~

රාජපක්ෂලා බුදුන්ගේ නෑයන් කෙළේ ජැක්සන්ට කලින් "මයික් කටා"..! බුදුන් ලංකාවට ඈඳීමේ "රිලා වෑයම" දැන් නතර කළ යුතුමයි..!

-විශේෂ ලියුම්කරුවකු ලියයි

(ලංකා ඊ නිව්ස් -2023.අප්‍රේල්.29, ප.ව.4.25) මේ දිනවල ශ්‍රී ලංකාවේ රිලව් ජාතික තලයේ මෙන්ම ජාත්‍යන්තර තලයේ ද මාතෘකාවක් බවට පත් ව හිඳිති. සෙසු සත්ව වර්ග වලට සාපේක්‍ෂව රිලවුන් ගේ හැසිරීම් රටා නිරීක්ෂණය කරන ඇතැමුන්ට; විශේෂයෙන් කුඩා දරුවන්ට හැඟී යනුයේ ඔවුන් එක්තරා අන්දමක විහිළුකාර; විනෝදකාමී සත්ව කොට්ඨාශයක් බව ය. එහෙත්, බාහිරව එසේ පෙනුණ ද රිලවුන් යනු විහිළු තහළුවෙන් ගත කරන විනෝදකාමී සත්ව විශේෂයක් නොවේ.

අප අද පටන් දිග හරින මෙම වෘත්තාන්තය ද අප ජන සමාජයේ වෙසෙන එවැනි මතවාදී වශයෙන් රිලා ගණයට වැටෙන කණ්ඩායම් කිහිපයක් පිළිබඳව ය. ඔවුන්ගේ එම රිලා මතවාදය නම් සිද්ධාර්ථ ගෞතම නමින් හැඳින්වෙන ශ්‍රී ලාංකේය බහුතරයක ගේ ශාස්තෘත්වය දරන බුදුන් වහන්සේ භාරතයේ ජන්ම ලාභය ලැබූවකු නොව ශ්‍රී ලාංකිකයකු බව සනාථ කිරීමට ඒ මේ අත පනිමින් සමාජය හමුවේ රිලවුන් මෙන් දැඟලීම ය. එයට ප්‍රති විරුද්ධ අදහස් හමුවේ වෙනත් කණ්ඩායමක රිලවකු දුටු රිලවුන් මෙන් එක්ව කෝප වී බෙරිහන් දීම ද මොවුන් ගේ රිලා ගතිය තවදුරටත් ප්‍රකට කරවයි. නමුදු මා ඔවුන් රිලවුන් ලෙස හැඳින්වීමට ප්‍රධාන හේතුව එය නොවේ. බාහිරට රිලවුන් විහිළුකාරයන් සේ පෙනුණ ද තමන් විහිළුකාරයන් බව කිසිදු රිලවකු හට වැටහී නොතිබීම ය. නමුත් ගත වූ දශක කිහිපයක් තිස්සේ බුදුන්ට ශ්‍රී ලාංකේය පුරවැසි බවක් ලබා දීමට මෙම මතවාදීන් නිදහසේ දුව පනිමින් සමාජයට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා විහිළු සපයමින් දරන "රිලා උත්සාහයන්" ප්‍රථම වරට ගෝලීය වශයෙන් අවධානයට ලක් වීමේ පැහැදිලි අවදානමක් පැන නඟිමින් තිබේ. මෙම අනාවරණය සඳහා වන ආසන්නතම නිමිත්ත වනුයේ ද එයයි.

නවදිල්ලියේ පැවැති ගෝලීය බෞද්ධ සමුළුව...

පසුගිය අප්‍රියෙල් 20, 21 ඉන්දියාවේ නවදිල්ලියේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ ප්‍රධානත්වයෙන් පැවැති ගෝලීය බෞද්ධ සමුළුවට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් තිහක ගිහි-පැවිදි නියෝජිත වරු එක්ව සිටියහ. එම සමුළුවේ මුඛ්‍ය දේශය පවත්වමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  අවධාරණය කොට සිටියේ ඉන්දියාවෙන් ලොවට දායාද වූ බුදු දහමින් ලබා දෙන සමස්ත මනුෂ්‍යත්වයම එකට ගොනු කර ගත හැකි උත්තරීතර පණිවිඩය ලොවට දායාද කිරීමට සැවොම එක් විය යුතු බවකි.
එවන් තත්වයක් යටතේ දිනෙන් දින අප රටේ කණ්ඩායම් කිහිපයක් විසින් ප්‍රවර්ධනය කරනු ලබන බුදුන් සිරිලක උපන් බවට පැවසෙන මතවාදය මේ වන විට එම සමුළුවට පැමිණි විවිධ පාර්ශවයන් අතරේ ද නොනිල කතා බහට ලක් වූ ඊට එක් වූ ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙක් කියා සිටියහ. ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේ මෙම උමතු මතවාදය තව දුරටත් සමාජය පුරා ඔඩු දිවීම මුල් කොට ඉන්දියාව රාජ්‍ය තාන්ත්‍රිකව පවා ශ්‍රී ලංකාවෙන් ඒ පිළිබඳව කරුණු විමසා සිටීමේ යම් හැකියාවක් පවතින බවය.

ලොව පුරා බොහෝ ආගමික ශාස්තෘවරුන් පිළිබඳව කරුණු ඉදිරිපත් වනුයේ හුදු පුරාණෝක්ති වශයෙන් පමණි. නමුදු ඒ අතුරින් බුදුන් වහන්සේ සම්බන්ධ සුවිශේෂතාව වනුයේ උන්වහන්සේ ගේ අනන්‍යතාව ඓතිහාසිකව සහ පුරාවිද්‍යාත්මකව පවා සනාථ වී එය ගෝලීය මට්ටමින් පිළිගැනීමට ලක්ව තිබීම ය.
ඒ සම්බන්ධ වැදගත් සාක්ෂි දෙකක් මතු දක්වමු.

සාක්කි අංක 1 කපිලවස්තුව සහ පිප්‍රාවා...

බුද්ධ පරිනිර්වාණයෙන් ඉක්බිතිව කිඹුල්වත් පුර කපිල වස්තුවේ ශාක්‍යයන් ද තමන්ට ලැබුණු සර්වඥ ධාතුන් තැන්පත් කොට මහා ස්ථූපයක් කරවා පුද පූජා පැවැත් වූ බවට සඳහන් බෞද්ධ සාහිත්‍යයේ එන පුවත මේ වන විට ඓතිහාසිකව සේම පුරා විද්‍යාත්මකව ද සනාථ වී තිබේ. ක්‍රි.පූර්ව සය වන සියවසට ආසන්න සමයක කපිල වස්තු ශාක්‍යයන් විසින් සර්වඥ ධාතුන් තැන්පත් කර එසේ ඉදිකරන ලද වර්තමාන ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිප්‍රාවා නම් ස්ථානයේ ස්ථූපයක් තුළින් මෙම  සර්වඥ ධාතුන් හමුවී ඇත්තේ 1898 වසරේ විලියම් ක්ලැක්ස්ටස් පෙප්පේ නම් බ්‍රිතාන්‍ය සම්භවයක් සහිත ඉන්ජිනේරුවකුට ය. එම කරඬුවල සටහන්ව තිබූ සඳහන් මුල් වරට කියවා ඇත්තේ පුරාණ ඉන්දීය භාෂා විශාරදයකු වූ ජෝර්ජ් බුලර් විසිනි.  ඒ අනුව වත්මන් පිප්‍රාවා බෞද්ධ ඉතිහාසයේ කපිලවස්තුව බව සනාථ වී ඇත.මේ පූර්ව බ්‍රාහ්මී අක්ෂර සහිත අක්ෂර ක්‍රිස්තු පූර්ව තුන්වන ශත වර්ෂයේ විසූ දඹදිව ධර්මාශෝක රජුට අයත් බව ලෝ ප්‍රකට පුරාවිද්‍යා පර්යේෂකයන් ගේ පොදු නිගමනය විය.

1. සුකිතිභතානං සභගි 2. නිකානං සපුතදලනං 3. ඉයං සලිල නිධනෙ 4. බුධස භගවතෙ සකියානං යන පෙලි හතරකින් යුතු එම ලේඛනයේ ‘ඉයං සලිල නිධනෙ බුධස භගවතෙ සකියානං’ යන කොටසින් නිසැකවම තහවුරු වී ඇති අන්දමට මේවා බුදුන් වහන්සේගේ සර්වඥ ධාතූන් බව සමස්ත ලෝකයේම පුරාවිද්‍යාඥයින් ගේ ඒකමතික පිළිගැනීම වී තිබේ. එහෙත්, මෑතක දී කරන ලද පුරා විද්‍යාත්මක ගවේෂණ මඟින් එතෙක් ක්‍රි.පූ තුන් වන සියවස දක්වා ඉතිහාසයක් ඇති බවට අනුමාන කෙරුණු මෙම අක්ෂර කලාව ක්‍රි.පූ සය වන සියවසෙන්; එනම් බුද්ධ කාලයෙනුත් ඔබ්බට යන බව කාල නිර්ණ වාර්තා මඟින් සනාථ වී ඇත. ශ්‍රී ලංකාවේ  අක්ෂර කලාව ද මහින්දාගමනයත් සමඟ මෙරටට හිමිවූ දායාදයක් වශයෙන් බොහෝ දෙනා අතර ප්‍රචලිත මතය මේ වන විට ඉවත් වී ඇත. එම අදහස සනාථ කළ හැකි සාධක ආචාර්ය සිරාන් දැරණියගල සූරීන් 1988 වසරේ අනුරාධපුර සල්ගහවත්ත ආශ්‍රිත කැණීමෙන් සොයාගෙන ඇත. එය මේ වන විට ශ්‍රී ලංකාවෙන් අක්ෂර භාවිතය පිළිබඳව ලැබී ඇති පැරණිතම සාධකයයි. ක්‍රි.පූ.500 – 600 අතර කාලයට කාලනිර්ණය වූ මැටි බඳුන් මත ලියන ලද අක්ෂර සටහන් එහි දී හමුවී ඇති අතර ඉන්දියාවෙන් ද ඊට පසු කාලීනව එම යුගයට අයත් ඊට තරමක් සමීප අක්ෂර සහිත මැටි බඳුන් හමුවී තිබේ. පසුව  1971-1973 සමයේ එම පිප්‍රාවා නම් ස්ථානයේ ස්ථූපය වඩාත් ගැඹුරු කැනීමකට ලක් කළ ඉන්දීය පුරා විද්‍යාඥ කේ.එම් ශ්‍රීවස්තව ඇතුළු පුරා විද්‍යාඥ කණ්ඩායමට ක්‍රි.පූ සය වන සියවසට; එනම් බුද්ධ කාලයට අයත් තවත් පුරා වස්තූන් හමුවීම මත ඒවා කිඹුල්වත් පුර කපිල වස්තුවේ ශාක්‍යයන්ට ලැබුණු සර්වඥ ධාතුන් බව තවදුරටත් සනාථ වී තිබේ.

ඊට අමතරව බුදුන් වහන්සේ ගේ එෛතිහාසිකත්වය සෘජුවම ඉතා වැදගත් පුරා විද්‍යාත්මක සාක්ෂියක් ද තිබේ.

සාක්කි අංක 2 නේපාලයේ ලුම්බිණිය...

මායා දේවි විහාරය යනු නේපාලයේ ලුම්බිණියේ යුනෙස්කෝ ලෝක උරුම අඩවියේ පිහිටා ඇති පුරාණ බෞද්ධ විහාරයකි. එය ලුම්බිණියේ පිහිටි ප්‍රධාන විහාරය වන අතර එය සම්ප්‍රදායිකව ගෞතම බුදුන් උපන් ස්ථානය ලෙස අනුමාන වශයෙන් සැලකෙමින් තිබිණ. විහාරය පූජනීය පොකුණ (පුෂ්කර්ණී) සහ පූජනීය උද්‍යානයකට යාබදව පිහිටා ඇත. මෙම ස්ථානයේ ඇති පුරාවිද්‍යාත්මක නටබුන්  අශෝක අධිරාජ්‍යයා විසින් ඉදිකරන ලද ක්‍රි.පූ. තුන්වන සියවසේ ගඩොල් ගොඩනැගිලිවලට අයත් වෙයි.

2013 නොවැම්බරයේ දී, ජාත්‍යන්තර පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් විහාර භූමියේ යට ස්ථර වල කැණීම් කළ අතර, එහි දී ක්‍රිස්තු පූර්ව 550 ට පෙර පැරණි වෘක්ෂ දේවාලයක නටබුන් සොයා ගන්නා ලදී. පසුව ඒ සම්බන්ධ සිය නිගමනයන් ඉදිරිපත් කළ පර්යේෂක පිරිස මෙම ස්ථානය බෞද්ධ ව්‍යුහයන් පිළිබඳ පැරණිතම සාක්ෂිය බවත් ගෞතම බුදුන් වහන්සේගේ ජීවිතය පිළිබඳ පළමු පුරාවිද්‍යාත්මක සාක්ෂිය එය බවත්  කියා සිටියහ. ගවේශක කණ්ඩායමේ ප්‍රධානියා වන එක්සත් රාජධානියේ ඩර්හැම් විශ්ව විද්‍යාලයේ රොබින් කොනින්හැම් සහ නේපාලයේ පශුපති ප්‍රදේශ සංවර්ධන භාරයේ කෝෂ් ප්‍රසාද් ආචාර්‍යා විසින් මෙම මතය  ඉදිරිපත් කරන ලදුව එය ලෝ පතල විය. ඒ අතරේ සඳහන් සර්වඥ ධාතු මුල් කොට ගත් සොයා ගැනීම් සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් ගෙන් දැඩි විවේචන එල්ල වූ අතර එම පාර්ශවයන් අතර ඒ වන විට ඉන්දියාවට ආගමික සංස්කෘතික ආක්‍රමණයක් එල්ල කළ මිෂනාරීන් මුල් ව සිටි බව පසුව අනාවරණය වී තිබේ. නමුදු ඉහත සඳහන් පුරා විද්‍යාත්මක සොයා ගැනීම අද වන විට ගෝලීය වශයෙන් ද සම්මත වී ඇති අතර එම නිගමනයන්ට එරෙහි ප්‍රබල අභියෝග ඉදිරිපත් කිරීමට කිසිවකුත් සමත් නොවෙති.

බුදුන් ශ්‍රී ලංකාවේ උපන් බොරුව ගෙතීම චීන කුමන්ත්‍රණයක්..?

නමුදු අප මෙහි දී රිලා නැටුම වශයෙන් සරල ලෙස විස්තර කරන ඉහත සංසිද්ධිය තුළ ද බුදුන් ගේ එම ඓතිහාසික අනන්‍යතාව සැඟවීමේ යම් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තිබේද? යන සැකය යමකු තුළ ජනිත වීම ද සාධාරණ ය. මෙම කණ්ඩායම් වලට අප රටේ බොහෝ බෞද්ධ සංවිධාන වලට නොමැති මූල්‍ය ශක්තියක් තිබීම ද එම සැකය වඩාත් තීව්‍ර කරවන්නකි.

එළඹ ඇති තත්වයන් හමුවේ මෙම නරුම මතවාදය සම්බන්ධයෙන් ඉන්දියාව අතිශය බරපතල අයුරින් විමසුම් කිරීමේ පැහැදිලි හැකියාවක් ඇති බවට අපි කල් ඇතිවම පුරෝකථනය කර සිටිමු. ඒ ශ්‍රී ලංකාව පුරා මෙවන් නරුම මතවාදයක් පැතිරවීම භූ දේශපාලනික වශයෙන් චීනය ඉන්දියාවට එරෙහිව සිදු කරනු ලබන කුමන්ත්‍රණයක් ලෙස සහේතුකව වටහා ගැනීමට ඉන්දියාව සතු පහසු හැකියාව ය. අප වෙත නිල නොවන අන්දමින් වාර්තා වී ඇති අන්දමට මේ වන විටත් ඉන්දියාව ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගනිමින් ඒ සම්බන්ධ බුද්ධිමත් තොරතුරු ගොනු කරගනිමින් සිටියි. සිංහල ජනතාව අතර ද ඉන්දියානු බුද්ධි අංශ නියෝජිත වරුන් හිඳින බව ද අපි කල් ඇතිවම අනාවරණය කොට සිටිමු. ඒ මෙම මතවාදය ප්‍රචලිත කරවීම පිණිස තව දුරටත් මූල්‍ය ආයෝජන සිදු කරන දෙස් විදෙස් ප්‍රජාවගේ පූර්වාරක්ෂාව සඳහා ය.මක් නිසා ද යත් ඉන්දියානු බුද්ධි අංශ මඟින් ඒ ආධාර ප්‍රභවයන් හි අල ගිය තැන් මුල ගිය තැන් පහසුවෙන් සොයා ගන්නා බැවිනි.

බුදුන් ශ්‍රී ලංකාවේ උපන් බවට මේ වන විට රට පුරා පතුරුවන සාවද්‍ය මතවාදය සම්බන්ධ ඊට අදාල පුද්ගලයන්, කණ්ඩායම් සහ පාර්ශවයන් වෙන් වශයෙන් හඳුනා ගනිමින් මෙම යාන්ත්‍රණය පිළිබඳ වඩාත් විධිමත් තොරතුරු ලබා දීමේ මනා හැකියාවක් ඉදිරියේ අප හට ද හිමි වනු ඇත.

කොහිල වලක් නේරංජනා නදිය කරන රිලා සාක්කි..

ඒ දක්වා ඔවුන් දැනට බුදුන් ශ්‍රී ලංකාවේ වැඩ සිටි බවට වන සාක්ෂි ගොනු කර ගන්නා බාල බොළඳ හා විකට ස්වරූපය ඔබ හමුවේ අනාවරණය කරමු. මෙහි දී ඔවුන් බුදුන් ශ්‍රී ලංකාවේ වැඩ සිටි බවට තහවුරු කරන ප්‍රධානතම සාක්ෂිය ගොඩ නඟනුයේ මේ වන විට අප රටේ තැන් තැන්වල ඇති ග්‍රාම නාම තමන්ට අභිමත පරිදි බුද්ධ චරිතය හා සම්බන්ධ වන ලෙසට විකෘති කොට සකසා ගැනීමෙනි. නිදසුනක් ලෙස හිරිවඩුන්න නම් ග්‍රාම නාමය බුදුන් වැඩ සිටි හෙවත් "සිරි වැඩ හුන්" යන්නෙහි වර්තමාන ස්වරූපය සේ සළකා එය ශ්‍රී ලංකාවේ බුද්ධ ගයාව ලෙස හඳුන්වති. ඊළඟට උරුලෑව යන ග්‍රාම නාමය බුදුන් වැඩ සිටි ඌරුවෙල් දනව්ව සේ නම් කරති. එහිදී බෞද්ධ සාහිත්‍යයේ එන බුද්ධ චරිතය හා සම්බන්ධ සෙසු සංසිද්ධීන් ඒවා ආසන්නයේ ඇති විවිධ භෞමික සාධක සම්බන්ධ කරවීම ද මොවුන් විසින් සිදුකරන  තමන්ට නොමැතිව අන්‍යයන්ට පමණක් සිනා උපදවන රිලා වැඩකි. ඒ අනුව අප රටේ බොහෝ ප්‍රදේශ වල දක්නට ඇති කොහිල වළවල් අතුරින් ඔවුනට අභිමත ඒ අද්දර කොහිල වලක් තෝරා එය නේරංජනා නදිය ලෙසත් පොළොවින් ඉහළට මතු වී ඇති ගල් කුළු අතුරින් එකක් ගිජ්ජ කූට පර්වතය ලෙසත් නම් කරති. බුදුන් ශ්‍රී ලංකාවේ උපන් බවට තහවුරු කරන කණ්ඩායම් කිහිපය මගින් බුද්ධ චරිතය හා ආදේශ කරන අප රටේ ග්‍රාම නාම ප්‍රමාණය එතැනින් නිමා නොවේ. ඇතැම්හු හිරියාල යන ග්‍රාම නාමය ද බුද්ධ චරිතය හා එක් කරනුයේ "ශ්‍රී ආලය" හෙවත් බුදුන් ගේ වාසස්ථානය බවට ව්‍යාජ අර්ථ නිරූපණයක් ලබා දෙමිනි. ඒ අතර බුද්ධ කාලීන මගධ දේශය  වත්මන් ගම්පහ දිස්ත්‍රික්කයේ රදාවඩුන්න ආශ්‍රිතව පිහිටි බව පවසන පිරිසක් ද වෙති. ඔවුන් පවසනුයේ අතීතයේ බිම්බිසාර අජාසත් වැනි රජුන් පාලනය කළ මගධ දේශය හෙවත් රජා වැඩ හුන් ප්‍රදේශය පසුව රදාවඩුන්න වී ඇති බව ය.

එමෙන්ම මෙම ශ්‍රී ලංකාවේ ග්‍රාම නාම හා බුද්ධ චරිතය ගැට ගසා ඉදිරිපත් කිරීමේ අතිශය රසාලිප්ත සංසිද්ධියක් අනාවරණය කර ගැනීමේ හැකියාව මෙහිදී අපට ලැබුණි.

'මයික් කටා'ගේ කතාව...

ඊට මුල් වනුයේ මහින්ද රාජපක්ෂ බුදුන් ගේ නෑදෑයෙක් ය යන මතවාදය මුල් වරට ගෙන ආ අප්‍රකට පුද්ගලයෙකි. මීට දශක දෙකක් පමණ වන තෙක් තංගල්ල ප්‍රදේශයේ ගමක ජීවත් වූ ඔහු ‘මයික් කටා’ නම් උපහාස නාමයෙන් හඳුන්වනු ලැබූවෙකි. මංගල, අවමංගල ආදී ඕනෑම උත්සව සභාවක ශබ්ද  විකාශන යන්ත්‍රයක් ක්‍රියාත්මක කොට තිබුණහොත් මේ ‘මයික් කටා’ ද නොවැරදීම ඒ අවට ගැවසෙමින් සිටිනු දැකිය හැකි වූ  බව ප්‍රදේශවාසීහු කියති. ඒ පොඩ්ඩ එහා මෙහා වීමක දී වුව එම  මයික්‍රෆෝනයට මුව ළංකොට කුමක් හෝ පැවසීමට ඔහු සතුව තිබූ අසීමාන්තික කෑදර කම නිසා ය.

කෙබර ශ්ලෝක..

තමන් පවසන දෙය කුමක් වුවත්  ඒ සඳහා අසන්නන් ආකර්ශනය කර ගැනීම පිණිස තමන් විසින් ම ප්‍රබන්ධය කර ගත් බොරු ශ්ලෝක කිහිපයක් ද කට පාඩම් කරගෙන සිටි අතර තම කතා වල ගැඹුරු හරබර බව දැක්වීම පිණිස ඒ කතා පවත්වන අතරේ ඒ කෙබර ශ්ලෝකයක් දෙකක් ඇද බෑමට ද ‘මයික් කටා’ පුරුදුව සිටියේය. එහෙත්, සංස්කෘත ඇතුළු භාෂා රැසක් සහ පෙර දිග විද්‍යා ශාස්ත්‍ර පිළිබඳ නිපුනත්වයක් ලබා ඇති බවට අහිංසක ගැමියන් විශ්වාස කළ මෙම ‘මයික් කටා’ ලෝක බොරුකාරයකු බව දැන සිටි ප්‍රදේශයේ විහාරස්ථානයක තරුණ භික්ෂුවක් හා උසස් අධ්‍යාපනයක් ලත් තරුණ පිරිසක් ඒ ගම් ප්‍රදේශයේ උත්සව වල මයික්‍රෆෝන් අසලින් ඔහු එළවා දෑමුහ.

බුද්දියාගම කිඹුල්වත් පුරය කරයි..

ඒ වන විට බුදුන් ශ්‍රී ලංකාවේ උපන් බවට වන සාවද්‍ය මතවාදය ද රටේ අතනින් මෙතනින් ඉස්මතු වෙමින් පැවැති අතර සහජයෙන්ම නිර්මාණශීලී මනැසක් හිමි ‘මයික් කටා’  සැබැවින්ම බුදුන් පහළ වූයේ දකුණු පළාතේ වීරකැටියේ, බුද්දියාගම ය යන නරුම මතවාදයක්  මුල් වරට ප්‍රදේශයේ පතුරුවා හරින ලදී. ඔහු පැවසූ අන්දමට වීරකැටිය යනු වීරයන් හෙවත් බුද්ධාදී මහෝත්තමයාණන් පහළ වූ ප්‍රදේශය වන අතර බුද්ධියාගම යනු බුදුන් උපන් ගම ප්‍රදේශය හෙවත් පැරණි කිඹුල්වත් පුරයයි.

මහින්ද රාජපක්ෂගේ මී මුත්තා 'ගොන් මාටින්'...

එහි වඩාත් සුවිශේෂත්වය වූයේ  කොන්ස්ටන්ටයින් ද සිල්වා වනිගචින්තාමනී මොහොට්ටාල සතු බුද්දියාගම වලව්වේ හරක් බැලූ මහින්ද රාජපක්ෂ ගේ මී මුත්තා වූ  මාටින් රාජපක්ෂ හෙවත් 'ගොන් මාටින්' ද  අතීතයේ කිඹුල්වත් පුරයේ රජ කළ ශූද්ධෝධන රාජ පරම්පරාවට අයත් බවත් ඒ අනුව මහින්ද රාජපක්ෂ බුදුන් ගේ නෑදෑයකු බවත් පවසා සිටීම ය. ඒ අනුව මහින්ද රාජපක්ෂ හා බුදුන් වහන්සේ අතර ඥතීත්වයක් පැටලවීමේ මහා පාප කර්මයට දායක වූ මුල්ම පුද්ගලයා දැනට දරුණු ජීවිතාවදානමකට ලක්ව සිටින ජැක්සන් ඇන්තනී නම් ප්‍රකට මිනිසා නොව දියවැඩියා රෝගය ඉස්මතු වීම නිසා මීට දශක දෙකක පමණ ඉහත සදහටම මෙලොවින් වෙන්ව ගිය "මයික් කටා' නම් වන එම අප්‍රකට නිර්මාණශීලී ගැමියා බව සාධාරණ ලෙස පිළිගැනීමට අපට සිදුවේ.

ජැක්සන් මයික් කටාට පරදී..

ජැක්සන් ඇන්තනි කවර හෝ ලෞකික ලාභාපේක්ෂාවන් මුල් කොට එම චේතිය මුසාව ප්‍රසිද්ධ මාධ්‍යයක් වෙතින් ගෙන හැර දැක් වුවද අහිංසක මයික් කටා නම් ඒ පට්ට කෙබරය ගොතා ඉදිරිපත් කරන්නට ඇත්තේ මහින්ද රාජපක්ෂලාගේ දේශපාලන වේදිකාවල මයික් එකකින් කතා කිරීමේ  "චාන්ස් එක" ගැන පමණක් සිතා බවට සාධාරණ ලෙස අනුමාන කිරීමට අපට පුළුවන. එහෙත් කිනම් හෝ හේතුවක් මත ඔහුට රාජපක්ෂ පවුලෙන් අවස්ථාව අහිමි වන්නට ඇත. ඔහු තම මතය රාජපක්ෂලා හමුවට ගෙනෙන විට මොළේ කළඳක් හෝ ඇති කිසිවකු එතන හිඳීම ඊට හේතු වන්නට ද ඇතැයි මට සිතේ. නොඑසේ නම් මහින්ද රාජපක්ෂ හා බුදුන් අතර ඥාතීත්වයක් පටලැවීමේ "අ "ගෞරවය ජැක්සන්ට පළමු මයික් කටා හිමි කර ගනු ඒකාන්ත ය.

ඉන්දුවේදය (Indology)..

බුදුන් හට ශ්‍රී ලාංකේය පුරවැසි භාවයක් ආදේශ කරන රිලා මතවාදීන් ඊට අදාල තොරතුරු ගොනු කර ගනුයේ සුමංගල විලාසිනිය, බුද්ධවංශය ආදී පසුකාලීන බෞද්ධ අටුවා වලිනි. මෙම නරුම මතධාරීන් ඒ සම්බන්ධයෙන් මඳකුදු සිතා නොබලන හෝ සිතන්නට නොදන්නා වැදගත් කරුණක් තිබේ. එනම් ත්‍රිපිටකයේ එන සූත්‍ර හා විනය පිටකය මගින් අප රටට කිසිදු සබැඳියාවක් නැති බුද්ධ කාලීන භාරතීය සමාජ, ආර්ථික දේශපාලන, සංස්කෘතික, භූගෝලීය,දේශගුණික ආදී කරුණු රැසක් අනාවරණය වන බවකි. නිදසුනක් ලෙස බුදුන් ගේ ගිහි කළ පෙළපත් නාමය යන ගෝතම යන්න සමකාලීන විද්වත් භාෂාවක්ව තිබූ සංස්කෘතයෙහි ගෞතම යන වදනින් භින්න වූවකි. එහි අදහස "ගව හිමි" යන්න ය. බුද්ධ කාලීන භාරතයේ පශු පාලනය කෘෂිකර්මය තරමටම සමාජ ප්‍රමුඛත්වයක් හිමි කර ගත් වෘත්තියකි. නත්ථි ගෝ සමිතං ධනං (ගවයා හා සමාන ධනයක් නැත) ගවෝ නො පරමා මිත්තා යාසු ජායන්ති ඕසධා (ගවයා නමැති මිතුරා පස් ගෝ රස නම් ඔසු සපයන්නේය) ආදී වශයෙන් වන ධර්ම පාඨ මගින් බුදු සමයෙහි පශු පාලනයට දී ඇති අගැයුම වටහා ගත හැකි ය.  ඒ අතර එවක භාරතයේ ගව පාලනය විවිධ තනතුරු (ගෝ රක්ඛ, ගෝ පාලක) යහපත් රැකියා අවස්ථාවන් වූ බව ද සූත්‍ර දේශනා ආදිය මඟින් සනාථ වී තිබේ.

ඉන්දුවේදය (Indology) නම් වන විෂය ඇතුලු විවිධ මානව විද්‍යා විෂය පථයන්  හදාරන පෙර`පර විද්වත්හු ද ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ භාරතයේ ඉහත සඳහන් සාධක ගොනු කර ගැනීම පිණිස බෞද්ධ ත්‍රිපිටකය උපයෝගී කර ගැනීම සුලබව සිදු වන්නකි. ඒ අනුව බුදුන් ශ්‍රී ලංකාවේ උපන් බව තහවුරු කළ හොත් සූත්‍ර විනය පිටකයන් දෙකම කසල ගොඩට දැමිය යුතු ය.

මේ රිලා කෙබර ඉන්දියාවට පමණක් නොව සමස්ත භාරතීය සංස්කෘතියටම එල්ල කරන බලවත් අතුල් පහරක් බැවින් ඒ පහර කමින් ඉන්දියාව නිහඬව බලා සිටිනු ඇතැයි සිතීමට අපට නොපුළුවන.

රිලා විදුර...

මේ අතර අප රටේ ප්‍රකට දේශපාලනඥයකු වන විදුර වික්‍රමනායක ද මෙවන් රිලා මතවාදීන් ගේ උසි ගැන්වීමකට අනුව ඔවුන් විසින් බුද්ධ භූමියක් වශයෙන්  හඳුන්වන එක් ස්ථානයකට ගොස් එම ස්ථානය අවටින් බුද්ධ චරිතය සම්බන්ධ සාක්ෂි ගොනු කර ගැනීමට උත්සුක වන මෙන් පුරා විද්‍යා නිලධාරීන් දන්වා සිටීමේ විස්මිත පුවතක් ද අනාවරණය වී තිබේ.

විදුර වික්‍රමනායක ගේ සහ ඔහුගේ පියා වන රත්නසිරි වික්‍රමනායක ගේ ජාන සැසඳීමෙන් ඒ දෙදෙනාගේ පිය පුතු භාවය පිළිබඳ විද්‍යාත්මක නිගමනයට ඒමට හැක. එහෙත් විදුර වික්‍රමනායකගේ ජාන පමණක් පරීක්ෂා කිරීමෙන් ඔහුගේ පියා කවරකු දැයි කිසිවකුටත් කීමට නොහැක. ඉහත සඳහන් රිලා මතවාදය සම්බන්ධයෙන් විදුර දුන් නියෝගය පිළිබඳව අපට කීමට ඇත්තේ ද එපමණකි.

-විශේෂ ලියුම් කරුවකු විසිනි.

---------------------------
by     (2023-04-29 11:16:23)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links