-වීරනන්දාබාහු ලියයි
(ලංකා ඊ නිව්ස් -2023.ජන.07, පෙ.ව.8.40) "ධර්මිෂ්ඨ සමාජය යන සංකල්පයට නොයෙක් විවරණ සැපයිය හැකිය. සමාජයක් ධර්මිෂ්ඨ වන්නේ ඊට අයත් හැම දෙනාට ම යුක්තිය ඉටු වුවහොත් ය. මානව අයිතිවාසිකම් හැම දෙනාටම ලැබෙන්නට සැලස්සීම සමාජයීය යුක්තිය ඉටු කිරීම ලෙස ගැණේ. මානව අයිතිවාසිකම් කවරේ ද යන්න පිළිබඳ ව පොදු සම්මුතියක් ඇත. මතභේදයක් තිබෙන්නේ යුක්ති සහගත සමාජයක් බිහි කිරීමට ගත යුතු මාර්ගය ගැනය."
[ධර්මිෂ්ඨ සමාජය, එදිරිවීර සරත්චන්ද්‍ර, 1982 මුද්‍රණය]
විශේෂ ජනාධිපති සමාවෙන් නිදහස ලබා නිවසට එන “සුනිල් අයියා” පිළිගන්නට මහෝත්සවයක් කැලණිය පුරා සංවිධානය විය. ප්‍රදේශයේ හංදියක් ගානේ ‘සාදර පිළිගැනීම්’ සුදානම් විය. මේ ‘සාදර පොළවල්වල’ පැණි බීම බෝතල් හා මල් පෝච්චි තැබු මේස තබා තිබුණේ ය තැනක මීට අමතරව බැනර් බැඳ තිබුණේ ය. තැනක පොස්ටර අලවා තිබුණේ ය. ඒ සියල්ලෙන්ම කියවුණේ ‘නිදහස ලැබූ ගෝණවල සුනිල් වීරයා ආදරයෙන් පිළිගන්නවා’ යන්නකි. එහෙත් මේ පිළිගැනීම් උත්සවය යට රහසක් තිබුණේ ය. ඒ, ප්‍රදේශයේ එජාප පාක්ෂිකයෝ මේ 'සුනිල් නිදහස' කල් තියාම දැන සිටි බවත් ඒ වෙනුවෙන් අවශ්‍ය අරමුදල් බියගම ආසනයේ පක්ෂ නායකයා සැපයූ බවත් යන කාරණාව ය. කොටින්ම එය සංවිධානාත්මකව දේශපාලන බලය යොදා කෙරුණු නිදහස් කිරීමක් විය.
පිළිගැනීමේ උත්සවයේ විශේෂයක් වූයේ ‘සුනිල් අයියා’ ගෝණවල හංදියේ සිට අලියෙකු පිටින ගමට වැඩීමය...! මේ අලියා පිට නැඟි මිනිසා ලංකාවටම පණිවිඩයක් දෙමින් සිටියේ ය. “මම අලියගේ මිනිහෙක්. මම දේශපාලන අලියෙක් තරමටම බලවත්. මම මොනවා කළත් අලියෙක් වගේ ජීවත්වෙන මිනිහෙක්’. රටක ප්‍රකට අපරාධකරුවෙක් මේ තරම් ගරු සැලකිළි ලබද්දී ඔහුට කොතරම් අභිමානයක් දැනෙන්නට ඇත්ද? ඔහුට අනාගතයේදී ස්වකීය පක්ෂය හා නායකයන් වෙනුවෙන් ජීවිතය වුවත් පරිත්‍යාග කිරීමට නොසිතෙයි ද?
නිදහස ලබු සුනිල් ට ගෞරව කිරීමක් හැටියට ඔහුට ගෝණවල ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපති ධූරය දිය යුතු බව ආසනයේ එජාප නායකයා අවධාරණය කළේ ය. ඔහු මේ යෝජනාව කළේ ‘සුනිල් සමාව’ සාධාරණ හා යුක්ති සහගත දේශපාලන තීරණයක් බව රටට දැනුම් දෙන්නට ය. ස්ත්‍රී දුෂනයක් හා අපරාධ කීපයක් කළ පලියට මිනිසෙකු සදාකාලිකවම අපරාධකරුවෙක් බවට වදින හංවඩුව මකා දමන්නට ය. සුනිල් ප්‍රසිද්ධ දේශපාලනය ගෙන ඒමෙන් තමන්ට හෝ පක්ෂ නායකත්වයට අනතුරක් නොවන බව නායකයා හොඳින්ම දැන සිටියේ ය. ගෝණවල කැලණිතිස්ස විද්‍යාලයෙන් අ.පො.ස සාමාන්‍ය පෙළ තෙක් උගත් තැබෑරුම් හිමියෙකුගේ පුත්‍රයා කිසිම දින තමන්ට විරුද්ධව බියගම ආසනයට තරඟ නොවදින බව නායකයා හොඳින්ම දන්නේ ය.
ඒ අනුව 1981 ජූලි මාසයේ රැස් වූ ගෝණවල ග්‍රාමෝදය මණ්ඩලය “මහා දානපති, සත්ගුණවත් සුනිල් පෙරේරා හෙවත් ගෝණවල සුනිල් ස්වකීය සභාපතිවරයා හැටියට ඒකචන්දයෙන් පත්කර ගත්තා ය. සුනිල් එම තනතුරට යෝජනා කළ ග්‍රාමෝදය නියෝජිතයා, තම ගම් පළාතට ආණ්ඩුවෙන් වැඩ කරවා ගැනීමට සමතෙක් ‘සුනිල් අයියා’ තරම් සමතෙක් මේ පළාතේ තබා රටෙත් නොමැති බව කියා සිටියේ ය. තමාගේ යෝජනාව සම්මත නොකරන්නේ නම් තමන් ඉල්ලා අස්වෙන බවත්, මේ සභාවේ සිටින සෙසු සමාජිකයන් ‘බත් කන හරක්’ බවට පත්වීම නොවැලක්විය හැකි බවටත් අනතුරු ඇඟවීය. එය ස්ථිර කළ නියෝජිතයා, අප පක්ෂ නායකත්වයට කීකරු විය යුතු බවත් මෙය බියගම ආසනයේ පක්ෂ නායකයා ගේ පමණක් නොව මුළු පක්ෂයේම නායකයා හා රටේ විධායක ජනාධිතුමාගේ පුද්ගලික ඉල්ලීම් බව අමතක නොකරන්නට තමා ඓතිහාසික තීන්දුව ගන්නා බවත් කීවේ ය....!
ගෝණවල ග්‍රාමෝදය මණ්ඩලයේ ගරු සභාපති, සුනිල් පෙරේරා එම තනතුරට පත් වූ සැනෙන් නිල බලයෙන්ම මුළු දිවයිනටම බලපාන සමාදාන විනිශ්චයකාරයෙක් බවට පත් වූයේ ය...! එජාප නායකයන්ගේ දේශපාලන ගැටය ගෝණවල විරුද්ධ පාක්ෂිකයන්ට අවබෝධ වූයේ එවිටය. දැන් අපරාධකරුවෙකු වු සුනිල් ට රටේ වැසියන්ට චරිත සහතික දීමේ බලය පමණක් නොව දිවුරුම් පෙත්සම් අත්සන් කිරීම, පුත්ගල ඡායාරූප සහතික කිරීමේ බලය ද නිතැතින්ම හිමිවන්නේ ය. ඔහු ප්‍රදේශයේ සුළු පැමිණිළි හා ආරවුල් විසඳන ‘සාම මණ්ඩලයේ’ බල සාමාජිකයෙක් වන්නේ ය. ‘නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ’ ය යන සිංහල කියමන මෙකල ගෝණවල වැසියන්ට සිහිපත් වූවාට සැකයක් නම් නැත.
දැන් ගෝණවල සුනිල් අපරාධකාරයෙක් නොවේ. සුදු ඇඳුමෙන් සැරසී පළාතේ පංසල්වල සල්පිල් විවෘත කිරීමේ විශේෂ ආරාධිතයා ය. පල්ලිවල මංගල්ලවලට නැතිව බැරි ආරාධිත ප්‍රධාන අමුත්තා ය. ගමේ දිළින්දන්ගේ මළ ගෙවල්වලට නොමිලේ මිනී පෙට්ටිය හෝ හත්දොහේ දානේ වියදම සපයන්නා ය. බණ ගෙදර දාන ගෙදර නායකයා ය. ග්‍රාමෝදය සභාපතිතුමාගේ මහජන දිනය සතියේ දවස් 6ක් පුරාම උදේ වරුවේ සිදු වුණේ ය. ඉරිදා දවස පළාතේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් පළාතේ එජාප නායකයා හමුවෙන දිනයයි. ඔහු නොකා නොබී 'මහජන සේවයට' කැප වුණේ ය. උදේ පාන්දර පටන් ගන්නා මහජන හමුව අවසන් වන්නේ ඉර හැරෙද්දී ය. පත් කිරීම් මාරුවීම්, මාරු කිරීම්, රජයේ කොන්ත්‍රාත්තු ලබා ගැනීම්, දරුවන් ජනප්‍රිය පාසල්වලට දමා ගැනීම් මේ සියල්ලම ගෝණවල සුනිල් පෙරේරා සභාපතිතුමා එක ඇමතුමකින් කර දෙන්නේ ය.
මේ 'මහජන සේවය' වෙනුවෙන් ආණ්ඩුවේ මධ්‍යම ප්‍රමාණයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තු ඔහුට ලැබුණේ ය. විශේෂයෙන් ලඟම ලොක්කා ඇමති තනතුරු දැරූ යෞවන කටයුතු, රැකීරක්ෂා අධ්‍යාපන අමාත්‍යාංශයේ කොන්ත්‍රාත්තු සියල්ලම ගියේ ගෝණවල සුනිල් හරහාය. මීට අමතරව ලොක්කා ඔහුට ආණ්ඩුවේ ප්‍රවාහන කොන්ත්‍රාත් ද දුන්නේ ය. මේ වෙනුවෙන් ඔහු ‘කැමිලා ට්‍රාන්ස්පෝර්ට් සර්විස්’ නමින් ප්‍රවාහන සේවයක් දුවගේ නමින් පටන් ගත්තේ ය. ලොක්කාගේ උපකාරයෙන් ඒ සඳහා ලොරි හතරක්ම මිල දී ගත්තේ ය. මේ සියළු උපකාර හා අනුග්‍රහ වෙනුවෙන් පක්ෂය ඔහුගෙන් බලාපොරොත්තු වූයේ 1982 ඔක්තෝම්බරයේ එළැඹෙන ජනාධිපතිවරණයෙන් කෙසේ හෝ ජේ.ආර් ජයවර්ධන නායක තුමා යලිත් ජනාධිපති පුටුවේ වාඩිකිරීම පමණි. මේ ගැන ලොක්කා සිහිපත් කළ හැම විටම ඔහු සිය වාරයකටත් වඩා ඒ වෙනුවෙන් ජීවතය වුවත් දීමට කැපවෙන බවට තමා ඉතාම ආදරය කළ මවගේ නමින් දිවුරා පොරොන්දු විය.
[මීලඟ කොටස, දෙල්ගොඩ විජේවිරගේ රැලියට වෙඩි]
බටලන්දේ වධලන්ද ලිපි එකතුව
https://www.lankaenews.com/category/99
---------------------------
by (2023-01-07 03:13:34)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි