~

"නිවනට යන පාර මොකක්ද යකෝ..?" භික්ෂූන්ට පහර දෙමින් විමසන්නට ගිහියන්ට සිදුවෙලා..!

-කදුරුපොකුණේ සුමංගල හිමියෝ ලියති

(ලංකා ඊ නිව්ස් -2023.අප්‍රේල්.21, ප.ව.10.45) නිවනට යන මඟ කුමක්දැයි විමසමින් භික්ෂුවකට පහර දුන් බව කියන නාවික හමුදා නිලධාරියකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි කල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි. පසුගිය 17 වැනිදා සවස කල්පිටිය කන්දකුලියේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය විජය නාවික හමුදා කඳවුරට අනුයුක්තව කන්දකුලිය ප්‍රදේශය භාරව කටයුතු කරන නිලධාරියා බව ද දැන ගන්නට ඇත. එසේ පහර කෑමට ලක් වූ බව කියන  කල්පිටිය බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩ වෙසෙන නාලන්දේ ධම්මවිමල හිමියන් ප්‍රතිකාර සඳහා කල්පිටිය දිසා රෝහලට ඇතුළත් කරන ලදැයි පැවසෙයි. තමන් වහන්සේ වෙසක් උත්සවය නිමිත්තෙන් සංවිධානය කරන දන්සලක් සඳහා ආධාර එකතු කිරීමට කන්දකුලිය ප්‍රදේශයට ගිය බවත්, එම ප්‍රදේශයේ නිවෙසක පිරිසක් සමඟ මත්පැන් පානය කරමින් සිටි සැකකරු 'නිවනට යන මඟ කුමක්දැ?'යි විමසමින් තමන්ට පහර දුන් බවත් රෝහල්ගත කර සිටින හිමි නම පොලීසියට පවසා ඇත.

ඉහත සඳහන් වනුයේ මේ වන විට මාධ්‍ය මගින් ප්‍රචාරය වී ඇති ඛේදනීය පුවතකි.යම් පුද්ගලයකු විසින් භික්ෂුවකට  කවර  පූජ්‍ය පූජක පක්ෂයේ කිසිවකුට තබා සාමාන්‍ය අයකුට වත් පහර දීම කිසිදු සදාචාර සම්පන්න සමාජයක අනුමැතියට යටත් නොවේ.දැන් එම නියාමය සතුනට පහර දීම සම්බන්ධයෙන් ද එලෙසම වලංගුව පවතී.එමෙන්ම ඉහත සඳහන් ප්‍රවෘත්තියේ සඳහන් වන අන්දමට එම භික්ෂුවට පහර දීම සිදු කොට ඇත්තේ එම නිලධාරියා පානය කරමින් සිටි අවස්ථාවක ය. ඒ අනුව ඔහු එය සුරාමතින් සිදු කළ ක්‍රියාවක් සේ අනුමාන කිරීමට අපට පුළුවන. බුදු දහම සුරාපානයේ ආදීනව පහක් දක්වා තිබේ. ඒ ධනය පිරිහීම, කලකෝලහල ප්‍රවර්ධනය වීම,රෝග පීඩා බහුල වීම ,අපකීර්තිමත් පුද්ගලයකු වීම, ලජ්ජාව නොමැති වීම සහ ප්‍රඥාව දුබලවීම යන කරුණු ය. ඒ අනුව ඉහත සඳහන් පහර දීම කළ නාවික හමුදා නිලධාරියාට ද සුරාපානයේ ආදීනව ඇස් පනා පිට විඳ ගන්නට සිදුව ඇති සහ සිදුවන බව පෙනෙයි.

භික්ෂුව නිවන් මඟ හැර වෙනයම් මඟකට පිවිස හිඳින බව..

එම කතාව පසෙක තිබිය දී ඉහත ආකාරයේ සිදු වීම් සම්බන්ධයෙන් සමාජ විද්‍යාත්මක සහ සමාජ මනෝ විද්‍යාත්මක ද්‍රෘෂ්ඨියෙන් විමසා බලන විට ඉස්මතු වී පෙනෙන වෙනත් පැතිකඩක් තිබේ. එනම් වර්තමානය ශ්‍රී ලාංකේය භික්ෂු ප්‍රජාව සාමාන්‍ය මහ ජනතාව හමුවේ කෙතරම් අවමානයට පත්ව තිබේද? යන්න ය.
සුරාමතින් පදම් වූවකු මඟතොට දී "චීවරයක්" දුටු සැනින් සෙසු සියලු කරුණු අමතක කොට ඒ පසුපස ලුහුබැඳීම අප සාමනේර අවදියේ සිටම අසා දැක සේම අත්දැක ඇති තත්වයකි. බුදු දහම සහ එය නියෝජනය කරන භික්ෂු ප්‍රජාව සිද්ධාන්තමය වශයෙන් සුරාවට එරෙහි වීමේ මුල්ම හේතුව ය. ඒ සඳහා ඉවහල් වන දෙවන හේතුව වනුයේ කුමනහේතුවක් මත හෝ භික්ෂුවක් මහ මඟ ප්‍රසිද්ධියේ ගිහියකු මෙන් තමන් සමඟ ගහ බැණ ගැනීමට නොඑන බව ඒ බේබදු මිනිසා දැන සිටීම ය. එහෙත් ,ඉහත සඳහන් සිදුවීම  සම්බන්ධයෙන් සිතා බැලීමේ දී ඉහත සඳහන් පටු බේබදු පරාසය ඉක්මවන වෙනයම් මනෝමය සිද්ධාන්තයක් ඊට ගැබ්ව ඇති බවක් හැඟේ. එම සිද්ධියෙන් පැවසෙන අන්දමට එම හමුදා නිලධාරියා භික්ෂුවට පහර දී ඇත්තේ ඒ භික්ෂුව ගේ හෝ සමස්ත ශ්‍රී ලාංකේය භික්ෂු ප්‍රජාවේම යම් නුගුණයක් මුල් කොට නොවේ. ඒ පහර කෑමට ලක් වූ භික්ෂුව නිවන් මඟ හැර වෙනයම් මඟකට පිවිස හිඳින බවට ඒ හමුදා නිලධාරියාට ඒත්තු ගොස් තිබීම නිසා ය.

මත්පැන් පානය මුල් කොට ප්‍රකෘතියෙන් බැහැර ඔහුගේ මනැසට පිවිසි එම අදහස හුදෙක් උමතු සිතුවිල්ලක්ම නොවේ. එහි දී සිදුව ඇත්තේ වත්මන් ශ්‍රී ලාංකේය භික්ෂු ප්‍රජාව මේ වන විට තම පරමනිෂ්ඨාව වන නිර්වාණය පදනම් කර ගත් ආර්ය මාර්ගයෙන් බැහැරව නන්නත්තාර වී  හිඳින බවට ශීඝ්‍රයෙන් ඉහළ නැංවෙන ජනතා ආකල්පය එම නිලධාරියා තම බීමත් කම මගින් ප්‍රචණ්ඩ සාපරාධී ක්‍රියාවක් ලෙස ඉස්මතු කිරීම ය.

ඇත්ත ඇති සැටියෙන් කතා කළහොත් “සංඝ ගෞරවය” නැතිකරගෙන..

ඇත්ත ඇති සැටියෙන් කතා කළහොත් ගත වු දශක කිහිපය තුළ ශ්‍රී ලාංකේය භික්ෂු ප්‍රජාව පක්ෂ දේශපාලනයට ගැතිවීම, කූට ජාවාරම්කරණය අධික කාමභෝගීත්වය යන කරුණු මත බුද්ධ චීවරය කෙතරම් අවභාවිතාවට ලක් කොට තිබේද? යත් ඔවුන් ගේ එම නොමනා චර්යාවන් සාම්ප්‍රදායික බෞද්ධ ජන විඥානය සමඟ ගැටුම්කාරී මට්ටමක් දක්වා ප්‍රවර්ධනය වී තිබේ. එනිසා අප ඉතා හොඳින් දන්නා සහ විශ්වාස කරන අන්දමට අද වන විට ශ්‍රී ලාංකේය බෞද්ධ ජන සමාජය තුළ “සංඝ ගෞරවය” යනුවෙන් හැඳින්වෙන සාම්ප්‍රදායික සමාජ සම්මතය බරපතල ලෙස දෙදරා ඉරිතලා ගොසිනි. ඒ වෙනුවට අද වන විට අප සමාජයේ බෞද්ධයන් සැළකිය යුතු පිරිසකගේ මනැස් තුළ භික්ෂුන් කෙරෙහි කායානුබද්ධ වෛරයක් (Pathological heat ) පවා ස්ථාපිත වී ඇති බව නිසැක ය.

බුදු සමය සුරැකීම "යකඩ කට වල"ට පවරා විනය විරෝධී කටයුතුවල...

ශාසනික වශයෙන් කිසිදු අර්ථ කථනයකට ලක් කළ නොහැකි “විහාරාධිපති” නම් තනතුර මගින් විහාරස්ථානය සම්බන්ධ මූල්‍ය පරිපාලනය සහ සෙසු සෑම කළමණාකාර කටයුත්තක්ම සියතට ගෙන හිඳින බොහෝ භික්ෂුන් මේ වන විට එදිනෙදා බුදු සමය සුරැකීම "යකඩ කට වල"ට පවරා ශාසන සහ විනය විරෝධී කටයුතුවල යෙදෙන බවට පොදු සමාජමය චෝදනාවක් එල්ල වී තිබේ. විශේෂයෙන් කිසිදු විචාරාත්මක පදනමකින් තොරව නාගරික අර්ධ නාගරික සේම ගම්බද ප්‍රදේශවල පවා බරපතල ශබ්ද දූෂණයක් ඇති වන අන්දමට ශබ්ද විකාශන මගින් උදය, සවස පන්සිල් සහ සෙත් පිරිත් ප්‍රචාරය කිරීමේ නව විලාසිතාව අපගේ බෞද්ධයන් රැවටීම පිළිබඳ මෝඩ උපාය මාර්ගයකින් බැහැරව නොයන බව අප අවංකවම පිළිගත යුතු ය. එසේ ශබ්ද වාහිනී මගින් උදය හවස යකඩ හඬින් විකාශනය වන පංචශීලය සමාදන් කරවීම් අනුව පන්සිල් සමාදන් වන සහ සැදැහැ සිතින් යුතුව එම සෙත් පිරිත් සජ්ජායනා කරන එකම බොදුනුවකු වත් නොමැති බව සහසුද්දෙන්ම දැන දැනත් අප රටේ විහාරාධිපති භික්ෂුන් බුදු දහම සුරැකීමේ දෛනික රාජකාරිය යකඩ කටවල් වලට භාර කිරීම තරම් තවත් විහිළු අප සමාජයෙන් සපයා ගත හැකි නම් ඒ ඉතා අඩුවෙනි.

භික්ෂු ප්‍රධානත්වයෙන් සිදුවන මහා පරිමාන ජාවාරම් ජාලයක්..

නමුදු එවන් තත්වයක් යටතේ බෞද්ධ ආගමික සහ සංස්කෘතික වශයෙන් වැදගත් දින සහ ස්ථාන මුල්කොට අප රටේ සිදුවන මහා පරිමාන ජාවාරම් ජාලය ද භික්ෂු ප්‍රධානත්වයෙන් සහ කළමණාකරණයෙන් සිදුවන අතර එහි බරපතල ම ජාවාරම් යාන්ත්‍රණය වෙසක් පොසොන් පින්කම් මුල් කොට ක්‍රියාත්මක කෙරෙනු ඇත.
වර්තමාන වාණිජවාදී සමාජය තුළ බුදු සසුන ජාවාරම්කරණයට ලක් වීම පිළිබඳ “බුද්දස්ස කෝලම” නම් කදිම උපහාසාත්මක නාට්‍යයක් එක් දහස් නවසිය අනූව දශකයේ මුල් භාගයේ විශ්ව විද්‍යාල සිසුන්ව සිටිය දී අපට නැරඹීමට ලැබිණ. නමුදු මේ වන විට නාට්‍යය වේදිකා ගත නොවනුයේ එහි තිබූ හාස්‍යය සහ උපහාසය මුසු අංග මේ වන විට සමාජයේ සාමාන්‍ය තත්වයක් බවට පත්ව ඇති නිසා ද විය හැක.

එක් අයෙක් හැර 'වොයිස් කට් භික්ෂූන්' රිලව් මරාගෙන කෑමට විරුද්ධ වුනේ නෑ...

ශ්‍රී ලංකාවට ආවේණික සත්ව උප විශේෂයක් වන රිලවුන් ලක්ෂයක් චීනයට අපනයනය කරන බවට මහත් ආන්දෝලනාත්මක පුවතක් පසු ගිය දිනවල සමාජය පුරා පැතිරුණි. එම සතුන් ලක්ෂය චීනයේ සත්වෝද්‍යාන වලට යැවෙන බවට පැවසුණ ද එය සත්‍යයක් නොවන බවත් ඔවුන් එහි දී පර්යේෂණ හෝ මිනිස් ආහාරය සඳහා ඝාතනය කෙරෙන බවටත් පරිසරවේදීහු රජයට චෝදනා කළහ. එහෙත් පරම අවිහිංසාවාදී දහමක් පදනම් කරගත් ශ්‍රී ලාංකේය බුදු සමයේ මුර දේවතාවුන් වශයෙන් සමාජය විසින් හඳුන්වනු ලබන මහ නා හිමිවරුන් ප්‍රමුඛ රූපවාහිනී "වොයිස් කට්" මගින් ජනකාන්ත මට්ටමට පැමිණි කිසිම භික්ෂුවක් ඒ මහා සත්ව ඝාතනයට එරෙහිව එක් වදනකුදු කතා කිරීම අප රටේ භික්ෂුන් කෙරෙහි පවත්නා පොදු ජන ආකල්පය බරපතල ලෙස අවප්‍රමාණ කරවන්නක් බව ඒකාන්ත වශයෙන් කිව යුතු ය. පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පමණක් එසේ අප රටේ රිලවුන් හිතුමනාපයට පිටරට වලට ගෙන යාමට ඉඩ නොදන බව පවසා සිටි අතර ඒ උන්වහන්සේ ද පරිසර ක්‍රියාධරයකු වශයෙන් ප්‍රකටව හිඳින නිසා දැයි අපට නොවැටහේ.

මේ සියලු තත්වයන් යටතේ ඉහත සඳහන් හිමි නමට පහර දුන් නාවික හමුදා වරයාට එරෙහි අධිකරණ ක්‍රියා මාර්ග නිසි අයුරින් ගත යුතු බව එක හෙළාම පවසන අප රටේ භික්ෂු ප්‍රජාව වෙත ද එක් සිහි කැඳවීමක් කරන්නෙමු.

නාලන්දේ ධම්මවිමල හිමි අවසානයා නොවේ...

ඒ නිවනට යන පාර අසමින් ගිහියන් ගේ ඇනුම් බැනුම් යන පහර කෑම් වලට ලක් වූ අවසාන භික්ෂුවට එම සිදුවීමට අදාල හිමියන් නොවන බව ය. එබැවින් නිවනට යන පාර ගිහියන්ට වටහා දීමට පෙර අන් සියලු ක්‍රියාකාරම් නතර කොට  නිවනට යන පාර කුමක් දැයි තමන් විසිනුදු මනාව තේරුම් ගෙන සිටීම ශ්‍රී ලාංකේය වත්මන් භික්ෂු පරපුරේ ප්‍රමුඛතම වගකීම වී තිබේ.

-කදුරුපොකුණේ සුමංගල හිමි

හිමි ලියූ ලිපි එකතුව
https://www.lankaenews.com/category/91

---------------------------
by     (2023-04-21 17:18:38)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links