~

නූතන ෆැසිස්ට්වාදයේ ඉතාලි සළකුණ සිල්වියෝ බර්ලුස්කෝනි..!

-ආනුභාවනන්ද ලියයි

(ලංකා ඊ නිව්ස් -2023.ජුනි.17, ප.ව.9.50) වසර 2003 දී බ්‍රිතාන්‍ය සතිපතා සඟරාවක් වන "The Spectator" සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී “මුසෝලිනී කිසිවකු ඝාතනය නොකළ බව” සිල්වියෝ බර්ලුස්කෝනි ආඩම්බරයෙන් පැවසීය. මුසෝලිනිගේ පාලනය යටතේ ඝාතනය කළ හත්දහසකට අධික ඉතාලි යුදෙව් ජාතිකයන්ගේ ඉරණමෙහි වගකීම ෆැසිස්ට් ඒකාධිපතියාට පැවරීමට නොහැකි බවට ඔහු තර්ක කළේ ය. එම ප්‍රකාශ පට්ටපල් බොරුවකි. මුසෝලිනිගේ සෘජු නියෝග යටතේ යුදෙව්වන් ඇතුළු සුළු ජන කොටස්, දේශපාලන විරුද්ධවාදීන් ඇතුළු ලක්ෂ ගණනක් ඝාතනය කළහ. සිරගත කළහ. වර්තමානයේදී ෆැසිස්ට්වාදය, නාසිවාදය වෙනුවෙන් පෙනී සිටින ඕනෑම කෙනෙකු පවසන්නේ හිට්ලර් මෙන්ම මුසෝලිනි අහිංසකයන් බවයි!  

මුසෝලිනිගේ සමූල ඝාතන සාධාරණීකරණය කිරීම ..

සිල්වියෝ බර්ලුස්කෝනි යනු මුසෝලිනිගේ සමූල ඝාතන සහ ඉතාලියේ යුධවාදී ක්‍රියා මාර්ග සාධාරණීකරණය කරන එක්  ප්‍රධාන ඉතාලි දක්ෂිනාංශිකයෙක් පමණි. ඔහුගේ "The Spectator" ප්‍රකාශ පිළිබඳ ප්‍රතිචාර දැක්වූ ඉතාලියේ යුදෙව් ප්‍රජාවේ නායකයා වශයෙන් සැළකෙන ආමොස් ලුසාටෝ පැවසුවේ, තමා එම ප්‍රකාශය ගැන පුදුමයට පත් නොවන නමුත් ඒ පිළිබඳ  කණගාටුවට පත් වූ බවයි.

හිට්ලර්ට ආශ්වාදයක් වූ මුසලෝනි..

බෙනීටෝ මුසලෝනි යනු ඉතාලි ජාතිකවාදියෙක් මෙන්ම ඉතාලි ෆැසිස්ට්වාදයේ නිර්මාතෘවරයා විය. ඔහු 1922-1925 දක්වා ඉතාලිය අගමැති ලෙස ද, 1925-1943 දක්වා ෆැසිස්ට් ඒකාධිපතියා ලෙස ද රට පාලනය කළේය. මුසෝලිනි ඉතාලියේ බලය ඩැහැගත් ආකාරය ඇඩොල්ෆ් හිට්ලර්ට ආශ්වාදයක් සහ ආදර්ශයක් වූ බව ප්‍රසිද්ධ රහසකි. හිට්ලර්ගේ නාසිවාදයට පදනම වැටුණේ මුසලෝනිගේ ඉතාලි ෆැසිස්ට්වාදය හරහාය. දෙවන ලෝක සංග්‍රාමයේදී හිට්ලර් සහ මුසලෝනි එක් පිළක් නියෝජනය කළ අතර දෙදෙනාම පජාත ලෙස පරාජය විය. එහෙත් ෆැසිස්ට්වාදය මෙන්ම නාසිවාදය පරාජය නොවීය.

දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු ඉතාලියේ මතු වූ ෆැසිස්ට් හොල්මන්…

යුධ පරාජයෙන් පසුව එනම් වසර 1946 දී,  මුසලෝනිගේ අවසාන ආණ්ඩුවේ කාර්ය මණ්ඩල ප්‍රධානියෙකු වූ Giorgio Almirante ඉතාලි සමාජ ව්‍යාපාරය (Italian Social Movement) නොහොත් MSI නමින් දක්ෂිණාංශික ෆැසිස්ට් පක්ෂයක් ආරම්භ කළේ ය. මුසලෝනිගේ ෆැසිස්ට් ආණ්ඩුව සමඟ සම්බන්ධව සිටි රජයේ නිළධාරීන්, හමුදා ප්‍රධානීන් මෙන්ම  මුසලෝනිගේ ප්‍රබල ආධාරකරුවෝ මේ සංවිධානය සමඟ අත්වැල් බැඳගත්හ. එහෙත් 1950-1980 දක්වා කාලයේ දී MSI සුළු  දක්ෂිණාංශික පක්ෂයක් ලෙස පැවති අතර, ඔවුන්ට කිසිවිටෙක සියයට 10 ඡන්ද ප්‍රතිශතයකට ලඟාවීමට නොහැකි විය. එහෙත් දෙවන ලෝක සංග්‍රමයේ පරාජයෙන් පසුව දක්ෂිණාංශික ෆැසිස්ට් පක්ෂයක් අඛණ්ඩව  දශක හතරකට අධික කාලයක් පුරා පවත්වාගෙන යෑමට හැකිවීම කැපී පෙනෙන වැදගත්කමක් ගනියි. ඉතාලියේ University of Florence හි යුරෝපීය ඉතිහාසය පිළිබඳ මහාචාර්ය Paul Anthony Ginsborg සිය "Italy and its Discontents 1980-2001" කෘතියේ සඳහන් කරන පරිදි මුසලෝනිගේ පරාජයෙන් පසුව දක්ෂිණාංශික ෆැසිස්ට් MSI වැනි පක්ෂයක් දශක ගණනාවක පැවැත්ම මගින් තහවුරු වන්නේ තවමත් ඒකාධිපතිවාදයට සහ ජාතිකවාදයට දකුණු ඉතාලියේ ශිෂ්‍ය ප්‍රජාව, නාගරික දුප්පතුන්  සහ පහළ මධ්‍යම පන්තිකයන් අතර ආකර්ෂණයක් ඇති බවයි.

MSI ෆැසිස්ට් පක්ෂය "නව සන්ධානය" බවට වෙස් පෙරලීම..

අනූව දශකයේදී Giorgio Almiranteගේ අනුප්‍රාප්තිකයා වූ Gianfranco Fini ඉතාලි දක්ෂිණාංශික ෆැසිස්ට් ව්‍යාපාරයට නව මුහුණුවරක් දුන්නේ ය. පොදු ජනතාවගේ ආකර්ෂණය ලබා ගත හැකි දේශපාලන වැඩ පිළිවෙලක් ඉදිරිපත් කළේ ය. මේ නව මුහුණුවරින් පසුව ඔහු වසර 1993 දී රෝමයේ නගරාධිපතිධූරයට තරඟ කළේ ය. එම මැතිවරණයෙන් ඔහු පරාජය වුවද සියයට 47ක වර්තාගත ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට හැකි විය. මෙය ඉතාලි ජනතාවගේ එතෙක් පැවැති දේශපාලන ක්‍රමයට එරෙහිව පල කළ විරෝධයකි. දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව ඉතාලිය පාලනය කළ වාමාංශික සහ ලිබරල් පක්ෂ ආණ්ඩුවලට එල්ල වූ අල්ලස්, දූෂණ ඇතුළු විවිධ චෝදනා හේතුවෙන් සාම්ප්‍රදායික ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ කෙරෙහි පැවති ජනතා විරෝධයේ සහ අප්‍රසාදයේ පිලිඹිබුවකි. නව දේශපාලන ප්‍රවාහයට මුහුණදීම සඳහා Gianfranco Fini සිය පක්ෂයේ නම "නව සන්ධානය" (New Alliance) වශයෙන් සංශෝධනය කළ නමුත් පක්ෂයේ ෆැසිස්ට් මූලයන් වෙනස් නොවීය. මුසෝලිනි යනු විසිවන සියවසේ “ශ්‍රේෂ්ඨතම රාජ්‍ය පාලකයා” බව  ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ සිය නව පක්ෂය හඳුන්වාදීමේදී ය.

දක්ෂිණාංශික බලවේග වෙනුවෙන් බර්ලුස්කෝනි ගෙන්  Forza Italia පක්ෂය ..

එහෙත් ඉතාලියේ දක්ෂිණාංශික ෆැසිස්ට් බලවේගයට නිර්මාණය වූ ජනතා ආකර්ෂණයේ සැබෑ වාසිය ලබා ගත්තේ සිල්වියෝ බර්ලුස්කෝනිය. සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ පිළිබඳ කලකිරී සිටි ඉතාලි ජනතාව ආමන්ත්‍රණය කරන නව දේශපාලන පක්ෂයක් ඔහු වසර 1994 දී "Forza Italia" නමින් බිහි කළේ ය. වාමාංශික සහ ලිබරල් පක්ෂ ආණ්ඩුවලට එල්ල වූ අල්ලස්, දූෂණ ඇතුළු විවිධ චෝදනා, ආර්ථික පසුබැසීම, සංක්‍රමණික ජනතා ප්‍රශ්න හේතුවෙන් පැවති ජනතා විරෝධය සහ අප්‍රසාදය බර්ලුස්කෝනියට හිමිවූ ප්‍රධාන තුරුම්පුව විය. ඉතාලි මාධ්‍ය අධිරාජ්‍යයා වූ ඔහු තමන්ට අයත් රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා, පුවත්පත් උපයෝගී කර ගනිමින් ඉතාලිය වැටී ඇති අගාධයෙන් ගොඩගත හැකි එකම පුද්ගලයා තමා බවට ප්‍රබල ප්‍රතිරූපයක් නිර්මාණය කළේ ය.

තමන්ගේ මාධ්‍ය භාවිතා කරමින් ඉතාලිය ගොනාට ඇන්දවීම..

ඒ වන විට බර්ලුස්කෝනි ඉතාලියේ අංක එකේ ධනපතියා බවට පත්ව සිටි බැවින් රට ගොඩගත හැක්කේ සාම්ප්‍රදායික දේශපාලඥයන්ට නොව "පිටස්තර" චරිතයකට බවට වන ජනප්‍රිය මතය ගොඩ නැගුවේය. විශේෂයෙන්ම ආර්ථික අවපාත, සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමයේ අර්බූද පවතින සෑම අවස්ථාවකම එහි වාසිය ලබා ගන්නේ අන්ත දක්ෂිණාංශික, ජාතිකවාදී, වර්ගවාදී, ජනකාන්තවාදී, ෆැසිස්ට් බලවේගය. එදා හිට්ලර්, මුසලෝනි මෙන්ම වර්තමානයේ පුටීන්, ඩොනල්ඩ් ට්‍රම්ප්, ගෝඨාභය රාජපක්ෂ, බොල්සෙනාරෝ, වික්ටර් ඕබාන් ඇතුළු පිරිස බලය අත්පත් කර ගත්තේ එම බලවේග භාවිතා කරමිනි. එයට අමතරව දේශපාලනයට "පිටස්තර" චරිතයක් යන්න බර්ලුස්කෝනියට  ඉතා වාසිදායක ලෙස බලපෑවේය. අද වනවිට ලොව පුරා පැතිර යමින් තිබෙන දක්ෂිණාංශික ජනකාන්තවාදයේ සැබෑ නිර්මාතෘවරයා බර්ලුස්කෝනිය.

ඉතාලිය ලෝකය ඉදිරියේ විහිළුක් බවට පත් කළ "බුංගා බුංගා ලිංගික සාද"...

බර්ලුස්කෝනි ඔහුගේ වර්ගයේ අනෙකුත් අන්ත දක්ෂිණාංශික ජනකාන්තවාදීන් නායකයන් මෙන් සමාජ බෙදා වෙන්කරන, ධ්‍රැවීකරණ චරිතයක් විය. ඔහු ඉතාලිය එක්සත් කළ නායකයෙකු නොවීය. ඔහු වසර 1994-1995, නැවතත් වසර 2001-2005, වසර 2005-2006, සහ වසර 2008-2011 කාලයන්හි ඔහු අගමැති ධූරයේ කටයුතු කළේ ය. බර්ලුස්කෝනිගේ දේශපාලන ආධිපත්‍යය ඉතාලිය පුරා දශක තුනකට ආසන්න කාලයක් එනම් පසුගියදා ඔහු මිය යන තුරු පැවතුනි. ඔහුගේ දේශපාලන ජීවිතය ආන්දෝලාත්මක විය. ඔහු අගමැති වශයෙන් සිටින අවධියේ සංවිධානය කළ කුප්‍රකට “බුංගා බුංගා ලිංගික සාද“ (bunga bunga” sex parties) ඉතාලියේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට විශාල හානියක් කළේ ය. ඔහුට විරුද්ධව අල්ලස්, බදු වංචා සහ බාලවයස්කාර ගණිකාවක් සමඟ ලිංගිකව හැසිරීම් පිළිබඳ චෝදනා එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන්  නීතිමය ගැටලු රැසකට මුහුණ දුන්නේය. ඉතාලි අධිකරණය ඉදිරියේ ඔහු කිහිපවිටක්ම වැරදිකරු වූ සිර දඬුවම් හිමිවූ නමුත් ඔහුගේ වයස සහ සීමාවන්ගේ ප්‍රඥප්ති (statutes of limitations) කල් ඉකුත් වීම හේතුවෙන්,  සිරදඬුවම් විදීමෙන් වැළකීමට හැකි විය.

බර්ලුස්කෝනි ෆැසිස්ට්වාදය සාමාන්‍යකරණය කළ අන්දම…

බර්ලුස්කෝනි කාන්තාවන්ට අපහාස, උපහාස කළේය. ඔහුගේ ස්ත්‍රී විරෝධී මතවාදයන් හේතුවෙන් ස්ත්‍රී අයිතිවාසිකම් අතින් ඉතාලි  යුරෝපයේ අනෙකුත් රට සමඟ සංසංදනය කරන විට පසුගාමී මට්ටමකට ස්ථාන ගතවී ඇත. ඔහු ජාතිවාදය ප්‍රවර්ධනය කළ අතර අන්තවාදය සාමාන්‍යකරණය කළේය. සුදු වර්ගවාදයට විසිල් ගැසීය. නීතියේ ආධිපත්‍යය නොසලකා හැරියේ ය. සංක්‍රමණිකයන්ට වෙෙර කළේ ය. LGBTQ අයිතිවාසිකම් සමච්චලයට ලක් කළේය. තම දේශපාලන විරුද්ධවාදීන්ට ප්‍රසිද්ධියේ අපහාස, උපහාස කළේ ය. තමන්ට විරුද්ධව පරීක්ෂණ පැවැත් වූ නිළධාරීන් සහ අධිකරණ විනිසුරුන්ට අභූත චෝදනා එල්ල කළේ ය. ස්වාධීන මාධ්‍යයන්ට සහ මාධ්‍යවේදීන්ට තර්ජනය කළේ ය. ෆැසිස්ට්වාදයේ මූලික ලක්ෂණ බර්ලුස්කෝනි සාමාන්‍යකරණය කළේ ය. මේවා වර්තමාන අන්ත දක්ෂිනාංශික ෆැසිස්ට්වාදීන් වන පුටීන්, ඩොනල්ඩ් ට්‍රම්ප්, බොල්සනාරෝ, වික්ටර් ඕබාන්, ඇතුළු නඩයේ පොදු සූත්‍රයයි.

අධ්‍යාපන, සෞඛ්‍යය ප්‍රතිපාදන කප්පාදු කරයි…

අන්ත දක්ෂිනාංශිකයන්ගේ ආර්ථික උපාය මාර්ග අනුගමනය කළ සිල්වියෝ බර්ලුස්කෝනි ඉතාලියේ සමාජ සුබසාධන වියදම් විශාල වශයෙන් කපා දමමින් ධනපතීන්ට විශාල බදු සහන ලබාදුන්නේ ය. රජයේ පාසැල් අධ්‍යාපන මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රතිපාදන කපාදැමීම හේතුවෙන්  ඉතාලියේ පහළ මධ්‍යම පංතික සහ දිළිඳු ජන කොටස් දැඩි දුෂ්කරතාවයන්ට පත්විය. නවෝත්පාදන සහ විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්‍ර සඳහා වන රජයේ ආයෝජන බර්ලුස්කෝනි විශාල වශයෙන් කපා හැරියේ ය. ඔහුගේ පාලන කාලයේදී එම ක්ෂේත්‍ර සඳහා රජයේ ආයෝජන සියයට තිහකට අධික ප්‍රමාණයකින් කපා දැමූ අතර නවෝත්පාදන සඳහා පෞද්ගලික අංශයට ලබාදුන් දිරිගැන්වීම් ද අත්හිටුවීය. මේ හේතුවෙන් කලෙක යුරෝපයේ නවෝත්පාදන සහ විද්‍යාත්මක තාක්ෂණික පර්යේෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වූ ඉතාලියට එම ස්ථානය අහිමි විය. අවසානයේ යුරෝපා සහ ඉතාලි ආර්ථික අර්බූදය හේතුවෙන් බර්ලුස්කෝනිට වසර 2011 දී අගමැතිධූරයෙන් ඉවත්වීමට සිදු විය. අගමැතිධූරය දැරූ කාලයේ ඔහුගේ වත්කම් සීඝ්‍රයෙන් ඉහළ ගිය අතර සමස්ත ඉතාලි ආර්ථිකය එකතැන පල්වෙමින් පැවතුණි.

නව ෆැසිස්ට් ආණ්ඩුවේ හවුල්කාරයා…

ඔහු ඉතාලියට සිදු කළ දැවැන්ත හානිය වන්නේ වත්මන් අන්ත දක්ෂිනාංශික ආණ්ඩුවට බලයට පැමිණීම සඳහා අවශ්‍ය පදනම සකස් කිරීමයි. වසර 1922 මාර්තුවේ ෆැසිස්ට් ආඥාදායක බෙනිටෝ මුසෝලිනි බලයට පැමිණීමෙන් සියවසකට පසුව, නිර්මාණය වූ  ඉතාලියේ පළමු ෆැසිස්ට් අන්ත දක්ෂිණාංශික ආණ්ඩුවේ බර්ලුස්කෝනිගේ Forza Italia පක්ෂය ප්‍රධාන කොටස්කරුවෙකු විය. වර්තමාන ඉතාලි අගමැතිනි ජෝර්ජියා මෙලෝනි (Giorgia Meloni) ගේ ඉතාලියේ සහෝදරයන් (Brothers of Italy) පක්ෂය ෆැසිස්ට්වාදී දේශපාලන පදනමක් සහිත බලවේගයකි. රෝමයේ කම්කරු පන්ති ජන කොටස් ජීවත් වන ප්‍රදේශයක හැදී වැඩුණු තරුණ මෙලෝනි ප්‍රථමයෙන් ෆැසිස්ට්වාදී  MSI පක්ෂයේ තරුණ ශාඛාවට සම්බන්ධවී ක්‍රියාකාරී දේශපාලනයට එක් වූවාය.

ජෝර්ජියා මෙලෝනිගේ Brothers of Italy පක්ෂයේ මතුවීම…

වසර 1994 දී  Gianfranco Finiගේ ජාතික සන්ධාන පක්ෂයේ තරුණ ව්‍යාපාරයට නායකත්වය දුන්නාය. ඇය වසර 2012 දී Brothers of Italy පක්ෂය බිහි කිරීමට මුල් වූ අතර වසර 2014 සිට එහි නායකයා වශයෙන් කටයුතු කරයි. Brothers of Italy යනු ෆැසිස්ට්වාදී ජාතික සන්ධානයේ නව මුහුණුවරයි.  මෙලෝනි තම නව පක්ෂයේ සංකේතය වශයෙන් භාවිතා කරන්නේ ජාතික සන්ධානයේ ත්‍රිවර්ණ දැල්ලයි. බර්ලුස්කෝනිගේ දශක තුනක දේශපාලනයේ අවසාන ප්‍රතිඵලය ජෝර්ජියා මෙලෝනි සහ ඇගේ ෆැසිස්ට් ආණ්ඩුව බව බොහෝ දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ඔහු සිය පාලන කාලයේදී ෆැසිස්ට්වාදී අදහස් ඉතාලිය තුළ සාමාන්‍යකරණය කළේ ය.  එමෙන්ම ඔහුගේ දේශපාලන, ආර්ථික සහ සමාජ ප්‍රතිපත්ති ෆැසිස්ට් බලවේග කරලියට ගැනීමට විශාල තල්ලුවක් ලබා දුන්නේ ය.

මෙලෝනි බර්ලුස්කෝනිව ජාතික වීරයකු කරයි…

සිල්වියෝ බර්ලුස්කෝනි යනු ඉතාලි සමාජය ධ්‍රැවීකරණය කළ චරිතයකි. ඔහුගේ මරණයේදී පවා එය ප්‍රදර්ශනය විය. ඉතාලි අගමැතිනි ජෝර්ජියා මෙලෝනිගේ ආණ්ඩුව සිල්වියෝ බර්ලුස්කෝනිට ජාතික වීරයෙකුට ලබා දෙන රාජ්‍ය ගෞරවයක් ලබා දුන්නේ ය. හිටපු අගමැතිවරයෙකුගේ අභාවයකට රාජ්‍ය ගෞරවය සහිතව අවමංගල්‍ය කටයුතු කිරීම ඉතාලියේ සාම්ප්‍රදායකි. එහෙත් බර්ලුස්කෝනි වෙනුවෙන් ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කළ අතර පාර්ලිමේන්තු සැසිවාර ද අවලංගු කළේ ය. බදු වංචා ඇතුළු විවිධ චෝදනා රාශියකට වරදකරුවෙකු වශයෙන් අධිකරණයෙන් චෝදනා ලැබූ  බර්ලුස්කෝනිට මෙවැනි රාජ්‍ය ගෞරවයක් ලබාදීම පිළිබඳව ඇතැමෙක් දැඩිව විවේචනය කළහ.

"Why Silvio Berlusconi is unfit to lead Italy”

කීර්තිමත් "Economist" සඟරාව වසර 2001 අප්‍රේල් කලාපයේ "Why Silvio Berlusconi is unfit to lead Italy” නමින් කවරයේ කථාවක් පල කළේ ය. එම විවේචනයට එරෙහිව එම සඟරාවේ එවකට කර්තෘ බිල් එමොට් (Bill Emmott)ට එරෙහිව බර්ලුස්කෝනි අපහාස නඩුවක් පැවරුවේය. එහෙත් බර්ලුස්කෝනිට වන්දි ලබා ගැනීමට තරම් කීර්තිනාමයක් නොවූ බැවින් නඩුවෙන් පරාජය විය. බිල් එමොට් බර්ලුස්කෝනිට ලැබුණු රාජ්‍ය ගෞරවය ගැන සඳහන් කරන්නේ "මගේ පළමු සිතුවිල්ල වූයේ ඔහු ද සම්බන්ධව පිහිටුවා ගත් ආණ්ඩුවක, දක්ෂිණාංශික අගමැතිවරයෙකු සිටියදී මියයාමට ඔහු වාසනාවන්ත වූ බවයි. හිටපු අගමැතිවරුන් වන Paolo Gentiloni හෝ Mario Draghi මෙවැනි රාජ්‍ය අවමංගල්‍යයක් හිමිවේවිද? මම ඒ ගැන සැක කරනවා. එහෙත් ජෝර්ජියා මෙලෝනිට තමාට ඉතාලියේ අගමැතිවීමට ඉඩ සලසා දුන් පුද්ගලයාට උපරිම ගෞරවය ලබා දුන්නා" යනුවෙනි.

වසර ගණනාවක් පුරා අන්ත දක්ෂිණාංශික කුඩා ෆැසිස්ට් පක්ෂයන්හි තරුණ නායකයෙකු වශයෙන් කටයුතු කළ ජෝර්ජියා මෙලෝනිට ඉතාලියේ අගමැතිවීමට අවශ්‍ය ජන පදනම නිර්මාණය කිරීමට සහය වූ බර්ලුස්කෝනිව ජාතික වීරයෙකු බවට පත් කිරීම ගැන පුදුම විය යුතු නැත. මුසලෝනිගෙන් පසු ජෝර්ජියා මෙලෝනිට බලය ලබා ගැනීමට ශත වර්ෂයක් ගත විය. එනම් ශත වර්ෂයක් පුරා යළි නිර්මාණය කර ගැනීමට නොහැකි වූ බලය යළි ස්ථාපත කිරීමට පදනම දැමූ බර්ලුස්කෝනි ඉතාලි ෆැසිස්ට්වාදීන්ට නම් වීරයෙකි.

-ආනුභාවනන්ද

[email protected]

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/33

---------------------------
by     (2023-06-17 16:33:36)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links