-දි අයිලන්ඩ් කතුවැකියක් සිංහලට නැගුවේ ආනන්ද
(ලංකා ඊ නිව්ස් -2023.මාර්තු.12, ප.ව.3.30) ශ්‍රී ලංකාව සිංගප්පූරුව මෙන් වීම කෙසේ වෙතත්, වත්මන් ආණ්ඩුවට පින් සිදු වන්නට රට පොලිස් රාජ්‍යයක් බවට නම් පත්ව තිබේ.
පසු ගිය මාස කිහිපය තුළ සන්නද්ධ පොලිස් භටයන් කැරපොත්තන් මෙන් බෝ වී තිබේ දැයි කෙනෙකුට සිතෙන තරමට නීතියේ කුරිරු හස්තය සෑම තැනකටම දිගුව තිබේ. සීඅයිඩීය මෙන්ම රාජ්‍ය බුද්ධි අංශයත් දේශපාලන වැඩ කටයුතු කරමින් කාර්යබහුලව සිටී.
රාජපක්ෂ-වික‍්‍රමසිංහ රෙජිමය ප‍්‍රජාතන්ත‍්‍රවාදී විසම්මුතිය යටපත් කිරීමට සියල්ල සූදානම් කර ඇති අතර, විරෝධතා තලා දැමීම සඳහා නොසැලෙන ලෙස පොලීසිය සහ හමුදාව යොදවයි.
විරෝධතා මර්දනය කිරීම මගින්, තවත් මහජන නැගිටීමක් ඇති වීම වළක්වා ගැනීමට හැකි වේය, දේශපාලන ප්‍රතිවාදීන් සහ ශිෂ්‍ය ක්‍රියාකාරීන් හීලෑ කර ගැනීමට හැකි වේය, එයින් සිය බලය සදාකාලිකව පවත්වා ගත හැකි වේය යන මිත්‍යාව මත පිහිටා ආණ්ඩුව ක්‍රියා කරන බව පැහැදිලිය.
[බටලන්දේ] රනිල්ගේ පොලිසිය දැන් කටයුතු කරන්නේ අයිවන් ද ‘ටෙරිබල්’ සාර් රජු සිය ප්‍රතිවාදීන් සමූහ ඝාතනය කිරීමට යොදා ගත් ‘ඔප්රිච්නිකි’ ඝාතක කල්ලිය හා සමානව බව පෙනේ.
ආණ්ඩුවට එල්ල වන දේශපාලන තර්ජන නිෂ්ක්‍රීය කිරීම උදෙසා විරෝධතාකරුවන් වෙත කඩා පනිමින්, පොලිස්කාරයන් පමණ ඉක්මවා යමින් මැරී ගෙන දඟළන්නේ, ලේ දකින විට තොල කට ලෙව කන, [තිරශ්චීන] “පොලිටිකල් බොසාලා” අමන්දානන්දයට පත් කිරීම උදෙසාය.
විරෝධතාකරුවන්, විශේෂයෙන්ම විශ්ව විද්‍යාල සිසුන් තම සීමා ඉක්මවා ගොස් මහජන පීඩාවක් බවට පත්වන ඇතැම් තත්ත්ව මතුවන අතර, ඔවුන් විසුරුවා හැරීමට බලය යෙදවීමට පොලිසියට බල කෙරේ. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ අන් අයට අපහසුතාවයක් නොවන පරිදි තම අයිතිවාසිකම් ක්‍රියාත්මක කරන ලෙසයි.
එහෙත් කොළඹ සහ කැළණිය විශ්ව විද්‍යාලවල සිසුන්ගේ බදාදා උද්ඝෝෂණයට පොලීසිය කඩා පැන්නේ ඇයි ද යන්න කිසිසේත්ම තේරුම් ගත නොහැක. එම විරෝධතා සාමකාමී වූ අතර, බලය පාවිච්චි නොකර තත්ත්වය පාලනය කිරීමට පොලිස්කාරයන්ට හැකියාව තිබුණි?
ඒ අනුව බලන විට, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් තම සිසුන්ගේ විරෝධතා දැක්වීමට ඇති අයිතිය වෙනුවෙන් හඬ නැගීම, ආණ්ඩුවට ගැරහීම, පොලිස් කෲරත්වයට විරෝධය පළ කිරීම වැනි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවට තර්ජනය කිරීම අතිශයින්ම ස්වභාවිකය.
රජයේ රෝහල්වල ජීවිතාරක්ෂක ඖෂධ සහ උපකරණ හිඟයක් පවතින නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ශල්‍යකර්ම සඳහා සීමා පනවා ඇත. මැතිවරණය සඳහා අරමුදල් නැති බව මහා භාණ්ඩාගාරය අවධාරණය කරයි. අරමුදල් කප්පාදු කිරීම නිසා පාසල් හා විශ්ව විද්‍යාල පීඩාවට පත්ව ඇත. නමුත් නැව් පුරා කඳුළු ගෑස් ගෙන්වීමට තරම් ආණ්ඩුවට මුදල් තිබේ!
නීත්‍යානුකූල භාවයෙන් තොර ආණ්ඩුවක් දේශපාලන ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමට උත්සාහ කරන්නේ නම්, එය කල්පනාකාරීව කටයුතු කළ යුතුය. මහජන විරෝධතා සමග කටයුතු කිරීමේ දී වත්මන් ආණ්ඩුව ජනතාවට ප්‍රහාර එල්ල කිරීම මාරාන්තික වරදකි.
බලහත්කාරය කෙටිකාලීනව ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට තිබුණත් එය සැමවිටම ප්‍රතිඵලදායක නොවේ.
1980 ගණන්වල අග භාගයේ දී ජවිපෙ තලා දැමීම සඳහා ගිණිය නොහැකි තරම් මැර කල්ලි ක්‍රියාත්මක කළ රණසිංහ ප්‍රේමදාසගේ ආණ්ඩුවට පවා ප්‍රජාතන්ත්‍රවාදී විසම්මුතිය යටපත් කළ නොහැකි විය. එසමයේ ආර්ථිකය යහපත් වූ අතර යූඑන්පිය ශක්තිමත්ව තිබුණි. මහජන ඡන්දයෙන් තේරී පත් වූ ජනාධිපතිවරයකු වූ ප්‍රේමදාසට සැලකිය යුතු මහජන සහයෝගයක් ද තිබුණේය. එහෙත් ජන බලය යටපත් කිරීමට ඔහුට ද නොහැකි විය.
එදා ප්‍රේමදාස පාලනයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යකාරයෙකුව සිටි රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිකාරයා, විරුද්ධ මත ප්‍රචණ්ඩ ලෙස මර්දනය කිරීම නිෂ්ඵල ක්‍රියාවක් බව නොදන්නවා විය නොහැකිය.
ප්‍රේමදාස පාලන සමයේ දී විපක්ෂයේ විරෝධතා ව්‍යාපාරවලට පෙරමුණේ සිට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිකාරයා සම්බන්ධයෙන් ද එය එසේමය. ඔහු ද ජනාධිපතිකම ලබා ගත් පසු දේශපාලන විසම්මුතිය හැසිරවීමේ දී ප්‍රේමදාස ක්‍රමයම තෝරා ගත්තේය.
ආණ්ඩුවට IMF ණය සහනයක් ඉක්මනින් ලබා ගැනීමට හැකිවනු ඇතැයි ආරංචි පැතිර යයි. නමුත් පාලකයන් විසින්ම බංකොලොත් කරන ලද ආර්ථිකයක් ස්ථාවර කිරීම සඳහා අස්ථාවර ආණ්ඩුවකට දේශපාලන ස්ථාවරත්වයක් නොමැතිව කළ හැක්කක් නැත.
වෘත්තීය සමිති සටන් ප්‍රකාශ කර ඇති අතර ආණ්ඩුව ඔවුන්ගේ හඬට අවනත වීම ප්‍රතික්ෂේප කරමින් ඔවුන් නිහඬ කිරීමට උත්සාහ කරයි. ගෝඨාභය රාජපක්ෂ පාලනයේ අවසාන අදියරේ දී අප දුටු පරිද්දෙන්ම, මේ විරෝධතා සහ වැඩ වර්ජන [පොලිස්කාරයන්, හමුදාකාරයන්, විශේෂයෙන්ම බටලන්දේ රනිල්ගේ ආමි-පොලුකාරයන්ගේ] පාලනයෙන් ගිලිහී යනවා ඇත. ජනතාවගේ ආණ්ඩු විරෝධය දුම් දමන ගිනි කන්දක් මෙනි.
පාර්ලිමේන්තුවට රිංගා ගෙන, විපක්ෂයේ පක්ෂ, වෘත්තීය සමිති සහ ශිෂ්‍යයින් ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි කණ්ඩායම්වලට “මං හිට්ලර් - මං හමුදාවට කියලා උඹලව කපනවා, කොටනවා, මරනවා,” වැනි තර්ජන ගර්ජන කිරීම වෙනුවට ජනාධිපතිකාරයා වහාම කළ යුතු වැදගත් ක්‍රියාකාරකම් දෙකක් ඇත:
(1) පෙර කී විපාක්ෂිකයන් වට මේස සාකච්ඡාවට ගෙන්වා ඔවුන්ගේ විරෝධතාවල මූල හේතු සොයා ඒවා විසඳීමට උත්සාහ කිරීම.
(2) ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදීව තම අමනාපය පිට කිරීමට හැකි වන පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට බාධා නොකිරීම.
විරෝධතාකරුවන් සමඟ කටයුතු කරන විට නීතියට පටහැනිව ක්‍රියා කරන්නේ නම්, එය තමා විසින්ම තමන් අනතුරේ දමා ගැනීමක් බව දේශපාලන ජෙනරාල්කාරයන් ඇතුළු පොලිසියට සහ හමුදා නිලධාරීන්ට අනතුරු අඟවා සිටින්නෙමු.
ඔවුන්ගේ නීති විරෝධී ක්‍රියාකාරකම් නිසා ඔවුන් උසාවියට ගෙන ඒමේ අවදානමක් ඇති අතර, එවැනි අවස්ථාවක දී ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා නීතිඥ රනිල් වික්‍රමසිංහ පවා ඉදිරිපත් නොවන්නේ, සමහර විට, ඔහු ද ඒ වන විට අත්අඩංගුවට පත්ව සිටින නිසා විය හැකිය!
- 2023 මාර්තු 10 වන දින The Island වෙබ් අඩවියේ පළ වූ, “Cop terror” නම් කතු වැකිය සිංහලට නැගුවේ,
ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68
---------------------------
by (2023-03-12 10:09:50)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි