-ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක ශාන්ත ජයරත්න ලියයි
(ලංකා ඊ නිව්ස් -2023.මැයි.09, ප.ව.7.45) මේ දිනවල ලංකාවේ ආර්ථික කරුණු ගැන අවධානයෙන් සිටින සමාජයේ තිබෙන සංවාදය නම් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම නැතිනම් ණය ප්‍රතිලැයිස්තු- ගතකරණය (Reprofiling) කෙසේ සිදූවෙයිද යන්නයි. ලංකාවට මෙම සංකල්පය තරමක් අලුත් වුවත් මූල්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ කාලයක සිට මෙම උපකරණ අත් හදා බලා ඇත.
ප්‍රතිලැයිස්තුගතකරණය කියන සංකල්පය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හඳුන්වා දෙන්නේ විශේෂයෙන්ම උරුගුවේ (2003), ඩොමිනිකන් ජනරජය (2005) , පාකිස්තානය (1999) වැනි රටවල ඇති වූ මූල්‍ය අර්බුදත් සමගයි. මෙම ක්‍රමය අනුගමනය කිරීමෙන් රටකට සිය ණය බර තාවකාලිකව කල් දමා ගැනීමට හැකි වුවත් දිගුකාලීනව ඒවා තවදුරටත් ණය උගුලේ හිරවී සිටින බව දකින්නට ඇත. එයට හේතුව වී ඇත්තේ ප්‍රධාන වශයෙන්ම එම රටවල මූල්‍ය විනයක් නොතිබීමයි.
2013 අප්‍රේල් 26 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කල රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කරන නීති සහ ප්‍රතිපත්ති වැඩපිළිවෙළට අනුව (Sovereign Debt Restructurin-Legal & Policy Framework ) ණය ප්‍රතිලැයිස්තුගතකරණය (Debt Reprofiling) යනු කිසියම් ණයක් එහි කල් පිරීමේ දිනය නිශ්චිත වර්ෂයක් හෝ වර්ෂ කිහිපයක් සඳහා කල්දමා ගැනීමට ණය හිමියා සහ ණය ගැතියා අතර ඇති වන එකඟතාවයකි. මෙහිදී, සිදුවන්නේ මූලික ණය මුදල (Principal) එලෙසම තිබියදී එකලට වෙළඳපොළ පවතින පොලී අනුපාත (Yield Rate) අනුව කිසියම් එකඟවූ ක්‍රමවේදයකට ගලපා ගනිමින් කල්පිරීමේ කාලය සම්මත ක්‍රමවේදයකට යටත්ව දීර්ඝ කරගැනීමයි.
ලංකාවේ මේ දිනවල දේශීය භාණ්ඩාගාර බැඳුම්කර පොලී ප්‍රතිශත ඉතා ඉහළ අගයක් ගනී. මහ බැංකු දත්ත අනුව 2022 දෙසැම්බර් 28 පැවති මාස 36න් කල්පිරීමට නියමිත රුපියල් මිලියන 10,308 ක භාණ්ඩාගාර බැඳුම්කර මූල්‍ය වෙළෙඳපොළේ අලෙවි වූයේ 32.20% ලංසුවකටයි (weighted average yield rate). කෙසේ වෙතත් , 2023 පසුගිය මාස කිහිපයේ අගයන් වල සුළු අඩුවීමක් පෙන්නුම් කොට ඇත. දේශීය භාණ්ඩාගාර බැඳුම්කර වල බහුලව ආයෝජනය කොට තිබෙන්නේ වාණිජ බැංකු (44.5%), සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාර කාර අරමුදල (42.7%) වැනි ආයතන යි. https://www.cbsl.gov.lk
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය ගත හොත් 2022 වර්ෂයේ දෙසැම්බර් 28 වන දින පැවති වෙන්දේසියේ දින 91 බිල්පත් අලෙවි වූයේ පොලිය (Yield ) 32.64% කටය. දින 182 බිල්පත් 32.20% සහ දින 364 බිල්පත් 29.27% කට අලෙවි විය.( https://www.cbsl.gov.lk). ලංකාවේ මහබැංකුව 62.4% එනම් රුපියල් බිලියන 2576.22 භාණ්ඩාගාර බිල්පත් ප්‍රාථමික වෙළෙඳපොළින් මිලදී ගෙන රජයට ණය ලබා දී ඇත.
ණය හිමියන් සිය වත්කම් ප්‍රතිලැයිස්තු ගතකරණයකට යාමේදී අවදානම් තත්ත්වය සලකා බලන අතර කල්පිරීමේ කාලය දීර්ඝ කිරීමක් තුල ණය හිමියා පාඩු විඳීමට සූදානම් වේ යැයි සිතිය නොහැක. එහෙයින්, මේ සඳහා වන සාකච්ඡා සංකීර්ණ සහ කල්ගත වන වැඩ පිළිවෙළක් බව අවබෝධ කරගත යුතුය.
සිහින ලන්තය (Dreamland) නමින් රටක් ඇත. ඔවුනට ණය ගෙවාගැනීමට නොහැකිව ඉදිරි මාස 6කින් කල්පිරීමට නියමිත ඩොලර් මිලියන 100 ක් වන බැඳුම්කරයක් අවුරුදු තුනකින් කල් දමා ගැනීමට බැඳුම්කරය හිමි ABC නම් සමාගම සමග එකඟ වූවා යැයි සිතමු. (As per IMF Collective Action Clause). ඒ අනුව පොලිය හෙවත් Coupon Payment අර්ධ වාර්ෂික 6ක් (අවුරුදු 3X2=6) ඉදිරි කාලය සඳහා ABC සමාගමට ගෙවිය යුතු වන්නේය (බැඳුම්කර සඳහා මාස හයෙන් හයට ණයකරු කූපන් ගෙවීම කරණු ලබයි ). වාර්ෂික කූපන් ගාස්තුව (Yield) 25% යැයි තක්සේරු කළ හොත් වර්ෂ තුන සඳහා 75% ක් වන අතර, බැඳුම්කර හිමියාට අමතරව මිලියන 75 ක් හෙවත් ඩොලර් මිලියන 175 ක් (මූනත අගය මිලියන 100+75=175) වර්ෂ තුන අවසන් වෙද්දී සිහින ලන්ත රජය විසින් ABC සමාගමට ගෙවිය යුතුය.
මෙහිදී සිහින ලන්තයේ ණය බර තවත් වැඩි වී ඇති අතර , එකම වාසිය, මිලියන 100 එකවර නොගෙවා අවුරුදු තුනක් ණය ගෙවීම කල් දමා ගැනීමට හැකි වීමේ සහනය පමණි. සිහින ලන්ත ශේෂ පත්‍රයේ වගකීම් පැත්තේ වාර්ෂිකව මෙම අගයන් සටහන් වෙන අතර වර්ෂ තුන අවසානයේ සම්පූර්ණ මුදල ගෙවිය යුතුය. මෙහිදී ණය නොගෙවා සිටීමේ තාවකාලික සුවය ලැබුණත්, රටේ මූල්‍ය තත්ත්වය වර්ෂ තුනකින් තවත් පිරිහුණ හොත් වියහැකි තත්ත්වය ඔබට සිතා ගත හැක.
ලංකාවේ රජය විසින් ණය ප්‍රශස්තකරණය යනුවෙන් නව වචනයක් හඳුන්වා දී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලබා දී ඇති පොරොන්දු පත්‍රයට අනුව 2023 මැයි මස අවසන් වන විට දේශීය ණය ප්‍රශස්තකරණ කටයුතු සියල්ල අවසන් කළ යුතුය. මේ ගත කරන්නේ මැයි දෙවන සතියයි. එහෙත් මෙතෙක් අදාළ කටයුතු සිදුවෙන බවක් නොපෙනේ. නියමිත දිනයට එම කටයුතු අවසන් කරගැනීමට අපොහොසත් වුවහොත් එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි කඩ කිරීමක් වනු ඇත.
ශ්‍රී මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය ඒකාබද්ධව පසුගිය මාර්තු 30 වන දින මාර්ග ගත ක්‍රමයට (Online) ඉදිරිපත් කළ කරුණු දැක්වීමේදී සඳහන් කළේ ආරම්භයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රතිව්‍යුහගත කිරීමට හෝ දිගුකාලීන ණය උපකරණ සමග හුවමාරු කරගන්නා බවකි. (Longer term debt instruments ). මේ තුල මහබැංකුවේ වගකීම් තවත් ඉහළ යනු ඇත . https://www.treasury.gov.lk/news
මහ බැංකුව මේ වන විට රුපියල් බිලියන 2576.22 ක් භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කොට ඇති අතර ඉන් කුමන ප්‍රතිශතයක් කපා හරිනවාද (ප්‍රශස්තකරණය) යන්න මෙතෙක් ඔවුන් පැහැදිලි කොට නැත. කෙසේ වෙතත් සම්පූර්ණ මුදල කපා හැරියත්, ගෙවීමට ඇති සමස්ත ණය තොගයට එහි ඇති බලපෑම හරියට අලියාගේ පිටේ කෝඳුරුවෙක් වැහුවා හා සමානය.
එමෙන්ම, රජයේ සහ පෞද්ගලික බැංකු භාණ්ඩාගාර බැඳුම්කර වල ආයෝජනය කොට ඇති මුදල රුපියල් බිලියන 3880.39 ක් හෙවත් මුළු භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජනයෙන් 44.5% කි. මුළු බැඳුම්කර ආයෝජනය රුපියල් ට්‍රිලියන 8.72 කි. මහබැංකුව ප්‍රකාශ කරන අන්දමට මේවා ප්‍රශස්තකරණය කිරීමට (ප්‍රතිලැයිස්තුගත කිරීමට ) කෙරෙනු ඇත. කෙසේ වෙතත්, මේවායේ බලපෑම ඉදිරියේදී බලාගත හැක.
එමෙන්ම සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල සහ තවත් එවැනි අරමුදල් බැඳුම්කර වල ආයෝජනය කොට ඇති මුදල රුපියල් බිලියන 3724.57 හෙවත් මුළු ආයෝජනයෙන් 42.7% කි. මේ දෙකේ එකතුව පමණක් රුපියල් බිලියන 7604.96 කි. ඊට අමතරව රක්ෂණ සංස්ථාව බිලියන 782.98 ක්, වෙනත් පුද්ගලයන් සහ ආයතන බිලියන 296.45 සහ මහබැංකුව ඉතා සුළු වශයෙන් රුපියල් බිලියන 26.16 ක් තවත් ඉතාම සුළු ප්‍රමාණයක් විදේශගත පිරිස් භාණ්ඩාගාර බැඳුම්කර වල ආයෝජනය කොට ඇත. මුළු එකතුව ඩොලර් බිලියන 8,722 කි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණ මෙම රුපියල් බිලියන 8,722 ප්‍රශස්තකරණය (Optimize ) කර ගැනීමයි. මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කරන්නේ අදාල බැඳුම්කර හිමියන් සමග සාකච්ඡා කොට ස්වෙච්ඡා ණය ප්‍රශස්තකරණයකට (Voluntary Debt Optimization ) යාමට අදහස් කරන බවයි. https://www.treasury.gov.lk/news එය කොතෙක් දුරට සාර්ථක වන්නේ ද කියා ඉදිරි සති දෙක - තුන ඇතුලත බලාගත හැක.
මහ බැංකුවේ බලාපොරොත්තුව වන්නේ ඉදිරියේදී කල්පිරීමට නියමිත බැඳුම්කර වල කාලය වර්ෂ 10 ක් වැනි කාලයකින් දීර්ඝ කරගැනීම සඳහා නව බැඳුම්කර නිකුත් කිරීම යි. මෙහිදී ද සිදුවන්නේ තාවකාලිකව ණය නොගෙවා සිටිය හැකිවීම වුවත් ඉදිරි වර්ෂ වලදී බැඳුම්කර මුහුණත අගය (Face Value) සමග කූපන් ගාස්තු (Coupon Payment) එකඟවූ වෙළෙඳපොළ ප්‍රතිශතයන් අනුව (With NPV reduction or not) ගෙවීමට සිදුවීමයි . මේ කටයුතු සියල්ලේ අරමුණ වන්නේ රජයේ දේශීය ණය බර අවම කර ගැනීම වුවත් එය කොතෙක් දුරට ලංකාවේ ණය තිරසර භාවය තහවුරු කිරීමට සමත් වේද යන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ද සැක සහිතය. එය ඔවුන්ගේ වාර්තාවේ වැඩසටහනේ අභියෝග (Programme Risks) යටතේ විස්තර කොට ඇත .
2022 වර්ෂයේ දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 128.1% ක් ව පවතින රජයේ ණය 2032 වන විට දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 95% ට වඩා පහතට ගෙන ආ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කොට ඇත. එසේ නොවුනහොත් අදාල කාල රාමුව ඇතුලත රජයේ ණය තිරසර නොවනු ඇත . එම නිසා යෝජිත ණය ප්‍රශස්තකරණය කොතෙක් දුරට යථාර්ථයක් වනු ඇත්ද කියා සැක සහිතය. වෙරිටේ රිසර්ව් ආයතනය විසින් නිකුත් කළ වාර්තාවක සඳහන් වන අන්දමට ජාත්‍යන්තර බැඳුම්කර සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර 50% කින් ද බහුපාර්ශවීය සහ ද්වීපාර්ශවීය ණය 25% කින් කපා හැරිය ද පවතින පොලී ප්‍රතිශත අනුව (Yield ) තවත් වර්ෂ දහයකදී රජයේ ණය, දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 136% දක්වා ඉහළ යා හැකි බව යි.
එමෙන්ම, එම වාර්තාව ප්‍රකාශ කරන අන්දමට දේශීය ණය කල්පිරීම අවුරුදු 10 කින් කල් දැමූව ද, (දේශීය බැඳුම්කර මූනත අගය (Principal) හෝ පොලිය (Coupon) කපා නොහැරිය ද) දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස එය 101% දක්වා ඉදිරි අවුරුදු 10 තුල ඉහළ යන බව ප්‍රකාශ කරයි. 2022/22:The Desirability of Domestic Debt Restructuring">https://www.veriteresearch.org>2022/22:The Desirability of Domestic Debt Restructuring
එහෙත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කොට ඇත්තේ රජයේ ණය 2032 වසර අවසන් වන විට දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 95% විය යුතු බවයි. වෙරිටේ රිසර්ව් පෙන්වා දෙන අන්දමට එය එතරම් පහසුවෙන් ලඟා විය හැකි ඉලක්කයක් නොවේ.
මහ බැංකුවේ 2022 ශේෂ පත්‍රයේ සමස්ත වත්කම් හැටියට දක්වා ඇත්තේ රුපියල් ට්‍රිලියන 4.51ක් වන අතර වගකීම් ලෙස රුපියල් ට්‍රිලියන 2.93 දක්වා ඇත. කෙසේ වෙතත්, දේශීය ණය කපාහැරීම තුල ඉහළ යන වගකීම් පියවා ගැනීම මහ බැංකුවේ 2023 වර්ෂයේ ශේෂ පත්‍රයට විශාල අභියෝගයක් වනු ඇත.
මහ බැංකුව විශේෂයෙන්ම 2005න් පසු දේශපාලනීකරණය වු බව රහසක් නොවෙයි. එය ස්වාධීන ආයතනයක් වීම ඉතා අගය කළ යුතු ය. එහෙත් යෝජිත පනත මගින් තිබූ ස්වාධීනත්වයත් අහිමි වන බව පේන්නට ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියක් හැටියට නව මහ බැංකු පනත මේ වන විට පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කොට ඇත.
මහබැංකුවේ එක් ප්‍රධාන වගකීමක් වන්නේ උද්ධමනය පාලනය කිරීම යි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ අතර 2023 මාර්තු මස 51% ක ආසන්න මට්ටමේ පැවති උද්ධමනය වර්ෂය අවසානය වන විට 15% මට්ටමට ගෙන ආ යුතු වෙනවා. එය කිරීමට නම් රටේ ආර්ථිකය තවදුරටත් හැකිලීම අත්‍යාවශ්‍ය වනු ඇති . දැනට පවතින අන්තර් බැංකු තැන්පතු පොලිය (SDFR ) සහ අන්තර් බැංකු ණය පොලිය (SLFR) අවම වශයෙන් තවත් ඒකක කිහිපයකින් ඉහළ දැමීමට අවශ්‍ය වනු ඇත. ඒ තුල රටේ නිෂ්පාදන කර්මාන්ත වලට ඇති විය හැකි බලපෑම, රැකියා අහිමිවීම, යනාදිය ඇති වීමත් සමග රටේ ජනයාට මෙන්ම රජයටද ඉදිරි මාස කිහිපය අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් වනු ඇත.
පනත සම්මත වීමත් සමග මහ බැංකුව තවදුරටත් රජය වෙනුවෙන් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර ප්‍රාථමික වෙළෙඳපොළින් මිල දී ගෙන ණය සපයා දීම ඇනහිටිනු ඇත. ඊට අමතරව රජයට ලබා දුන් අත්තිකාරම් යනාදිය නවතී. එයින් මුදල් අච්චු ගැසීම පාලනය වනු ඇති. එහෙත් , පවතින තත්වයන් තුල රජයේ පැවත්ම තහවුරු කිරීමට නම් සිය ආදායම් මාර්ග ඉහළ දමා ගැනීමට රජය විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග දැන් සිටම ගත යුතුය. විවිධ, බදු ඉහළ දැමීම හැර වෙනත් ආදායම් මාර්ග සොයා ගැනීම පිළිබඳ රජයේ අවධානය අවම මට්ටමේ පවතී.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ලංකාවේ රජයට අභියෝග රාශියක් ලබා දී ඇත. ඒවා සම්පූර්ණ කිරීමට නම් රජය රටේ ජනයාගේ සහයෝගය ලබා ගත යුතු ය. එය ඉතා පැහැදිලිව ප්‍රකාශ කළේ පීටර් බෘවර්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම් ප්‍රධානියා පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දීය. එහෙත් මහජනයාගේ සහයෝගය ගන්නවා වෙනුවට රජය උස්සාහ කරන්නේ මහජනයා රජයෙන් ඈත්කොට තැබීමට විවිධ අණ පනත් සම්මත කිරීමය. වෘත්තිකයන්ට තර්ජනය කිරීම ය. කෙතරම් දූෂණ විරෝධි අණපනත් ගෙන එනවා කීවත් ලංකාවේ මුහුදු සීමාවේ ගිලුණු එක්ප්‍රස් පර්ල් නෞකා වන්දිය ලබා ගැනීම වලක්වා ලීම සඳහා බලගතු පුද්ගලයකු ඩොලර් මිලියන 250 ක අල්ලසක් ලබා ගෙන තිබෙන බවට තොරතුරු ලැබුණු බව රටේ අධිකරණ ඇමැති ප්‍රකාශ කලේය. ඒ පැමිණිල්ලත් නිරූපමා රාජපක්ෂ සහ තිරු නඩේසන්ගේ පැන්ඩෝරා පත්‍රිකා හෙළිදරව්ට කළ පරීක්ෂණයට නොදෙවෙනි වනු ඇත. එහෙව් සිරිලක කුමන ප්‍රශස්තකරණයක් කළ ද පාලකයන් සහ ඔවුන්ගේ අන්තේවාසිකයින් උනපුරුකේ දමාවත් කෙලින් කළ නොහැකි ය.
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/102
---------------------------
by (2023-06-22 14:24:18)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි