-ඩේලි මිරර් හෙළිදරව්වක් සිංහලට නැගුවේ ආනන්ද
(ලංකා ඊ නිව්ස් -2022.දෙසැ.15, ප.ව.9.15) සතොස කිලෝවක් රු. 85 කට විකුණූ සීනි එක්තරා ව්‍යාපාරිකයකු විසින් කිලෝවක් රුපියල් 120 ක තොග මිලට සතොසට විකුණා ඇති බවට විපක්‍ෂ පාර්ශ්ව චෝදනා කළේ මෙම මගඩිය එළියට එන විටය. සීනි බද්ද අඩු කළ ද පාරිභෝගිකයාට ප්‍රතිලාභයක් නොලැබුණි. මෙම සීනි මගඩිය නිසා ලංකා සතොසට ද රුපියල් මිලියන 102 ක පාඩුවක් සිදු වී තිබුණි. සීනි සඳහා බද්ද අඩු කළ කාල සීමාව තුළ වෙළෙඳුන් 18 ක් බලපත්‍ර නොමැතිව සීනි මෙට්‍රික් ටොන් 101,527 ක් ආනයනය කර ඇත.
රුපියල් බිලියන 16 ක සීනි වංචාව යළිත් කතාබහට ලක් වන උණුසුම් මාතෘකාවක් වී තිබේ. මෙම වංචාවට සම්බන්ධ වූවන්ට රජයේ බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල විය. රජයට සමීප සම්බන්ධකම් ඇති ව්‍යාපාරිකයන් මහජන මුදල් සොරා කෑ බවට චෝදනා එල්ල විය.
කොවිඩ් වසංගතයෙන් පසු වෙළෙඳ පොළේ සීනි මිල කිහිප ගුණයකින් ඉහළ ගියේය.
එවැනි පසුබිමක, 2020 ඔක්තෝම්බර් 10 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි සීනි ආනයනය සඳහා පනවා තිබූ බද්ද කිලෝවකට රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමට හිටපු රජය හදිසියේ පියවර ගත්තේය. ආර්ථික විශ්ලේෂකයන්ට අනුව එම බදු අඩු කිරීම 900% කි.
මෙම දැවැන්ත බදු අඩු කිරීමේ වාසිය සීනි ආනයනකරුවන් කිහිප දෙනෙකුට හිමි විය. මෙම බදු අඩු කිරීමෙන් වැඩිම ප්‍රතිලාභ ලැබූ එක් ව්‍යාපාරිකයෙක් සිටියේය. මේ ගනුදෙනුවේ වැඩි බලය තිබුණේ ඔහුටය. ඔහු අනෙකුත් සියලුම ව්‍යාපාරිකයන් අභිබවා යමින් විශාල සීනි තොග ගබඩා කර තිබුණි. එම තොග සඳහා මෙම ව්‍යාපාරිකයා ගෙවා තිබුණේ සංශෝධිත බද්ද වන කිලෝවකට ශත 25 බැගිනි.
මෙම බදු සහනයට මුවා වී 2020 නොවැම්බර් සිට 2021 පෙබරවාරි දක්වා විශාල සීනි ප්‍රමාණයක් ආනයනය කර ඇත. මාස 3 ක් ඇතුළත මෙම සීනි තොගය ගබඩා කර අවසන් වූ පසු, රජය සීනි ආනයන බද්ද කිලෝවකට රුපියල් 40 දක්වා ඉහළ දැමූ බව පාර්ලිමේන්තුවේ විපක්ෂය පවසයි.
සීනි වංචාව නිසා රජයට බදු වශයෙන් රුපියල් බිලියන 16 ක් අහිමි වූ අතර, එම ව්‍යාපාරිකයාගේ සමාගම මේ හරහා විශාල වශයෙන් ලාභ ලබා ඇත.
බදු සම්බන්ධ මේ සියලු කරුණු කාරණා විපක්ෂයේ දැඩි විවේචනයට ලක්විය. මේ කාලය තුළ සීනි වැඩි මිලට අලෙවි කළේ ජනතාවට කිසිදු සහනයක් ලබා නොදෙමිනි. එකී ව්‍යාපාරිකයාගේ සීනි තොග කිලෝවක් රුපියල් 120 ක තොග මිලට ලංකා සතොසට විකුණා ඇති බවට එම අවස්ථාවේ දී විරුද්ධ පක්ෂ චෝදනා කළේය.
මෙම ව්‍යාපාරිකයා සම්බන්ධයෙන් බොහෝ වැදගත් තොරතුරු හෙළි වූයේ ඉන් පසුවය. පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ඔහුගේ නම සඳහන් විය. මාධ්‍යවල ද මෙම පුද්ගලයාගේ නම පළ විය. ඒ අනුව මෙම [තක්කඩි, දීන] ව්‍යාපාරිකයා පිරමිඩ් විල්මාර් පෞද්ගලික සමාගමේ (Pyramid Wilmar Pvt Ltd) හිමිකරු වන මොහොමඩ් සජාඩ් මවුසූන් ලෙස හඳුනා ගෙන ඇත.
රංජිත් සියඹලාපිටිය මුදල් රාජ්‍ය අමාත්‍යකාරයා පාර්ලිමේන්තුවේ දී කළ විශේෂ ප්‍රකාශයත් සමඟ සීනි වංචාව යළිත් අවධානයට ලක් විය. සීනි වංචාවෙන් සිදු වූ පාඩුව රුපියල් බිලියන 16 ක් පමණ වුව ද ඉන් අය කර ගත හැක්කේ 30% ක් පමණක් බවත් එය සීනි ආනයනකරුවන්ගෙන් ආදායම් බද්ද ලෙස අය කළ හැකි බවත් සියඹලාපිටිය පැවසීය.
එමෙන්ම, දැනට පවතින නීතිය යටතේ 24% ක් ආදායම් බදු ලෙස අදාල සමාගම්වලින් අයකර ගත හැකි බවත්, එම මුදල 30% ක් දක්වා වැඩි කර ගැනීමේ හැකියාව පවතින බවත් ඔහු කියා සිටියේය.
සීනි බද්ද අඩු කළ නමුත් එහි වාසිය පාරිභෝගිකයාට ලැබුණේ නැත. විගණකාධිපතිවරයා වාර්තාවක් මගින් පෙන්වා දුන්නේ බදු වංචාව සිදු කළ අය හඳුනා ගෙන පාරිභෝගිකයින්ට සහන ලබා දිය යුතු බවයි.
එම වාර්තාවට අනුව පාඩුව අය කර ගැනීමට හැකිය.
කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍යකාරයා 30% ක බද්දක් ලබා ගැනීමට උත්සාහ කරන්නේ ඇයි ද යන්න අවිනිශ්චිතය.
දේශීය ආදායම් කොමසාරිස්වරයාගේ බලතල අනුව සියලු මුදල් අයකර ගැනීමට නොහැකි නම්, සම්පූර්ණ පාඩුව අය කර ගැනීමට නීති සංශෝධනය කළ යුතු බවට විපක්ෂය පසු ගිය දා පාර්ලිමේන්තුවේ දී හඬ නැගීය. එහෙත් අමාත්‍යකාරයා හා රජය නිහඬව සිටීමෙන් පෙන්නුම් කෙරන්නේ දෙපාර්ශවයම විවේචනවලට සවන් යොමු කිරීමට අකමැති බවයි.
සීනි බද්ද අඩු කිරීමෙන් පසු මාස 4 කුත් දින 14 ක් තුළ රජයට රුපියල් බිලියන 16 ක පමණ පාඩුවක් සිදු විය. එහි අහිතකර බලපෑම් දැන් පෙනෙන්නට තිබේ. මෙම සීනි මගඩියෙන් ලංකා සතොසට ද රුපියල් මිලියන 102 ක පාඩුවක් සිදුව ඇති බව සනාථ විය.
බද්ද අඩු කිරීමෙන් පසු සීනි මෙට්‍රික් ටොන් 227,715 ක තොගයක් ශ්‍රී ලංකාවට ගෙන ආ අතර එයින් පිරමිඩ් විල්මා පුද්ගලික සමාගම මෙට්‍රික් ටොන් 125,207ක් ආනයනය කර ඇත.
එම සමාගම ආනයනය කර ඇති මුළු සීනි ප්‍රමාණය, ආනයනික මුළු සීනිවලින් 40% ක් බව ද විගණනයේ දී අනාවරණය විය. බදු අඩු කරන විට සමාගමේ සීනි ආනයනය 1222% කින් ඉහළ ගොස් තිබුණි. එමගින් සමාගමට රුපියල් 622,925,820 ක බදු ප්‍රතිලාභයක් ලැබිණි.
එම කාලය තුළ අනෙකුත් සීනි ආනයන සමාගම් මුළු ආනයනික සීනිවලින් 10% වත් ආනයනය කර නොමැත. එම ප්‍රමාණය සීනි මෙට්‍රික් ටොන් 71,366 ක් පමණක් විය. මේ අනුව වත්මන් වෙළඳ පොලේ සීනි සැපයුමෙන් බහුතරයක් පිරමිඩ් විල්මාර් සමාගම සතුය.
අනෙකුත් සමාගම් සීනි ආනයනය කරන්නේ කුඩා ප්‍රමාණවලිනි. කෙසේ වෙතත්, බදු සහනයට පෙර පිරමිඩ් විල්මා සමාගමේ සීනි තොග ආනයනය ද ඉතා අඩු ප්‍රතිශතයක පැවති බව විගණනයෙන් අනාවරණය වී තිබේ.
මෙම සීනි බදු වංචාව හේතුවෙන් රජයට රුපියල් බිලියන 16 ක පමණ ආදායමක් අහිමි වී ඇති බව විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාවට දැනුම් දී තිබේ. අහිමි වූ ආදායම මුළුමනින්ම හෝ එහි කොටසක් ශ්‍රී ලංකාවට සීනි ආනයනය කරන කිහිප දෙනෙකු සතු වූ බව ද වාර්තාව පෙන්වා දෙයි.
සීනි තීරු බදු එසේ අඩු කළ කාලය තුළ දී, වෙළඳුන් 18 දෙනෙකු බලපත්‍ර නොමැතිව සීනි මෙට්‍රික් ටොන් 101,527ක් ආනයනය කර ඇත. ආනයන අපනයන පාලක ජනරාල්වරයා විසින් ආනයන බලපත්‍ර සඳහා පනවා තිබූ දඩය 5% සිට 2% දක්වා අඩු කිරීම මෙහි දී සිදු වූ තවත් අරුම සිදුවීමකි. නමුත් විගණකාධිපතිවරයා සිය වාර්තාවේ සඳහන් කර ඇත්තේ, එසේ දඩ මුදල් අඩු කිරීමට ආනයන අපනයන පාලක ජනරාල්වරයාට බලතල නොමැති බවයි. මෙම දඩ මුදල් අඩු කිරීම නිසා රජයට රුපියල් 433,120,147ක පාඩුවක් සිදු වී ඇත.
විගණන වාර්තාවට අනුව, මෙම දඩ මුදල අඩු කිරීම නිසා ආනයනකරුවන් වැඩි වැඩියෙන් සීනි ආනයනය කර ඇත.
එම කාලය තුළ දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 59234 ක් ආනයනය කර ඇත. බදු අඩු කිරීමෙන් පසු දුඹුරු සීනි ආනයනය අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව විගණන වාර්තාවේ සඳහන් විය.
පිරමිඩ් විල්මා පෞද්ගලික සමාගම බදු සහනය හරහා දිනකට රුපියල් මිලියන 378 ක ලාභයක් උපයා ඇත.
කෙසේ හෝ එක් අපනයනකරුවෙකු සීනි ආනයනය 6% කින් පමණ වැඩිකර තිබේ. එම වාර්තාවට අනුව සීනි ආනයනය ඉහළ ගොස් ඇත්තේ එකල සීනි සඳහා පාලන මිලක් නොතිබූ බැවිනි. ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව සීනි ආනයනය පාලනය කිරීමට බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දුන්නේ එනිසාය. නමුත් එම ක්‍රමය නිසියාකාරව ක්‍රියාත්මක නොවූ නිසා බලපත්‍ර නොමැතිව සීනි ආනයනය සිදු විය.
මේ අතර වෙළඳ පොලේ සීනි මිල නියාමනය කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය (CAA) පාලන මිලක් නියම කළේය. නමුත් ඒ පාලන මිලට විකුණීම සඳහා රටේ සීනි තිබුණේ නැත. මිලෙහි වෙනසක් නොවීය. පාරිභෝගිකයාට යා යුතු වාසිය ආනයනකරුවන් ලබා ගෙන තිබුණි. CAA විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම පැහැර හැර ඇති බව ද වාර්තාවෙන් අනාවරණය විය.
එසේම, සීනි සඳහා බදු අඩු කළ කාල සීමාව වන විට, කිලෝවක් රුපියල් 125.41 බැගින් මිල දී ගෙන තිබුණ සීනි මෙට්‍රික් ටොන් 919.4 ක් ලංකා සතොස සතුව තිබුණි. නමුත් ඒ සීනි තොගය විකුණුවේ කිලෝවක් රුපියල් 85.00 බැගිනි. මේ නිසා සතොසට රුපියල් 37,159,974 ක පාඩුවක් සිදු වී තිබිණි.
බදු අඩු කිරීමෙන් පසු සතොස සීනි මෙට්‍රික් ටොන් 2050 ක් මිල දී ගෙන තිබුණේ රුපියල් 92,112 ක් වැය කරමිනි. සතොස සීනි කිලෝවක් රුපියල් 121.50 කට මිල දී ගෙන කිලෝවක් රුපියල් 85.00 කට අලෙවි කළේය. සතොසට රුපියල් 47,000,000 ක පාඩුවක් සිදු වී ඇති බව විගණනයේ දී අනාවරණය විය.
නැති වූ මුළු ආදායමෙන් අය කර ගත හැක්කේ 30% ක් පමණක් ද යන්න සහ මෙම ගැටළුවට අදල නීතිමය තත්ත්වය පිළිබඳව ඩේලි මිරර් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විමසා සිටියේය. නමුත් ප්‍රශ්නවලට උත්තර දීමට එහි කිසිවෙකු නොවීය.
විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් ද විමසීමක් කළ අතර එහි ප්‍රකාශකයෙකු පැවසුවේ, රජයට අහිමි වූ බදු සියල්ල ආපසු අය කර ගැනීමට හැකි බව විගණකාධිපති වාර්තාවෙන් පෙන්නුම් කරන බවයි.
“අමාත්‍යකාරයා එම ප්‍රකාශය කළේ මොන පදනමකින් ද කියා මං දන්නේ නැහැ. වාර්තාවට අනුව, රජයට අහිමි වූ සියලු බදු මුදල් ආපසු ලබා ගන්න පුළුවන්. විගණකාධිපති වාර්තාවේ එහෙම සඳහන් කළේ එහෙම කරන්න පුළුවන් හින්දයි. මුදල් අය කර ගැනීමට බැරි නම් වාර්තාවේ එවැනි විස්තර ඇතුළත් කරන්නේ නැහැ. අමාත්‍යකාරයා එහෙම කිව්වේ මොන අහවල් එහෙකට ද කියා කියන්න මං දන්නේ නැහැ,” යයි එම ප්‍රකාශකයා වැඩි දුරටත් පැවසීය.
-2022 දෙසැම්බර් 9 වන දින Daily Mirror වෙබ් අඩවියේ පළ වූ, Prageeth Sampath Karunathilaka ලියූ, ‘More bitter truths surface regarding sugar scam’ නම් අනාවරණය සිංහලට පරිවර්තනය කළේ,
ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68
---------------------------
by (2022-12-15 20:43:52)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි