-ආනුභාවනන්ද ලියයි
(ලංකා ඊ නිව්ස් -2023.මැයි.29, ප.ව.7.00) මියන්මාරයේ Tada-U ගුවන් හමුදා හමුදා කඳවුරෙන් Yak-130 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානයක් පසුගිය අප්‍රේල් 11 වන දා උදෑසන 7:10 - 7:15 අතර කාලයේ දී ගුවන්ගත වූ අතර එහි කිලෝග්‍රෑම් 250ක් බරැති බෝම්බ දෙකක් විය. ගුවන් ගමන අතරතුර, එහි ගමන්ගත් එක් ගුවන් භටයෙක් Pazigyi ගම්මානයට බෝම්බ මුදා හැරියේය. එම ගම්මානය Sagaing පලාතේ, Kanbalu නගරයේ පිහිටා තිබිණ. ඉලක්කය වූයේ ළමුන් ඇතුළු තුන්සියයකට අධික සාමාන්‍ය පුරවැසියන් රැස්ව සිටි උත්සවයකි. එය ජාතික එක්සත් ආණ්ඩුවේ (National Unity Government) ජනතා පරිපාලන කාර්යාලයක් ආරම්භ කිරීමේ අවස්ථාවකි. බෝම්බ ප්‍රහාරයෙන් එහි රැස්ව සිටි පුරවැසියන් බෙහෝදෙනෙකුගේ සිරුරු කැබැලිවී ගියේ ය. තවත් බොහෝ පිරිසක් බෝම්බයෙන් නිකුත් වූ උල් යකඩ කෑලි හේතුවෙන් මාරාන්තික තුවාල ලැබ සිටියහ. තුවාලකරුවන් රෝහලට ගෙන යෑමට ගිලන් රථ සහ හදිසි සෞඛ්‍ය සේවා නියෝජනය කරන පිරිස් එහි පැමිණීමට පටන් ගත්හ. එහෙත් ස්වල්ප වේලාවකින් Monywa හි ගුවන් හමුදා කඳවුරේ සිට පැමිණි Mi-35 ප්‍රහාරක හෙලිකොප්ටර් දෙකක සිටි ගුවන් භටයෝ බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගලවාලත් සහ තුවාල ලැබූ පිරිස මෙන්ම සෞඛ්‍ය සේවා නිළධාරීන් ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමට පටන් ගත්හ. හෙලිකොප්ටර් දෙක අතර මනා සම්බන්ධීකරණයකින් සිදු වූ මේ ප්‍රහාරයේ අරමුණ වූයේ බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් පුරවැසියන් සිටියේ නම් ඔවුන් ඝාතනය කිරීමය.
Pazigyi ගම්මානයට එල්ල කළ ප්‍රහාරයෙන් මියන්මාර් පුරවැසියන් එකසිය හැටදෙනෙකු ඝාතනය විය. ජාතික එක්සත් ආණ්ඩුවට අනුව මියගිය පිරිස අතරින් හතලිස් දෙනෙකු දරුවන්ය. මේ ප්‍රහාරය මියන්මාර් හමුදා ජුන්ටාවේ තවත් එක් මානුෂිකත්වයට එරෙහි අපරාධයක් සහ මියන්මාර් ජනතාවට එරෙහිව සිදු කළ යුධ අපරාධයකි.
මියන්මාර හමුදා ජුන්ටාවට ජාත්‍යන්තරව සැපයෙන අවි ආයුධ සහ ඒ ආශ්‍රිත ද්‍රව්‍ය යොදා ගනිමින් ක්‍රියා සිදු කරන ම්ලේච්ඡ ප්‍රහාර පිළිබඳ මෙය නිදසුනකි. රුසියාව Yak-130 ගුවන් යානා, Mi-35 හෙලිකොප්ටර් සහ ප්‍රහාර සඳහා භාවිතා කරන ලද PK මැෂින් තුවක්කු සඳහා පතොරම් සපයයි. මියන්මාර හමුදාවේ Directorate of Defense Industries දේශීයව බෝම්බ සහ මැෂින් තුවක්කු නිෂ්පාදනය කරයි. සිංගප්පූරු, චීන සහ තායිලන්ත පුද්ගලික සහ රාජ්‍ය ආයතන මේ නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය සපයයි".
මියන්මාරයේ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ වාර්තාකරු (Special Rapporteur on the situation of human rights in Myanmar) ටොම් ඇන්ඩෘස්ගේ නවතම වාර්තාව වන "The Billion Dollar Death Trade: The International Arms Networks that Enable Human Rights Violations in Myanmar" හි Pazigyi ගම්මානයට එල්ල වූ ප්‍රහාරය එසේ විස්තර කරයි. ඔහුගේ නවතම වාර්තාවට මෙතැනින් පිවිසිය හැක
https://www.ohchr.org/sites/default/files/documents/countries/myanmar/crp-sr-myanmar-2023-05-17.pdf.
වසර 2021 දී පැවති මියන්මාර මහ මැතිවරණයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත්වූ මහජන නියෝජිතයන්ට ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ ලබා නොදී මියන්මාර හමුදාව ක්‍රමන්ත්‍රණයක් මගින් බලය අත්පත් කර ගත්තේ ය. ‘ජාතික එක්සත් ආණ්ඩුව’ යනු (National Unity Government) එම මහ මැතිවරණයෙන් තේරී පත් වූ මහජන නියෝජිතයන්ගෙන් සමන්විත හමුදා ජුන්ටාවට එරෙහි විකල්ප ආණ්ඩුවයි (යුරෝපා සංගමය මෙය නිළ මියන්මාර් ආණ්ඩුව වශයෙන් පිලිගෙන තිබේ). හමුදා ක්‍රමන්ත්‍රණයට එරෙහිව සටන් කළ ජනතාව මියන්මාරයේ ඇතැම් ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව ජාතික එක්සත් ආණ්ඩුවේ පරිපාලන ඒකක පිහිටුවා ගෙන තිබේ. ඔවුහු හමුදා ජුන්ටා පාලනය ප්‍රතික්ෂේප කරති. පසුගිය අප්‍රේල් 11 වනදා ජුන්ටාව බෝම්බ සහ මැෂින් තුවක්කු ප්‍රහාර එල්ල කළ පුරවැසියන් එකසිය හැටදෙනෙකු ඝාතනය කළේ එවැනි ගම්මානයකටය. පාසැල් දරු දැරියන් එහි පැමිණ සිටියේ උත්සවය වෙනුවෙන් නැටුම් සංදර්ශනයක් ඉදිරිපත් කිරීමටය. හමුදා ජුන්ටාවේ මාධ්‍ය ප්‍රකාශකයා එම යුධ අපරාධය කිසිදු පැකිලීමකින් තොරව පිලි ගත්තේ ය. "ඔවුන් අපේ පාලනයට විරුද්ධයි. ඒ නිසා ඔවුන්ව ඝාතනය කළා" යන්න ඔහුගේ සරල හේතු දැක්වීම විය.
වසර දෙකකට පෙර ජ්‍යෙෂ්ඨ ජෙනරාල් මින් අවුන් හ්ලේන්ග් විසින් මෙහෙයවන ලද නීතිවිරෝධී හමුදා කුමන්ත්‍රණයෙන් පසුව හමුදා ජුන්ටාව සිවිල් පුරවැසියන් 3,500ක් ඝාතනය කර, තවත් 22,000ක් දේශපාලන සිරකරුවන් වශයෙන් රඳවා ගෙන සිටියි. පසුගිය වසර දෙකක හමුදා ජුන්ටාව විසින් මියන්මාරයේ ගම්මානවලට එල්ල කළ ගුවන් සහ පාබල ප්‍රහාර හේතුවෙන් මිලියන 1.5 කට අධික ජනතාවක් අවතැන්වී සිටිති. මේ ජනතාව අතරින් සැලකිය යුතු පිරිසක් ජුන්ටාවේ වධහිංසා සහ ලිංගික ප්‍රචණ්ඩත්වයට ලක්වූහ. මියන්මාර හමුදා පාලනය එරට ජනතාවට එරෙහි යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ කිසිදු පැකිලීමකින් තොරව ක්‍රියාත්මක කිරීමට හැකිව ඇත්තේ කෙසේ ද?
මියන්මාරයේ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ වාර්තාකරු ටොම් ඇන්ඩෘස්ගේ නවතම වාර්තාව සාරංශ ගත කළහොත්, හමුදා ජුන්ටාවට නිදහසේ යුධ අපරාධ කිරීමට ඉඩ ලැබී තිබෙන්නේ රුසියාව, චීනය, ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර සහ කලාපීය බලවතුන් ජුන්ටාවට ලබා දෙන සහයෝගය හේතුවෙනි. ඔහු පෙන්වා දෙන ආකාරයට හමුදා ක්‍රමන්ත්‍රණ සිදුවී ගතවූ වසර දෙකක කාලයේදී මියන්මාර පුරවැසියන් මර්දනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියනයක ප්‍රහාරක ජෙට් යානා, හෙලිකොප්ටර්, අවිආයුධ, අමතර කොටස්, ආයුධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය, තාක්ෂණය රුසියාව, චීනය, සිංගප්පූරුව සහ ඉන්දියාව ජුන්ටාවට අලෙවි කර තිබේ.
රුසියාවේ රාජ්‍ය ආයතන ඇතුළු සමාගම් 28ක් ඇමරිකානු ඩොලර් මිලියන 406; චීන රාජ්‍ය ආයතන ඇතුළු සමාගම් 41ක් ඇමරිකානු ඩොලර් මිලියන 267; ඉන්දියානු රාජ්‍ය ආයතන ඇතුළු සමාගම් 22ක් ඇමරිකානු මිලියන ඩොලර් 51; සිංගප්පූරුවේ ක්‍රියාත්මක වන සමාගම් 138ක් ඩොලර් මිලියන 254; සහ තායිලන්තයේ ක්‍රියාත්මක වන සමාගම් 25ක් ඩොලර් මිලියන 28ක් වශයෙන් මියන්මාර් හමුදා ජුන්ටාවට අවි ආයුධ, අමතර කොටස්, අමුද්‍රව්‍ය අලෙවි කළේ ය.
ටොම් ඇන්ඩෘස්ගේ නවතම වාර්තාව හමුදා ක්‍රමන්ත්‍රණ සිදුවී ගත වූ වසර දෙකක කාලය තුළ හමුදා ජුන්ටාව ආයුධ ඇතුළු උපකරණ මිලදී ගැනීම් සහ අදාළ භාණ්ඩ නැව්ගත කිරීම් 12, 500ක් හඳුනාගෙන තිබේ. හමුදා ජුන්ටාව චීනයෙන් සහ රුසියාවෙන් මිලදී ගත් අවි ආයුධ අතර ප්‍රහාරක ජෙට් යානා, හෙලිකොප්ටර්, ඔත්තු බැලීමේ සහ ප්‍රහාරක ඩ්‍රෝන, නවීන මිසයිල පද්ධති, යුධ ටැංකි සන්නිවේදන උපකරණ, නවීන රේඩාර් පද්ධති, නාවික හමුදා යාත්‍රා සඳහා අවශ්‍ය උපකරණ වෙයි. මියන්මාර හමුදාව විසින් වානේ, ඇලුමිනියම්, තඹ, පිත්තල, ඊයම්, ඇතැම් රසායනික ද්‍රව්‍ය සහ ලිහිසි තෙල්, රබර් ඇතුළු අවි ආයුධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ද විශාල වශයෙන් මිලදී ගෙන තිබේ.
මියන්මාරය දශක ගණනාවක් පුරා විටින් විට හමුදා පාලනයන්ට යටත් විය. ඒ සෑම අවස්ථාවේදී ම හමුදා ජුන්ටාවන්ගේ ප්‍රධාන ආරක්ෂකයන් වූයේ චීනය සහ රුසියාවයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ මියන්මාර් හමුදා ජුන්ටාවට ගෙන එන ඕනෑම සම්බාධකයක් චීනය සහ රුසියාව සිය නිෂේධ බලය පාවිච්චි කර පරාජය කර දමයි. පසුගිය වසර දෙකකට පෙර සිදුවූ හමුදා ක්‍රමන්ත්‍රණය සහ ජුන්ටාවේ ජනතා මර්දනයට එරෙහිව ද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය නිහඬය. හමුදා ක්‍රමන්ත්‍රණ සිදුවූ අවස්ථාවේ එම ක්‍රියාව හෙළා දකිමින් ශක්තිමත් නිවේදනයක් හෝ නිකුත් කිරීමට ආරක්ෂක මණ්ඩලයට නොහැකි විය. එවැනි නිවේදනයකට ආරක්ෂක මණ්ඩලයේ සියළු රටවල් පොදු එකඟතාවයකට පැමිණිය යුතුය. මියන්මාර් හමුදාව එහි පාර්ලිමේන්තුව අහෝසිකර බලය අත්පත් කර ගැනීම "හමුදා ක්‍රමන්ත්‍රණයක්" වශයෙන් නම් කිරීමට පවා ඒ වකවානුවේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය නොවන සාමාජිකයෙකු වශයෙන් කටයුතු කළ ඉන්දියාව විරුද්ධ විය!
මියන්මාරය යනු ස්වාභාවික සම්පත් වලින් අනූන රටකි. ටංස්ටන්, ටින්, සින්ක්, රිදී, තඹ, ඊයම්, ඇන්ටිමනි ඇතුළු දුර්ලභ කාර්මික ඛනිජ වර්ග රාශියක් මියන්මාරය සතුය. 2018 දී ඛනිජ සහ ඛනිජ නිෂ්පාදන මියන්මාර් සමස්ත අපනයනයන්ගෙන් 23% ක් විය. ගල් අඟුරු, පෙට්‍රෝලියම් සහ ස්වාභාවික ගෑස් නිධි විශාල ප්‍රමාණයක් ඔවුන් සතුය. එමෙන්ම මියන්මාරය ජේඩ්, දියමන්ති, මැණික් හා නිල් මැණික් ඇතුළු මැණික් නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයාය. මියන්මාරයේ "රට ජාතිය, ථේරවාදී බෞද්ධාගම" ආරක්ෂා කිරීම සඳහා මේ සියලු ස්වභාවික සම්පත් ආශ්‍රිත ව්‍යාපාර සිදු කරනුයේ හමුදාව සහ හමුදා ප්‍රධානීන්ට අයත් සමාගම් හරහාය! මියන්මාර හමුදාව යනු අල්ලස් සහ දූෂණයේ ප්‍රමුඛයෝය. මියන්මාරය යනු ලෝකයේ දූෂිතම රටවල් අතරින් එකකි.
මියන්මාර ආර්ථිකය සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ හමුදාවයි. එබැවින් ඔවුහු සෑමවිටම දේශපාලන බලය තමන් අත රඳවා ගැනීමට උත්සාහ කරති. මේ හමුදා ජුන්ටාව සමඟ වෙළෙඳ ගණුදෙනු කරන කලාපීය සහ ජාත්‍යන්තර ප්‍රජාව ද ජුන්ටාවේ අනීතික ක්‍රියාමාර්ග ප්‍රශ්න නොකර තම වෙළෙඳ වාසිය අත්පත් කර ගනියි. මියන්මාරයේ විශාලතම වෙළෙඳ හවුල්කරුවා වන චීනය (සමස්ත වෙළෙඳාමෙන් සියයට 27ක්) දශක ගණනාවක සිට එහි ස්වාභාවික සම්පත් අඩු මිලට සූරාකමින් සිටියි. මියන්මාර හමුදා ජුන්ටාවේ දෙවන විශාලතම වෙළෙඳ හවුල්කරුවා වන්නේ ඔවුන් මෙන්ම "රට ජාතිය, ථේරවාදී බෞද්ධාගම" ආරක්ෂා කර ගැනීමට බලය පැහැරගත් තායිලන්ත හමුදා ජුන්ටාවයි. ඔවුන්ගේ වෙළඳ කෝටාව සියයට 17.7 ක් වන අතර වැඩි වශයෙන් මියන්මාර පෙට්‍රෝලියම් සහ ස්වාභාවික ගෑස් මිලදී ගනියි.
හමුදා මාදිලියේ පාලනයන් මගින් සීඝ්‍ර ආර්ථික සංවර්ධනයක් ලඟා කළ හැකි බවට "ජනප්‍රිය" මතයක් පවතියි. 69 ලක්ෂයේ ගව පට්ටිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කළේ එවැනි හමුදා පාලනයක් ඇති කිරීම සඳහා ය. ඔහු පලාත් සභා අක්‍රීය කර රට පාලනය කරන විට ඔහුගේ ගව පට්ටිය පාර්ලිමේන්තුව ද විසුරුවා හැර පලාත්, දිස්ත්‍රික්ක සඳහා මේජර් ජෙනරාල්වරුන් සහ බ්‍රිගේඩියර්ලා පත් කරන ලෙසට කවි, ගීත රචනා කළහ. එහෙත් ගෝඨාභයගේ නන්දන වින්දනය වැඩි කලක් පැවතුනේ නැත. ඔහු රට ආර්ථික වශයෙන් බංකොලොත් කළේ ය. මියන්මාරය නිදහසින් පසුව දීර්ඝ කාලයක් පාලනය කළේ හමුදාවයි. ඒ අනුව ස්වාභාවික සම්පත් වලින් අනූන මියන්මාරය ආසියාවේ "ආශ්චර්ය" විය යුතුව තිබිණි. එහෙත් මියන්මාරය යනු ලෝකයේ දූෂිතම සහ දිළිඳුම රටකි. මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, සහ දකුණු කොරියාව ආසියානු කලාපයේ රටවල් ආර්ථික සමෘද්ධියේ මධ්‍යස්ථානය බවට පරිවර්තනය වන විට මියන්මාරය දරිද්‍රතාවයේ පතුලට ගිලී ගොසිනි. ඒකාධිපතීන්ට සහ හමුදා ජුන්ටාවන්ට දූෂණ අල්ලසින් තොර පාලනයක් ගෙනයෑමට මෙන්ම ආර්ථික සංවර්ධනයක් ලබාගත නොහැකි බවට මියන්මාරය තවත් එක් නිදසුනකි.
මියන්මාරයේ මිලියන 55ක ජනගහනයෙන් සියයට 40ක් එනම් ආසන්න වශයෙන් මිලියන 22ක් හමුදා ක්‍රමන්ත්‍රණයෙන් මාස දහඅටකට පසුව දරිද්‍රතා මට්ටමට ඇද වැටී ඇති බව ලෝක බැංකුවේ නවතම වාර්තාව පෙන්වාදෙයි. වසර 2020 මාර්තු මාසයට සාපේක්ෂව දරිද්‍රතාවය දෙගුණයකින් ඉහළ ගොස් ඇත. එය පසුගිය වසර පහළොවක කාලය තුළ මියන්මාරයේ ද්‍රරිද්‍රතාවයේ උපරිම මට්ටමයි. හමුදා කුමන්ත්‍රණය වනතෙක් සිවිල් ආණ්ඩු යටතේ මියන්මාරයේ දිළිඳුකම පිටුදැකීම සාර්ථක ප්‍රගතියක් අත්පත් කර ගෙන තිබිණි. වසර 2005 දී සියයට 48.2ක්ව පැවති ද්‍රරිද්‍රතාව අනුපාතය 2015දී සියයට 32.1ක් දක්වාත් වසර 2017 වනවිට සියයට 24.8ක් දක්වා පහත වැටී තිබූ බව එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තා පෙන්වාදෙයි.
ලෝක බැංකු වාර්තාවට අනුව මියන්මාරයේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතය පසුගිය වසරේ සියයට 18කින් පහළ වැටී ඇත. එය වසර 1962 පසු පහළම මට්ටමයි. වසර 2023 දී මියන්මාර් ආර්ථිකය සියයට 2.6කින් වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුව ප්‍රක්ෂේපණය කර ඇත. එය මියන්මාරය ද ඇතුළත් වන ආසියාන් (ASEAN) සංවිධානයේ රටවල් දහය අතරින් අවම ආර්ථික වර්ධනයයි. උද්ධමනය ද සීඝ්‍රයෙන් ඉහළ යන අතර මේ වසරේ දී එය සියයට 8.5ක් වනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුවේ තක්සේරුවයි.
වසර දෙකකට පෙර සිදුවූ හමුදා කුමන්ත‍්‍රණයෙන් පසු, මියන්මාරයේ ආර්ථිකය සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පවතියි. සිවිල් ආණ්ඩුව පිළිබඳ විශ්වාසයෙන් මියන්මාරයට පැමිණි ප‍්‍රධාන ජාත්‍යන්තර ආයෝජකයින් රටින් ඉවත්වීම, බැංකු පද්ධතිය බිඳ වැටීම, සහ පාලන හමුදා ජුන්ටාව සහ ජුන්ටා විරෝධී මහජන බලවේග අතර රට පුරා ඇතිවී තිබෙන ගැටුම් මේ ආර්ථික බිඳවැටීමට හේතුවී ඇත.
රුසියාව මියන්මාරයේ සාම්ප්‍රදායික වෙළෙඳ හවුල්කරුවෙකු නොවුනද හමුදා ජුන්ටාවේ විශාලතම ආයුධ සැපයුම්කරුය. හමුදා ජුන්ටාව සමඟ ගණුදෙනුකරන රුසියාව, චීනය, ඉන්දියාව, තායිලන්තය, සිංගප්පූරුව වැනි රටවල් ගත්විට ඔවුන් ද පුරවැසි අයිතිවාසිකම්, මානවහිමිකම්, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ වැඩි සැළකිල්ලක් නොමැති රාජ්‍යයන්ය. මියන්මාර හමුදාව බලය අත්පත් කර ගැනීම හමුදා ක්‍රමන්ත්‍රණයක් වශයෙන් නොදකින ඉන්දියාව, රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම අදටත් හෙළා දැක්කේ නැත! ඉන්දියාව යනු රුසියානු ඉන්ධන චීනයටත් වඩා කිහිප ගුණයකින් මිලදී ගනිමින් යුක්රේන ආක්‍රමණය සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දෙන ප්‍රධාන ආධාරකරුවෙකි. මේ සියළු දෙනා එක වල්ලේ පොල් ය.
State Administration Council හෙවත් මියන්මාර් හමුදා ජුන්ටාවට එරෙහි දැඩි සම්බාධක පනවන ලෙසට මියන්මාරයේ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ වාර්තාකරු ටොම් ඇන්ඩෘස් තම නවතම වාර්තාව මගින් යලිත් ජාත්‍යන්තර ප්‍රජාවට බලකර සිටියි. ජුන්ටාවට ආයුධ මිලදී ගැනීම සඳහා වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් සපයන Myanma Oil and Gas Enterprise නම් රාජ්‍ය ආයතයට සහ Myanma Foreign Trade Bank එරෙහිව සම්බාධක පැනවීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කරයි. රුසියාව, චීනය, ඉන්දියාව, තායිලන්තය ඇතුළු රටවලට මියන්මාර හමුදා ජුන්ටාවට ආයුධ, ජෙට් ඉන්ධන, ආයුධ අමතර කොටස් විකිණීමෙන් වළකින ලෙසට ද ටොම් ඇන්ඩෘස් සිය වාර්තාව මගින් ඉල්ලීමක් කරයි. එමෙන්ම මියන්මාර් හමුදා ජුන්ටාව පුරවැසියන්ට එරෙහිව සිදු කරන යුධ අපරාධ සහ සමූල ඝාතනයන්ට එරෙහිව දඬුවම් දිය යුතු බවට යෝජනා කරයි. එහෙත් එය අද හෙට සිදු නොවන බව පැහැදිලිය.
මේ ලිපිය ලියමින් සිටින මොහොතේ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ වසර 1994 දී රුවන්ඩා සමූල ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු වන Fulgence Kayishema දශක ගණනාවකට පසු පසු දකුණු අප්‍රිකාවේ පර්ල්හිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඔහු Nyange කතෝලික දේවස්ථානයේදී ටුට්සි සරණාගතයින් 2,000කට අධික සංඛ්‍යාවක් ඝාතනය කිරීම සැලසුම් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයක් ඉදිරියේ චෝදනා ලැබ සිටියි. ඔහු වසර 2001 සිට සැඟව සිටියේය. මේ පුවත, යුක්තිය සහ සාධාරණය සඳහා වන දැති රෝදය ප්‍රමාදවී හෝ ඉදිරියට යන බවට වන බලාපොරොත්තුව අප වෙත ලබාදී ඇත. අපේ අහිංසක දරුවන් 11 දෙනෙකු අතුරුදහන් කළ බවට චෝදනා එල්ල වූ වසන්ත කරන්නාගොඩ ඇතුළු පවුලේ සාමාජිකයන්ට ඇමරිකානු එක්සත් ජනපදය සිය රටට ඇතුළුවීමට එරෙහිව පැන වූ තහනම ද එවැනි බලාපොරොත්තුවකි.
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/33
---------------------------
by (2023-05-29 13:46:24)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි