-විශ්වමිත්‍ර දේශබන්දු ලියයි
(ලංකා ඊ නිව්ස් -2023.ජන.05, පෙ.ව.9.50) අමාත්‍ය මනුෂ නානායක්කාර මැතිතුමන් වැනි ‘උත්තම ගනයේ’ ද්‍රෝහියකු කියන කරන දේවල් ගැන කතා කරන්නට හෝ ප්‍රතිචාර දක්වන්නට අප මහන්සි විය යුතු නැත.
මනුෂ නානායක්කාර ? ඔව්. අර ජනතාවට බයේ හැංගිලා හිටපු අප්පච්චිව වීරයෙක් කරල එළියට අරගෙන, බයෙන් ගැහෙමින් නාවික කඳවුරු අස්සෙ හැංගෙමින් හිටපු නාමල් කුමාරයව දෝතින් අරගෙන, “හෙළ ගැඹුරුයි - පුත නොබලන්” කියමින් වීදුරු පාලමෙන් එහා පැත්තට ගොඩ කරන්න රනිල් වික්‍රමසිංහ අන්කල්ට ශක්තිය දීම සඳහා අරගලයේ සිටි සමස්ත ජනතාව පාවා දෙමින් කරනම් ගහපු කාඩ්බෝඩ් වීරයා ? මනුෂ ? එයා තමයි.
දැනටමත් හෙලට වැටිලා ඉන්න ජනතාවට, දුක් විඳින ජනතාවට තර්ජනය කරමින් එයා හෙන සීරියස් කියන ප්‍රකාශ බල්ලෙක් වත් ගණන් නොගන්න බව හැබැයි. අධෝමුඛයේ වාතයක් වගේ පිළිකුල් කරන බවත් සැබැයි.
ඒත් ඒ ඔක්කොම අහගෙන කට පියාගෙන හිටියොත් මනුෂ වගේ පර බල්ලො, ද්‍රෝහියො සිතාවි රටේ ඉන්න ඔක්කොම උන් කියන ඕනෑම දෙයක් අහගෙන එකත් පස්ව ඉන්න මී හරක් කියල. බූරුවො කියල. උන්ගේ නායක රනිල් රාජපක්ෂ වගේ මානසික නපුංසකයෝ කියල. ඒ නිසා මනුෂ නානායක්කාර කියන ජනතා ද්‍රෝහී තක්කඩියාට අප පිළිතුරු දිය යුතුයි.
මෑතකදී මනුෂ කල හර බර දේශනයක දී ඔහු මෙසේ කීවේය.
“... ජනප්‍රිය නොවනම තීන්දු අපි දැන් ගන්නෙ. රාජ්‍ය සේවයේ ලක්ෂ 17ක් ඉන්නව අපි ඒකෙන් ලක්ෂ 5ක් විතරම ….අයින් කරනවා නෙමෙයි අයින් වෙන විදියට…විශ්‍රාම යනව…එතකොට අලුතින් බඳවා ගැනීම් නෑ. එතකොට බදු වැඩි කරල තියෙනව…..අපි ලංකාව සංවර්ධිත රටක් කරන්න ගන්න තීරණ දේශපාලන වශයෙන් බොහෝම ජනප්‍රිය නොවන තීන්දු. දේශපාලන ජනප්‍රිය තීරණ මොනවද ? පඩි වැඩි කරන එක. බදු නැති කරන එක. මිනිස්සුන්ට නිකං දේවල් දෙන එක. සහනාධාර දෙන එක. ලයිට් වලට සහනාධාර දෙන එක. තෙල් වලට සහනාධාර දෙන එක. නෑ. අපි එතනිං අයින් වෙනව තෙල් වත්, ලයිට් වත් සමෘධිය වත් …අත්‍යවශ්‍ය අයට පමණක්. සමෘධිය ආරක්ෂා කරලා සමෘධිය එක්ක ගැට ගැහිල තියෙන අනිත් ගොඩක් ගොඩක් එල්ලලා තියෙන දේවල් අයින් කරලා ….ඕගොල්ලො හම්බ කරන විදියට ඕගොල්ලොන්ට ජීවත් වෙන්න පුළුවන්. තමන් මහන්සි වුනොත් තමන්ට ජීවත් වෙන්න පුළුවන්. හැබැයි අපි මහන්සි වෙලා නිකං ඉන්න අයට කන්න දෙන්න තියෙන ක්‍රමය අපි අයින් කරනවා. අපේ රටේ ඒකනෙ තියෙන්නෙ. ගොඩාක් දැන් මහන්සි වෙනවා තවත් දෙනෙක් නිකං ඉඳල කනව. මේක වෙනස් කරනව….”
මේ ඔහු ගේ එම හර බර කතාවෙන් කොටසක් පමණයි.
ජනතාව පාවා දුන්-ජන අරගලය පාවා දෙමින් කරනම් ගැසූ - මේ ද්‍රෝහී තක්කඩි මනුෂ ඇමතියාට අපි මෙසේ පිළිතුරු දෙමු. එසේම අපි අභියෝගයක් ද කරමු. අපි ඔහුට මෙසේ කියමු:
ඔව්.මනුෂ. උඹ කියන වෙනස්කම් වලට අපි කැමතියි. අපේ රට සංවර්ධිත රටක් කරන්න අපි නොවෙන්නම් කැමති. වෙන කවුද? උඹලා පක්ෂ වලින් පක්ෂ වලට පැන පැන අවස්ථාවාදීව රට කොල්ලකමින් ඉන්න විටත් අපි හිටියේ එතන. ඒ නිසයි අපේ තරුණ පරපුර සමස්ත ජනතාව සමග මහ පාරේ දැවැන්ත අරගලයක් කළේ. ඒ නිසා තමයි රට අවුරුදු 2ක් ඇතුලත මහා ආර්ථික අගාධයකට තල්ලු කරපු බය ගෝටා ජනාධිපති කමින් පමණක් නොවෙයි රටිනුත් පැන්නුවේ. ඒ නව රැල්ලේ අරගලය පාවා දෙමින් රාජපක්ෂ හොරුන් ආරක්ෂා කර ඔවුන් ගේ හෙට දවසේ පාලනය සකස් කිරීමේ ‘රාජකාරිය’ බාරගත් නාට්ටාමි උඹලාට වඩා ඒ සංවර්ධිත රට ගැන සිහිනය දකින්නේ අපි. අරගලයේ හිටපු, තවමත් ඉන්න තරුණ, වැඩිහිටි ශ්‍රී ලාංකික අපි. ඒ සිහිනයට උඹලාගේ උපදෙස් නැතිව වුනත් අපි යනවා.
ඒ නිසා උඹේ කතාවට අපි පිළිතුරු දිය යුතුයි.
ඔව් මනුෂ නානායක්කාර. උඹ කියන යෝජනා වලට අපි කැමතියි. උඹ සහ රනිල් රාජපක්ෂ රූකඩ බවට පත් කර තිබෙන රාජපක්ෂලා විසින් හුදෙක් දේශපාලන පත්වීම් දෙමින් විනාශ කරන ලද, රටට දැවැන්ත වැය බරක් කරනු ලැබ ඇති රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කළ යුතුයි. එය සැහැල්ලු කාර්යක්ෂම සේවාවක් බවට පත් කළ යුතුයි. උඹ සහ රනිල් විසින් ආරක්ෂා කරනු ලබන මහින්ද-බැසිල්-ගෝටා විසින් දේශපාලනය කර විශාල වැය බරක් ඇති, සුදුස්සාට නොලැබෙන, දේශපාලන අනුග්‍රහය මත දෙන සමෘද්ධි සහනාධාරය ප්‍රතිසංවිධානය කළ යුතුයි. සුදුස්සාට පමණක් ලැබෙන අයුරින්. ඒ වගේම හැමදාම සමෘද්ධිය දීම වෙනුවට එය ලබා ගන්නන් පුහුණු කොට රැකියා ලබා දී ශ්‍රම වෙළෙඳ පොලට එක් කොට ජාතික ආර්ථිකයට දායක කෙරෙන නව වැඩ පිළිවෙලක් සකස් කළ යුතුයි. සමෘද්ධි ලාභීන් සහ සමෘද්ධි නිලධාරීන් ඡන්ද මැෂිම කර ගැනීම වහාම නැවැත්විය යුතුයි.
උඹ කියන “මේ ජනප්‍රිය නොවන දැඩි තීන්දු වලට “ අපි එකඟයි. අපි අභියෝග කරනවා. පුළුවන් නම් , රාජපක්ෂලාගේ බලපෑම් වලින් බේරිලා ඒවා ක්‍රියාත්මක කරන්න. ඔව්. පුළුවන් නම් ක්‍රියාත්මක කරන්න. මොකද රට මේ අගාධයට ඇද දමපු ඔය අමනෝඥ වැඩ කළේ දැන් උඹලා විසින් ආරක්ෂා කර පෝෂණය කරනු ලබන මහින්ද-ගෝටා-බැසිල්-නාමල් ඇතුළත් පාදඩ පෙරමුණ.
හැබැයි, මනුෂ ඔබේ ආණ්ඩුව “ජනප්‍රිය නොවන” සංවර්ධනය අරමුණු කරගත් තීරණ ගත යුත්තේ හුදෙක් ජනතාව මත බර පැටවීමෙන්, ජනතා සහනාධාර කපා හැරීමෙන් සහ ජනතාව මත ම අධික බදු බර පැටවීමෙන් නොවේ. ජාතික ධනය අධික ලෙස අවභාවිත කරන තවත් පිරිසක් ඉන්නවා. ඔන්න අපේ ප්‍රධාන අභියෝගය. ඒ වරප්‍රසාද ලාභී තක්කඩි රැල සම්බන්ධයෙන් සහ ඔවුන් ගේ අමනෝඥ වියදම් සම්බන්ධයෙන් උඹේ වචන වලින්ම කියනවා නම්, “ජනප්‍රිය නොවන …නීරස ..තීන්දු ගන්න.”
ඒ වෙන කවුරුත් නොවේ, මනුෂ, උඹත් අයිති වන අපේ තක්කඩි, චෞර, දේශපාලක පන්තියයි.
උඹේ නායක රනිල් වික්‍රමසිංහට කවදාවත් ජනමතයකින් ජනාධිපති විය නොහැකි නිසා ඒ තක්කඩියා ජනාධිපති වුනේ බැසිල් රාජපක්ෂ දැඩි කොන්දේසි සහිතව ලබා දුන් චෞර මන්ත්‍රී ඡන්ද 133 කින්. රට මේ අගාධයට ඇද දැමූ ශ්‍රී ලංකා පාදඩ පෙරමුණේ තක්කඩි මන්ත්‍රී ඡන්ද 133 කින්. රනිල් තමන් තමන්ටම දා ගත්ත ඡන්දයක් එක්කයි 134 වෙන්නෙ. මේ නිසා මේ වන විට රනිල් රාජපක්ෂ කරමින් ඉන්නේ ඔවුන්ට ප්‍රිය, එනම් ‘පාදඩ ප්‍රිය’ තීරණ ගනිමින් රට තවත් විනාශ මුඛයට ඇද දැමීම. උඹට ජනතාවට “තගෙන්” කතා කරන්න ඔච්චර හයියක් තියෙනව නම් ඒ ‘පාදඩ ප්‍රිය’ තීන්දු වෙනුවට, ඒ තක්කඩින් ගේ කෝපයට හේතු වුනත් රටට හිතකර පහත දැක්වෙන තීරණ ගන්න කියල ලොක්කට අභියෝග කරපන්.
මනුෂ, බංකොලොත් ආර්ථිකයක් ඇති රටවල් අතර දැවැන්තම ඇමති මණ්ඩලය සිටින්නේ ශ්‍රී ලංකාවේ. තමුනුත් ඒකට අයිතියි. ඒ ‘අමුතු මණ්ඩලය’ හැමදා ම විශාල වෙනවා. ඉදිරි දින කීපය තුළත් උඹ වගේම විපක්ෂයෙන් කරනම් ගහන අවස්ථාවාදී ජඩයන් කීප දෙනෙකුත් බැසිල් ගේ ලිස්ට් එකේ ඉන්න පාදඩයන් කීප දෙනෙකුත් එක්ක ඒ ‘අමුතු මණ්ඩලේ’ තවත් ලොකු වෙන්නනේ යන්නේ. සංවර්ධනය සඳහා ගන්නා “නීරස තීන්දු ‘ගැන ජනතාව වන අපට බණ කීම නවත්වලා මේ ඇමති මණ්ඩලේ ‘සංවර්ධනය’ කිරීම නවත්වන්න කියලා ලොක්කට ඔය වගේම තදින් කියනවා හොඳයි පුළුවන් නම්.
මේ මොහොතේ රටට අවශ්‍ය හුදෙක් දක්ෂයන්ගෙන් සමන්විත ඉතා කුඩා, ඉතා කාර්යක්ෂම, දිවා රෑ කැපවීමෙන් වැඩ කරන ‘අර්බුද සමයේ කැබිනට් මණ්ඩලයක්’ පමණයි. (තමුසෙලාගේ ‘අලිජනහොර’ සන්ධානේ එහෙම එකෙක්වත් නෑ ඕයි.) මේ අර්බුද රටට නියෝජ්‍ය ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු ඕනෑම නැහැ. උන් අනවශ්‍ය බරක්. ඒ කැබිනට් ඇමතිවරු නිකං ඉන්න උන් නොවිය යුතුයි. මේ මගින් වියදම් අඩුකරගැනීම වගේම ජනතාවට ආදර්ශයෙන් කරලා පෙන්වන්නත් පුළුවන්.
ඉතින් වහාම අලුතින් ඇමතිවරුන් පත් කිරීම නැවැත්විය යුතුයි. පවතින ඇමති මණ්ඩලය කැබිනට් ඇමතිවරුන් 20කට පමණක් සීමා කළ යුතුයි. ඔවුන් ඉතා පැහැදිලි, පාරදෘශ්‍ය ඉලක්කයකට වැඩ කළ යුතුයි.මේ කැබිනට් මණ්ඩලය තමුසේ, අර හෝටල් වල කොටු පණින සෞඛ්‍ය ඇමති, කරන්ට් වැදිල දොඩවන විදිලි ඇමති වගේ රටේ දුක් විඳින ජනතාවට තග දමන බණ කියන මෝඩ අහංකාර තක්කඩි පිරිසක් වෙනවා වෙනුවට තමුසෙලා නිසා දුක් විඳින ජනතාවට සහන දෙන අතර රට අගාධයෙන් මුදා ගත හැකි මොළයකින් සහ හදවතකින් යුත් ප්‍රඥාවන්ත 20 දෙනෙක් විය යුතුයි. (ආයෙත් කියනවා. එහෙම එවුන් ඉන්නවද ඕයි, ‘අලිජනහොර’ පෙරමුණේ ?)
මනුෂ, දැන් තමුන් කියනවානෙ ලෝකයේ මේ තරම් නිකං කන රටවල් නෑ කියල. ලෝකයේ වෙනත් සංවර්ධනය වන රටවල තබා සංවර්ධිත ධනවත් රටවල් වල පවා අපේ මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් නඩත්තු කිරීමට කරන වියදම් තරම් අති විශාල විදමක් කරන තවත් රටක් තියෙනවද? මේ තරම් වාහන සංඛ්‍යාවක්, මේ තරම් විශාල කාර්ය මණ්ඩලයක්, මෙතරම් කාර්යාල සහ කාර්යාල උපකරණ රජයේ වියදමින්, එනම් මහ ජනතාවගේ බදු වියදමින් නඩත්තු කරන සංවර්ධිත රටවල් හෝ තිබෙනවා ද? ජනතා වියදමින් මැති ඇමති වරුන්ට මෙච්චර විශාල වරප්‍රසාද වරදාන දෙන සහ කාර්ය මණ්ඩල නඩත්තු කරන මෝඩ රටවල් තවත් නැහැ ඕයි. ඇතැම් රටවල අගමැති වරු පාර්ලිමේන්තු එන්නේ පයින්. ඩේවිඩ් කැමරන් වැනි අගමැති වරු දුම්රියෙන්. දරුවා ඉස්කෝලෙට දාන්න යන්නේ පයින්. බොහෝ රටවල තත්ත්වය ඒකයි. ආර්ථිකය කඩා වැටුණු අපි වගේ රටක්, ජනතාව බඩගින්නේ නින්දට යන රටක්, පාසල් සිසුන්ට පාසල් පොත් පත් සහ වෙනත් දේ ගන්න නැතිව ලතවෙන රටක්, බෙහෙත් නැතිව ජනතාවට මිය යන්නට සිදු වී තිබෙන රටක්, ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙනවාය කියන මන්ත්‍රී වරුන් සහ ඇමැතිවරුන් නඩත්තු කිරීමට මෙච්චර මුදලක් වියදම් කිරීම අපරාධයක්. ඔව්. අපරාධයක්..!
“ජනප්‍රිය තීන්දුව” තමයි ඒ වරප්‍රසාද තව දුරටත් පවත්වාගෙන යාම, නැතිනම් තවත් විපක්ෂ මන්ත්‍රීවරුන්ට කරනම් ගැසීමට දිරි දීම සඳහා ඇමති වරප්‍රසාද වැඩි කිරීම. දැන් මනුෂ කියන්නේ තමුන්ලා “නීරස ජනප්‍රිය නොවන තීන්දු” ගන්නවා කියල නේ. එහෙම නම්, කැබිනට් ඇමති වරුන්ටත්, ඊට සමගාමීව පාර්ලිමේන්තු මන්ත්‍රීන්ටත් ජනතා බදු මුදලින් දෙන වරප්‍රසාද සීමා කිරීමේ “ජනප්‍රිය නොවන ..නීරස” තීන්දුව ගත යුතුයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ ජනතා වියදමින් නඩත්තු කරන එකම එක වාහනයක් පමණයි. තවත් වාහන අවශය නම්, සෙසු ජනයාට වගේ ම බැංකු ණය ක්‍රම හෝ ෆිනෑන්ස් ක්‍රම යටතේ ලබා ගන්න පුළුවන් නොවැ. නැති නම් සංවර්ධිත රටවල මැති ඇමැතිවරුන් සහ ඔවුන් ගේ පවුල් වල උදවිය වගේ පොදු මගී ප්‍රවාහන සේවා භාවිත කරන්නත් පුළුවන්. “ඔවා දෙනු පරහට - තමා සම්මතෙහි පිහිටා සිට” ඇමති තුමා. ජනතාව වන අපට “ජනප්‍රිය නොවන තීන්දු” ගැන අහංකාර තග දාන්න කලින් තමුන්ලා ආදර්ශ දිය යුතුයි. එහම නම්, වහාම මේ තීන්දුව ගන්න.
ඊළඟට ආරක්ෂාව. මන්ත්‍රීවරු ඇමතිවරු සැබෑ ජනතා සේවකයෝ නම්, රට වෙනුවෙන් අවංකව සේවය කරනවා නම් ඔවුන්ට විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය නැහැ. ජනතාව ජනහිතකාමී නායකයන් ආරක්ෂා කරනවා. දැන් ත්‍රස්තවාදයත් නැහැ නොවැ. ඉතින් මොකටද විශේෂ ආරක්ෂාව ? මේ නිසා ජනාධිපති, අගමැති, ඇමැතිවරුන් ගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් දක්වා සියලු දේශපාලකයන්ට දෙන ආරක්ෂාව සියයට 75කින් කපා හැරිය යුතුයි. මේක ජනප්‍රිය, ඒ කිව්වේ ‘පාදඩ ප්‍රිය’ තීන්දුවක් නොවේ. හැබැයි, අර බැසිල් ගේ 133 ට බය නැතිනම්, මේ “නීරස තීන්දුව” ගන්නවා හොඳයි මනුෂ ඇමතිතුමා. තමුසෙගෙ නායක තුමාට කියනවා ඔහු මානසික නපුංසකයකු නොවේ නම්, බැසිල් ගේ රූකඩයක් නොවේ නම, පාදඩ පෙරමුණේ වහලෙක් නොවේ නම්, ඒ තීන්දුව ගන්න කියලා. එහෙම තීන්දුව ගත්තට පස්සේ හැකි නම්, ඒ 133 ට සහ ඇමති වරුන්ට තග දානවා “අපි 2048 දී රට සංවර්ධිත රටක් කරන්න මේ නීරස ජනප්‍රිය නොවන තීන්දු ගත්තා” කියල.
ජන අනුපාතය අනුව සංවර්ධිත කාර්මික රටවල හෝ ශ්‍රී ලංකාවේ තරම් විශාල රටේ ආර්ථිකයට මහා බරක් වන පොලිසියක් සහ ත්‍රිවිධ හමුදාවක් නැති බව ලෝක බැංකුව සහ එක්සත් ජාතීන් ගේ සංවිධානය පසුගියදා ප්‍රකාශ කළා. යුද්ධය අවසන් වීමෙන් පසුව ආණ්ඩු මේ තරම් විශාල හමුදාවක් තබා ගෙන ඉන්නේ රට ආණ්ඩු කරන සොර තක්කඩි දේසපාලුවන් ගේ ආරක්ෂාවට මිස ජනතාව ගේ ආරක්ෂාවට නොවන බව දැන් ඉතාමත් පැහැදිලියි. ඉතින් මනුෂ ඇමති තුමා, තමුසෙ කියනවා වගේ අපි ලෝකයේ මට්ටමට ඉහල යන්න ඕනෑ නම්, තමුසේ කියන විදියට අපේ රාජ්‍ය සේවය වගේම, අපේ පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවත් ප්‍රතිසංවිධානය කළ යුතුයි. ඒ මගින් විශාල පිරිවැයක් ඉතිරි කර ගත හැකියි. වහාම කළ යුත්තේ ආරක්ෂක හමුදා සහ පොලිසියට අලුතින් බඳවා ගැනීම් නැවත්වීම. හැබැයි, මේ පිරිස් සේවයන් මුදා හැරිය යුත්තේ ඔවුන්ගේ අඛණ්ඩ සේවා නියුක්තිය තහවුරු කෙරෙන ස්ථිර සහ ඵලදායි වැඩපිළිවෙලක් සකස් කිරීමෙන් පසුවයි. රටේ ආර්ථිකයට මේ ශක්තිමත්, කුසලතා ඇති පිරිසෙන් සාධනීය ඵල ලබා ගත හැක්කේ එවිටයි. මහා පණ්ඩිත වරුන් වගේ කතා කරන තමුසේ වගේ අයට ඒ ගැන සැලසුම් කරන්න බැරි වෙන්නේ නැහැනේ? නේද?
මනුෂ, කරනම් ගහලා ඇමති පට්ටමක් ගහ ගත්තට පස්සේ තමුසේ අමතක කර තිබෙන තවත් ඉතා වැදගත් කාරණාවක් මතක් කළ යුතුයි.
මතකද? අර 4/21? මතක නෑ ? ඇයි ඇමති තුමා ..”සොනික් සොනික් “...? මතක නෑ ? අර අර 2019 පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය?
තමුසෙලා ඒ දවස් වල පාර්ලිමේන්තුවේ කතා කරපු විදියට තමුසෙලා දැන් එකට ඉඳගෙන ඉන්නේ පාස්කු ප්‍රහාරයේ මහමොලකාරයන් එක්ක නේද? තමුසෙලගෙ රනිල් නායක තුමා දැන් ඉන්නේ ඒ මහමොලකාරයන් එක්ක එකට කරට අතදාගෙන නේද? එහෙම නැත්නම්, තමුසෙලා අපිට බොරු ද කිව්වේ?
මනුෂ, දැනටත් දුකට පත්වෙලා ඉන්න ජනතාවට තග දමමින්, පණ්ඩිත අහංකාර කතා කියමින් නොසිට එදා පාර්ලිමේන්තුව දෙවනත් කරමින් කතා කරපු මේ මහා ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන යුක්තිය ඉටු කරන්නත් ක්‍රියා කළොත් හොඳයි නේද? යුක්තිය නීතිය සැමට සාධාරණව ඉටු නොවෙන රටක්, අපරාධකාරයෝ ජනාධිපති, අගමැති, පොලිස් ලොක්කෝ වෙන රටක් 2048 දී තියා මේ කපේදිවත් සංවර්ධනය කරන්න පුලුවන්ද ඕයි ? ඉතින් ජනතාවට තග නොදමා, බණ නොකියා තමුසෙලාගේ ඩියුටිය මුලින්ම ඉටු කිරීම අත්‍යවශ්‍යයි නේද මනූෂ? නිකං කකා ඉන්නේ නැතිව?
තමුසේ පාර්ලිමේන්තුව දෙවනත් කරමින් කතා කරපු දේවල් වලට යුක්තිය ඉෂ්ට කරන තෙක් තමුසේ කියන දේවල්වලට විශ්වාසනීයත්වයක් ලැබෙන්නේ නැහැ ඕයි..! ඒවා හරියට අධෝමුඛයෙන් පිට කරන වාත වගේ වෙනව.
මනුෂ, අපේ රට 2048 සංවර්ධිත රටක් බවට පත්කිරීම සඳහා දුක් විදින ජනතාව වන අප කළ යුතු කැපකිරීම් ගැන අහංකාර පණ්ඩිත කතා ආයෙත් කියන්න කලින්, ඒ කතා වලට විශ්වාසනීයත්වයක් ලබෙන්න නම්, මේ කියපු කාරනා ගැන “නීරස ජනප්‍රිය නොවන තීන්දු” ගන්න වහාම ක්‍රියා කරන්න.
මේක අභියෝගයක්! හැකි නම් පිළිතුරු දෙන්න. ක්‍රියාවෙන් පිළිතුරු දෙන්න. ඔට්ටුයි බැරුවට..!
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/41
---------------------------
by (2023-01-05 04:34:29)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි