~

සල්-ලාල් සහ ළැම..!

-සත්ගුණධාර ලියයි

(ලංකා ඊ නිව්ස් -2023.ජන.22, ප.ව.10.00) ලොකු දුව වෙනදා වැඩ හමාරකර බාගෙට මැරී ගෙදර දුවගෙන එන්නේ ඇඟපත සෝදාගෙන කෑවයින් නොකෑවයින් ඇඳේ ඇලවෙන්න බලාගෙනය. එහෙත් කිසිදා නොතිබූ කලබලයකින් අද ගෙට ගොඩවැදුණු ඇය ඉස්තෝප්පුවේ මා අසල තිබූ පුටුවේ වාඩි වී අත තිබූ ලේන්සුවෙන් වැගිරෙන දහදිය පිස දමන්නට වූවාය.

"අම්මේ මට වතුර එකක් ගෙනත් දෙන්න කෝ.."
 
ඇය ගේ මේ බියට පත් මුහුණ දුටු ම සිත තුළ මොන මොනවදෝ අදහස් රැසක් නලියන්නට විය.  ඈ බං දුවේ උඹට මොකක් හරි කරදරයක් වුනාද?  කියවමින් සිටි පත්තරේ පසෙක තබමින් මා විමසුවේ වෙවුලන හඬකිනි.
 
"මගේ රස්සාව නැතිවෙන්න යන්නේ තාත්තේ. ඔළුවත් අවුල්වෙලා."
 
"ඇයි උඹලා ආයෙමත් අරගලය කරන්නද හදන්නේ. නැත්නම් ස්ට්‍රයික් එකක්වත් කරනවද?"  මම තව ටිකක් ඇයට ළං වුනෙමි.

"නෑ ..  තාත්තේ, මගේ ඉඟ මහතයි ලු. බඩ නෙරා ඇවිත් ලු. ළැම.."   කියන්නට ගිය දේ අවසන් කරන්නටත් පෙර බිරිඳ කඩා පැන්නේ වතුර වීදුරුවක්ද රැගෙනය.

"මොකෙක්ද බොල තොට වැහිල තියෙන්නේ. මොනවද ඔය තාත්ත එක්ක කියවන්නේ. ඉදා බීපන් මේක. එතකොටවත් හොඳ සිහිය ඒවි" කියමින් බිරිඳ වතුර වීදුරුව ඇය අත තැබුවාය. කාන්තාරයේ අතරමං වූවෙකු සේ ඇය එක හුස්මට වතුර වීදුරුව බීගෙන බීගෙන ගියාය.

"මේ, ඔයා පොඩ්ඩක් ඉන්නකෝ.  මේ ළමයට මොකක්ද වුනේ කියල අහගන්න." බිරිඳගේ සැර බාල කරන ලෙස ඉඟි කරමින් මම ඉල්ලා සිටියෙමි.

"අද ලාල්කාන්ත ආවනෙ ඉස්පිරිතාලෙට..." ඇයට කියන්නට ලැබුනේ එපමණකි.

"සල්ලාල්කාන්ත!  ඕකා ඉස්පිරිතාලෙටත් ආවද? වනචරයා. කඩනව මම ඕකගේ අණ්ඩක්. තමුසෙගෙ නංගිගේ පුතා කියල බලන්නේ නෑ. ඌට මේ ගෙදරින් ගෑණු දෙන්නේ නෑ." හිස් වීදුරුව මූණට ළෙලවමින් බිරිඳ මගේ ඇඟට කඩා පැන්නාය.
 
"අම්මට පිස්සුද සල්ලාල්කාන්ත නෙමේ. අර ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න කූරගමගේ දොන් ලාල්කාන්ත නැතිනම් කේ.ඩී.ලාල්කාන්ත කියන්නෙ, අන්න එයා."

"කොහෙද ඔයාලගෙ අම්මට කිසි ඉවසිල්ලක් නැහැනේ. ඉතිං, මොනවද එයා කිව්වෙ?"

"එයා කියනව තමන්ගේ ක්ෂේත්‍රයේ දැනුමට වඩා නර්ස්ලට තියෙන්න ඕන ඇඟ පතේ ලස්සන ලු. ඒ නිසා එයාල බලයට ආවම සියලුම නර්ස් නෝනලාට ජිම් යෑම අනිවාර්ය කරනව ලු. ඉතිං මම මේ ජිම් එකකට යන්න හදන්නේ." ඇය කියාගෙන කියාගෙන ගියාය.

"ඔය ළමයට පිස්සුද? එයාල නෙමෙයිනේ ආණ්ඩුකරවන්නේ."
 
"එහෙම කියල හරියන්නේ නෑ තාත්තේ. ලබන පාර චන්දෙන් බලයට එන්නේ එයාලයි කියල කියන්නේ."
 
"කවුද බං ඔය ගජබින්න කෙළින එවුන් මට කියහන්කෝ," බිරිඳ කතානායක මෙන් අපේ කතාව මැදට පැන්නාය.

"වෙන කවුද ඉතිං එයාලගේ කට්ටියම තමයි කියන්නේ.සියට අසූවක් චන්දෙ ගන්නවයි කියන්නෙ."

"ළමයෝ, එයාල කැරලි දෙකක් ගැහුවා. දෙකේදීම කිව්වේ බලය ගන්නවා කියල. ආණ්ඩු තීන්දුවක් ගත්ත විතරයි බලයා තියා හාල්මැස්සෙක්වත් ගන්න එකෙක් නැහැ. නායකයා මරුවාම 'නිවන් සැප ලැබේවා' කියල අඟුරු කෑල්ලකින් බිත්තියක ලියන්න එකෙක් හිටියෙ නෑ. එයාලගේ නායකයා ජනාධිපති චන්දෙ ඉල්ලුවා. අනිවාර්යෙන් දිනනවා කිව්ව. චන්දෙ ගණන් කළාම ලක්ෂ තුනටත් අඩුයි. එදා ඉඳල ඉල්ලන හැම චන්දෙකදීම කියන්නේ දිනනවා කියල තමයි. චන්දෙ ගණන් කරනකන් ඉතිං එයාල තමයි දිනුම්. අනේ මගේ කට."

"කට, කට පරිස්සම් කරගත්තොත් තමයි හොඳ. නැත්නම් ආයෙත් කට කපා ගන්න තමයි වෙන්නේ" බිරිඳ කිවේ මා ලැජ්ජාවට පත්කරවමිණි.

"මොකක්ද තාත්තේ ඒ කතාව.?"

"ඒක ඉතිං උඹලගේ අම්මගෙන්ම අහගනින් කෝ.." මා කීවේ හිතට ආ කෝපයත් සමගිනි.

"ඔය 88 - 89 කාලේ එයාලත් බලයේ හිටිය. ඒ දවස්වල එක එක නීති දාල තිබුනේ. අරක්කු බීලා පාරේ යන්නත් තහනම්. තාත්තා දවසක් බීලා එද්දී අහුවෙලා ලයිට් කණුවක ගැට ගහලා කට කපන්න හදද්දී මම ගිහින් කොල්ලො කුරුට්ටන්නට නොවඳිනා වැඳුම් වැඳල බේරාගෙන ආවේ.." මහ හපන්කමක් කළාසේ බිරිඳ කීවාය.

"අපේ ඉස්පිරිතාලයේ ඉන්නව ඇෆ්ගනිස්ථානයේ ඉඳල ආපු අක්ක කෙනෙක්. එයා තමයි අපට කිව්වෙ, එහෙත් ගෑණු අඳින පලඳින විදිය, ගමන් බිමන් යන විදිය කොටින්ම කියනවනම් ජීවත්වෙන්න ඕන කොහොමද කියලත් තලීබාන් පිරිමි තමයි ලු තීන්දු කරන්නේ. උන්ගේ නීතිරීති පිළිගත්තේ නැතිනම් කසපාර කන්න, අතපය කපාගන්න තමයි ලු වෙන්නේ. මලාලා කියන පාසල් දරුවෙක්ට ඔළුවට වෙඩි තිබ්බලු ඉස්කෝලෙ යනව කියල."

"එහෙනම් මේපාර උන් බලයට ආවොත් අයිඩෙන්ටි කාඩ් එකතු කරන්න එන එකක් නෑ. පොලිසියට කියල එකතු කරව ගනීවි. තලීබාන්ල තමයි ඉතිං" කියූ බිරිඳ ගේ තුළට ගියේ 'තාම හාල් ටිකක්වත් ළිපේ තිබ්බේ නැහැ'යි කියමිනි. ඒත් එක්කම ගේට්ටුව ඇරගෙන වත්තට ඇතුළු වුනේ පොඩි කෙලී බියට්‍රිස් ය. අරගලයේ නායිකාවක් වූ ඇය දවසේ වැඩිපුර කාලයක් ගත කරන්නේ ෆේස්බුක් එකේය.
 
"අක්කේ තමුසේ දන්නවද මේපාර අපිත් චන්දය ඉල්ලනවා." ගෙට ගොඩවෙමින් බියට්‍රිස් ලොකු දුවට කීවාය.

"තමුසේ මේ රෙද්දක් කතා කරනවා. මම ඔළුව ගිනි අරගෙන දඟලනවා."

"මොනවද අයිසේ හැම තිස්සෙම මූඩ් එකේ . ඉන්නවකෝ මේ අපි වගේ" පොඩි කෙලී අත්දෙක හා ඔළුව දෙපැත්තට වනමින් ටික් ටොක් නැටුමක් දමමින් කීවාය.

"ආ..   බියට්‍රිස් උඹලා අරගල කළේ සිස්ටම් චේන්ජ් එකක් ඕන කියල නේද? ඉතිං චන්දය ඉල්ලන එක සිස්ටම් චේන්ජ් එකක් වෙන්නේ කොහොමද?"

"මොන පිස්සුද තාත්තෙ..   ඕවා මාධ්‍යකාරයෝ, දේශපාලනකාරයෝ කියපු කතා"

"එහෙනම් උඹලා කිව්වෙ මොකක්ද?"

"අපි කිව්වෙ 'සිස්ටම්චේන්' කියල. අපිත් මේ චේන් එකේ පුරුකක් කරගන්න කියල."

"මට නම් ඕක තේරුනා, පාසානම් කාපු මීයො වගේ චන්දෙ ඉල්ලන්න දේශපාලන පක්ෂ පස්සේ දුවපු දිවිල්ල දැක්කම." මා කියද්දී ගේ තුළට දිවගිය බියට්‍රිස් රූපවාහිනියේ ශබ්දය වැඩිකළේ අරගලකරුවන් ගේ නාම‍යෝජනා භාරදීමේ ප්‍රවෘත්තිය ඇසීමට වියයුතුය.

බියට්‍රිස් ගේ පසුපස ගෙතුළට ගිය ලොකු දුව නැවත එළියට ආවේ ගෙවීගිය පරණ කැන්වස් සපත්තු කුට්ටමක් ද  අතැතිවය.

"ජිම් යන්න ඉතිං සපත්තුත් එපායැ" කියමින් ඇය ඒ තුළ සිටි කැරපොත්තන් මිදුලට හළමින් රෙදිකඩකින් ඒවා පිසදමන්නට වූවාය.

-සත්ගුණධාර

---------------------------
by     (2023-01-22 16:43:36)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links