජයවර්ධනගෙන් බොහෝ දෑ ඉගෙන ගැනීමට හැකිය.

පොදු ජනතාවට සේවය කළ වෙල්ලස්සේ රටේ මහත්තයාගේ පුත්‍රයා…

වෙල්ලස්සේ ප්‍රභූ, රදළ පවුල් පසුබිමක් තිබූ මහාචාර්ය බිබිලේට රටේ දුක්විඳින පොදු ජනතාව වෙනුවෙන් සේවය කිරීමේ දැඩි අවශ්‍යතාවයක් තිබිණ. වෙල්ලස්සේ රටේ මහත්තයාගේ පුත්‍රයා වූ ඔහු මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් ප්‍රාථමික සහ ද්විතීක අධ්‍යාපන හැදෑරීය. පාසැල් අධ්‍යාපනය ලබන අවධියේ ඔහුගේ පියා හදිසියේ අභාවයට පත්වීම හේතුවෙන් ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදු විය. සේනක බිබිලේ වැනි දක්ෂ ශිෂ්‍යයෙකුගේ අධ්‍යාපනය කඩාකප්පල්වීම අපරාධයක් වශයෙන් සැලකූ ත්‍රිත්ව විද්‍යාලයේ පාලකයෝ ඔහුට ශිෂ්‍යත්වයක් ලබාදුන්හ. පසුව ඉතාමත් සාර්ථක ලෙස සිය පාසල් අධ්‍යාපනය අවසන් කල සේනක බිබිලේ වෛද්‍ය පීඨයට තේරී පත්විය.  

රන් පදක්කම් සහිතව වෙෙද්‍ය උපාධිය…

පළමු, දෙවන හා තෙවන MBBS විභාගයන් පළමුපෙල ගෞරව සම්මාන සහිත සමත් වූ සේනක බිබිලේ සිය වෛද්‍ය විද්‍යාලයේ අවසන් වසරේදී වෛද්‍ය විද්‍යාව සදහා පිරිනැමෙන Djunjishaw Dadabhoy රන් පදක්කමද , ශල්‍යවෛද්‍ය විද්‍යාව සදහා පිරිනැමෙන Rockwood රන් පදක්කමද දිනාගැනීමට සමත් විය. ඒ අනුව ඔහු වසර 1945දී කොළඹ වෛද්‍ය විද්‍යාලයෙන් MBBS උපාධිය එසේ අවසන් කලේය. වෙෙද්‍යවරයෙකු වශයෙන් සේවය කර ලබාගත් පළමු වැටුපෙන් ඔහු ත්‍රිත්ව විද්‍යාලයේ හදිසි ආර්ථික අපහසුතාවයකට මුහුණදෙන සිසුවෙකු වෙනුවෙන් ශිෂ්‍යත්වයක් ආරම්භ කළේ ය.

ලංකා විශ්වවිද්‍යාලයේ ඖෂධවේදය පිළිබඳ ප‍්‍රථම මහාචාර්යවරයා….

1947 වර්ෂයේදී කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට බැඳුනු ආචාර්ය සේනක බිබිලේ 1952 වර්ෂයේදී එංගලන්තයේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයෙන් පී. එච්. ඩී. උපාධිය ලබා ගත්තේය. ලංකා විශ්වවිද්‍යාලයේ ඖෂධවේදය පිළිබඳ ප‍්‍රථම මහාචාර්යවරයා ලෙස පත් කරනු ලැබුවේ මහාචාර්ය සේනක බිබිලේ ය.

මහාචාර්ය බිබිලේගේ සේවය WHO ඇගයීමට…

වසර 1982 මැයි මාසයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ 35 වැනි මහා සමුළුවේදී ඖෂධ ක්ෂේත්‍රයේ සංවර්ධනයට සහ තුන්වන ලෝකයේ රටවල් සඳහා මාර්ගෝපදේශ ඖෂධ ප්‍රතිපත්ති සකස් කිරීම වෙනුවෙන් මහාචාර්ය සේනක බිබිලේ දැක්වූ දායකත්වය ඉහළින් අගයනු ලැබීය.

වසර දාහතකට පසු බිබිලේ ප්‍රතිපත්ති යළි කරලියට..

වසර දාහතක එජාප පාලනයෙන් පසුව වසර 1994 දී බලයට පත්වූ පොදු ජන එක්සත් පෙරමුණු ආණ්ඩුව සේනක බිබිලේ ප්‍රතිපත්ති යළි ක්‍රියාත්මක කරන බව පොරොන්දු විය. එහෙත් එය වචනවලට සීමා විය. වසර 2005 දී   පොදු ජන එක්සත් පෙරමුණ සහ ජවිපෙ එක්ව නිර්මාණය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මහාචාර්ය සේනක බිබිලේගේ ඖෂධ ප්‍රතිපත්තිය මත පදනම්ව නව ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් නිර්මාණය කර එය නීතියක් බවට පත් කරන බවට පොරොන්දු විය. නව ආණ්ඩුව යටතේ ඉතා කෙටි කාලයකදී එම ප්‍රතිපත්තිය කෙටුම්පත් කළේ ය.

මහින්ද මඟහැරි ස්වාධීන ජාතික ඖෂධ නියාමන අධිකාරිය යහපාලන ආණ්ඩුව ස්ථාපිත කරයි…

එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිධූරයට පත්වීමෙන් පසුව එම කෙටුම්පත නීතිගත කිරීමේ වැඩ පිළිවෙල ඇණහිටියේ ය. "ප්‍රගතිශීලී", "ජනතාවාදී" නායකයෙකු යැයි කියා ගන්නා මහින්ද රාජපක්ෂ බහුජාතික ඖෂධ සමාගම්හි අවශ්‍යතාවයන් අනුව ජාතික ඖෂධ ප්‍රතිපත්තිය පිලිගැනීම ප්‍රතික්ෂේප කළේ ය. අවසානයේ යහපාලන ආණ්ඩුව වසර 2015 දී  ජාතික ඖෂධ ප්‍රතිපත්තිය නිළ වශයෙන් පිළිගෙන ස්වාධීන ජාතික ඖෂධ නියාමන අධිකාරිය ස්ථාපිත කළේ ය.

"දැන් සනීප ද" කෙහෙලිය රඹුක්වැල්ල අසයි…

එදා අවංක අරමුණින් ස්ථාපිත කළ ජාතික ඖෂධ නියාමන අධිකාරිය අද දූෂිත දේශපාලන බල අධිකාරියේ මෙන්ම බහු ජාතික ඖෂධ සමාගම් හි රූකඩයක් බවට පත්ව තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරිය, දේශපාලන බල  අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සමඟ එක්ව එක් බාල ඖෂධයක් ආනයනය කිරීම හරහා පමණක් සිදු කළ දූෂණයක වටිනාකම රුපියල් කෝටි පනහකි! ව්‍යවස්ථාපිත ඖෂධ ප්‍රතිපත්තියක් පවතිද්දී ඒ පිළිබඳ කිසිදු සැළකිල්ලකින් තොරව තමන්ට ලබාගත හැකි කොමිස් කුට්ටිය ගැන සළකා ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කරයි. මේ බාල ඖෂධ හේතුවෙන් රෝගීන් මියයාම පිළිබඳ කිසිවෙකු වග වන්නේ නැත. සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මුග්ධ උඩරට රදළයෙකු සේ "දැන් සනීප ද" යැයි අසමින් ජනතාවට ඔලොක්කුවට සිනාසෙයි. තමන්ගේ වරදින් මිය ගිය මේ අහිංසක රෝගීන් පිළිබඳ ඔහුට කිසිදු සහකම්පනයක් නැත.

දූෂිත දේශපාලන බල අධිකාරියක් සහ දූෂිත ක්‍රමවේදයක් පවතින තුරු කුමන අන්දමේ ජාතික ප්‍රතිපත්ති, ස්වාධීන ආයතන ස්ථාපිත කළ ද එයින් ප්‍රතිඵලයක් නැති බව මේ ඖෂධ අර්බූදය අපට කියා දෙන පැහැදිලි පණිවිඩයයි. පවතින ක්‍රමයේ පැහැදිලි වෙනසක් කිරීමට අප අඛණ්ඩව සටන් කළ යුත්තේ එබැවිනි. එයින් තොර විකල්පයක් දැන් අපට ඉතිරිව  නැත.

-ආනුභාවනන්ද

[email protected]

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/33

---------------------------
by     (2023-07-17 15:36:12)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links