~

“බටලන්දේ මස් වැද්දාට” ඇති බරපතලම අභියෝගය හෙවත් 'ජාතියේ විරු දරුවා' හිර ගෙදර සිට ජාතිය අමතා කළ සම්පූර්ණ ප්‍රකාශය..!

-වසන්ත මුදලිගේ මෘග ලෙස සිරගත කර දින 150 ක් ගතවීම නිමිත්තෙනි

(ලංකා ඊ නිව්ස් -2023.ජන.19, ප.ව.5.20) සිරගත කර සිටින ශිෂ්‍ය නායක වසන්ත මුදලිගේ ශ්‍රී ලංකා වාසී ජනතාව ලිපියකින් අමතා තිබේ.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු 2022 රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලට සහභාගි වීම නිසා කියමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ දින 150 කට අධික කාලයක් රඳවා තබා ගෙන ඇත.

ඔහු ශ්‍රී ලංකා වාසී ජනතාව අමතා කළ ලිඛිත ප්‍රකාශය පහත දැක්වේ:

වසන්තගෙන් ජනතාවට පණිවිඩයක්!

ආදරණීය අම්මා, තාත්තා, සහෝදරයා, සහෝදරිය,

2022 අවසන් වී නව වසරක් උදා විය. සැබෑ ත්‍රස්තවාදීන් නිදැල්ලේ සිටියදී ආර්ථික අපරාධ කළ, මිනිසුන් මරා දැමූ, මිනීමරු සංස්කෘතියක් පවත්වා ගෙන ගිය ත්‍රස්තවාදීන්ගේ ලේබලය ගසා මා සිර ගත කර අදට(19) දින 153 කි.

මා පමණක් නොව යහපත් සමාජයක් වෙනුවෙන් සටන් කළ, ආර්ථික හා දේශපාලන වෙනසක් ඉල්ලා සිටි තවත් පිරිසක් සිරගතව සිටිති. ආණ්ඩුවේ මර්ධනය නිසා බොහෝ දෙනෙකුට සිර ගත නොවුණත් එදිනෙදා කටයුතු සාමාන්‍ය පරිදි කර ගැනීමට නිදහසක් නැති බව මම දනිමි.

බිත්තියෙන් කැලැන්ඩරය ගලවනවා වගේ අපට 2022 වසර ඉතිහාසයෙන් ඉවත් කළ නොහේ. ඒ අප බොහෝ දේ ඉගෙන ගත් අවුරුද්ද නිසයි. ජනතා බලය ගැන ජනතාව දැන ගත් වර්ෂය එයයි. ඒ කළ නොහැක්කක් යයි සිතූ, කළ නොහැකි යයි කියූ බොහෝ දේ සාමූහිකත්වය තුළින් කළ හැකි බව ඔප්පු වූ වසරයි.

2022 නිකම්ම පහු වෙලා ගියේ නැත. 2023 ආරම්භ වූයේ නිකම්ම නොවේ. නව වසර ආරම්භ වන්නේ ගෙවී ගිය වසරේ ඓතිහාසික ජයග්‍රහණ රැසක ආනුභාවයෙන්ය.

තරුණ පරපුරේ සිහින විනාශ වී ඇත...

ජනතාවක් වශයෙන් අපේ ජීවිත කාලය තුළ මුහුණ දුන් බරපතළම ආර්ථික අර්බුදයට අපි මුහුණ දී සිටින්නෙමු. රට බංකොලොත්ය. සමස්ත සමාජයේම, විශේෂයෙන්ම තරුණ පරපුරේ බලාපොරොත්තු සුන් වී ඇත. මොනවා වෙයි ද මොනවා කරන්න ද කියලා තේරුම් ගන්න බැරි තරමට ජීවිතේ සිහින [ප්‍රාර්ථනා] විනාශ වී තිබේ.

දෛනික වැටුප් ලබන කම්කරුවන්, වතු කම්කරුවන්, ඉදිකිරීම් කම්කරුවන්ගේ ආදායම් මාර්ග අහිමි වී ඇත. ගොවීන්ට ගොවිතැන් කිරීම කළ නොහැකි වී තිබේ. ධීවරයින්ට දෛනික ආහාර වේල පවා සොයා ගැනීමට නොහැකි වී තිබේ. රජයේ සේවකයන්ට සහ පෞද්ගලික අංශයේ සේවකයන්ට ලැබෙන පඩියෙන් ජීවත් වීමට නොහැකි වී තිබේ.

තවත් පැත්තක් නම් මීට පෙර සමාජය තුළ යම් ජීවන තත්ත්වයක් ගොඩනගා ගෙන සිටි මධ්‍යම පාන්තික ජනතාව පවා අර්බුදය හමුවේ කඩා වැටී තිබීමයි. ඇත්ත වශයෙන්ම මධ්‍යම පන්තිය නැති වී යන තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

මේ සියල්ල මැද, සමාජය දැවැන්ත ආර්ථික අර්බුදයකට ඇද දැමූ සීමිත පන්තියක පැවැත්ම පමණක් තහවුරු වී තිබේ. සුළු දේශපාලන කණ්ඩායමක් සහ සමාගම් සමූහයක් පමණක් අර්බුද මධ්‍යයේ පවා ලාභ ලබා ගැනීමට සමත් වී ඇත.

අර්බුදය ඇති කළේ පාලකයන් හා පාලකයන් සමඟ අත්වැල් බැඳ ගත් කොම්පැනිකාරයන් කිහිප දෙනෙකි.

බිලියන ට්‍රිලියන ගණන් ණයට ගෙන තිබේ. අද වන විට ඒක පුද්ගල ණය පමණක් රුපියල් ලක්ෂ 11 සීමාව ඉක්මවා ඇත. ගත් ණයවලින් කළ දෙයක් නැත. එම ණය මුදල් ද සොරකම් කර ඇත.

‘බදු’ ලේබලය යටතේ ජනතාවගේ මුදල් කොල්ලකමින් තිබේ. භාණ්ඩ හා සේවා සඳහා අය කරන වක්‍ර බදු හරහා රටේ සමස්ත බදු බරින් 85% ක් ගෙවනු ලබන්නේ දෛනික ආහාර වේල පවා සපයා ගැනීමට නොහැකි ජනතාව විසිනි.

ඒ ජනතාව ඒ බදු සියල්ල ගෙවා ඇති අතරේ, ආදායම් ලබන සමාගම් සහ ධනපතියන් ඔවුන් ගෙවිය යුතු 15% ක සොච්චම් බද්දවත් ගෙවා නැත. 2015 සිට 2019 දක්වා මෙම පිරිස රුපියල් මිලියන 41,4400 ක බදු ගෙවීම පැහැර හැර ඇත.

දඬුවම් ලැබෙන්නේ වින්දිතයන්ට ය..

අධ්‍යාපනයට වෙන් කරන්න සල්ලි නැහැ කියා ඔව්හු අද අපට කියති. සෞඛ්‍යයට, ප්‍රවාහනයට දෙන්න සල්ලි නැත. ආණ්ඩුවට අනුව වරද පාලකයන් සොරකම් කිරීම නොව දරුවන් ඉගෙනීමයි. වරද, මිනිස්සු ලෙඩ වෙන එකයි. දඬුවම් ලැබෙන්නේ කොල්ලකරුවන්ට නොව වින්දිතයින්ටය.

දරුවන්ගේ පාසල් පොත් පත් මිල දී ගැනීමට නොහැකිව අම්මලා සිය දිවි නසා ගන්නා රටක් බවට අද මේ රට පත්ව ඇත. මාරාන්තික වකුගඩු රෝග, හෘද රෝග, පිළිකා, වැළදී ඇති, එහෙත් බෙහෙත් ගන්න සල්ලි නැතිකම නිසා දැන දැන මරණය එන තෙක් බලා ගෙන ඉන්නා මිනිසුන් සිටින රටක් බවට අද අප රට පත්ව තිබේ.. මන්දපෝෂණයෙන් තම දරුවන් මිය යනවා බලා සිටීම හැර අන් යමක් කළ නොහැකි දෙමාපියන් සිටින රටක් බවට අද අප රට පත්ව ඇත.

බෝඩිං ගාස්තුව ගෙවා ගැනීමට බැරිකම නිසා විශ්ව විද්‍යාල සිසුන් පාඨමාලා හැර යන රටක් බවට අද අප රට පත්ව ඇත.

අරගල නොකර අප වෙන මොනවා කරන්න ද?

ඉතින් අසාධාරණයට එරෙහිව අරගල නොකර අප වෙන මොනවා කරන්න ද? දෙන දෙයක් කාලා වෙන දේ බල බලා අප නිදා ගත යුතු ද? නැත, ජනතාව විදියට අපි සටන් කිරීමට තීරණය කළෙමු. මේ තත්ත්වය පවත්වා ගෙන යමින් මුළු ක්‍රමයම උඩු යටිකුරු කළ නිවට ඉතිහාසයට තිත තැබීමට සමස්ත සමාජයම තීරණය කළේය. එම ජනතා අරගලයේ දී මුල සිටම තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට ශිෂ්‍ය ව්‍යාපාරය මැදිහත් විය.

“ආණ්ඩුව පෙරළමු – ක්‍රමය වෙනස් කරමු” යන සටන් පාඨය අපි අරගලයක් බවට පත් කළෙමු. කළ යුතු දේ කුමක් දැයි ඒ සටන් පාඨයෙන් අපි ප්‍රකාශ කළෙමු.

ජනතාව සම්පූර්ණයෙන්ම අසරණ කළ ගෝඨාභය රාජපක්ෂගේ නින්දිත ආණ්ඩුව ගෙදර යැවිය යුතුව තිබුණි. එතැනින් නොනැවතී පැරණි දේශපාලන හා ආර්ථික ක්‍රමය පෙරළා දැමිය යුතුයි. ඒ යෝජනාවත් ඒ අපේක්ෂාවත් අදටත් වලංගුයි.

මහජන නියෝජිතයන් ලෙස වසර පහකට වරක් පාර්ලිමේන්තුවට පුද්ගලයන් පත් කරන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය අසාර්ථක වී තිබේ. අරගලය හමුවේ එය ඔප්පු වී ඇත.

නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ඇති රැවටිලි ස්වභාවය ගැන තවත් මොන කතා ද?

මන්ත‍්‍රී ධුරයක්වත් දිනා ගන්න බැරි වූ රනිල් වික‍්‍රමසිංහ රටේ ජනාධිපතිකාරයා වී සිටී. නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ඇති රැවටිලි ස්වභාවය ගැන තවත් මොන කතා ද?

රනිල් වැනි පරාජිතයෙකුට ජනාධිපති පුටුවේ වාඩි වීමට රිංගා ගෙන යා හැකි තරම් දැවැන්ත සිදුරු සහිත ව්‍යවස්ථාවක් නිසැකවම ජනතා අපේක්ෂා නියෝජනය නොකරයි.

මතු වූ ආර්ථික හා දේශපාලන අර්බුදය නිර්මාණය කළේ මෙතරම් කාලයක් රට පාලනය කළ දේශපාලන ක්‍රමය සහ එම ක්‍රමය පවත්වා ගෙන ගිය පාලකයන් විසිනි. මෙය පියවරෙන් පියවර වර්ධනය වූ අර්බුදයකි. එනිසා මේ අර්බුදයට ජනතාව කිසිසේත්ම වගකිව යුතු නැත. කන්න කෑම තිබුණත් නැතත් ජනතාව රට වෙනුවෙන් උපරිමයෙන් කටයුතු කර තිබේ.

ජනතාව එසේ ක්‍රියා කරන විට පාලකයෝ හැකි තාක් ජනතා දේපල සොරකම් කළහ.

සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය ජනතාව ඉදිරියේ ප්‍රතික්ෂේප වුණේ ඒ නිසාය. එතැන් පටන් ජනතාවගේ බලාපොරොත්තුව අරගලයයි. පාට, පක්ෂ, ජාති, ආගම් භේදයකින් තොරව රටේ බහුතර ජනතාව සහභාගි වූ අරගලය ශ්‍රී ලංකාවේ දේශපාලනයට නව මානයන් හඳුන්වා දුන්නේය.

නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මිත්‍යාව වෙනුවට ජනතා පරමාධිපත්‍ය බලය උරගා බැලීමට අරගලය ජනතාවට ඉඩ දුන්නේය. ඒ නිසා අප ඒ අරගලයේ ජනතා අපේක්ෂා ජය ගත යුතුයි.

අරගලය තුළින් ජනතාව කීවේ මොනවා ද?

අරගලය තුළින් ජනතාව කීවේ මොනවා ද? පාලකයිනි, උඹලා අපෙන් හොරා කාපු සල්ලි අපට දීපල්ලා! සමාගම්කාරයිනි, පැහැර හැරිය බදු නැවත ගෙවපල්ලා! බැංකුකාරයිනි, දැවැන්ත ණය නොගෙවූ උන්ගෙන් ඒවා අය කර ගනිල්ලා!

2020 දී පමණක් රුපියල් මිලියන 10,500 ක බැංකු ණය ගෙවීම් පැහැර හැර ඇත. අරමුදලක් පිහිටුවා ජනතාවට හදිසි සහන ලබා දීමේ වැඩපිළිවෙළක් අවශ්‍ය බව අපි කීවෙමු. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි. නියෝජිතයන් ආපසු කැඳවීමේ බලය, ජනමත විචාරණ කැඳවීමේ බලය, අධ්‍යාපනය සහ සෞඛ්‍යය ජනතාවට ලබා දී ඇති මූලික අයිතිවාසිකම් ලෙස පිළිගැනීම සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව අපි කීවෙමු. මෙය කෙටියෙන් මෙසේය. අප අරගලයෙන් බලාපොරොත්තු වූයේ;
•    ආර්ථික සාධාරණත්වය සහිත සමාජයක්
•    ජනතා පාලනයට සෘජුවම සම්බන්ධ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ
•    සමාජයට සහ පරිසරයට වග කියන දේශපාලන හා ආර්ථික ප්‍රතිපත්තියක්

ඒ බලාපොරොත්තු ඇතිව මිනිස්සු අරගල කළහ. නමුත් තවමත් ඒ බලාපොරොත්තු ඉටු කර ගන්නට අපට බැරි වී තිබේ.

ගෝඨාභය රාජපක්ෂ එලෙව්වාට පස්සේ රනිල් ව්‍යවස්ථා කුමන්ත්‍රණයකින් රටේ ජනාධිපතිකාරයා විය. දැන් රනිල්-රාජපක්ෂ ජුන්ටාව ඊට වඩා වේගයෙන් පරණ වැඩේම කර ගෙන යයි. ජනතාවට බදු පනවයි. අවුරුදු 18 පිරෙන හැමෝටම බදු ගොනුවක් විවෘත කරයි. මාසිකව රුපියල් ලක්ෂයකට වඩා උපයන වෘත්තිකයන්ගේ වැටුපෙන් විශාල කොටසක් කප්පාදු කිරීමට යයි. එසේ කරන්නේ මහා පරිමාණ සමාගම් බිලියන ගණනක බදු මුදල් පැහැර හැර ඇති අවස්ථාවකයි.

විදුලි බිල 70% කින් වැඩි වී තිබේ. මේ අවුරුද්දෙත් නැවතත් ඒ සමාන ගණනකින්ම විදුලි බිල වැඩි කිරීමට යයි. ඒ කියන්නේ ඊට සාපේක්ෂව බඩු මිල ද වැඩි වෙනවා යන්නයි.

දැනට තවම එක වේලක් කන මිනිසුන් ඊට පස්සේ බඩගින්නේ මිය යනු ඇත.

පැන්ඩෝරා පත්තරවලින් හෙළි වෙන විදියට හොරකම් කරපු සල්ලි කෝටි ගණන් රටින් යවන කොට, අපනයන ආදායම බිලියන සිය ගණනින් රටින් පිට හංගන කොට, බදු මුදල් සහ ණය මුදල් ගෙවීම් පැහැර හරින කොට, වැඩි බරක් ජනතාව මත පැටවෙන්නේ ඒ ගැන වචනයක්වත් කතා නොකරමිනි. අධ්‍යාපනය, සෞඛ්‍ය අයිතීන් පවා විකිණෙනු ඇත. ජනතා දේපල වත්කම් දැනටම විකිණෙමින් පවතී.

අරගලයට එරෙහි වාගාලාප..

ආණ්ඩුවේ ‍නොහැකියාව වසා ගැනීම සඳහා උන් අරගලයට එරෙහිව පුළුල් මඩ ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. ආණ්ඩුවට හිතවත් අනෙකුත් පක්ෂ හිතාමතා හෝ නොදැනුවත්ව අරගලයට මඩ ගැසීම අරඹා ඇත්තේ, අරගලයට නායකත්වයක් නැත, අරගලයට සැලසුමක් නැත, අරමුණක් නැත යනාදී වගාලාප කියමිනි.

කෙසේ වෙතත්, මේ සියල්ල මධ්‍යයේ අප ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, අරගලයේ වටිනාකම හෑල්ලුවට ලක් කිරීමට එම අභූත චෝදනා හා වගාලාප දෙසාබාන්නන්ට ඉඩ නොතබන ලෙසයි.

අපේ රටේ ඉතිහාසයේ අප හැමෝම එකතු වෙලා කළ සාර්ථකම අරගලය මෙයයි. මෙය අරගලයේ ආරම්භය පමණි. තවම ඉවර වී නැත. එම අරගලය මෙතැන් සිට අවසන් ජයග්‍රහණය දක්වා පැතිරීම වැලැක්වීමට පාලකයන්ට අවශ්‍ය වි ඇත.

ආරම්භයේ දීම අරගලය සමාජයට දිනා දුන් ජයග්‍රහණ..

ආරම්භයේ දීම අරගලය මේ සමාජයට ජයග්‍රහණ රැසක් ගෙන දුන්නේය.
•    ආණ්ඩු පත් කිරීමට සහ ආණ්ඩු ගෙදර යැවීමට ජනතා බලය කෙරෙහි විශ්වාසය ගොඩනැගුවේ අරගලයයි.
•    පාර්ලිමේන්තුව වැනි ආයතනවලින් පිටත ජන බලය අත්හදා බැලීමේ ක්‍රමවේද පිළිබඳ මේ සමාජයට අත්දැකීම් ලබා දුන්නේ අරගලයයි.
•    සදාකාලිකව බලයේ සිටීමට සිහින මැවූ රාජපක්ෂ පවුලේ දේශපාලනය පරාජය කළේ ද අරගලයයි.
•    ආගමික සහ වාර්ගික පදනම් මත අගතීගාමීව පවත්වා ගෙන ගිය දේශපාලන සම්ප්‍රදාය පරාජය කළේ ද මේ අරගලයයි.

ඒ, අරගලය අපට ලබා දුන් මූලික ජයග්‍රහණයි. මෙම ඓතිහාසික ජයග්‍රහණමය පදනමත් සමඟ 2022 වසර අවසන් වී 2023 නව වසර ආරම්භ වේ. එම අත්දැකීම් සමඟ අවසන් ජයග්‍රහණයක් ලබන තෙක් අරගලය ඉදිරියට ගෙන යා යුතුය. 2023 වසර උදා වන්නේ එම පණිවිඩයත් සමඟයි.

ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් අරගල මාවත තෝරා ගන්න..

ඒ නිසා මා මගේ රටේ සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔබේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් අරගල මාවත තෝරා ගන්නා ලෙසයි.

ආණ්ඩුවේ මර්දනය සහ ආර්ථික පීඩනය ඉදිරියේ දණින් වැටෙන්න එපා. කොන්දේසි විරහිතව සංවිධානාත්මකව පාරට එන්න. අපේ ජීවිත වෙනුවෙන් අපි සටන් කරමු. අපේ අනාගත පරපුර වෙනුවෙන් සටන් කරමු.

ශිෂ්‍ය ව්‍යාපාරයක් විදියට මේ රටේ මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න අප සූදානම්ය.

අරගලයට ජය වේවා!

වසන්ත මුදලිගේ

කැඳවුම්කරු - අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය
2023.01.01 වන දින කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ දීය

- 2023 ජනවාරි 4 වන දින Newswire වෙබ් අඩවියේ පළ වූ, “Detained student leader Mudalige’s letter to public from prison” නම් වාර්තාව සිංහලට නැගුවේ,

- ආනන්ද

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/68

---------------------------
by     (2023-01-19 12:10:58)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links