~

බුද්ධාගම බේරා ගැනීමට කෑ මොර දෙද්දී ලංකාවේ සියළු බෞද්ධයන් ලෝක අපවාදයට ලක්වේ..! වගකිව යුත්තෝ කව්ද?

-චන්ද්‍රප්‍රදීප් ලියයි

(ලංකා ඊ නිව්ස් -2023.මැයි.30, ප.ව.10.00) ශ්‍රී ලංකාවේ ඇති බුදු රජුන්ගේ දන්ත ධාතුව සහිත දළදා කරඬුව වැඩැම්මවීමට කියා තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ සද්දන්ත කුලේ හස්ති රාජයෙකු දළදා වැඩැම්මවීම පසෙක තබා පන්සලක් විසින් දරුණු ලෙස වධයට ලක්කිරීම නිසා කලකිරුණු තායිලන්ත ආණ්ඩුව විශාල වියදමක් දරා තමන් දුන් ත්‍යාගය යළි තායිලන්තයට ගෙන්වා ගැනීමට ක්‍රියා කර තිබේ.

පූජනීයත්වය පතා දුන් ත්‍යාගයක් අපහරණය කිරීම නිසා ත්‍යාගය දුන් පුද්ගලයා යළි ත්‍යාගය පවරා ගන්නවා යනු කෙතරම් ලජ්ජාවට පත් විය  යුතු කාරණයක් ද? මේ පන්සල සිදුකළ නීච ක්‍රියාව සම්බන්ධයෙන් ලංකාවේ සකල විධ බෞද්ධයන් ලජ්ජාවට පත් විය යුතුය. විශේෂයෙන් බුද්ධාගම රැක ගැනීමට මුල් තැන දෙනවා යයි කියන ශ්‍රී ලංකාවේ රාජ්‍යය වගකිව යුතුය.

සිද්ධිය විස්තරාත්මකව මෙසේය.

ලංකාවේ ථෙරවාදී බුදු දහම කහකඩයන් අතින් අහෝසි වී උපසම්පදාව දීමට පවා භික්ෂුවක් ලංකාවේ නොමැතිව සිටිය දී යළි ථෙරවාදී බුදු දහම ස්ථාපනය කෙළේ
ශ්‍රී සරණංකර සංඝ රාජයන්ගේ මැදිහත්වීමෙන් තායිලන්තයෙන් (එකල ‍සියම් දේශය) උපසම්පදාව ගෙන ඒමෙනි. ශ්‍රී ලංකාවේ අද පවතින ථෙරවාදී බෞද්ධ පදනම ආරම්භ වූයේ ඉන්පසුව ය.

එපමණක් නොව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට බෞද්ධ පුවත් පතක් මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය මුද්‍රණ යන්ත්‍රය ද පරිත්‍යාග කරන්නේ තායිලන්තය විසිනි.

සද්දන්ත කුලයේ 'සක් සූරීන්'..

එවන් තායිලන්තය 2001 දී එවක ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට සිය රටේ 'සක් සූරීන්' නමින් සිටි සද්දන්ත කුලයේ දළ ඇතා පරිත්‍යාග කරන්නේ ශ්‍රී ලංකාවේ දළදා කරඬුව වැඩැම්මවීම සඳහා ය. දළදා කරඬුව වැඩැම්මවිය යුත්තේ දුර්ලභ ඝණයේ ඇතුන් වර්ගයක් වන සද්දන්ත කුලයේ ඇතෙකු විසිනි. සද්දන්ත කුලයේ ඇතුන් නම් ඔවුන්ගේ අවයවයන් 7 ක් එනම් පාද සතර, හොඬය, ලිංගය සහ වලිගය පොළොව ස්පර්ශ වන ඇතුන් ය. 'සක් සූරීන්' එවන් ඇතෙකු විය. ඔහු ලංකාවට ආ පසු 'මුතු රාජා' නම් විය.

'මුතු රාජා' ලංකාවට එන විට ඔහුගේ වයස අවුරුදු 10 කි. ලංකාවට ගෙන ඒමෙන් පසු දෙරටේ බෞද්ධ ජනතාවගේ මිත්‍රත්වය සංඛේතවත් කරනු වස් දළදා කරඬුව වැඩැම්මවීම සඳහා පුහුණු කිරීමට ඔහු මහනුවර දළදා මාලිගාවට අයත් ඇත් ගාලට යවනවා වෙනුවට ඔහු යවන ලද්දේ අලුත්ගම කන්දේ විහාරයට ය. අවුල ආරම්භ වන්නේ එතැන් සිට ය.

කන්දේ විහාරයේ චීවරධාරීන් 'මුතු රාජා' කොටන් රාජයෙකු කරයි..

අලුත්ගම කන්දේ විහාරයේ චීවරධාරීන් කරන්නේ දළදා වැඩැම්මවීමට පුහුණු කිරීම පසෙක තබා සතාගෙන් හරි හම්බ කර ගැනීම සඳහා සතා කොටන් ඇදීම ආදී බරවැඩ වල යෙදවීමයි. දිගු කලක් අඛණ්ඩව වෙහෙස වීම නිසා සතා රෝගාතුර විය. බර යකඩ දම්වැල් නිරතුරුවම පාද වලට යොදා තිබීම නිසා ඉදිරිපස වම් පාදය අබල දුබල විය.

සත්ව හිමිකම් ක්‍රියාකාරීන්ට මේ අවනඩුව දැන ගන්නට ලැබීමෙන් පසු ඔව්හු ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති කාර්යාලයටත් තායිලන්ත රජයටත් පෙත්සම් මගින් කරුණු අනාවරණය කළහ. පසුව තායිලන්තයෙන් විශේෂඥ පශු වෛද්‍යවරයෙකු කරුණු සොයා බැලීම සඳහා ලංකාවට එවීය. දළදා වැඩම්මවීමට පරිත්‍යාග කළ 'මුතු රාජා' ඒවන විට දුක්මුසු රෝගී 'කොටන් රාජා' කෙනෙකු කර  තිබෙනු දුටු තායිලන්ත පශු වෛද්‍ය විශේෂඥවරයා මැදිහත් වී කන්දේ විහාරයෙන් අහිංසක සතා ගලවා ගෙන දෙහිවල සත්ව උද්‍යානයට බාර කෙරිණ.

ඇතාට දෙන ලද වධයන් ගැන ක්‍රියා කළ යුතු වන ජීවිය ද ආනයනික අලියෙකු ගැන ක්‍රියා කිරීමට තමන්ට බලයක් නැතැයි කියා මග හැරියේ ය.

සිද්ධිය තායිලන්ත බෞද්ධ ජනතාව අතර ප්‍රසිද්ධ විය. රාජ්‍යයන් දෙකක ථෙරවාදී බුද්ධාගමේ මිත්‍රත්වයේ සංඛේතයක්ව පන්සලක කුමාරයෙකු සේ දිවි ගෙවිය යුතු 'සක් සූරීන්' හෙවත් 'මුතු රාජා' අලුත්ගම කන්දේ විහාරයේ චීවරධාරීන්ට මුදල් හම්බ කර දෙන වහලෙකු කර තිබීම තායිලන්ත බෞද්ධයන්ගේ සිත් පෑරවීය. ඔවුහුද ත්‍යාගය යළි පවරා ගන්නා ලෙස කියමින් තායිලන්ත රජයට බලපෑම් කළහ.

රු.කෝටි 20 ක් වියදම් කර විශේෂ ගුවන් යානයක් විශේෂ කූඩුවක්..

ඒ අනුව සත්ත්වයාගේ වාසනාවට තායිලන්ත බලධාරීන් විසින් ලබන ජුලි 01 වැනිදා සතා යලි ගෙන්වා ගැනීමට විශේෂ ගුවන් යානයක් ලංකාවට එවනු ඇත. ඒ සමග සතා සුව පහසුව පැය 6 ක් ගතවන ගුවන් ගමනට එක් කර ගැනීමට විශේෂ කූඩුවක් ද, පශු වෛද්‍යවරුන් තිදෙනෙකු ද, ඇත් ගොව්වෙක් සහ සහායකයන් දෙදෙනෙකු ද එවනු ඇත.

තායිලන්තය තමා දුන් පරිත්‍යාගය අපයෝජන කළ ශ්‍රී ලංකාවෙන් වසර 22 කට පසු යළි ත්‍යාගය ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 20 ක පමණ මුදලක් වැය කරයි.

බුදුන් වහන්සේ දෙසූ සියළු සතුන් උදෙසා කළ යුතු මෛත්‍රීය, කරුණාව ගිලිහී ගිය ශ්‍රී ලංකාවේ බෞද්ධයෝ කුමක්දෝ බුද්ධාගමක් බේරා ගැනීම සඳහා දිවි පරදුවට තබා සටන් කරති.

'සක් සූරීන්' හෙවත් 'මුතු රාජා' නම් සද්දන්ත කුලයේ හස්ති රාජයා ලංකාවේ අකෘතඥ බෞද්ධයන්ගෙන් මිදී සිය මව්බිමට ගොස් අවසන් කාලය සුවසේ ගත කිරීමට යාන්තම් වාසනාවන්ත විය.

හරි ආඩම්බරයි නේද අපේ හාමුදුරුවනේ..?

-චන්ද්‍රප්‍රදීප්

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/54

---------------------------
by     (2023-05-30 17:00:34)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links