-මාණ්ඩලික ලේඛකයෙකු ලියයි
(ලංකා ඊ නිව්ස් -2022.දෙසැ.20, ප.ව.10.00) "සරසවි සිසුවකු විසින් භික්‍ෂුන් වහන්සේ නමකගේ කනට ගසා ඇති බව පසුගියදාක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පැවසුවේය. භික්‍ෂුවට පහරදුන් කාලකණ්ණියාගේ අත පය විසන්ධි කිරීම මේ රටේ ශාසන ලැදි ජනතාවට බාර ය." මේ පසුගිය 18 වන දා "දිවයින" පුවත් පත් කතුවැකියේ ආරම්භක වාක්‍ය දෙකයි. මින් පැවසෙන අන්දමට මිනිසකු ගේ අත පය විසන්ධි කිරීම පොලු මුගුරු වලින් හෝ මොට්ට අවියකින් සිදු කළ හැක්කක් නොවේ. ඒ සඳහා කඩුවක් වැනි හිංසන අවියක් හෝ පිහියක් කැත්තක් මන්නයක් වැනි ගෘහස්ථ අවියක් සේම අතිශය කුරිරු මානසිකත්වයක් ද අවශ්‍ය වේ.
ප්‍රායෝගික හා ක්‍රියාකාරී වශයෙන් අව ජාතක වුව ද 'ජාතික' වශයෙන් හඳුන්වා ගන්නා පුවත් පතක වුව කතුවැකියෙන් එවැනි සාපරාධී ක්‍රියාවන් සඳහා පාඨකයා පෙළඹවීම සදාචාර සේම ශිෂ්ඨාචාර විරෝධී වූවක් බව අමුතුවෙන් කිව යුතු නැත. නමුදු "දිවයින" වැනි පුවත් පතක් සම්බන්ධයෙන් එය ආගන්තුක ක්‍රියාවක් නොවන්නේ පටු දේශපාලන අරමුණු තකා පට්ට පල් කෙබර ඇද බාමින් ජාති භේද ඇවිස්සීම දිවයිනේ ප්‍රධානතම; මුඛ්‍ය අරමුණක් බැවිනි. ඒ අරමුණ දිනෙන් දින කෙතරම් අශිෂ්ට අශීලාචාර ලෙස ක්‍රියාවට නැංවෙන්නේ ද කිවහොත් බුදු දහමින් මුලුමනින්ම ප්‍රතික්ෂේප වන ජාතිවාදය ත්‍රිපිටක ධර්මයයත් වඩා ඉහළ තැනකට ඔසවා තැබීමට "දිවයින" දරන වෑයම මේ වන විට සබුද්ධිමත් ශ්‍රී ලාංකිකයන් ගේ සංතීක්ෂණ අවධානයට යොමු වෙමින් තිබේ. එනිසාම කලින් "දිවයින" වටා ගොනු වී සිටි සාමාන්‍ය ජනතාව මේ වන විට ශීඝ්‍රාකාරයෙන් ඉන් ඉවත් වෙමින් සිටිති. එනිසාම අද වන විට "දිවයින" අලෙවිමය වශයෙන් දැඩි සත්කාර ඒකකයකට පිවිසුවා තිබේ.
බුද්ධ ශාසනය යන වදන අද වන විට බෞද්ධාගමික සමාජ සංස්ථාව හැඳින්වීම පිණිස භාවිතා වුව ද එහි සැබෑ අරුත වනුයේ බුද්ධ දේශනාව මත පදනම් වන නිර්වාණාවබෝධය පිණිස වන ප්‍රතිපත්ති මාලාව පමණි. කුඩා දරුවන් පවා දන්නා "සබ්බ පාපස්ස අකරණං" ගාථාවෙන් පැවසෙන අන්දමට සියළු පාප ක්‍රියා දුරලීම , කුසලයෙහි පිහිටීම සහ සිත දමනය කර ගැනීම බෞද්ධ ශාසනික මූලධර්ම වේ. පාලි භාෂාවෙන් සාසන සහ සංස්කෘත භාෂාවෙන් ශාසන ලෙසින් හැඳින්වෙන මෙය සිංහලෙන් සසුන ලෙස දැක්වෙයි. නමුත් මිනිස් සදාචාරයෙන් සේම මානව ශිෂ්ටාචාරයෙන් අත්මිදී තිරිසන් බවට උරුම ම්ලේච්ඡත්වයෙන් සන්නද්ධ වී හිඳින "දිවයින" පවසනුයේ මිනිසකුගේ අත් පය කපා සිරුරින් වෙන කිරීම බෞද්ධයන් විසින් ඉටු කළ යුතු "ශාසනික යුතුකමක්" බවකි.
ස්වාධීන පුවත් පතක කතුවරයාගේ මතය නොවන වෙනත් මතිමතාන්දර ද පළ විය යුතු ය. නමුදු ඒ පළමුව මූලික සදාචාර අංග සහ දෙවනුව මාධ්‍ය ආචාර ධර්ම සුරැකෙන ලෙසිනි. එහෙත්, පුවත් පතක කතු වැකිය යනු එහි හෘද මාංශයයි. පුවත් පතේ කතුවරයා ගේ ලේඛනයක් වන එය පළමුව ඔහුගේත් දෙවනුව කර්තෘ මණ්ඩලයේත් තෙවනුව එම ආයතනයේත් අදහස් අරමුණු සහ අභිලාෂයන් අනුව සැකසෙන බව සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනෑම කෙනකුට වැටහෙනු ඇත.
ඒ අනුව පසුගිය 18 වන දා "දිවයින" පුවත් පතේ ආරම්භක වාක්‍ය දෙක මඟින්ම භික්‍ෂුවට පහරදුන් පුද්ගලයා නීතිය හමුවට පමුණුවා නිසි දඬුවම් ලබා දිය යුතුය යන්න වෙනුවට "භික්‍ෂුවට පහර දුන් කාලකණ්ණියාගේ අත පය විසන්ධි කිරීම මේ රටේ ශාසන ලැදි ජනතාවට බාරය" යනුවෙන් බෞද්ධ ත්‍රස්තවාදයක් ගොඩ නැංවීම අතිශය බිහිසුණු ක්‍රියාවකි.
ඒ අතර "දිවයින" පුවත් පත ජාතිවාදී උන්මත්තකයන් විසින් එළි දක්වන ජාතික සමඟියට වින පමුණුවන වර්ගවාදී, ගෝත්‍රවාදී අශුචි තැවරූ පත්තර පඩංගුවක් බව දහසක් දෙනා සිතන අතරේ සම්මත නීති රාමු සුනු විසුණු කොට උපදෙස් දෙමින් "මේ රටේ ශාසන ලැදි ජනතාවට" ඔවුන් "බාර" කළ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ක්‍රියා මාර්ග වලට නතු වන එක් අඳ බාලයකුවත් අප රටේ නැතැයි කිව නොහැක. අප ඒ බවට මෙසේ ඔබ හමුවේ අනතුරු හඟවන්නේ කෙතරම් සුවිසල් ගින්නක් වුව දැල්වීමට එක් කුඩා ගිනි පුපුරක් වුව හොඳටම ප්‍රමාණවත් බැවිනි.
---------------------------
by (2022-12-20 16:46:26)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි