(ලංකා ඊ නිව්ස් -2023.මැයි.25, ප.ව.8.00) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආණ්ඩුව නියෝජනය කරන පුත්තලම දිස්ත්‍රික්කයේ පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් පසුගියදා රුපියල් හත්කෝටි පනස් ලක්ෂයක වටිනාකමකින් යුත් කිලෝග්‍රෑම් තුනහමාරක බරකින් යුත් රන් බිස්කට් සහ ස්වර්ණාභරන ද, ස්මාර්ට් ජංගම දුරකථන 91 ක් ද, සාමාන්‍යයෙන් ගමන් මලු පරීක්ෂා නොකරන ප්‍රභූ පර්යන්තයෙන් නීති විරෝධී ආකාරයට මෙරටට රැගෙන එමින් සිටියදී අත්අඩංගුවට පත්විය. රේගුව විසින් පරීක්ෂණ සිදුකර භාණ්ඩ රාජසන්තක කර ලක්ෂ 75 ක දඩගැසූ විට එක පාරින්ම එය ගෙවා දැමූ රහීම් එළියට පැමිණියේ ය. එළියට පැමිණීමෙන් පසු එදිනම පාර්ලිමේන්තු සභාවාරයට සහභාගී වූ ඔහු, ආණ්ඩුව සහ විපක්ෂය අතර පැවැති තීරණාත්මක ඡන්දයක දී තමා නියෝජනය කරන ආණ්ඩු පක්ෂයට විරුද්ධව ඡන්දය පාවිච්චි කෙළේ ය. ඊට හේතු වශයෙන් ඔහු කීවේ කිතුලට ගිය මිනිහාගේ කතාවකි.
මෙම රත්‍රන් සහ දුරකථන තමාගේ නොවූ බවත් තමා සමග ගිය මිත්‍රයෙකුගේ බවත් ඔහු තමන්ට නොදන්වා තමාගේ ටැග් එක සහිත බෑග් වලට මෙය දමා තිබූ බවයි. ඒ පිළිබඳ තමා ජනාධිපති ලේකම්ට සහ අගමැතිවරයාට පවසා තමා නිදහස් කරන ලෙස කියා සිටි නමුත් ඒ කිසිවෙකු ඒ ගැන නොතැකූ නිසා තමන් ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දුන් බවත් රත්තරන් මන්ත්‍රී අලි සබ්‍රි රහීම් පැවසීය. මෙය 'මගේ අමුඩේ වෙන කව්දෝ පහරලා' වැනි කතාවකි.
කෙසේ වෙතත් මොහු මේ නීති විරෝධී ක්‍රියාව කළ පළමු අවස්ථාව හෝ මොහු පළමුවැන්නා ද නොවිය හැකිය. ඒ පිළිබඳ වෙනම පරීක්ෂණයක් කළ යුතුය.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් කතානායකවරයාට ලිපියක් යොමුකරන සජබ ප්‍රමුඛ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිතා කරමින් සිදුකළ මෙම නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැඩි ක්‍රියාමාර්ගයක් ගත යුතු බව පවසයි.
මෙය පාර්ලිමේන්තුවේ විශේෂ අවධානය යොමුවිය යුතු කරුණකි. ප්‍රභූ පර්යන්තය ඔස්සේ නීති විරෝධී භාණ්ඩ ගෙන ඒමට අලි සබ්‍රි රහීම් මන්ත්‍රීවරයා සිය පාර්ලිමේන්තු වරප්‍රසාද සහ රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රය අවභාවිතා කර ඇත.
එය 2018 දී පාර්ලිමේන්තුව විසින්ම පැනවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහය ද සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරන්නකි.
ආණ්ඩුව විසින් ගෙන එනු ලබන නීති රීති, අණ පනත් සම්මත කර ගැනීමට සිය සහයෝගය ලබා දෙන මන්ත්‍රීවරුන් විසින්ම ඒවා කඩ කිරීම තුලින් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ගැන පමණක් නොව පක්ෂ විපක්ෂ සියළු මන්ත්‍රීවරුන් කෙරෙහි මහජන විශ්වාසය බිඳ වැටෙනු ඇත. ඒ නිසා ඉදිරියේ දී ජනතාවද නීති රීති වලට අවනත නොවනු ඇත.
ඒ නිසා මේ ක්‍රියාව ගැන පාර්ලිමේන්තුව දැඩි ක්‍රියාමාර්ගයක් ගත යුතුය. ඒ පිළිබඳ පූර්ව ආදර්ශන් ද අනුගමනය කළ යුතුය. එබැවින් පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙමින් මෙවැනි නීති විරෝධී ක්‍රියා තවදුරටත් නොගැනීමට මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව අවශ්‍ය පියවර කඩිනමින් ගත යුතු යැයි යෝජනා කරමු.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් ඊට අත්සන් තබා ඇති අතර ඒ පිළිබඳ ලියැවිලි මේ සමග ඇති ඉමේජ වල දැක්වේ.
කෙසේ වෙතත් මෙය ඉතාමත් බැරෑරුම් ලෙස සැලකිල්ලට ගත යුතු බවත් එය රටක් ලෙස ලැජ්ජාවට පත්විය යුතු කරුණක් ලෙස සැලකිය යුතු බව හිටපු කතානායකවරයෙකු වන, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති දේශමාන්‍ය කරු ජයසූරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එහි වැඩිදුරටත් මෙසේ දැක්වේ.
“ගරු මන්ත්‍රී” යනුවෙන් හැඳින්වෙන පුද්ගලයෙකු රටේ ප්‍රධාන ගුවන් තොටුපොළෙහි ප්‍රභූ පර්යන්තය යොදාගනිමින් සිදුකර ඇති මෙම ක්‍රියාව මගින් ප්‍රදර්ශනය වී ඇත්තේ මේ රටේ 'ප්‍රභූන්' ලෙස සැලකෙන ඇතැම් පාර්ශවයන් නීතියට පිටුපාමින් සිදුකරගෙන යමින් සිටින දූෂිත ක්‍රියාවන්හි එක් සුළු පැතිකඩක් පමණක් යැයි ද අප විශ්වාස කරන්නෙමු.
මෙම ක්‍රියාව මගින් අදාළ මන්තීවරයා සමස්ත පාර්ලිමේන්තුව අපහාසයට ලක්කර තිබේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන ගරු කටයුතු මන්ත්‍රීවරුන් ද සිටින බව පිළිගන්නා අප මෙවන් පුද්ගලයන්ගේ මෙවැනි ක්‍රියාවන් නිසා ඔවුන්ද අපකීර්තියට පත්වන බව අවධාරණයෙන් සඳහන් කරන්නෙමු.
එමෙන්ම මෙම සිදුවීම හුදු රේගු නීතිය කඩ කිරීමක් ලෙස පමණක් සැලකිය යුතු නොවන බව පෙනේ. මේ මගින් රටේ විනිමය නීති උල්ලංඝනය කිරීමක් ද සිදුකර තිබිය හැකිය. එවැන්නක් වී ඇත්නම් එය ද බරපතල බරපතල වරදකි. එබැවින් අප රටේ වගකිව යුතු පාර්ශව මේ පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කල යුතුව ඇති අතර චෝදනාව එල්ල වී ඇති අය කුමන තරාතිරමක වුවත් එය නොසලකා නීතිය අකුරටම ක්‍රියාත්මක විය යුතු යැයි අපි අපේක්ෂා කරන්නෙමු.
කරු ජයසූරිය නිකුත් කළ නිවේදනයේ එසේ දැක්වේ.
---------------------------
by (2023-05-25 14:39:00)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි