~

කමල් ගුණේගේ ඉලක්කය වරදී..! සර්පයා අනාථයි..!

-LeN ආරක්ෂක වාර්තාකරු හෙළිකරයි

(ලංකා ඊ නිව්ස් -2022.දෙසැ.10, ප.ව.11.30) ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ධූරය සහ ස්වේච්ඡා බළසේනාවේ සේනාංකාධිපති ධූරය සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතියට යවන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකුගේ නම් ඊයේ(09) සහ අද(10) දිනවල දී ජනාධිපතිවරයා විසින් අනුමත කොට ආරක්ෂක අමාත්‍යාංශයට එවා ඇත. ඉහත ධූර දෙක ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙවන සහ තුන්වන ධූර වේ. මේ තනතුරු වල ඇති අනෙක් වටිනාකම් නම් ඊලඟට පත් වන හමුදාපතිවරුන් පත් වන්නේ මොවුන් අතුරිනි.

නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ධූරය සඳහා මේජර් ජෙනරාල් සුජීව සෙනරත් යාපා (0/61016  INTAKE 27) ද,
ස්වේච්ඡා බළසේනාවේ සේනාංකාධිපති ධූරය සඳහා මුලතිව් ආරක්ෂක සේනාංකාධිපති මේජර් ජෙනරාල් සංජය වනසිංහ (0/61019 INTAKE 27) ද එකී පත් කරන ලද නිලධාරීන් දෙදෙනා වෙති.

මීට දින කිහිපයකට පෙර යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට මේජර් ජෙනරාල් චන්න වීරසුරිය පත් කෙරිණ.  

"ෆෙයාර් ඇන්ඩ් ලව්ලි" හමුදාපති..

චන්න වීරසූරියගේ පත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න විසින් සිය "ෆෙයාර් ඇන්ඩ් ලව්ලි" හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේට පවසා සිටියේ  නියෝජ්‍ය මාණ්ඩලික  ප්‍රධානී ධූරය සහ ස්වෙච්ඡා බළසේනාවේ සේනාංකාධිපති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨත්වය කුමක් වුවද, තමා කියන නම් තුන ඉදිරිපත් කරන ලෙසයි. එම නම් තුන නම්, ජ්‍යෙෂ්ඨත්වය පිළිවෙලින් 1. මේජර් ජෙනරාල් සුජීව සෙනරත් යාපා ‍2. මේජර් ජෙනරාල් සංජය වනසිංහ සහ 3. මේජර් ජෙනරාල් නිශාන්ත  මානගේ (0/61067  KDU 5) වූහ. මෙහිදී ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨත්වයෙන් හයවැනි ස්ථානයේ සිටින වන්නි සේනාංකයේ සේනාංකාධිපති. මේජර් ජෙනරාල් චම්පක රණසිංහ (0/61038 INTAKE 27) ගේ නම සඳහන් නොකොට හත් වැනි ස්ථානයේ සිටින කුප්‍රකට මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ ගේ නම සඳහන් කර තමන් වෙත එවන ලෙස කමල් ගුණරත්න විසින් හමුදාපති විකුම් ලියනගේ ට දැන්වීය.

කමල් ගුණේ හමුදාපති, විකුම් කමල් ගුණේ ගේ ලේකම්..

වත්මන් හමුදාපති විකුම් ලියනගේ යනු කමල් ගුණරත්න කියන ඕනෑම තුප්පහි වැඩක් කිරීමට සැදී පැහැදී සිටින බත් බැලයෙකි. යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ප්‍රකාශ කරන්නේ දැන් යුද හමුදාපති කමල් ගුණරත්න බවත් විකුම් ලියනගේ යනු කමල් ගුණරත්නගේ ලේකම් බවයි. විකුම් ලියනගේට කොන්ද පණ නැති බවත්, එම නිසා යුධ හමුදා නිලධාරීන්ගේ පත්වීම්, උසස්වීම්, මාරුකිරීම්, ටෙන්ඩර් ලබා දීම්, හදිසි මිල දී ගැනීම් ආදී සියලු දේ  සිදුවන්නේ කමල් ගුණරත්නගේ අභිමතය පරිදි බවත් ශ්‍රී ලංකා යුද හමුදාවේ සියළු නිලධාරීන්ට දැන් රහසක් නොවේ.

කෙසේ වෙතත් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න කී පරිදි විකුම් යැවූ නම් තුන කමල් ගුණරත්න විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කෙරිණ. ඒ අතර මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ ගේ නම සඳහන් කරමින් කමල් ගුණරත්න අවධාරණය කර සිටියේ‍ මානගේ යනු දක්ෂ නිලධාරියෙකු බවත්, දූෂනයන් තොර නිලධාරියෙකු බවත්, ඔහු ඒ මීළඟ යුධ හමුදාපති ධුරය සඳහා ද සුදුස්සෙකු බවයි. කමල් ගුණරත්න වැඩිදුරටත් අවධාරණය කර සිටියේ  නිශාන්ත මානගේ යනු ගෝල්ෆේස් අරගලය අවසන් කළ හමුදා නිලධාරියා බවයි. එම නිසා ආණ්ඩුව ආරක්ෂා කරමින් මතු අරගලයක් ඇති නොවන්නට නම් නිශාන්ත මානගේ පත්කළ යුතු බව ඔහු දැඩිව අවධාරණය කර සිටියේ ය.

අප්‍රසිද්ධ ආරක්ෂක උපදේශකයන් දුන් උපදේශය; කමල් ගුණේ කම්පනයට..

එහෙත් ජනාධිපති රනිල්ගේ අප්‍රසිද්ධියේ සිටින ආරක්ෂක උපදේශක කණ්ඩායම  නිශාන්ත මානගේ ගේ දූෂිත ගනුදෙනු සහ දූෂිත ක්‍රියා සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් විසින් පළ කළ වාර්තා කෙරෙහි ද දැඩි අවධානය යොමු කර තිබිණ. ඒ සම්බන්ධයෙන් වැඩි දුර සොයා බලද්දී අප වාර්තා සත්‍ය බවත් මානගේ යනු දූෂිත නිලධාරියෙකු බවත් තහවුරු කරගෙන තිබේ. අනෙක් අතට ගෝල්ෆේස් අරගලය අවසන් කළ නිලධාරියා යයි කමල් ගුණරත්න කීව ද එහිදී මානගේ ඕනෑවට වඩා දුර යෑමෙන් විශේෂයෙන් බීබීසී මාධ්‍යවේදියෙකුට පවා දෙකේ හතරේ පොල්ලකින් පහර දීම නිසාත්, මෙවර ජිනීවා මානව හිමිකම් කොමිසමේ දී ලංකාවට දැඩි බලපෑම් එල්ල වීමට මානගේ ද වගකිව යුත්තෙකු බවත් ජනාධිපතිට උපදෙස් දී තිබේ.   

පසුව ජනාධිපතිවරයා ද ඔහුට හිතවත් විශ්‍රාමික හමුදාපතිවරුන් දෙදෙනෙකුට කතා කතා කොට කමල් ගුණරත්නගේ ගේ අවධාරණ වල සත්‍යාසත්‍යතාවයත්, ඔහුගේ තක්සේරු සම්බන්ධයෙනුත් විමසා තිබේ. එහි දී විශ්‍රාමික හමුදාපතිවරුන් ජනාධිපතිවරයාට පවසා ඇත්තේ කමල් ගුණරත්න පට්ට පල් බොරු ගොතන නිලධාරියෙකු බවත් ජනාධිපතිවරයා නොමග යවන බවත් මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ දූෂිත නිලධාරියකු බවත්, යුධ හමුදා නිලධාරියෙකු තුළ තිබිය යුතු විනය ඔහු සතු නොවන බවත්, ඔහු විවිධාකාර චෝදනාවන්ට ලක් වූ අයෙකු ද බවයි. ඒ අනුව ජනාධිපතිවරයා නිශාන්ත මානගේ එකී තනතුරු දෙකෙන් එකකට හෝ පත් කෙළේ නැත.

කෙසේ වෙතත් තම ගෝලයා වන මේජර් ජනරාල් නිශාන්ත මානගේට ස්වෙච්ඡා බළසේනාවේ සේනාංකාධිපති ධුරය සඳහා ජනාධිපතිගේ අනුමැතිය ලබාගැනීමට ඊයේ දිනයේ(09) දැඩි උත්සාහයක යෙදුනු කමල් ගුණරත්න අද(09)  ජනාධිපතිවරයාගේ අනුමැතිය ඔහුට නොලැබීමෙන් දැඩි ලෙස කම්පනයට පත්ව ඇත.

ශවේන්ද්‍ර සිල්වා කළ ගොංකම..

මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ වැනි දූෂිත වැඩ බැරි නිලධාරියෙකු මේ තරම් හෝ දුරක් ආවේ හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ ගොං කම් නිසා ය. ශවේන්ද්‍ර සිල්වා 53 වැනි සේනාංකයේ සේනාංකාධිපතිව සිටිය දී නිශාන්ත මානගේ ඔහුට කේලාම් කී නිසා ශවේන්ද්‍ර හමුදාපති වීමෙන් පසු නිශාන්ත මානගේ ව හමුදාවේ කාර්ය මණ්ඩල අධ්‍යක්ෂ ජෙනරාල් (Director General, General Staff) ධූරයට පත් කෙරිණ. එකී ධූරය හමුදාවේ බලවත් ධූරයකි. හමුදාවේ මෙහෙයුම්, විදෙස් සාම සාධක හමුදා මෙහෙයුම්, පුහුණුවීම්, සැපයුම්, බුද්ධි අංශ, මානසික මෙහෙයුම්, මාධ්‍ය, ක්‍රීඩා ආදී සියලු අංශ වල අධ්‍යක්ෂකවරුන් සිටින්නේ කාර්ය මණ්ඩල අධ්‍යක්ෂ ජෙනරාල් යටතේ ය. මොහු එහිදී කෙතරම් අකාර්යක්ෂම වී ඇති ද යත් මේ වන විට බුරුතු පිටින් හමුදාව හැර යන්නේ මානගේ ගේ කෙරුවාවේ තරම නිසා ය.

කෙසේ වෙතත් ශවේන්ද්‍ර මානගේ ව විශ්වාස කළ ද මානගේ කෙළේ තම සුපුරුදු කේලාම් කීම ය. ඔහු එහිදී කෙළේ ශවේන්ද්‍ර ගැන කමල් ගුණරත්නට කේලාම් කීම ය. අද කමල් ගුණරත්නට මානගේ ඉදිරියට ගැනීමට අවශ්‍ය වී ඇත්තේ එනිසා ය.

හමුදාව තුල 'සර්පයා' නමින් ප්‍රසිද්ධ මේ දූෂිතයා ගැන ඉදිරියේ දී අපි තවත් හෙළිදරව් කිරීම් කරන්නෙමු. එබැවින් මානගේත් කමල් ගුණේත් පරිස්සම් විය යුතුය.

-LeN ආරක්ෂක වාර්තාකරු විසිනි

---------------------------
by     (2022-12-10 19:53:26)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links