-ප්‍රතිත්‍රස්ථවාදී පනත් කෙටුම්පත ගැන නීතිඥ බැසිල් ප්‍රනාන්දු ලියයි
(ලංකා ඊ නිව්ස් -2023.මැයි.12, ප.ව.9.35) නීතිය මත පාලනය පිළිබඳව වර්ථමාන කාලය තුල ලිය වී ඇති පොත් අතර ඉතාමත් ප්‍රසිද්ධියට පත් පොතක් වූයේ ටොම් බින්ග්හම් (Tom Bingham) සාමිවරයා විසින් ලියන ලද නීතිය මත පාලනය (The Rule of Law) යන පොතය. එම පොත 'නීතිය මත පාලනය' යන නමින් සිංහලට පරිවර්ථනය කොට ඇත.
එම පොතෙහි නීතිය මත පාලනය යන්න පිළිබඳව ඇති නිර්වචනය මෙසේය. "දැනට පවත්නා මූලධර්මයේ නීතිය මත පාලනය ගැන හරය බවට මා යෝජනා කරන්නේ, රාජ්‍යයක් තුලින් ක්‍රියාකරන සියලු තැනැත්තන්, ඔවුන් පොදු හෝ පුද්ගලික තැනැත්තන් වූවත්, ප්‍රසිද්ධියේ සාධන ලද, අනාගතයේ බල පවත්වන (සාමාන්‍ය වශයෙන්) සහ උසාවිවලින් ප්‍රසිද්ධියේ පරිපාලනය කරනු ලබන නීතිවලින් බැඳී සිටිය යුතු බව සහ ඒවායේ ප්‍රතිලාභවලට හිමිකම් කිව යුතු බවයි."
මෙම නිර්වචනයය වටා නීතිය මත පාලනය යන සංකල්පය මෙන්ම ඒ වටා ලංකාවේ පැන නැගී ඇති ගැටලු ගණනාවක් සාකච්ඡා කළ හැකිය.
නීතිය මත පාලනය යන්නෙහි පළමුවෙනි අංගය නම් රටක සෑම ප්‍රසිද්ධ කටයුත්තක්ම නීතියක් මත පදනම් විය යුතු බවය. ටොම් බින්ග්හම් ස්වාමිවරයා නීතිය හා අභිමතය පිළිබඳව මෙසේ ප්‍රකාශ කරයි. නෛතික අයිතින් හා වගකීම් පිළිබඳ ප්‍රශ්න සාමාන්‍යයෙන් විසඳිය යුත්තේ නීතිය මතය. අභිමතය මත නොවේ.
එතුමා තව දුරටත් ප්‍රකාශ කරන්නේ, නිළධාරීන් හෝ අධිකරණයේ තීන්දු ගන්නන් සියලු අභිමතයන්ගෙන් තොර කළ යුතු යැයි නීතිය මත පාලනය විසින් ඉල්ලා සිටින්නේ නැත. ඒ වෙනුවට එයින් ඉල්ලා සිටින්නේ අත්තනෝමතික විය හැකි ලෙසට කිසිදු අභිමතයක් සීමාවන්ගෙන් තොර නොවිය යුතු බවයි. කිසිදු අභිමතයක් නෛතිකව නිර්බාධිත නොවිය යුතු බවයි.
යෝජිත ප්‍රතිත්‍රස්ථවාදී පනත තුල ඇති ප්‍රතිපාදනයන් ඉතා බරපතල මානව හිමිකම් කැඩීම් වලට මාවත විවෘත කර ඇත. රඳවා ගැනීම් පිළිබඳ නියෝග ඉහල පොලිස් නිළධාරීන් විසින් කළ හැකිය යනුවෙන් සලසා ඇති ප්‍රතිපාදනය නිසා අත් අඩංගුවට ගැනීම් හා රඳවාගැනීම් වල නීත්‍යානුකූල භාවය තීන්දු කිරීමට අධිකරණයට ඇති බලය අහිමි වේ. මහේස්ත්‍රාත් වරයෙකු විසින් අත් අඩංගුවට ගැනීම් පිළිබඳව සලකා බලන්නේ එම අත් අඩංගුවට ගැනීම් හෝ රඳවා ගැනීම් නීත්‍යානුකූල ද නැද්ද යන පදනම මතය. එය කිරීම පවරා ඇත්තේ අධිකරණ නිළධාරියෙකුට ය. තරාතිරම කුමක් වූවත් පොලිස් නිළධාරියෙකු යනු විධායකය වෙනුවෙන් වැඩ කරන නිළධාරියෙකි. එවැනි නිළධාරියෙකුට අධිකරණ නිළධාරියෙකු සතු බලතල පැවරීම තුලින් විධායක නිළධාරීන්ට ඔවුන්ට අයිති නැති බලයක් පැවරේ. ජන ව්‍යවහාරයේ එන විදියට 'බල්ලාගේ වැඩේ බූරුවා කිරීමට උත්සාහ කිරීම' වැනි තත්වයක් මෙහිදී නිර්මානය වේ. මේ අනුව ජනතාවගේ ආරක්ෂාව පිළිබදව පවතින ගැඹුරුම මූලධර්ම උඩු යටිකුරු වේ. විනිශ්චයකාර වරයෙකුට අත්තඩංගුවට ගැනීම් හා රඳවා ගැනීම් පිළිබඳව නීත්‍යානුකූලභාවය සලස්වා ඇත්තේ 'හොරාගේ අම්මාගෙන් පේන ඇසීම' වැනි අර්ථ විරහිත හා ව්‍යාජ තත්වයන් ඇතිකිරීම සඳහාය. පොලිස් නිළධාරීන්ටම පොලීසිය විසින් කරනු ලබන අත් අඩංගුවට ගැනීම් හරිද වැරදිද කියා තීන්දු කිරීමට ඉඩදීම බරපතල වැරදි වසන් කිරීමට මාවත විවෘත කරනු ඇත. විශේෂයෙන්ම දේශපාලන හේතූන් මත යමෙක් අත් අඩංගුවට ගන්නේ නම්, එසේ කළ හැක්කේ ඉහල පොලිස් නිළධාරීන්ගේ අනුදැනුම ඇතිව පමනි. එම නිසා එවැනි අත් අඩංගුවට ගැනීම් පිලිබඳ තීන්දු වල හරි වැරදි තීන්දු කළ හැක්කේ අධිකරණ නිළධාරීන්ට පමණය.
තවදුරටත් යෝජිත පණත් කෙටුම්පත යටතේ නියෝජ්‍ය පොලිස්පති වරුන් යටතේ අත් අඩංගුට ගත් අය රඳවා ගැනීමේ කඳවුරු පවත්වාගෙන යාමට ද ඉඩදී ඇත. මේ අනුව එම රඳවා ගැනීම් ස්ථානයන් අධිකරණයේ මෙන්ම බන්ධනාගාර කොමසාරිස්ගේද අධීක්ෂණයෙන් බැහැර වේ. කොටින්ම කිවහොත් 1987-1991 කාලයේදී පැවතුනා වැනි කඳවුරු එනම් බටලන්ද වැනි කඳවුරු ඇතිවීමට මාවත මෙයින් සැලසී ඇත. එවැනි කඳවුරු පැවති කාලයේ රහසිගතව අත්තඩංගුවට ගැනීම් කිරීමටත්, රහසිගතව ඔවුන් රඳවා ගැනීමටත් රඳවාගෙන සිටින කාලය තුල එම රැඳවියන් ඕනෑම වර්ගයක වධහිංසාවට හෝ වෙනත් වැරදි සහගත සැලකිල්ලට භාජනය කිරීමටත් හැකිවිය. ඉන් පසු එම රැඳවියන් අතරින් බොහෝ දෙනෙකු මරාදැමීම ද වළලා දැමීම ද රහසිගතව කර ගැනීමට ද හැකිවිය. යෝජිත ප්‍රතිත්‍රස්ථවාදී පණතේ මෙසේ ඉහල පොලිස් නිළධාරීන් වෙත පවරා ඇති බලතල නැවත පැවරීම රාජ්‍ය ත්‍රස්ථවාදය ලෙස හිස එසවීමට හා ඝාතන සංස්කෘතියක් ඇති කිරීම මගින් රටතුල භීතියේ මානසිකත්වයක් නැවත නිර්මාණය කිරීමටත් තුඩු දෙනු ඇත. ඇත්තෙන්ම ප්‍රතිත්‍රස්ථවාදී පණතේ අරමුණද මෙවැනි තත්වයක් උදාකිරීමට අවශ්‍ය කොන්දේසි සැලසුම් කිරීමක් බව පෙනී යයි.
ඉහත සඳහන් වන්නේ ප්‍රතිත්‍රස්ථවාදී පනත් කෙටුම්පත යන නාමයෙන් ඉදිරිපත් කොට ඇති අති භයානක වූ නීති සම්පාදනයක් පිළිබඳ කරුනු කිහිපයක් සඳහන් කිරීමකි. මේ පිළිබඳව තවත් කිව යුතු බරපතල විවේචන විශාල වශයෙන් පවතී. දැනට මෙම පණත් කෙටුම් පතට විරුද්ධව විශාල මහජන මතයක් ගොඩ නැගී ඇත්තතේ ද මේ නිසා ය. මෙම පනත පරාජය කළ යුතුය යන්න ගැන මහජන අවදිවීමක් පැවතීම සාධාරණය. එම විවේචනය ඉදිරියට ගෙන යාම ලාංකීය ජනතාවගේ අනාගත ආරක්ෂාව සඳහා හේතුවනු ඇත.
මෙම නීති සම්පාදනය ප්‍රසිද්ධියේ කළ යුතු බව එහි ප්‍රධාන අංගයකි. මෙහිදී ප්‍රසිද්ධියේ නීති නිර්මාණය කිරීම යන අදහස පිළිබඳව ලංකාවේ ඉතාමත් විශාල ව්‍යාකූලත්වයන් පවතින බව පෙනේ. සාමාන්‍යයෙන් වර්ථමාන කාලය තුල ප්‍රසිද්ධියේ නීති සෑදීම යන්නෙන් අදහස් වන්නේ යම් නීති කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ගැසට් පත්‍රයක් මගින් නිකුත් කිරීමත්, ඉන් පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනත් අතරට ඉදිරිපත් කිරීමත්, පසුව පාර්ලිමේන්තුව තුලදී ඒ පිළිබඳව ඇතිවන සාකච්ඡාව හා එකඟතාවයන් ලබා ගැනීමත්, එසේ කරන අතරතුරේදී එම පනත පිළිබඳව යම් විරුද්ධත්වයක් ඇති පුද්ගලයින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස් එයට විරුද්ධතා දැක්වීමට ලබා දී ඇති කෙටි කාලයත්, එම කාලය තුල සලකා බැලීමෙන් පසු එම පනත පිළිබඳව අධිකරණයෙන් කරන ප්‍රකාශය හා ඒ අනුව වෙනස්කම් ඇති කළ යුතුනම් එසේ කොට අවසාන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට එය එහිදී සම්මත කර ගැනීම මගිනි. එසේ ප්‍රසිද්ධියේ කරන සාකච්ඡාවට අඩංගු තව කරුනු දෙකක් නම්, යම් ආකාරයක මතවාදයට තුඩු දෙන හා ව්‍යවස්ථාවට පටහැනි සේ පෙනෙන යම් වගන්ති ඇතොත් ඒවා තුනෙන් දෙකක පාර්ලිමේන්තු ඡන්දයෙන් සම්මත කරගත යුතු හා අවශ්‍ය නම් ජනමත විචාරනයකට යටත් කළ යුතු බවය.
මෙය බැලූ බැල්මට ප්‍රසිද්ධියේ නීති නිර්මාණය කිරීමක් සේ පෙනෙන්නට ඇතත් ඇත්තෙන්ම මෙම වත් පිලිවෙත්හි ප්‍රධාන ගැටලු ගණනාවක් ඇත. ප්‍රසිද්ධියේ නීති සෑදීම යන්නෙන් අදහස් වන්නේ මහජනයගේ කැමැත්ත මත නීතියක් සම්මත වන බවය. එසේ සම්මත වන බවට නෛතික මූලධර්මය නම් ජනතාවගේ පරමාධිපත්‍ය යන සංකල්පය ය. ලංකාවේ ව්‍යවස්ථාව ගොඩනැගී ඇත්තේ මෙම සංකල්පය මතය.
ජනතාවගේ පරමාධිපත්‍ය යන සංකල්පය ප්‍රජාතන්ත්‍රවාදී රටවල් තුල නිර්මාණය වූයේ ශතවර්ෂ ගණනාවක වාද විවාද පමණක් නොව සිවිල් යුද්ධද පසුබිම් කරගෙනය. මෙහිදී ප්‍රධානම ප්‍රශ්නය හැටියට පැවතියේ අසාධාරණ නීති සම්මත කරගැනීම මගින් විධායකය අයුතු ප්‍රයෝජන ගැනීම වලක්වාලීමය. රාජ්‍ය බලය සතු පුද්ගලයන් මහජන කැමැත්ත වෙනුවට තමන්ගේ කැමැත්ත ඉදිරිපත් කරමින් ඒ මත නීතිය සාදාගැනීමට උත්සාහ දැරීම සාමාන්‍ය දේශපාලන අත්දැකීමකි. මේ නිසා නීති සෑදීමේදී සාධාරණත්වය පැවතිය යුතු බව පිළිබඳ සංකල්පය වර්ධනය වන්නේ එය හුදෙක්ම විධායකයේ අභිමතය පරිදි කිරීම වැලැක්වීමටත් එම නීති වලින් පොදු යහපත ඉටුවෙනවාද යන්න සලකා බැලීමට ජනතාවටම ඇති අයිතිය තහවුරු කිරීම සදහාත්ය. මෙහිදී යම් ඡන්දයක මාර්ගයෙන් බලයට පත්වන ආණ්ඩුවකට ජනයා විසින් තමන්ගේ පරමාධිපත්‍ය පවා දී ඇත ය, මේ නිසා ජනතාව වෙනුවෙන් එම පරමාධිපත්‍ය පාවිච්චි කිරීම පාර්ලිමේන්තුවේ පමණක් කටයුත්තක්ය, යන සාවද්‍ය අදහස පිළිබඳව විවේචනාත්මකව සලකා බැලිය යුතුය.
සාධාරණත්වයට අනුව නීති සෑදීම පිළිබඳ මූලික අයිතිය පවතින්නේ සෘජුවම ජනතාව තුලය. සාධාරණත්වයක් පවතිනවාද නැද්ද යන කරුණ සලකා බැලීමකින් තොරව යම් නීතියක් සාධාරණයයි සම්මත කිරීමට ජනතාවට බැරිය. යමක් සම්මත කිරීම යනු ඊට කැමැත්ත දීමක් වේ. කැමැත්ත දිය හැක්කේ තමන් සලකා බැලූ දේවල් ගැන පමණය. තමුන්ගේ දැනීමෙන් පරිභාජනය නොවූ සහ තමන්ගේ සැලකිල්ලට පරිභාජනය නොවූ දේ පිළිබඳව කැමැත්තක් හෝ අකමැත්තක් ප්‍රකාශ කිරීමට හැකියාවක් ඇත්තේ නැත. ඒ නිසා ජනතාවගේ කැමැත්තක් ලබා ගැනීම යනුවෙන් පනතක් සම්මත කර ගන්නේ නම් ඊට අත්‍යාවශ්‍ය කොන්දේසියක් වන්නේ ඉතා පලල් ආකාරයේ එම නීතිය පිළිබඳව ඉතා පැහැදිලි සාකච්ඡාවක් ඇති වීමට ඉඩ සැලැස්වීමය.
මේ නිසා මොනයම් ආකාරයකින් හෝ රහසිගත භාවයකින් යුතුව නීති නිර්මාණය කිරීම නීතිය මත පාලනය යන අදහසට මුලුමනින්ම පටහැනිය. රවට්ටා ලබා ගන්නා කැමැත්ත සැබෑ කැමැත්තක් නොවේ. මේ නිසා නීති සම්පාදනයේදී රැවටිලි නොතිබිය යුතුය. එක් කරුනක් පිළිබඳ මවාපාමින් ඊට හාත්පසින්ම වෙනස් වන අදහස් ඉටුකර ගැනීම සඳහා නීති සම්මත කර ගැනීම වනාහි ජන සම්මතයෙහි යන සංකල්පය මුලුමනින්ම බැහැර කිරීමකි. මේ මගින් ජන සම්මතය වෙනුවට කිසියම් හෝ පාලක කණ්ඩායමක අවශ්‍යතාවය අනුව නීති නිෂ්පාදනය කිරීමක් සිදු වේ. මෙය සිදුවීමත් සමගම නීතිය මත පාලනය යන සංකල්පයට අනුව නීති සෑදීම පමණක් නොව නීතිය මත පාලනයේදී නොකළ යුතු කරුනු වක්‍රාකාරයකින් ඉටු කර ගැනීමක්ද සිදු කළ හැකිය. කෙටියෙන් කිවහොත් පළල් ජනතා සහභාගිත්වයකින් තොරව නීති නිෂ්පාදනය කිරීම යනු වංචනික වූ ක්‍රියාවකි. සකල රටකටම බලපාන නීති වංචනීය වශයෙන් නිර්මාණය වූවොත් එයින් සිදුවන විපත අති විශාල එකක් විය හැකිය.
නීති නිෂ්පාදනය පළල් මහජන සහභාගීත්වයකින් කළ යුතුය යන අදහස යට ඇත්තේ එවැනි නීතියක් සම්මත වූවොත් ඒ මගින් සිදුවිය හැකි හොඳ මෙන්ම නරක ප්‍රතිඵලද දැන ගැනීමේ අවස්ථාව ජනතාවට සලසාදීම ය. බොහෝ විට ජනතාව අතරින්ම විවිධ මත පැන නැගී මෙවැනි නීතියක් සම්මත කළහොත් එයින් සිදුවිය හැකි විනාශය පෙන්වා දෙන අවස්ථා ඇතිවිය හැකිය. සමහර නීති දැමීම නිසා ආර්ථිකයක් කඩා වැටිය හැකි බව, අධ්‍යාපන ක්‍රමයක් හෝ සමාජයේ වෙනත් සංස්ථාවක් කඩා වැටිය හැකි බව, විශේෂයෙන්ම යුක්තිය පසිඳලීමේ සංස්ථාවන් වන පොලීසිය, නීතිපති ක්‍රමය හා අධිකරණයට හානිකර දේ මෙම නීතිය තුලින් සිදු විය හැකි බව ආදිය ජනතාව තුලින් යම් කොටසක් වටහා ගතහොත් ඔවුන්ගේ යුතුකම වන්නේ මෙය සමාජයට කියා දී එම වරද සිදුවීමට පෙර එය වලක්වාලීම ය. එසේ නැතිවුවහොත් වැරදියට සාදාගත් නීතියක් සාධාරණත්වය ඉෂ්ඨකරනු වෙනුවට රටේ තවත් ගැටලු වැඩිකර අසාධාරණය වැඩිකරන තත්වයක් ඇතිවිය හැකිය.
මිනිසුන් නීති සම්පාදනය කර ගන්නේ යහපත් මෙන්ම කාර්යක්ෂම පාලන ක්‍රමයක් තම සමාජය තුල නිර්මාණය කර ගැනීම සඳහාය. මේ අනුව නීතිය ක්‍රීයාත්මක කරවා ගැනීම තුලින් බලාපොරොත්තු වන්නේ සමාජය කෙරෙහි සාධනීය වන්නා වූ ප්‍රතිඵල ලබාගැනීමයි. මෙය වෙනත් ආකාරයකින් කියුවහොත් සමාජය වඩාත් නරක තත්වයකට හරවා ගැනීම නීති නිෂ්පාදනයේ අරමුණ හෝ බලාපොරොත්තුව නොවේ. නරක තැනක සිට හොඳ තැනකට ගමන් කිරීම සඳහා යම් පියවර ගැනීම නීතියේ අරමුණ වේ.
මේ අනුව හුදෙක්ම මිනිසුන් මර්දනය කිරීම සඳහා සාදන නීති සාධනීය ප්‍රතිඵල ගෙන දෙන නීති නොවේ. 1970න් පමණ පසු කාලයේ ලංකාවේ නීති නිර්මාණය දෙස බැලීමේදී සමාජය වඩා නරක ප්‍රතිඵල දෙන නීතීන් පණවා ඇති බව පෙනී යයි. එවනි නීති සාධාරණ කිරීම සඳහා නොයෙක් හේතු දක්වා ඇතත් ලාංකීය සමාජය දෙස වර්ථමානයේදී බැලීමේදී පෙනී යන්නේ මෙසේ ඇති කරන ලද දැඩි මර්දන නීති නිසා සමාජය සෑම අංශ වලින්ම අවුලට ගිය හා කඩා වැටුනු ආකාරයයි. කෙටියෙන් කියුවහොත් පසුගිය කාලය තුල නිර්මාණය කර ඇති මර්දන නීති වල ප්‍රතිඵල වී ඇත්තේ රට තුල අවුල් ජාලයක් නිර්මාණය වීමයි. අද ලාංකික සමාජය ලිහාගන්නට බැරි ප්‍රමාණයකට ආරවුල් වල පැටලී ඇත. දැඩි මර්දන නීති වල ප්‍රතිඵල වශයෙන් නෙලා ගත හැකිව ඇත්තේ නීතියෙන් තොර, ආරක්ෂාවෙන් තොර, වංචාවෙන් පිරි, අපරාධවලින් ගහන, ආරථික වශයෙන් කඩා වැටුනු, දේශපාලන වශයෙන් ජරපත් වුනු සමාජීය වශයෙන් අනාරක්ෂිත රටකි. රට හැර යාම රට ඇතුලේ සිටීමට වඩා හොඳය යන අදහස අනාගතයක් ගැන බලාපොරොත්තුවක් ඇති කාගේ වුවත් සිහිනයක් බවට දැන් පත්ව ඇත.
නුදුරු අතීතය තුල නිර්මාණය කර රටේ නීතිය බවට පත් කළ "ප්‍රතිත්‍රස්ථවාදී" නීති වලින් ඇත්තෙන්ම කිසිදු ත්‍රස්ථවාදියෙකුට කළ නොහැකි ප්‍රමාණයක හානියක් රටට සිදුකොට ඇත. "ප්‍රතිත්‍රස්තවාදී" නීති පදනම් වන්නේ වරදේ ප්‍රමාණයට වැඩි දඬුවම් නියම කිරීමය. මෙම අසමතුලිත දඬුවම් ක්‍රමය (Diss proptent punishment) "ප්‍රතිත්‍රස්තවාදී" නීති වල නොවැලැක්විය හැකි ප්‍රතිඵලයකි. 1971 ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ගැටීම් වලදී ජනතා විමුක්ති පෙරමුනේ යැයි කියන සාමාජිකයන් අතින් මරුමුවට පත් වූ පොලිස් හා වෙනත් ආරක්ෂක නිළධාරීන්ගේ ගණන 52 ක් පමණ යැයි ගණන් බලා ඇත. එහෙත් එම අවස්ථාවේදී ගත් "ප්‍රතිත්‍රස්ථවාදී" ක්‍රියා මගින් මරණයට පත් කරන ලද තරුණයන්ගේ ගණන පන්දහසකට වැඩිය. තවත් දස දහසක් පමණ තරුණයන් බේරාගන්නා ලද්දේ දෙමව්පියන් විසින් දරුවන් ආරක්ෂක ස්ථානවලට බාරදීම මගිනි. 1987-1991 අතර කාලයේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ කලබල වලදී පොලීසිය හා හමුදාව විසින් මරා දමන ලද ප්‍රමාණය මේ පිළිබඳව පරික්ෂා කළ බලයෙන් අතුරුදහන් කළ වූවන්ගේ කොමිෂන් සභාවල වාර්ථා අනුව 20,000 ක් පමණ යැයි සඳහන් කොට ඇත. එහෙත් එම ප්‍රමාණයට වඩා මරණ සිදු වූවායැයි වෙනත් සංවිධාන ප්‍රකාශයට පත් කොට ඇත. උතුරු හා නැගෙනහිර පළාත් වල එසේ අතුරුදහන් වූවන්ගේ ප්‍රමාණය අතිවිශාල යැයි සලකනු ලබන නමුත් මේ පිළිබදව නිෂ්චිත සංඛ්‍යා ලේඛන ඇත්තේ නැත. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය, ඕ.පී.එම් කාර්යාලය මගින් ලබාගෙන යන තොරතුරුවලට අනුව විශාල ප්‍රමාණයක අතුරුදහන් සිදුවී ඇති බව පෙනී යයි. අත් අඩංගුවට පත් වූවන් මහා පරිමානයෙන් මරා දැමීම ජාත්‍යන්තර නීතියට අනුව යුද්ධ අපරාධයකි. එසේ වූවත් මේ අපරාධ කිරීමට මාවත සලසා දුන්නේ මේ කාල වල නිර්මාණය කොට ක්‍රියාවට දමන ලද "ප්‍රතිත්‍රස්තවාදී" නීති මගිනි.
රටටත් සමාජයටත් විනාශකාරී නොවන ලෙසට යම් ප්‍රතිත්‍රස්ථවාදී නීතියක් නිර්මාණය කෙරෙන්නේ නම් එහිදී අවම වශයෙන් පහත සඳහන් ප්‍රතිපත්ති අනුගමනය කළ යුතුය. මේ ප්‍රතිපත්ති අනුව සැලකිය යුතු පළමුවෙනිම කරුණ නම් බොරු හේතු හෝ වෙනත් අරමුනක් ඉටුකර ගැනීමේ සැඟවුනු අරමුණු ඇතිව මෙම නීති නිර්මාණය නොකළ යුතු බවයි. එනම් සමාජය සාධාරණව පිළිගත හැකි ආකාරයක සාමයට සැබෑ තර්ජනයක් ත්‍රස්ථවාදී ක්‍රියා සහ ත්‍රස්ථවාදී සංවිධාන මගින් පැහැදිව පෙනෙන තත්වයක් ඇතිවී තිබිය යුතුය.
දැනට වර්ථමාන රජය විසින් යෝජනා කර ඇති "ප්‍රතිත්‍රස්තවාදී" පණතේ කෙටුම්පත එනම් -2023 මාර්තු 22 නිකුත් කරන ලද- එවැනි සාධාරන හේතුවක් මත නිකුත් කරන ලද කෙටුම්පතක් නොවේ. එම කෙටුම්පතේ මෙම නීතිය හඳුන්වාදී ඇත්තේ "ශ්‍රී ලංකාව තුල හෝ ශ්‍රී ලංකාවෙන් පිටත දී සිදුකරනු ලබන ත්‍රස්ථවාදී ක්‍රියාවලින්, ත්‍රස්ථවාදය ආශ්‍රිත වෙනත් වැරදි වලින් සහ ත්‍රස්ථවාදය පිළිබඳ වරද සංස්ථාපනය වන ඇතැම් නිශ්චිත ක්‍රියාවලින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව ශ්‍රී ලංකාවේ ජනතාව ආරක්ෂා කිරීම සඳහා ද ශ්‍රී ලංකාවෙන් පිටත ත්‍රස්ථවාදය සඳහා සූදානම් වීමට ශ්‍රී ලංකාවේ භූමිය හා එහි ජනතාව භාවිතා කිරීම වැලැක්වීම සඳහා ද, ත්‍රස්ථවාදී ක්‍රියාවක් හෝ ත්‍රස්ථවාදය ආශ්‍රිත වෙනත් යම් වරදක් සිදුකර ඇත්තා වූ යම් තැනැත්තෙකු හඳුනා ගැනීම, ග්‍රහණය කර ගැනීම, සිරභාරයට ගැනීම, රඳවා තබා ගැනීම, පරීක්ෂණ පැවැත්වීම, නඩු පැවරීම සහ දඬුවම් ලබාදීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද, 1979 අංක 48 දරන ත්‍රස්ථවාදය වැලැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත ඉවත් කිරීම සඳහා ද, ඊට සම්බන්ධ හෝ අනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පතකි." කියා ය.
ආසියානු මානව හිමිකම් කොමිසමේ විධායක අධ්‍යක්ෂ
---------------------------
by (2023-05-12 16:08:26)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි