-වීරනන්දාබාහු ලියයි
(ලංකා ඊ නිව්ස් -2022.නොවැ.28, ප.ව.10.45) “රාවයේ නිර්භීත හා හිතුවක්කාරී පුවත් පත් කලාවේදීන් පිරිසක් බටලන්ද වධකාගරයට කඩා වැදුනු බව නම් සත්‍යයකි. එහෙත් ඒ අවස්ථාවේදී රජයේ මාධ්‍යවලින් ඊට සහයෝගයක් ලබුනේ නැත. එහෙත් මේ වධකාගාරය රනිල් වික්‍රමසිංහ මහතා පවත්වාගෙන ගිය වධකාගාරයක් බවද අපේ මාධ්‍යකරුවන් චෝදනා කොට නැත. රනිල් වික්‍රමසිංහ මහතාට අදාළව ඔවුන් නඟා තිබෙන එකම ප්රශ්නය වනුයේ ජ.වි. පෙරමුණට සම්බන්ධ හා සම්බන්ධ නැති විශාල පිරිසක් මේ වධකාගාරයේ දී මරා දමා ඇති බවට පැහැදිලි සාක්ෂි ඇති බවත්, ඒ අසලම ජීවත් වූවකු වශයෙන් එහි එවැනි වධකාගාරයක් ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා දැන නොසිටියේ ද යන්න පමණය”
[බටලන්ද හා රනිල්ගේ ප්‍රතිරූපය, රාවය කතුවැකිය 1995/10/01]
1993 වසරේ දිනක අපි අනුරාධපුරයේ විහාර හල්මිල්ලවැව ගම්මානයේ පර්යේෂණ කටයුත්තක නියැලි සිටියෙමු. මේ ගම්වල විසුවෝ බෝධි වංශිකයෝය. ඔවුහු පාරම්පරිකවම ජයසිරිමහ බෝධියේ ආරක්ෂාව බාරව සිටිති. මේ සා අගනා ආගමික සේවාවක යෙදුනත් ඔවුන් සිංහල කුල ධූරාවලියේ පහලින් සිටීමේ පදනම සෙවීම අපේ අරමුණ විය. මහාවිහාරයේ ගොදුරුගම් හතක් පුරා ජීවත්වෙන මේ කුල කණ්ඩායම ගැන සොයමින් ගෙන්ගෙට ඇවිද යන අතරේ අසාමාන්‍ය දර්ශනයක් අපට පෙනුනේ ය. ඒ ප්‍රහාරක රයිෆලයක් උරෙන් දමා ගෙන නිරුවත් උඩුකයෙන් යතුරු පැදියක අසරුවෙක් සේ යන ශක්තිමත් තරුණයෙකි. කුල පීඩිත ගමක වසන මේ අපුරු ආඩම්බරකාරයා නැවත දකින්නත් ඔහු සමඟ කතා කරන්නත් රුචියක් අපට එසැනින් ඇති විය. තාර ගැලවී බොරළු පාරේ යමින් සිටි අපට ඔහු ඇතුළු වූ ගෙවත්ත ද ඈතින් පෙනීම මේ රුචිය වැඩි කළේය.
කණ්ඩායමේ සෙස්සන්ට අනෙක් නිවෙස්වලට යාම පවරා අපි මේ සන්නද්ධයා ඇතුළු වූ ගෙවත්තේ නිවස සොයා ගියෙමු. අප යන විටත් ඔහු ගෙවත්තේ ය. රයිෆලය පෙනෙන්නට නැත. ඔහු සැකමුසු බැල්මකින් අප දෙස බැලුවේ ය. දත් තිස්දෙකම පෙනෙන්නට විරිත්තා අපි ඔහුගේ සතුරන් නොවන බව හැඟවූයෙමු. කෙටි හඳුන්වාදීමකින් අපේ පැමිණීම විස්තර කළෙමු. ඔහු තමා 'රණසිංහ' නමින් හඳුන්වා දුන්නේ ය. හමුදා සෙබලෙක් බවත් කීවේය. අපේ ප්‍රියමනාප බව රිස්සූ නිසා ඔහු කුඩා නිවසේ එලිපත්තේ වාඩිවෙන්න ඇරයුම් කළේය. අප වෙනුවෙන් කුස්සියේ තේ කෝප්පයක් පිලියෙල කරවන්නට ද සූර වුනෙමු. ඔහු ඒ අතරවාරයේ ආ ගිය කතා කියමින් සිටියේය. ඔහුගේ කතාවේ බරපතලම සිදුවීම තිබුනේ ඔහුගේ වයස්ගත දෙමාපිය දෙපොල නාඳුනන කන්ඩායමක් මරා දැමීම ය.
අපේ කුතුහලය දෙගුණ තෙගුණ විය. අපේ ගම්පලාතේ නම් මෙවැනි මරණ සුලභය. එහි ප්‍රධානම හේතුව ඉඩම් ආරවුල් ය. එහෙත් මේ වගේ කැලෑගමක මොන ඉඩම් ආරවුල් ද? දැන් රණසිංහගේම බසෙන් ඔහුගේ කතාව....
“1989 අවුරුද්දේ මුල. මම ත්‍රිකුණාමලේ වැඩ කළේ. දවසක් උදේ කෑම්ප් එකේ ලොකු සර් මට කතා කරල කිව්ව, ‘ගෙදර ලොකු කරදරයක්. වහාම යන්න කියල’. වෙච්චි දෙයක් කිව්වේ නෑ. මම ඇහුවෙත් නෑ. මම කෙලින්ම ගෙදර ආව. ඒ එනකොටත් අම්මයි තාත්තයි මිනීපෙට්ටි දෙකක දාල ගෙයි මැද තියල තිබුන. මරපු කෙනෙක් නෑ. රෑ ගෙට පැනල මරල තිබුනේ. ගමේ උදවිය කිව්ව, ‘දේශප්‍රේමින්' මරන්න ඇත්තේ, මම හමුදාවක සේවය කරන නිසා.”
“කිසිම අනතුරු හැඟවීමක්, දැනුම්දීමක් නැතුව ඒ අහිංසකයෝ දෙන්න මරල තිබුනේ. මම හරියටම දන්නේ නෑ, දේශප්‍රේමීන් ද වෙන කවුරුවත් ද කියල. නමුත් අපිට ගමේ කිසිම හතුරෙක් හිටියේ නෑ. මේ ඔක්කොම එකම කුලයක, එකම නෑයෝ. මම මරණේ කටයුතු ඉවර කළා. හමුදාවෙන් මට හරියට උදව් කළා. මරණේ වැඩ ඉවර කරල යන කොට ලොකු සර් මට කෑම්ප් එකට එන්නේ නැතුව කෙලින්ම කොළඹ මුලථානයට වාර්තා කරන්න කීව.”
“සතියකට විතර පස්සේ මම කොළඹ ගියා සේවයට වාර්තා කරන්න. එතැන දී මම විශේෂ ඒකකයකට යොමු කළා. එතන දි මගෙන් අපේ පවුලට සිදු වූ අපරාධය සවිස්තරව ඇහුව. අන්තිමේ මගෙන් ඇහුව ‘ඒ වෙනුවෙන් පලිගන්න කැමති ද?’ කියල. ඇත්තටම මට පලිගන්න ඕන වෙලා හිටියේ. මම කීව ‘මට පලි ගන්න ඕන"
“පස්සේ මාව සපුගස්කන්දේ විශේෂ ඒකකයකට යොමු කළා. එතැන දී මට ‘දේශප්‍රේමීන්’ කියල පෙන්නපු හැම එකාටම මගේ අම්මටයි තාත්තටයි දුන්නු දඬුවම දුන්න”
සපුගස්කන්ද අප හොඳින්ම දන්නා තැනකි. අප කාලයක්ම ජීවත් වූයේ එම ගමේ ය.
“රණසිංහ, සපුගස්කන්දේ කොතැන ද ඔය කඳවුර තිබුනේ, බටලන්දේ කෑම්ප් එක ද?”
“ඔව් පරණ යූරියා ෆැක්ටරියේ නිල නිවාසවල තිබුනේ. එතැනට කියන්නේ බටලන්ද කෑම්ප් කියල තමයි”
1970 දශකයේ ආරම්භ වූ ලංකාවේ එකම යුරියා කම්හල පිහිටා තිබුනේ සපුගස්කන්දේ ය. සමාජවාදී රටක විදේශ අධාරයක් හැටියට ලැබුණු එහි සේවක නිල නිවාස ඉදි වූයේ බටලන්දේ ය. 1978 විවෘත ආර්ථිකයේ ප්‍රතිපත්තියක් හැටියට 1980 දශකයේ ආරම්භයේ දී කම්හල වසා දැමුනේ ය. එහි යූරියා නිෂ්පාදනය කිරීමට වඩා ආනයන කිරීම ලාභදායී විය. පසුව එහි නිල නිවාස එජාප රජයේ දේශපාලන හිතවතුන්ට හා පෑලියගොඩ පොලිසියේ නිලධාරින් අතරේ බෙදාහැරුණේය. එවකට බියගම ආසනයේ සංවිධායකවරයා මෙන්ම අධ්‍යාපන හා තරුණ කටයුතු ඇමතිවරයා වූ රනිල් වික්‍රමසිංහ අමාත්‍යවරයාගේ කාර්යාලයක් හා නිල නිවසක් ද එහි තිබුනේය. පෑලියගොඩ පොලිස් කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වූ ඩග්ලස් පිරිස්ගේ නිල නිවස ද තිබුනේ මේ නිවාස සංකීර්ණය තුලය.
විහාර හල්මිල්ලවැව ගමෙන් හමු වූ මේ කතාව අපේ හිස වෙනත් අතකට යොමු කරමින් සිටියේ ය.
(තවත් කොටසක් බලාපොරොත්තුවන්න)
බටලන්දට ගිනි තැබුවෙමු එකතුව
https://www.lankaenews.com/category/99
---------------------------
by (2022-11-30 21:09:07)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි